සර් ජෝන්ගේ දේශපාලන ජීවිතය ඇරඹෙයි | සිළුමිණ

සර් ජෝන්ගේ දේශපාලන ජීවිතය ඇරඹෙයි

 

රැස්වීමට ගිය අපේක්ෂකයන්ට වාඩි වීමටවත් තැනක් සකස් කර නැත. වතු අධිකාරීන්ගේ සාමාජික ප්‍රමාණයට පමණක් හිඳ ගැනීමට ආසන පනවා තිබිණ. ඡන්ද අපේක්ෂකයන් සියලුම දෙනා කණුවලට හේත්තු වී සභාව ඇරඹෙන තුරු බලා සිටියහ.

සභාව ඇරඹුණි. වතු අධිකාරී සංගමයේ සභාපති වූයේ ඩයිසන් නමැති සුදු ජාතිකයෙකි. එක් එක් අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව ඔහු කියවයි. මුලින් ම නම කියවූ පුද්ගලයාගේ සිට ඉදිරියට යයි. ඩයිසන්ට මුලින් ම දෑත් එක්කොට වැඳ නමස්කාර කළ යුතු ය. ඊළඟට අනෙක් සංවිධායකයන්ට නමස්කාර කළ යුතු ය.

තානායමේ කණුවකට හේත්තු වී මෙය බලා සිටි කොතලාවලට ඉවසුම් නැතිව ගියේ ය. ඔහුට තම පියා ජෝන් කොතලාවල ගැන කට පුරා ප්‍රචලිත කථා එකින් එක මතක් විය. තාත්තා අතින් අන්ත පරිභවයට පාත්‍ර වූ සුද්දන් මා අතින් වැඳුම් ලබන්නේ කෙසේ දැයි තමාගෙන් ම ප්‍රශ්න කළේ ය.

“මුන්ගෙ උදව් මට මොකටද? මම යනවා යන්න“ යැයි සිතූ කොතලාවල මහතා ආපසු යන්නට සිතී ය. එහෙත් මම අද මෙතනින් යන්නේ හොඳ පාඩමක් කියා දීලා යයි හිතූ හෙතෙම නැවත තානායමේ කණුවට හේත්තු වී බලා සිටියේ ය.

ඒ වනවිට කථා කරමින් සිටියේ නොතාරිස් වරයෙකි. ඔහු ද සුද්දන්ට පන්දම් අල්ලන කථාවක් පවත්වමින් සිටියේ ය.

“මම තමුන්නාන්සේලාගේ උදව් ඉල්ලන්නේ කුරුණෑගල මන්ත්‍රී ලෙස පත්වුණොත් තමුන්නාන්සේලා කියන විදියට වැඩ කරන බලාපොරොත්තුවෙන් “අපේ සිංහල ජාතියට වැරදිලා තියෙන්නෙ ඉංග්‍රීසි මහත්තුරු කියන විදියට වැඩ නොකරන හින්දයි. අපි කවදහරි දියුණුවට පත්වෙන්න ඕන. සුදු මහත්තරුන්ගේ අවවාද ලබාගෙන.”

මෙය අසා සිටි ඩයිසන් ප්‍රමුඛ සුදු ජාතිකයන්ට හා ඉහළ පෙළේ ඉංග්‍රීසිකාර සිංහලයන්ට ඇති සතුට නිම් හිම් නොවී ය. ඔවුහු අත්පොළසන් දෙන්නට වූහ.

ඊළඟ කථාව තිබුණේ කොතලාවල ට ය. මෙවැනි තැනකදී වැදගත් කථාවක් පැවැත්විය යුතු ය යන තරමක සූදානමින් පැමිණි ඔහුට සියල්ල අමතක විය. මෙතනදී සිදුවූ දේවල් දැක ඇති වූ කෝපය නිවා ගත නොහැකි විය. ඔහු කථාව පටන් ගත්තේ ය.

