වතුර කපන්න වාසුගෙන් කතුර | සිළුමිණ

වතුර කපන්න වාසුගෙන් කතුර

සුගිය ඉරිදා පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් දුන්නේ ගම්පහ කොවිඩ් ව්‍යාප්තිය හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

"ප්‍රසන්න, බූස්ටර් එන්නත ගන්න ජනතාව ඒ තරම් උනන්දුවක් නැහැ වගේ. ගම්පහ දිස්ත්‍රික්කයේ සැලකිය යුතු පිරිසක් බූස්ටර් එන්නත අරන් නැහැ."

"ඔව් සර්, අපේ එම්.ඕ.එච්.වලිනුත් කියන්නේ ඔය කාරණයමයි."

ජනාධිපතිගෙන් ප්‍රසන්නට ඇමතුමක් 

"අපි මේකට පිළියමක් යොදන්න ඕනේ. අපි ඉක්මන් කළේ නැත්නම් තත්ත්වය ආයෙත් දරුණු වෙන්න පුළුවන් "

"හරි ජනාධිපතිතුමා. මම හෙටම දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව රැස් කරන්නම්."

"ඒක හොඳයි ප්‍රසන්න. මොකද, බස්නාහිර පළාතේ පැතිරීම ශීඝ්‍ර වෙන්න පුළුවන්. විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ."

"සමහර එන්නත් මධ්‍යස්ථාන හිස්. බොරු ප්‍රචාර නිසා ජනතාව එන්නත ගන්නෙ නැහැ."

"අපි ජනතාවට ඇත්ත පැහැදිලි කරලා දුන්නේ නැත්නම් ආයෙත් පහුගිය කාලේ වගේ වෙනවා. කොවිඩ් හැදුණත් ජනතාව ආරක්ෂා වෙන්න නම් ප්‍රතිශක්තිකරණ එන්නත ගන්න ඕනේ "

"කොවිඩ් කමිටුව කැඳවලා මේ ගැන සාකච්ඡා කරලා තීරණයක් ගන්නම් ජනාධිපතිතුමා"

"ප්‍රසන්න මේක ගැන බලලා ඉක්මනින් පියවරක් ගන්න."කී ජනාධිපතිවරයා ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා සමඟ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳව ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

එම දුරකතන ඇමැතුම අවසන් වූ වහාම ඇමැතිවරයා දුරකතනය ඔස්සේ දිස්ත්‍රික් ලේකම්වරයා ඇමතීය.

"දිස්ත්‍රික් ලේකම්තුමා මට මේ දැන් අපේ ජනාධිපතිතුමා කතා කළා. දිස්ත්‍රික්කයේ කොවිඩ් පාලන කටයුතු ගැනයි එතුමා ඇසුවේ."

"ඇමැතිතුමා, අපි මොන තරම් දැනුම්වත් කිරීම් කළත් බූස්ටර් එන්නත ගන්න ජනතාව ඒ තරම් උනන්දු නැහැ."

"ඒ කාරණය ගැන තමයි ජනාධිපතිතුමාත් ඇහුවේ."

"පහුගිය පාර එන්නත් දෙක දෙන වෙලාවේ ජනතාව තුළ තිබුණු උනන්දුව මේ වතාවේ පේන්නේ නැහැ. අපි ළඟ තියෙන සංඛ්‍යා ලේඛනවලින් ඒක පැහැදිලියි. ගිය පාර අපිට ලැබෙන එන්නත් ප්‍රමාණය මදි වුණා. ඒ තරමට එන්නත ගන්න සෙනඟ උනන්දු වුණා. මේ පාර එන්නත් තියෙනවා. සෙනඟ එන්නේ නැහැ."

"අපි මේ ගැන කතා කරමු. මොකද කරන්නේ කියලා තීරණයක් ගන්න දිස්ත්‍රික් කොවිඩ් කමිටුව හෙටම රැස් කරන්න“

"හරි ඇමතිතුමා. මම හෙට උදේ රැස්වීම තියන්න ලැහැස්ති කරන්නම්."

පසුදා උදෑසන ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටුව රැස්විය. ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, මිලාන් ජයතිලක, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර ඇතුළු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මැති ඇමැතිවරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

බූස්ටර් ගැන වැරදි ප්‍රචාර

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්මන් කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වූ අතර ඉකුත් දෙසැම්බර් මාසයේ වාර්තා වූ රෝගින් සංඛ්‍යාව සමඟ සැසඳීමේදී රෝගීන් ප්‍රමාණාත්මකව වැඩි වී ඇති නමුත් මේ වන විටත් මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකි වී ඇති බව එහි දී හෙළිදරව් විය.

"මරණ සංඛ්‍යාව පාලනය කර ගන්න පුළුවන් වෙලා තියෙන්නේ පළමු එන්නත් මාත්‍රා දෙක සාර්ථකව එන්නත් කිරීමට හැකි වුණ නිසා. ඒ එන්නත මඟින් ජනතාවගේ ශරීරය තුළ ප්‍රතිශක්තිය ගොඩනැඟිලා තියෙන්නේ" ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා කිවේය.

"ඒක නම් ඇත්ත" කී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරිය වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දැක්වීය. "දැන් අපි පුළුවන් තරම් ඉක්මනින් ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර ගන්න ඕනේ."

