කොළඹ කුණුවලින් විදුලිය | සිළුමිණ

කොළඹ කුණුවලින් විදුලිය

 මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමත් සමඟම කොළඹ කුණු කසළ බැහැර කරන්නේ කොහේදැයි යන්න අද වන විට මතුව ඇති බරපතළ ප්‍රශ්නයකි. කොළඹ නගරයෙන් එපිට මිනිසුන් කොළඹ කුණු ගමට එපා යැයි කීවද පරිසරවේදීන් මෙන්ම මේ පිළිබඳ අවධානය යොමු කරන සමීක්ෂකයන් පවසන්නේ වෙනම කතාවකි. දිනපතා කොළඹ නගරයේ එකතුවන කැළිකසළවලට එදිනෙදා රාජකාරී කටයුතු සඳහා අගනගරයට පැමිණෙන්නන්ද වගකිව යුතු බවය. කවුරු කාට කුමන අයුරකින් වගකීම් මාරු කළද රටේ කොයි කවුරුත් මේ කුණු ප්‍රශ්නයට වගකිව යුතුය. රටේ අගනුවර වන කොළඹ වත්මන් කැළිකසළ ප්‍රශ්නයට විසදුම් සොයා ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳ කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතාගෙන් අපි කරුණු විමසීමක් කළෙමු.

 කොළඹ නගරයේ දවසකට ටොන් ගණනින් කැළි කසළ එකතු වන බව කියන ඔබ මේ සා විශාල ප්‍රමාණයක් කසළ එකතු වන්නේ කෙසේ දැයි පැහැදිලි කරන්න?

කොළඹ බල ප්‍රදේශයේ මැතිවරණ කොට්ඨාස පහක් තියෙනවා. නාගරික කොට්ඨාස හතළිස් හතක් තිබෙනවා. ජනගහනය පන්ලක්ෂ පනස් දාහක් පමණ සිටිනවා. ඒ වගේම දවසකට කොළඹට හය ලක්ෂ පනස් දහසක් පමණ එනවා. මේ තමයි අපේ රටේ අග නගරය. වෙළෙඳ මධ්‍යස්ථාන බහුලයි. මුළු ලංකාවටම අවශ්‍ය දේවල් බෙදා හැරෙන්නේ මේ නගරයෙන්. උදාහරණයක් හැටියට මෙහෙම කියන්න පුළුවන්. මැනිං මාර්කට් එකට අල කන්ටේනරයක් ගෙනාවාම ඒක තෝරන කොට කුණු වුණු ඒවා ඔක්කෝම වීසි කරනවා. ඒ ඔක්කෝම දාන්නේ බිමට. මැනිං මාර්කට් එකේ කුණූ ටොන් තිස්පහක් එකතු වෙනවා. වෙළඳ සංකිර්ණවලින් කුණු ටොන් 15ක් එකතු වෙනවා. ඔක්කෝම කුණු ටොන් පනහක් එකතු වෙනවා. මේ කුණු අතර රෙජිෆෝම් කාඩ් බෝඩ් ආදියත් තිබෙනවා. හැන්දෑවේ හය හත වෙන කොට කොළඹ කොටුව කුණු වලින් පිරෙනවා. ඒ එක පැත්තක් . කොළඹට රැකියාවට එන අය බත් ඔතාගෙන එන්නේ පොලිතීන් කොළවල. එක්කෙනා බත් පාර්සල් දෙකක් ගෙනාවොත් ෂොපින් බෑග් කී ලක්ෂයක් එකතු වෙනවද? කොළඹ රෝහල්වල ඉන්නේ බහුතරයක්ම පිට පළාත්වලින් ආ අය.රෝහල්වලින් ඉවත් කරන කුණු කියලා ඉවත් කරන්නේ දිස්ත්‍රික්ක විසි පහකින් පැමිණි මිනිසුන්ෙග් කුණු. කොළඹ නගරයේ ක්‍රිඩා පිටි හැරුණු විට මෙම කුණු ඉවත් කරන්නට වෙනත් හිස් ඉඩම් නැහැ. පිට පළාත්වලදි මෙම කුණු බැහැර කිරිමට ගිය විට මිනිස්සු කියනවා කොළඹ කුණු අපට එපා කියලා. ඇත්තටම හිතලා බැලුවොත් මේ කුණු කාගෙද?