“අර අන්තිමට කථා කළ මහත්තය අපේ සිංහල ජාතියටම නින්දා ගෙනා විදියේ කථාවක් කළා. ඒ විදිය සිංහල බල්ලන් මන්ත්‍රණ සභාවට යැව්වොත් අපේ රට අපේ ජාතිය විනාශ වෙලා යනවා ඒකාන්තයි. අපිට අද මුහුණ පාන්න වෙලා තියෙන්නෙ ලොකු සටනකට. අපේ ජාතිය බේර ගන්නවද? නැත්නම් පර සුද්දන්ට යටත් වෙලා අපි තවදුරටත් වහල්කම් කරනවද? යන ප්‍රශ්නවලට විසඳුමක් අපි හොයන්න ඕන. අපි මන්ත්‍රණ සභාවට යන්නේ අපේ ජාතිය නිදහස් කරගන්න. ඒ සටනට පණ පොවන්න. ජාතියක් ලෙසට අද අපට තිබෙන ලොකුම ප්‍රශ්නය ඒකයි. එසේ නැතිව හිඟන්නෝ වගේ පර සුද්දන්ට වැඳ වැටෙන්න නෙමේ”

කොතලාවල ට එයට වඩා වැඩිදුරක් කථා කරගත හැකි නොවීය. ඩයිසන් නැඟී සිටියේ ය.

“අපි මෙතෙන්ට ආවේ උඹෙන් ඔය දේවල් අහගන්න නෙමෙයි“ ඩයිසන්ගේ කථාවෙන් කොතලාවල කථාව නතර කළේ නැත. එයින් සිදුවූයේ මුල් කථාව තව තවත් වේගවත් වීම පමණි.

“මම මේ ගමන කුරුණෑගලින් මන්ත්‍රණ සභාවට යනවා. ඒ යන්නේ අර කලින් කථා කළ කැණහිලා කියපු දේ කරන්න නෙමෙයි. ‍උඹල මේ රටින් එළවා දමන්නයි. ශීලාචාර විදියට එළවන්න බැරි නම් ගුටිගහල, පෙති ගහල හරි තොපි එළවන්න අපි ලෑස්තියි”

කොතලාවල ට කීමට හැකි වූයේ එ පමණකි. ඩයිසන් නැගී සිටියේ ය. “බැහැපිය දොට්ට. මගේ ඇස් දෙකට නොපෙනී පල.”

කොතලාවල ඉක්මන් ගමනින් සභාවෙන් පිටව ගියේ වෙන කළ හැකි කිසිවක් නොවූයෙනි. පසුවදා පළවූ සිංහල පුවත්පත්වල ප්‍රමුඛ ලෙස ඉස්මතු කොට වාර්තා කර තිබුණි. “සිංහයන්ගේ ගුහාවට ගිහින් සිංහයන් මට්ටු කරන වීර සිංහලයා”යන ශීර්ෂ පාඨය සහිතව මේ පුවතට විශාල ප්‍රසිද්ධියක් දී තිබිණ. මෙය කොතලාවලගේ ඡන්ද ව්‍යාපාරයට මහත් පිටු බලයක් විය. ධෛර්යයක් විය.

****************

සර්වජන ඡන්ද ක්‍රමය ලැබීමෙන් පසු ලංකාවේ පැවැති පළමු ඡන්ද සටන විය. ඡන්ද දායකයන්ට තමන් කරන්නේ කුමක්ද යන්න ගැන කිසිදු පැහැදිලි අවබෝධයක් තිබුණේ නැත. අපේක්ෂකයන්ගේ ඇඳුම්, පැලඳුම්, වත්පොහොසත්කම, කුලවත් බව යනාදිය මූලිකම සුදුසුකම් සේ සැලකූ අතර තම කුලයේ කෙනෙකු පත්කරලීම වඩාත් වැදගත් සේ ඔහු සිතූහ. අද මෙන් පක්ෂ ක්‍රමයක් හෝ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් නොවූවත් එක් එක් කුලවලට අයත් ප්‍රධානීන්ගේ අදහස් අනුව එකී කුලවල අවශේෂ අය ඡන්දය පාවිච්චි කළහ. දවසක් දා කුරුණෑගල ඡන්ද ව්‍යාපාරය ගෙන යමින් සිටියදී කොතලාවලට මහත් ඇබැද්දියකට මුහුණ දීමට විය.

