පෝෂණයට දිරිදෙන පැල්වත්තේ කිරි මෙහෙයුම | සිළුමිණ

පෝෂණයට දිරිදෙන පැල්වත්තේ කිරි මෙහෙයුම

දේශීය කිරිපිටි භාවිතය පිළිබඳ අන් කවරදාටත් වඩා ජනතාව තුළ උනන්දුවක් ඇති වී තිබෙන අතර කිරිපිටි නැති වූවත් පිටරටින් ගෙන්වන කෘත්‍රිම කිරිපිටි නොබොන තැනට ශ්‍රී ලාංකේය ජනතාව ක්‍රමයෙන් පත් වෙමින් සිටී.

මෙතෙක් කලක් කොහෙන් හෝ ඌරු තෙල් ගෙනැවිත් හැදූ ඒ රටවල දරුවන්ට නොදුන් කිරිපිටි බල්ක් ගණන් මෙරටට ආවේය. එහෙත් ශ්‍රී ලාංකේය මවුපියෝ කෘත්‍රිම කිරිපිටි දරුවන්ට නොදෙන්නට තීරණය කර තිබීම ම රටක් හැටියට අප ලබමින් සිටින ජයග්‍රහණයකි. ඒ කිරි ආහාරවල මෙලමයින් තිබෙන බව ඔප්පු වූ දා පටන් නවසීලන්ත කිරි, චීනය සම්පූර්ණයෙන් ම තමන්ගේ රටට තහනම් කළේය. ඒ කොයි රටේ වෙළෙන්දකු ට වුවත් තමන්ගේ රටේ මිනිසුන්ට වස පොවන්නට චීනය ඉඩ නොදෙන නිසා ය. මේ ගෙවෙන්නේ රටක බලධාරීන් විසින් ගත යුතු එම තීන්දුව ශ්‍රී ලාංකේය ජනතාව විසින් ම ගනිමින් සිටින කාල වකවානුවකි.

කෙසේ වෙතත් දේශීය කිරි කර්මාන්තයේ විප්ලවයක් කළ පැල්වත්ත කිරි නිෂ්පාදනය ආරම්භ වන්නේ ආරියශීල වික්‍රමනායකගේ අදහසකට අනුව මෙරට කිරිපිටි කර්මාන්තය බහුජාතික සමාගම් විසින් දැඩි ව අත්පත් කරගෙන සිටි යුගයක ය. දහසක් බාධක මැද ඔහු හැදූ එම පැල්වත්ත කිරි අද දේශීය සලකුණක් බවට පත් ව තිබෙන්නේ එහෙයිනි.

සෑම දිනකම වෙළෙඳපොළට නිකුත් කෙරෙන පැල්වත්ත කිරි ප්‍රමාණය ටොන් 20කි. පැල්වත්ත සමාගම වටා අත්වැල් බැඳගත් කිරි ගොවීන් ගණන 15,000කි. සියල්ල කළමනාකරණය කරන්නට පැල්වත්ත සමාගමේ ඇප කැප වී වැඩ කරන සේවක සංඛ්‍යාව 420 කි. පළාත් පහක කිරි ගොවීන්, උදේ පාන්දර දොවා ගන්නා නැවුම් කිරි, එකතු කිරීමේ මධ්‍යස්ථාන හරහා පැය 24ක් ඇතුළත මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල පිහිටි පැල්වත්ත කර්මාන්තශාලාව වෙත ගෙන එනු ලබයි. ඊළඟ පැය විසි හතරේ දී ඒවා කිරි පිටි බවට පත්ව ලහි ලහියේ වෙළෙඳපොළට නිකුත් කරනු ලබයි.

පැල්වත්ත කිරි කර්මාන්තායතනයක් ලෙස වියළි කලාපයේ ආරම්භ කිරීම ම අභියෝගයකි. අතිශය වියළි දේශගුණයක් සහිත ප්‍රදේශයක සීනි කර්මාන්ත ආයතනයට යාබදව පිහිටා තිබෙන පැල්වත්ත සමාගමේ නිෂ්පාදන කටයුතු සඳහා දායක වන බහුතරය අවට ගම්වලින් පැමිණෙන අය නිසා ගමේ ආර්ථිකය නංවන්නට ද සමාගම දායක වී තිබේ.

නැවුම් ලෙස දොවාගන්නා කිරි පැය 48ක් ඇතුළත වෙළෙඳපොළට නිකුත් කිරීමේ දැවැන්ත කාර්යභාර්ය පිළිබඳ එම සමාගමේ නිෂ්පාදන කළමනාකරු ප්‍රභාෂ් ලියනපතිරණ පැහැදිලි කළේ මෙලෙසිනි.

"රට වටෙන්ම එකතු කරන කිරි අපේ ශීත කිරීමේ මධ්‍යස්ථාන හතළිහක් හරහා දිනපතා මොනරාගල කර්මාන්තශාලාවට ගෙන්වා ගන්නවා. විශේෂයෙන් නුවරඑළියේ ශීත දේශගුණයක් යටතේ දොවා ගන්නා කිරිවලට වඩා වියළි දේශගුණයක් සහිත පොතුවිල්, මඩකලපුව වැනි ප්‍රදේශවල කිරි ඉක්මනින් නරක් වෙන ස්වභාවය වැඩියි. කිරි ටික වැස්සිගෙන් එළියට එන්නේ ඇගේ ශරීර උෂ්ණත්ව යටතේ. නිසි ලෙස ශීත නොකළොත් ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය වර්ධනය වීම ආරම්භ වන්නේ එතැන් සිටයි. එහෙම බලද්දි කිරි නරක් වෙනවා නම් නරක වෙන්නේ ගොවියා ගේ ළඟ සිටමයි. ඒකයි අපි නිතරම ගොවීන්ට උපදෙස් දෙන්නේ, උදේ රැයින් දොවාගන්නා කිරි ටික ඉතා ඉක්මනින් ළඟම තිබෙන ශීතාගාරයට බාර දෙන්න කියලා. ඒ විතරක් නෙවෙයි ගොවීන් ගේ සිට නිෂ්පාදන ක්‍රියාවලියේ දී දක්වා පොඩි හෝ අත්වැරැද්දක් වුවහොත් කිරිවලට ක්ෂූද්‍රජීවීන් එකතු වනවා. ඇත්තටම කිරි කියන්නේ අභියෝගාත්මක නිෂ්පාදනයක් සහ ව්‍යාපාරයක්.

