![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/05/05/1-2.jpg?itok=5XZ8V1l7)
වාර්ගික, ආගමික භේදවලින් තොරව සැමගේ දායකත්වයෙන් සහ සහභාගීත්වයෙන් පවත්වන බුද්ධ රශ්මි වෙසක් මංගල උත්සවය වෙසක් සමයේ අසිරිය විදහා දක්වන්නක් මෙන්ම ජාතික සමඟිය සංහිඳියාව ඔප්නංවන්නක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධ රශ්මි වෙසක් මංගල්‍යය වෙනුවෙන් ශුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජණීය ආගමික දිනය වන වෙසක් උත්සවය මෙවර ලක්වැසි අපට උදාවන්නේ තවත් සුවිශේෂ වැදගත් කමකින් යුතුවය. සියවස් ගණනාවක් නිර්මල ථෙරවාදී බුදුදහම රැක ගනිමින් සෙසු ලෝකයාට ද ධර්මය ප්‍රචාරය කිරීමෙහි ප්රමුඛව කටයුතු කළ අප රටේ මෙවර එක්සත් ජාතීන්ගේ 14 වැනි ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙල සහ ලෝක බෞද්ධ සමුළුව පවත්වන්නට හැකිවීම භාග්‍යයකි.
මෛත්‍රීය පදනම වන බුද්ධ ධර්මය නුවණින් දැන ප්‍රඥාසම්පන්නව, ප්‍රායෝගිකව ජීවිතයට බද්ධ කර ගනිමින් එහි දාර්ශනික හරය විශ්වීය වැදගත්කම වඩ වඩාත් ලෝකය වෙත ගෙන යන්නට අපි පිළිවෙතින් පෙළ ගැසිය යුතු වෙමු. මෙවර ජාත්‍යන්තර වෙසක් දින සැමරුම අප හමුවේ තබන ප්රබලතම අභියෝගය එයයි. ගංගාරාම විහාරස්ථානය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව පවත්වන 'බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය' කුඩා උත්සවයක් ලෙස ආරම්භ වී කෙමෙන් වඩාත් විචිත්‍රවත් සාර්ථක උත්සවයක් ලෙස සංවිධානය වූ අතර මෙවර ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සමගාමීව අති උත්කර්ෂවත් අයුරින් විදෙස් නියෝජිතයන්ගේ සහභාගීත්වය ද ඇතිව දස වැනි වරටත් පවත්වන්නට හැකිවීම සතුටට කරුණකි.
වාර්ගික ආගමික භේදවලින් තොරව සැමගේ දායකත්වයෙන් සහභාගීත්වයෙන් පවත්වන මේ උත්සවය වෙසක් සමයේ අසිරිය විදහා දක්වන්නක් මෙන්ම ජාතික සමඟිය සංහිඳියාව ඔපනංවන්නකි. එසේම දූ දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා නිර්මාණශීලී හැකියා එළිදැක්වීමට කදිම අවස්ථාවකි. 'බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය' දෙස් විදෙස් සැමට අසිරිමත් අත්දැකීමක් වනු ඇතැයි අපේක්ෂා කරමි. සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා.
බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය මේ මස 11 වැනි දින පස්වරු 7.00 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙන අතර එම අවස්ථාව සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, විදේශීය රාජ්‍ය නායකයන් සහ දූත පිරිසක් ද සහභාගීවීමට නියමිතය.