සීතාවක මහකන්ද පරිසර පද්ධතිය රැකගනිමු | සිළුමිණ

සීතාවක මහකන්ද පරිසර පද්ධතිය රැකගනිමු

විටෙක ඇය අපට බොහෝ දෑ තිළිණ කළ අතර සෙස්සෝ ඇගෙන් රිසි සේ සෙවණ ලැබ දිය පහස ද ලැබූ බව අවිවාදයෙන් යුතුව පවසමි. සීතාවක රාජධානියේ පිහිටි විශාලතම ඡන්ද බල ප්‍රදේශය වන තුන්තාන ග්‍රාමයේ මහකන්ද නම් ස්ථානයේ පිහිටි මනස්කාන්ත පරිසයට අද වන විට අත්ව ඇති ඉරණම ඉතාමත් කනගාටුදායකය.

ඉහළ කඳු මුඳුන මතින් විටෙක ඇය සිය තුරු සලා නංවන රාවය යළිඳු දකින්නට නොලැබීම සැබැවින්ම ඛේදාන්තයකි. වරද ඇත්තේ කොතැනකද? අසීමිත මුදල් මත සියදිවි සැරිය ගෙවන පාපතර කුරිරු රුදුරු මිනිසුන්ගේ නොමනා ක්‍රියාවන්ගේ අග්‍රඵලය ලෙස ඇය නිරුවත් කොට දමා ඇගේ හදවත බඳු සිහින් ලෙස ගලා බැසි (එයට පීල්ල යැයි කියයි) දිය දහරද කෙලෙසා දමා ඇති අයුරු දකිත්ම ඇත්වන්නේ දරාගත නොහැකි වේදනාවකි.

එම වනදහන අරා අතීතය හා බැඳි පුරාවිද්‍යාත්මක මතක රැසක් මේ වන විට මිහිදන්ව අවසානය. පිල් සලන මොනරුන්ගේ අනඟ රැඟුමට වශීව සැහැසි ලෙස මෙවන් රුදුරු ඉරණමක් අත්කරන්නේ කාගේ කීමකටදැයි නොදනිමි. තවත් විසල් වන දහනක් වෙත ඒ රුදුරු ඇස් යොමු නොවන්නට වගකිවයුත්තන්ට දැන්විය යුතුය. සැබැවින්ම පරිසර ඇමැතිතුමනි, විෂය බාර ඇමැති, අගමැතිතුමනි, ජනාධිපතිතුමනි,

අප වනසා අප නැඟී සිටීම හීනමානයකි. තවදුරටත් මෙය විහිළුවක් නොවේ. ඉතිරි පරිසර කලාපය හෝ රැකගැනීම පිණිස වගකිවයුතු ඔබලාගේ විශේෂ අවධානය යොමුකොට වනසන වෙනුවට රැක අප සැනසීම අනාගත ව්‍යසනයන් මඟහරවා ගැනුමට තෝතැන්නක් වනු ඇත. ග්‍රාමයේ හදවත ලෙස නූපන් පරපුරට ඉතිරි වන කලාපයවත් රැක දෙන්න කරන ඉල්ලීමයි. සැමගේ අවධානය මේ කෙරෙහි යොමු වේවා!

සී. එස්. වික්‍රමගේ 
සීතාවක

Comments