ඒ නිසාම රටේ විවිධ පළාත්වලින් එකතු කරගන්නා කිරි දුර බැහැර ගෙවා ගෙන මොනරාගලට ප්‍රවාහනය කරන්නේ තාප පරිවාරක ටැංකි සහිත විශේෂිත ලෙස නිර්මාණය කර ඇති බවුසර් මඟින්. ඒවා කර්මාන්තශාලාව තුළට බාර ගන්නට පෙර කිහිප වතාවක් පෙරා ගන්නවා. කිහිප ආකාරයකට රසායනාගාර පරික්ෂණ කරනු ලබනවා. සාමාන්‍යයෙන් කිරිවල සංයුතිය වන්නේ මේදය 45%ක්, ප්‍රෝටීන් - ලැක්ටෝස් 8.5% ක් සහ ජලය 87%ක් වශයෙන්. මේ සියලු තත්ත්ව පාලන දත්ත සම්පූර්ණ වූ පසුවයි අපි කර්මාන්තශාලාව ඇතුළට කිරි රැගෙන යන්නේ.

එසේ රැගෙන යන දියර කිරිවලින් එක කිරිපිටි කිලෝවක් හදන්නට කිරි ලීටර 8.5 ක් වැය වනවා. කිරි ලීටරයකට ගොවියාට රුපියල් 115ක් ගෙවන නිසා සමාගමකට එය දරා ගන්නට අපහසුයි. කිරිපිටි පැකට්ටුවක සාමාන්‍යයෙන් 26%ක් තිබෙන්නේ මේදය. 3.5% ක් ජලය. 70.5% ක් ප්‍රෝටීන් සහ ලැක්ටෝස්. සාමාන්‍යයෙන් කිරිවලින් ඉවත් කරන වැඩිපුර මේදය කොටසින් තමයි යෝගට්, බටර්, අයිස් ක්‍රීම්, එළඟි තෙල් වැනි සෙසු නිෂ්පාදන හදන්නේ. ඒ අනුව පැල්වත්ත සමාගම මාසිකව නිෂ්පාදනය කරන බටර් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 45 ක්. විවිධ රසැති අයිස් ක්‍රීම් ප්‍රමාණය ලීටර් 120,000ක්. මාසික යෝගට් නිෂ්පාදනය මිලියන 2ක්. නුදුරේදී ම එය මිලියන 4ක් දක්වා වර්ධනය කරනවා. අපිට අවශ්‍ය දේශීය කිරි ගොවීන් නංවාලමින් ජනතාවට අවශ්‍ය පෝෂණය ඉතා නැවුම්ව සහ හැකි ඉක්මනින් ලබා දීමටයි"

2006 වසරේදී යෝගට් නිෂ්පාදනය කරමින් ආරම්භ කළ පැල්වත්ත කිරි සමාගම කිරිපිටි නිෂ්පාදනය ආරම්භ කළේ 2011 වසරේදී ය.

අද වන විට කසළ තේ සහ කුකුළු පොහොර ආශ්‍රයෙන් පැල්වත්ත ගොවිපළේ දී ම නිෂ්පාදනය කරන පැලවත්ත කොම්පෝස්ට් පොහොර, සඳහා රට පුරා ඇත්තේ අධික ඉල්ලුමකි. එසේම සත්ව ආහාර නිෂ්පාදනයට ද අතගසා තිබෙන සමාගම කිරි ගවයන් ගේ පෝෂණය වෙනුවෙන්ම ප්‍රමිතියෙන් යුතු උසස් සත්ව ආහාර නිෂ්පාදනය කරන සමාගමක් බවට ද පත්ව තිබේ. කෙසේ වෙතත් රටේ කිරි හිඟයක් පවතින මෙවැනි වකවානුවකත් මුළු රටේම කිරි අවශ්‍යතාව සඳහා දිනකට ලැබෙනුයේ කිරි ලීටර් ලක්ෂ 11-12 ක් පමණ ප්‍රමාණයක් පමණි. සියලු කිරි සමාගම් තරග වදින්නේ මේ කිරි ප්‍රමාණයට වන අතර තවමත් රටේ කිරි අවශ්‍යතාව සපුරාලීම සඳහා දිගු කාලීන සැලැස්මක් ඇති බවක් පෙනෙන්නට නැත.

ජනතාව දේශීය කිරි භාවිතය වෙත නැඹුරු වෙමින් පවතින කාල වකවානුවක එය දිනකට කිරි ලීටර් ලක්ෂ 20ක් වත් දක්වා ඉහළ නැංවීමට දිගුකාලීන වැඩපිළිවෙළක් අවශ්‍යව තිබේ.

එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ නම් ඊට පූර්ණ සහාය දැක්වීමට දේශීය සමාගමක් ලෙස පැලවත්ත කිරි සමාගම පූර්ණ සහයෝගය දැක්වීමට සූදානම් ය.

ඡායාරූප -සුදත් මලවීර

Comments