ඡන්ද කටයුතු අත ළඟටම ඇවිත් තිබුණු නිසා දිවා රෑ නො බලා කුරුණෑගල නිවසට වී කොතලාවල ආධාරකරුවන් සමඟ සංවිධාන වැඩ ගැන කථා කර කර සිටියේය. ඒ උදය කාලයක් විය. කුරුණෑගල ප්‍රදේශයේ නිලමෙලා පිරිසක් කොතලාවල සමඟ එක්ව සිටියහ. ඒ අය අන්ත කුලවාදීන් වූ නිසා කොතලාවල තරමක සැකයෙන් කල් ගෙවූයේ කොයි මොහොතක කුලහීනයකු පැමිණේ දෝයි බියෙනි. සිතා සිටි දේම සිදුවිය. පහත් කුලයක ප්‍රභූවරයකු ඈත එනු දුටු කොතලාවල ඉක්මන් කර නිලමෙලා කට්ටිය මේසයට කැඳවීය. අර පුද්ගලයා ද පසකට වී නොසිට කෙළින් ම තේ මේසයට ආවේ ය.

නිලමෙලා මේ අලුත් පුද්ගලයාගෙන් විවිධ ප්‍රශ්න අසන්නට විය. අසන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දෙන්නේ කොතලාවල ය. වැරදීමකින්වත් අර පුද්ගලයා පිළිතුරු දෙන්නට ගියහොත් වන දේ දන්නා නිසා හැකිතාක් දුරට කතාව වෙනතකට හරවන්නට මහන්සි ගත්තේ ය. නිලමෙලාත් අමුතු ජාතියක පිරිසක් වූහ. අර අමුත්තාගේ පුද්ගලික ජීවිතය ගැන නොයෙක් ප්‍රශ්න අසන්නට විය.

“තමුන්නාන්සෙ මොන පළාතෙ ඉඳල ද ආවෙ” කියා අන්තිමට ඇසී ය. පදිංචිය කොළඹ වුවත් රැකියාව කරන්නේ කොළඹ වුවත් ඒ තැනැත්තා තමා උපන් ගම එක පාරටම කීවේය. ඒ ගමේ වූවන් අඩු කුලයේ අය ලෙස ඒ පළාතේ ප්‍රකට වී තිබුණි. කරන්නට කිසි දෙයක් නැත. නිලමෙලා සියල්ලම කලබල වී ඇත.

“ඇයි අපි මේ වගේ හෑල්ලුවකට පත් කළේ. මේ මිනිහ වගේ අඩු ජාති කාරයෙක් එක්ක වාඩි කරල තේ දුන්න එක අපිට මොන තරම් මදි පුංචි කමක්ද? ඇයි මේ වගේ කැත වැඩ කරන්නෙ”යයි කියූ නිලමේ කෙනෙක් කටට ඇඟිලි දෙකක් දමා වමනය කළේ ය. බොහෝම අසීරුවෙන් කරුණු වටහා දෙන්න කොතලාවලට හැකි විය.

තවත් දවසක මෙ බඳු සිද්ධියක් විය. එක් කඳුරැල්ලක පදිංචිව සිටි සියලු දෙනා එකම පහත් කුලයක අය වූහ. විශාල ඡන්ද ගණනක් තිබූ ප්‍රදේශයක් නිසා ඒ ප්‍රදේශයේ සහාය ලබාගැනීම තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට මහත් පිහිටක් වන බව කොතලාවල තේරුම් ගත්තේ ය. ඒ ප්‍රදේශය හා සම්බන්ධ කුලයේ ප්‍රධානියකු කොළඹ පදිංචිව සිටි අතර ඔහුගේ මුනුපුරා කොතලාවලගේ මිත්‍රයකු විය. මිත්‍රයා මාර්ගයෙන් ඔහුගේ පියා ලවා කඳුරැල්ලේ මිනිසුන්ගේ සහයෝගය ලබාගැනීමට කොතලාවල ඉදිරිපත් විය. සීයා හමුවන්නට ගිය මුනුපුරාට සීයාගෙන් බැණුම් අසන්නට සිදු විය.

“මම කොහොමද ඒ වැඩේ කරන්නෙ. අපේ කුලේ මිනිහෙකුත් ඡන්දය ඉල්ලද්දි. ඒක කවදාවත් වෙන්නෙ නැති දෙයක්.”

මුනුපුරාට කළ හැකි කිසිවක් නොවී ය. තම සීයාගේ සල්ලිවල බලයටත් කුලයේ අය සීයා කියන ඕනෑම දෙයක් කරන නිසාත් කොතලාවලට ලබා දිය හැකි උපකාරය කෙසේ හෝ ලබාදිය යුතු යයි ඔහු තීරණය කළේ ය. සීයාගේ ඇඳ ළඟට වී ඔහු දින තුනක් එක දිගට උපවාස කළේ ය.

