
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සාගර පතුල වනාහි මිහිපිට සුන්දරත්වය අපූරුවට කැටි වූ මනස්කාන්ත තෝතැන්නකි. ඒ අපූරු නිර්මාණශිලිත්වය, චමත්කාරජනක අත්දැකිම් විඳින්නට දකින්නට හැක්කේ කිමිදීමේ හැකියාව ඇත්තෙකුට පමණි. බොහෝ දෙනෙක් අත් විඳින්නේ ගොඩබිම සුන්දරත්වය පමණක් වුවද මහ සමුදුරු පතුලේ සැඟව ගිය අපේ අනාදිමත් සංස්කෘතික උරුමය කෙබඳුදැයි යමෙකු ඔබෙන් විමසුවහොත් ඔබ ද නිරුත්තර වනු ඇත.
ලංකාව වටා ඇති සුන්දර සමුද්‍ර තීරුව ලොව කිමිදුම්කරුවන් ජනප්‍රිය ගමනාන්තයක්යැයි පැවැසුවොත් ඔබ තරමක් විමතියට පත්වනු ඇත. ලොව කොතැනකවත් අත් විඳිය නොහැකි අපේම සංස්කෘතික උරුමයක් මහ සයුරේ සැඟවි ඇති බව බොහෝ දෙනෙක් දන්නේ නැත. කිමිදුම්කරුවන්ට පමණක් පියවි ඇසට දැක ගත හැකිවූ, ලොව කිමිදුම් ක්ෂේත්රයේ විස්මිතයක් ඇති කළ අපේ මහ මුහුදේ මැවුණු අපූරු සංස්කෘතික උරුමය දිග හැරෙන්නේ මේ අයුරිනි.
ලංකාවේ ගිලුණු නැව් සම්බන්ධ මතකය ආරම්භ වන්නේ 1960 දශකයේදී පමණ ‘රන්මුතුදූව’ සිනමා පටයේ රූපගත කිරීමේදීය. ඒ මයික් විල්සන් නැමැත්තාට කොළඹ මහ මුහුදේ ගිලුණු නැවක් හමුවීමය. මුහුදු නාවුක සුන්බුන් හි වටිනාකම නොදත් බොහෝ දෙනා එදා විවිධ උපක්‍රම හරහා මේ සුන්බුන් විනාශ කළහ. එහි වූ වටිනා භාණ්ඩ ගොඩට ගෙනා විට හොඳ වෙළෙඳ පොළක් ද සැපයිණ. ගිලුණු මුහුදු සුන්බුන් වටා පොරකමින් සිටි මසුන් මැරීමට යෙදූ එක ඩයනමයිට් කූරකින් මේ උරුමයන් බොහෝමයක්ම විනාශ වන්නට විය. වරින් වර විවිධ අමාත්‍යාංශ, විවිධ කමිටු පත් වෙමින් මේ සියල්ල රැක ගැනීමට උත්සාහයක් ගත්තද විටින් විට ඒවා අඩපණ වූයේ සංචාරක හා පුරා විද්‍යාත්මක වටිනාකම් හඳුනා නොගත් නිසාවෙනි.
මුහුදුබත් වූ බොහෝ දේ එදත් අදත් සාගර පතුලේ අපූරු උරුමයක් කියා පෑවේය. මේ පිළිබඳ විෂය ප්‍රවිණයින් පවසන්නේ ලංකාව පුරා එවැනි සංචාරක ආකර්ෂණීය ස්ථාන ( shipwrecks) 106ක් පමණ ඇති බවකි. මේ සියල්ල ජෛව විවිධත්වය පිරි සුන්දර නිර්මාණ බවට අද පත්ව ඇත.