 මේ කුණු කාගේ වුණත් නිසි කසළ කළමනාකරණයක් නැත්තේ ඇයි?

අප ගෙදරින් එළියට දමන කසළ අවම කරන්න ඔනෑ. කාර්යාලයෙන් ඉවත දමන කසළ අවම කරන්න ඔන. කසළ කළමනාකරණය පටන් ගත යුත්තේ එලෙසයි. මිනිසාගේ ක්‍රියාවලිය නිසයි කසළ ගොඩ ගැසෙන්නේ. මුලින්ම මිනිස්සු කසළ ගැන තේරුම් ගන්නට ඕන. කසළ කළමනාකරණයේ මුලිකම දෙය තමයි අප කසළ ජනිත වීම අවම කිරීම. කොළඹ නගරයේ මහල් නිවාස හැරුණු විට හැම නිෙවසකම වාගේ ඉඩ පහසුකම් තිබෙනවා. මේ බිම් ඉඩ යොදාගෙන කසළ ගොඩ ගැසීම නවතන්නට පුළුවන්.

ඉස්සර අපේ අම්මලා තාත්තලා කඩ පොළට බඩු ගේන්න ගියේ ගෙදරින් පන් මල්ලක් හෝ රෙදි මල්ලක් අරගෙන. නමුත් අද සුපිරි වෙළෙඳ සලේ සිට ඕනෑම වෙළඳ සලකට ගියාම හැම දෙයක්ම දාලා දෙන්නේ පොලිතින් බෑග්වල. ගෙදර ඇවිත් බලද්දි අපි වෙළෙඳ ෙපාෙළන් පොලිතීන් අහුරක්ම ගෙදර ගෙනැල්ලා. මේ තත්වය නැති කිරිමට නම් අප ආපහු අර පරණ පුරුද්ද ඇති කර ගත යුතුයි. වෙළෙඳ පළට යන විට මල්ලක් රැගෙන යා යුතුයි. බංගලාදේශය වගේ රටවල අද පොලිතීන් වෙනුවට දිරායන ද්‍රව්‍යයකින් සාදන ලද කවර භාවිතා කරන්නේ. අපි යෝජනාවක් ගෙනැල්ලා තියෙනවා අපේ රටෙත් එවැනි ද්‍රව්‍යවලින් සෑදු කවර භාවිතා කරන්න කියලා. අනිත් එක තමයි දවසින් දවස ලන්ච් සීට් ගොඩ ගැහෙනවා. මෙයට විසදුමක් තමයි එක්කෝ උදේ ආහාරය දිවා ආහාරය කෑම පෙට්ටිවල රැගෙන ආ යුතුයි. එහෙම නැතිනම් නැවත නැවත සෝදා පාවිච්චි කළ හැකි පොලිතින් ෙකාළ භාවිත කළ යුතුයි. අද අපේ නගර සභාවේ කුණු ගොඩගැසෙන්නේ නැහැ. හේතුව තමයි මෙහි සියලුම සේවකයෝ කෑම ගෙන එන්නේ කෑම පෙට්ටිවල. ඒ වගේම මේක ඇතුෙළ් කසළ වර්ගීකරණය තිබෙනවා. පත්තර,කඩදාසි වීදුරු ,ප්ලාස්ටික් ආදි සියල්ලම වෙන වෙනම එකතු කරන්නේ. දිරාපත්වන ද්‍රව්‍යවලින් කොමපෝස්ට් බඳුනක් සාදා තිබෙනවා. එය තියෙන්නේ විහාර මහා දේවි උද්‍යානයේ. මම විශ්වාස කරනවා අපේ ආයතනය ආදර්ශයට ගත්තොත් අනෙක් ආයතනවලත් කසළ භාවිතය අවම කරන්නට පුළුවන් කියලා. දැනටමත් මා දන්නා රාජ්‍ය ආයතන කිහිපයකම මෙය ක්‍රියාත්මක කෙරෙනවා.

 කවුරුත් කියන්නේ කොළඹ කුණු අපට එපා කියලා. එහෙම වුණාම කොළඹ කුණුවලට මොකද වෙන්නේ?