සීයාට මෙය සිත් තැවුලක් විය. අන්තිමේදී ඔහු මුනුපුරා සමඟ කුරුණෑගල ගියේ ය. ලොකු තොප්පියක් පැලඳ සිටියේ ය. ඈත තබා එන තම ප්‍රභූවරයා දුටු ගම් වැස්සෝ පෙරහැරක් සෑදී ඉදිරියට ආහ.

“කවුද රජා අපේ රජා”කියමින් ඔවුහු වයසක සල්ලිකාරයා වට කරගත්හ.

“මම ආවෙ උඹලට වැදගත් කාරණාවක් කියල යන්න. තොපි ඔක්කොම මගේ මේ කොල්ලට ඡන්දෙ දෙන්න ඕන. මම මගේ අත් දෙකින් වඩාගෙන මේ ළමයා හදා ගත්තෙ.” වයසක සල්ලි කාරයාගේ කියමන කොතලාවල ද පුදුමයට පත් කරවීය. එවැනි සිද්ධියක් දැන ගත්තේ එදා හෙයිනි. කෙසේ වුවත් මේ කියමන නිසා කොතලාවලට විශාල ඡන්ද සංඛ්‍යාවක් එක්වූ බව ඇත්ත ය. ගෙයින් ගෙට ගොස් ඡන්දය ඉල්ලා සිටීම එකල වැඩිපුරම සිදුවූ දෙයකි. ගෙවල් වැඩිපුර තිබුණු ප්‍රදේශවල ප්‍රචාරක රැස්වීම් පැවැත්වුණි. එම ඡන්ද රැස්වීමට පැමිණ සිටියේ දොළොස් දෙනකි. ඒ දොළොස් දෙනා ඉදිරියේ කියා සිටියේ තමන්ට විරුද්ධව ගොතා ඇති කතා අසත්‍ය බවත් ඒවාට නොරැවටී ඡන්දය පාවිච්චි කරන ලෙසත් ය. කොතලාවලගේ ඡන්ද ව්‍යාපාරයට සහාය දුන් ඒ ප්‍රදේශයේ තරුණ පිරිසක් වූහ. ඒ අය කොතලාවලට පෙර සිට තාලෙට කවියක් කියමින් යති. ඒ එක් කවියක් මෙසේ ය.

හොර තක්කඩි කාඩ රැළ

ඉතින් උන්ගෙ නරක කල

කොතලාව නාම බල

පැතිරයාවි ලකල තුළ

මේ කවිය කියමින් යන පිරිසට පසුපසින් කොතලාවල දෙපස සිටින මිනිසුන්ට ආචාර කරමින් යයි.

මෙසේ ඡන්ද ව්‍යාපාරය කරගෙන යද්දී විරුද්ධ පක්ෂයෙන් ආ නියෝජිතයන් විසින් නොයෙක් විදියේ චරිත ඝාතනය වන ආකාර ප්‍රචාරක වැඩ කෙරුණි. එහෙත් ඒ කිසිවකින් කොතලාවල පසුබට නොවී ය.

සුළු දේට පවා ඉක්මනින් කේන්ති යන පුද්ගලයකු ලෙසත් කේන්ති ගිය විට තමන් මොන විදියෙන් කටයුතු කරන්නේ ද යන හැඟීමක් නැති පුද්ගලයකු හැටියටත් කොතලාවල ගැන අසා තිබුණු විරුද්ධ පක්ෂ අපේක්ෂකයන් එක්වී සූක්ෂ්ම අන්දමේ ප්‍රයෝගකාරී වැඩ පෙළක් ආරම්භ කළහ. එහි මුල් පියවර වූයේ නාට්‍යයක් රඟ දැක්වීම ය. එම නාට්‍ය යේ ආරාධිත අමුත්තා ලෙස කොතලාවල ගෙන්වීමට ඔවුහු කටයුතු සූදානම් කළහ. විරුද්ධවාදීන් කරන කටයුතු ගැන ආරංචි ලැබ සිටි කොතලාවල ඉදිරිපත්වන ඕනෑම දෙයකට මුහුණ දෙන්නෙමැයි යන ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව නාට්‍යය නැරඹීමට ගියේ ය.

නාට්‍යයේ කථා නායකයා වූයේ විරුද්ධ නිලධාරියෙකි.