“ලංකාව වටා shipwrecks ක් 106ක් හදුනාගෙන තියෙනවා. එයින් 6ක් Air craft වර්ගයේ ඒවා. මේ සියල්ල අපිට පුරා විද්‍යාත්මකව වැදගත්. මේ වන විට මුහුද යට තිබෙන ඒවා පමණක් නොව මතු වූ ඒවාත් මේ අතර තියෙනවා. ඊට හොඳම උදාහරණය මුලතිව් හි සාරා 3 නැව. එය අද ගොඩබිම තියෙන්නේ. සමහරක් සුන්බුන් කොරල්පර ලෙසත් දකින්න පුළුවන්. ආසියා පැසිෆක් සාගරයේ ඇති අවුරුදු 2000 ක් පැරුණි ගොඩවාය නම් වු නාවුක සුන්බුන් ( Godawaya wooden shipwreck) දකින්න පුළුවන් ලංකාවේ පමණයි. අවුරුදු 2000 ක් පැරණි ලී තට්ටුවක් මත ගොඩ නැගුණු මෙය අද දකින්න ලැබෙන්නේ මනස්කාන්ත කොරල් පරයක් ලෙසයි. අතීතයේ නැව් හැදීමේ තාක්ෂණය මනාව කියාපාන මේවා තවමත් ඇත්තේ පර්යේෂණ මට්ටමේ.” ඒ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ සමුද්‍රීය පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ ය.
මුහුදු සුන්බුන්හි පුරාවිද්‍යාත්මක වටිනාකම තීරණය වන්නේ ඒ ඒ රටවලට අදාළ නීතිරාමු හරහාය. UNESCO 2001 convention for protection of the underwater cultural heritage සම්මුතියට අනුව ලංකාවේ පුරා විද්‍යාත්මක shipwrecks යනු වසර 100 ක් පැරණි ඓතිහාසික සංස්කෘතිකාංගය.
කිමිදෙමින් මෙවැනි අපූරු ලොවක් දෙනෙතින් දකින්නට වාසනාව ඇත්තෝ ඉතා අල්පය. දෙස් විදෙස් කිමිදුම්කරුවන් අතර වඩාත් ජනප්‍රිය අපේ සාගර පතුලේ සැඟවුණු සංචාරක ආකර්ෂණීය ස්ථානයක් වන්නේ ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍යයාට අයිති 1962 වසරේදි GREAT BASSES REEF නමින් හැඳින්වෙන ගිලුණු SILVER COIN WRECK නම් දහස් ගණන් කාසි ප්‍රවාහනය කළ නෞකාව ය. දෙවැනි හා පළමු ලෝක යුද්ධ සමයේදි ලංකා මුහුදු තීරයේ ගිලුණු නැව් සාගර පතුලේ පුරා විද්‍යාත්මක අතීතය කියාපාන හොඳම සුන්බුන්ය. එයින් එකක් වන්නේ දෙවැනි ලෝක යුද්ධ සමයේදි මෙරට ඊසාන දිග මඩකලපු සාගර පතුලේ ගිලුණු HMS Hermes ( 1942 )ය. ලොව කිමිදුම් කළ හැකි නැව් 100න් එකක් ලෙස එදා සිටම මෙය ලොව කිමිදුම්කරුවන් අතර ජනප්‍රියය. ලොව ගුවන් යානා ගෙනයා හැකි විශේෂිත නැව් තුන අතරින් එකක් වන මෙය ඒ වෙනුවෙන්ම සකසු එමෙන්ම යුද්ධයකදී ගිලුණ එකම ගුවන් යානා ගෙන යා හැකි නෞකා සුන්බුන් අතරට එක්වෙයි.
කොළඹ ආශ්රිත මුහුදු තීරයේදී මෙවැනි පුරාවිද්‍යා වටිනාකම් ඇති බොහෝ නාවුක සුන්බුන් සැඟවී ඇති බව ඒ පිළිබඳ විශේෂඥයෝ පවසති. පළමු ලෝක යුද්ධයේදී ජර්මන් නැවක් පැමිණ බෝම්බ දැමීමේදී SS Worcestershiper(1917) නැව මුහුදුබත් වූයේ ගල්කිස්ස මුහුදු තීරයේදීය. SS Perseus (1917) යුද්ධ නෞකාව මෝදර මුහුදු තීරයේදී මුහුදුබත් විය. මේවායේ නටබුන් අදටත් මහ මුහුදේ සැඟවී ඇත්තේ ඒ පිළිබඳ කැමැත්ත හා හැකියා ඇත්තවුන් වෙනුවෙනි. ලංකාවේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් අදටත් හෙටටත් මහඟු මෙහවරක් කළ හැකි මේ නාවුක සුන්බුන් අතර පාසිකුඩා හි ඇති SS British Sergent (1942), ඔලුවිල් හි ඇති කිමිදුම්කරුවන්ගේ අති සුන්දර ස්ථානයක් වූ HAS Holyhock (1942) හා SSRFA Athelstane ලොව බොහෝ ජනප්‍රිය නාවුක සුන්බුන්ය. ලංකා සයුරේ වූ SSRFA Athelstane වඩාත් ජනප්‍රිය වී ඇත්තේ මෙහි ඇති තුවක්කු බඳ සහිත කොටස නිසාය.