මම මෙන්න මේකත් කියන්න ඕන එදා මීතොටමුල්ලට වැටුණේ කොළඹ කුණු විතරක්ම නෙමෙයි. ඒ බව වඩාත්ම පැහැදිලි වෙන්නේ කොටිකාවත්ත, කොළොන්නාව ප්‍රදේශවල කුණු දාන්න තැනක් නැතිව තැන් තැන්වල ගොඩ ගැහිලා තියෙනවා දකිද්දි. අද කොළඹ කුණු බැහැර කිහිප පොළක්ම තියෙනවා . එය ක්‍රමවත් විදිහකට සිදුවෙනවා. අප මේ වන විට කොළාන්නාව නගරසභාවට දැනුම් දී තිබෙනවා ඔවුන්ගේ කැළි කසළ ප්‍රශ්නයට නුදුරේදීම කොළඹ නගර සභාවෙන් විසදුමක් දෙන්නම් කිය. අප මේ වනවිට හදුනාගෙන තිබෙනවා කුණු ගැනීමට කැමති අය ඉන්නවා. ජා ඇල ඒකල ඔතේකැළේ කියන ප්‍රදේශයේ පරිසර හිතකාමී ලෙස කසළ තැන්පත් කිරිමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට නියමිතයි .ඊට අදාළ පරිසර වාර්තා ලැබෙන ප්‍රමාදය පමණයි තියෙන්නේ. ඒ හැරුණු විට දිගුකාලින වැඩ පිළිවෙළක් ලෙස ‍විදුලිය නිපදවීම සඳහා යම් ආයනතයකටත් ඉඩ ලබාදී තිබෙනවා.

 ඔබ ආයතනයෙන් විශේෂ කසළ කළමනාකරණ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනවා නේද.

ඔව්.අද අපේ ආයතනය කසළවලට එරෙහිව නැගීසිටින ආයතනයක්.ඒ අනුව කොළඹ නගර ශාලාව කසළ කළමනාකරණය පිළිබඳ ආදර්ශ ආකෘතියක් ලෙස ගන්නට පුළුවන්.

අප මේ සම්බන්ධව ජනාධිපතිතුමා සමඟත් සාකච්චා කර තිබෙනවා. අප යෝජනා කළ අදහස් සම්බන්ධව ජනාධිපති තුමාගේ අවධානය යොමු වී තිබෙනවා. ඉදිරියේදී මේවා ක්‍රියාත්මක වෙනවා. මා මෙහිදි මේ රටේ කොයි කාගෙනුත් ඉල්ලීමක් කරන්නට කැමතියි.ඒ තමයි රටේ කැළි කසළ එක් රැස්වීම අවම කිරීමට ඔබේ දායකත්වයත් ලබා දෙන්න.මේ යෝජනාවලියේ තිබෙන කරුණක් තමයි ජන හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සියලුම කෑම බහාලන ඇසුරුම් කාඩ්බෝඩ් මඟින් පමණක් නිෂ්පාදනය කිරීම, ඉවත ලන ආහාර බඳුන් මඟින් කසළ එකතු කිරීමේදී ඒ සඳහා දිරායන පොලිතීන් බෑග් හෝ බඳුන් භාවිතා කිරීම, දිරායන පොලිතීන් බෑග් වෙළෙඳ පොළට හදුන්වා දීම, සියලුම වෙළෙඳසල්වල මස් මාංස සපයනු ලබන සැපයුම්කරුවන් ඒවායේ අප ද්‍රව්‍ය නැවත රැගෙන යායුතුයි. ඒ වගේම කොළඹට එළවළු පලතුරු ඇසුරුම් සමඟ රැගෙන එන භාණ්ඩ ඇසුරුම් අප ද්‍රව්‍ය ඔවුන් නැවත රැගෙන යා යුතුයි. අප දන්නවා අද කොළඹ බොහෝ පාසල්වල කසළ වර්ගීකරණය කරනවා. කොළඹ මහ නගර සීමාවේ විශේෂිත වු කසළ කළමනාකරණ වැඩ පිළිවෙළ යටතේ පාසල්,රෝහල් මෙන්ම රාජ්‍ය,රාජ්‍ය නොවන ආයතන ප්‍රධානීන් ‍මෙන්ම සේවකයින් දැනුම්වත් කරමින් කසළ කළමනාකරණය මෙන්ම ප්‍රතිචක්‍රීයකරණය පිළබඳ දැනුම්වත් කිරිමෙන් අපට මේ ප්‍රශ්නය ජය ගන්න පුළුවන්.

ඉනෝකා සමරවික්‍රම
ඡායාරූපය- තුෂාර ප්‍රනාන්දු 

Comments