මේ යුද්ධ නිලධාරියා කොළඹ ඔරියන්ට් සමාජ ශාලාවේ නිතර කල්ගත කරන විනෝදකාමියෙකි. අත මිට වැඩිපුර මුදල් ගැවසෙන නිසා ගැහැනුන් පිරිමින් සමඟ මත්පැන් බොමින් ඔවුන් හා එක්ව බටහිර නැටුම් නටමින් කල් ගෙවයි.

ටික කලක් ගතවූ පසු මේ යුද්ධ නිලධාරියා ඡන්දයකට එයි. තමන් ගැන කියන්ට දෙයක් නැති නිසා අම්මා කළ දේවල් ගැන පුරසාරම් දොඩමින් ගෙයක් ගානේ යමින් මිනිසුන්ගෙන් ඡන්දය ඉල්ලයි. මේ යුද්ධ නිලධාරියාට විරුද්ධව ඉදිරිපත් වන්නේ නීතිඥයෙකි. ඔහුගේ ගමන - බිමන - හැසිරීම සංවරය. බුද්ධිමත්ව වචන ප්‍රකාශ කරයි. මිනිසුන්ට හා එක්ව කලක් තිස්සේ සමාජ වැඩ කර ඇත. මැතිවරණයේදී යුද්ධ නිලධාරියා පරාජයට පත් කොට නීතිඥයා ජයග්‍රහණය ලබයි. මෙයින් දැඩි කෝපයට පත් යුද්ධ නිලධාරියා ලජ්ජාව ඉවසීමට නොහැකිව පපුවට තුවක්කුව එල්ල කොට ගෙන ජීවිතය නැති කරගනී. මේ මළ ගමට එන නීතිඥයා අවමඟුල් උත්සව සභාවේදී ගුණකථනයක් කරයි. එය අමුතුම තාලේ එකකි. “බේබද්දකු, සෙල්ලක්කාරයකු ලෙස ගැහැනු පිරිවරා සමාජයට කිසිම වැඩක් නොකළ මෙබඳු යුද්ධ නිලධාරියකු අභාවප්‍රාප්තවීම මුළුමහත් සමාජයේ ම යහපතට හේතු වූවක් ”යැයි මේ නීතිඥයා පවසයි.

එය අසා සිටින මළගෙදරට ආ අය සතුටින් ඔල්වරසන් දෙති. මේ ආකාරයේ නාට්‍යයක් රඟ දැක්වීමෙන් මේ පිරිස බලාපොරොත්තු වූයේ මෙ මගින් කොතලාවල කේන්ති ගැන්වීමට ය. ඉන්පසු කොතලාවල කරන කියන දෙයින් මහජන අප්‍රසාදයක් ඇති කළ හැකි බවත් මෙමඟින් නිසැකවම ඡන්දදායකයන්ගේ සිත් බිඳී යා හැකි බවත් විරුද්ධ පාර්ශ්වයේ අය සිතූහ.

එහෙත් මෙයින් කොතලාවල දැඩි සතුටක් වින්දේ ය. නාට්‍යයේ ප්‍රධාන නළුවා හමුවී රඟපෑම් කුසලතාව ගැන ප්‍රශංසා කළා පමණක් නොව වටිනා ත්‍යාගයක් ද පිරිනැමීය. මෙයින් විරුද්ධ පාර්ශ්වයේ අයගේ සිත් දැඩි කලකිරීමකට පත් විය. නොදැනුවත්වම විශාල ඡන්ද දායක පිරිසක් මේ නිසා කොතලාවල ගැන තිබූ වැරදි අදහස් අත්හැර දැමීමෙන් නො සිතූ වාසියක් අත් විය.

මේ ඡන්ද ව්‍යාපාරයේ වැඩියක්ම වූයේ මැරවරකම් හා ගුටිබැට හුවමාරුවයි. විරුද්ධ පක්ෂය මෙන්ම කොතලාවල මෙහිදී කරට කර සිටියේ ය. කෙසේ වුවත් ඡන්දය විමසීම කරන විට කොතලාවලට විරුද්ධව නඩු විසි එකක් පවරා තිබුණි. මිනී මැරීමට තැත් කිරීම්, කැරලි කෝලාහල මේ නඩුවලට අයත් විය. ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමේදී කොතලාවල වැඩි ඡන්ද 10,000 කින් කුරුණෑගල ආසනයේ මන්ත්‍රීවරයා ලෙස පත් විය.