කිමිදුම් කර්මාන්තය සංචාරක කර්මාන්තයෙහිලා සුවිශේෂි කඩඉමකි. කොළඹ මුල් කර ගනිමින් පවත්නා සංචාරක කර්මාන්තයට ආර්ථික ප්රතිලාභ රැසක් ගෙනෙනා ලුනාවේ ඇති Thermopylae Sierra (2013) නාවුක සුන්බුන් ඉතා වැදගත්ය. බොල්ගොඩ වැවේ සිට නිදහස් කිමිදුම්කරුවට පිහිනීමට මෙන්ම ස්කූබර් ඩයිවින් මෙන්ම පුහුණු වීම් සඳහා ද හොඳ පුහුණුවීම් මධ්‍යස්ථානයක් වශයෙන් Thermopylae Sierra නමින් හැඳින්වෙන නාවුක සුන්බුන් ය. පාසිකුඩා හී PAY -5A Catalina Patrol Bomber නම් ස්ථානය විසිතුරු කරදිය මසුන්ගේ රජ දහනකි.
“බොහෝ රටවල් මුහුදු කිමිදීම් කරන්නේ විනෝදාංශයක් වශයෙන්. මාලදිවයින, තායිලන්තය, මැලේසියාව ඒ හරහා විශාල ආර්ථික ප්රතිලාභ රැසක් අත්පත් කර ගන්නවා. ලංකාවේ මේ කර්මාන්තය තවම දියුණු වී නැහැ. ඉන්දුනිසියාවේ බාලිවල ගමක් ජීවත් වන්නේ මුහුදු සුන්බුන් නිසා. ලොව සංචාරක කර්මාන්තයෙහිලා කිමිදුම් රැකියාව ජනප්‍රියයි. ලොව මිලියන 20 ක පිරිසක් කිමිදීමට හැකි අය ඉන්නවා. මෙයින් මිලියන 6 ක් පමණයි, ක්‍රියාශීලිව කිමිදුම් අරමුණු කරගෙන සිය විවේකය, කාලය ගත කරන්නේ. ඔවුන් දිනකට ඩොලර් 5000 ක් වියදම් කරනවා. පවුල් පිටින් කිමිදීම් කරනවා. බොහෝ රටවල් මුදල් හොයන්නේ මේ අයගෙන්. ලංකාවට කිමිදීමේ කටයුතු සඳහාම එන අය අඩුයි. ලංකාවේ 106 කට වැඩිය ආකර්ෂණීය මුහුදු සුන්බුන් ස්ථාන තියෙනවා. සමහරක් ගැඹුරුයි. බොහෝ දෙනෙක් මේවා නරඹන්න යන්නේ මේ තුළ ඇති අලංකාර කොරල්පර නිසා. සමහරු මෙහි ඉතිහාසය හැදෑරීමට කැමැතියි. අපි මේවා සංචාරක කර්මාන්තය අරමුණු කරගෙන දියුණු කළ යුතුයි.” ඒ තාක්ෂණික කිමිදුම්කරු, ගුහා කිමිදුම්කරු සහ සමුද්‍ර ගවේෂක දර්ශන ජයවර්ධනය.
ඔවුන් පවසන පරිදි දළ වශයෙන් එකක තැනක 20 දෙනකුට දිනකට කිමිදුම් කිරීමට හැකිය. ලොව ඩොලර් අහේනිය ගැන කතා කරද්දි මුහුද යට සැඟවුණු ඩොලර් ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ නැත. මෙවැනි සංචාරක ආකර්ෂණීය ස්ථාන ප්‍රවර්ධනය කිරීම ඩොලර් ගැනීමක් බව බොහෝ දෙනා පවසති. ලංකාවේ මේ පෞරාණික එක් ස්ථානයක් කිමිදීමට අය කරන්නේ ඩොලර් 5- 75 කි. මේ සම්බන්ධ අදහස් දක්වන්නෝ පවසන්නේ එක් එක් ස්ථාන අරමුණු කරගනිමින් විවිධ පැකේජ හරහා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ හැකි බවකි.
“සෑම ගිලුණු නැවක්ම රක්ෂණය කළ යුතුයි. වරායක් ඉදිරිපිට නැවක් ගිලීම ආදී හානිකර අවස්ථාවකදී හැර අනික් අවස්ථාවලදී එසේ ගිලුණු නැවක් එළියට ගැනීම නොකළ යුතුය. නීතිමය මාර්ගයෙන් එහි රැකවරණය පවත්වා ගත යුතුයි. මුලින් දිසාපතිවරුන්ට මෙම නැව් විකිණීමට බලය දුන්නත් පසුකාලයේ සොයා බැලීම් සිදු නොවන නිසා මේවාට හානි වෙන්න ගත්තා. මේ නිසා මේවා ආරක්ෂා කිරීමට විශේෂ ක්‍රියාමාර්ග ගත යුතු වුණා. ලංකාව ජෛව විවිධත්ව සම්මුතියට අත්සන් කර තිබුණා. ඒ නිසා ජාත්‍යන්තර සම්මුතිවලට වගකිව යුතු නිසා මේවා ආරක්ෂා කර ගත යුතුයි. නාවුක හමුදාව ප්‍රභූවරුන් භාවිතා කළ VIP වාහන මුහුදේ ගිල්වූවා. මීගමුවේදී අදටත් ඒවා නැරඹීමට කිමිදුම්කරුවන්ට මේ ස්ථානයට යා හැකියි. මේවා රැකගත යුතුයි වගේම සංරක්ෂණය කළ යුතුයි”ඒ නාරා හි හිටපු IUCN වැඩ සටහනේ කොරල් පරිසර විද්‍යාඥ අර්ජන් රාජසූරියයි.
පසුගිය වසර දෙක තුළ ධීවර අමාත්‍යාංශය යටතේ පරණ බස් ආදිය ත්‍රිකුණාමල හා දකුණු මුහුදු තීරයේ ගිල්ල වූයේ ඒ ආශ්‍රිතව විශාල වශයෙන් ගැවසෙන මත්ස්‍ය සම්පත සඳහාය. පසුගිය කලයේ ගිලුණු නැව් පිළිබඳ ජාතික දත්ත ගබඩාවක් ද සකස් විය.
නැවක සුන්බුන් කෙරෙහි මාළු ආකර්ෂණය වන්නේ නිතැතිනි. එය ධීවර කර්මාන්තය ප්‍රවර්ධනයට ද රුකුලකි.
“නැවක් ගිලී පැය 2ක් තුළ ක්ෂුද්‍ර ජීවින් රැස් වෙනවා. විවිධ පරිසර තත්ත්ව යටතේ ජීවත් විය හැකි ජිවීන් මෙයට ආකර්ෂණය වෙනවා. ඒ නිසා ස්ථරයක් සකස් කර නැවට ආරක්ෂාව සපයනවා. මේ නැව් ආශ්‍රිතව ගැවසෙන විශේෂිත මත්ස්‍ය වර්ග ද ඉන්නවා. ජෙල් පිෆ්, බැරක්කූඩා, ගිනි මහ නැමති මාළුවා මෙවැනි නැවක් ආසන්නයේ දැක ගත හැකියි. මෙසේ නැවේ බඳට සම්බන්ධ වූ ජීවීන් ආහාරයට ගැනීමට විවිධ විලෝපිකයන් එනවා. ඔවුන් බලා ගැනීමට හැකි වන්නේ මෙම නැව් ගිලුණු ස්ථානවලදීයි. නාවුක සුන්බුන්වල විවිධ හිස් අවකාශවල මාළු පොකුරු වශයෙන් දැක ගත හැකියි. පැටවු බිහි කරන්නත් මේ ස්ථාන ද යොදා ගන්නවා. ධීවර කර්මාන්තයට ද විශාල ප්රතිලාභ ලැබෙනවා.” ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ සමුද්‍ර ජීව විද්‍යාඥ, කථිකාචාර්ය චතුරිකා මුණසිංහ ය.
දෙනෙත් විස්මයට පත්කරන දිය යට සැඟවුණු එවැනි අද්විතිය සංස්කෘතික උරුමයන් හරහා අපේ රටට ආර්ථික ප්රතිලාභ ගැනීමට තවත් කාලයක් බලා සිටිය යුතු නැත.
සේයාරු - රසික මුතුකුමාරණ සහ දර්ශන ජයවර්ධන