****************

රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූ තරුණයන් අතළොස්සෙන් කෙනෙකු වූ කොතලාවල අලුත් යෝජනා කීපයක්ම ඉදිරිපත් කළේය. එම යෝජනා හැම එකකින්ම ප්‍රකට වූයේ විප්ලවකාරී අදහස් උදහස්ය. මුලින්ම ආදායම් බදු පනතක් ගැන හෙතෙම උනන්දු විය. මිනිසුන් රවටා කීර්ති ප්‍රශංසා ලබා ගැනීම මුලසිටම ප්‍රතික්ෂේප කළ හෙතෙම ආදායම් බදු පනත ගැන උනන්දු වූයේ ද අවංක චේතනාවෙනි.

ආදායම් බදු පනත ගැන විදේශීය ජාවාරම්කරුවෝ කොතලාවලට විරුද්ධව ලොකු වැඩපිළිවෙළක් ගෙන ගියෝ ය. දුප්පත් මිනිසුන්ට ආදායම් බදු පනතින් සිදුවන විශාල ශාන්තිය ගැන රහස හෙළිකරමින් ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවේදි දැඩි විවාදයක් ගෙන ගියේය. මේ පනත සම්මත කර ගැනීමට කොතලාවල ප්‍රමුඛ පිරිසට හැකි විය.

1931 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී රාජ්‍ය මන්ත්‍රණ සභාවට කොතලාවල කළ යෝජනාවක් වූයේ ණයකරුවන් ණය බරින් මුදවා ගැනීම සඳහා වැඩපිළිවෙළකි. වෙළෙඳ පරිහානිය නිසා ජනතාව ඉතාම අවාසනාවන්ත අඩියකට පත්ව සිටියහ. මේ තත්වයෙන් ජනතාව මුදවා ගැනීමේ වැඩපිළිවෙළක් සඳහා ගෙන ගිය සටන සාර්ථක වූවත් ප්‍රදේශ භාර මහ ලේකම්වරයා මෙම යෝජනාව නිශ්ප්‍රභා කළේය. එහෙත් මෙකී යෝජනාවේ ප්‍රතිඵල ලෙස 1935 වර්ෂයේ ලංකා බැංකුව ඇරඹීය.

ලංකාවට නිදහස ලැබුණු පසුව මුදල් ණයට දෙන සමූපකාර සමිති බිහි වූයේ මෙහි ප්‍රතිඵල ලෙසය. මෙම අවදියේදී ඩී.එස්. සේනානායක ඉදිරිපත් කළ දුප්පතුන්ට ඉඩම් දීමේ වැඩපිළිවෙළට කොතලාවලගේ සිත ඇදී ගියේය. මධ්‍යම පන්ති ජනතාවට රජයේ ඉඩම් ලබා ගැනීමට හැකි ලෙස කටයුතු කිරීමටත්, ලංකාවේ ධනපතීන් හා සාමාන්‍ය ගොවි ජනතාව අතර සම්බන්ධයක් කිරීමටත් ඉන් පිහිටක් ලැබීම නිසා කොතලාවල ලොකු උනන්දුවකින් කටයුතු කළේය.

අපේ ජාතියේ කොඳු ඇටය සාමාන්‍ය ජනතාව බව පැහැදිලිව ප්‍රකාශ කරමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී දැඩි උනන්දුවකින් කථා කළේය.

එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඔහු කළ කථාවෙන් පැහැදිලි කර දුන්නේ අනුන් යටතේ දීනත්වයට පත්ව ඇති ගොවිරාලලා වෙනුවට ඉඩම් හිමි ගොවි ජනතාවට මෙරට ආර්ථික ප්‍රශ්න විසඳාලීමට ඉඩ දිය යුතු බවයි. ඉංග්‍රීසි කාරයෝ අප රටේ සාරය උරාගන යාම නතර කිරීමට නම් අපේ ගොවියෝ ඉඩම් හිමි නිවහල් පිරිසක් කළ යුතු බවට ඩී.එස්. සේනානායක තුළ තිබුණු දුර දක්නා නුවණ එදා කොතලාවල විසින් ඉස්මතු කර පෙන්වා දෙන ලදී.

 

තවත් කොටසක් ලබන සතියේ

 

 

Comments