"මේ වෙලාවේ කළ යුතු හොඳම දේ බූස්ටර් එන්නත ලබා ගැනීමට ජනතාව යොමු කරවීමයි." කී ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා "විපක්ෂයේ පක්ෂවලට වුවමනා වෙලා තියෙන්නේ කොවිඩ් ව්‍යාප්ත වෙනවා දකින්න. ඒ නිසයි බූස්ටර් එන්නත ගැන නොයෙකුත් වැරදි ප්‍රචාර ජනතාව අතරට යවන්නේ" කීවේය.

"ඒ අය කොහොමත් රටට හොඳක් වෙනවාට කැමති අය නෙවෙයිනේ. මේ වෙලාවෙත් පුළුවන් නම් කොවිඩ්වලින් හරි බලයට එන්න තමයි උත්සාහ කරන්නේ. අපි ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන ක්‍රමවේද හිතුවට ඒ අය හිතන්නේ ජනතාව මැරුණත් කමක් නැහැ. රට අවුල් කරන්න ඕනේ කියලා" මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා කීවේ මඳක් නොසන්සුන්වය.

හෝටල් 03 ක ගත් සුපිරි මඟුල

අවසානයේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පැවැත්වෙන මංගල උත්සව හා සංගීත සංදර්ශන සඳහා සහභාගිවීමට නම් පූර්ණ කොවිඩ් එන්නත්කරණ කාඩ් පත අනිවාර්යය කිරීමට තීරණය විය. එමෙන්ම පාසල් මට්ටමෙන් දෙමව්පියන් කැඳවා එන්නත්කරණය සම්බන්ධයෙන් පවතින දුර්මත පසෙක දමා දරුවන්ට ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දෙමින් දරුවන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා විය. ඒ අනුව පාසල් මට්ටමෙන් දෙමව්පියන් සමඟ සාකච්ඡා කර පාසල් එන්නත්කරණ වැඩසටහන ක්‍රමානුකූලව සිදුකිරීමට තීරණය විය.

සුපිරි විවාහ මංගලෝත්සවයක් පසුගිය දා කොළඹ දී පැවැත්වුණි. ඒ ප්‍රකට දේශපාලනඥයකු, ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු මෙන් ම ප්‍රකට ව්‍යාපාරිකයකු ද වන තිලංග සුමතිපාලගේ වැඩිමහල් පුත් උධාන්ත සුමතිපාලගේය. දින තුනක් පුරා පැවැති දැවැන්ත විවාහ මංගලෝත්සවයේ දී මේ කියන විවිධ පක්ෂ හා මතිමතාන්තර ඉදිරිපත් කරන ප්‍රමුඛ පෙළේ දේශපාලන නායකයෝ සියලුදෙනාම එකම මේසයක අසුන්ගෙන සතුටු සාමීචියේ යෙදී සිටින අයුරු දැක ගැනීමට හැකිවිය. පෝරුවේ චාරිත්‍ර කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැති අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, නිමල් සිරිපාල ද සිල්වා, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් ද එස්.බී. දිසානායක, ජීවන් කුමාරතුංග, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ආදී තවත් ප්‍රභූහු රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

අගමැති මහින්ද, හිටපු ජනාධිපති මෛත්‍රී එක ළඟ

"ගමේ සුවඳ දැනුණු වමේ මඟුල් ගෙදරකට ආවා වගෙයි. තිලංගගෙ පුතාගෙ මංගල්ලෙ වුණාට ඒක අපේම මඟුලක් වගේ. එසේ කියූ අගමැති මහින්ද ළඟින් සිටි හිටපු ජනාධිපති ශ්‍රී.ල.නි.ප. වත්මන් සභාපති මෛත්‍රිපාල සිරිසේන ද ළඟින් තබාගෙන ආහාර අනුභව කරනු දකින්නට ලැබිණ. "සර්ල දෙන්නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වෙලා රටේ ජනාධිපති වුණා. මෙහෙම ඉන්නව දකින එක පාක්ෂිකයන්ටත් මොනතරම් සතුටක්ද.?" තිලංග වටේ සිටි සෙසු දේශපාලනඥයන් සමඟ කියමින් සිනාසුණේය. අගමැතිවරයා තමන් වටා සිටි පිරිසටත් මංගල උත්සවයටත් කෙතරම් වශී වී සිටියා ද කිවහොත් දහවල් 12.20 සිට හවස 3.00 පමණ වනතුරු පැය තුනක් පමණ පැමිණ සිටි පිරිස සමඟ විනෝදයෙන් සැහැල්ලුවෙන් කල් ගෙවූයේය.

"උධාන්ත - යුලී" සරණ මංගල්‍යය දින තුනක් කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් තුනක උත්සව තුනක් ලෙස සංවිධානය කර තිබූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැමිණියේ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති දෙවැනි දවසේ උත්සවයටය. රාත්‍රි 7.50 ට පමණ උත්සව ශාලාවට පැමිණි ජනාධිපතිවරයා රාත්‍රි 11.00 ත් පසුවන තුරු මංගල අසිරිය විඳිමින් එහි රැඳී සිටියේය.

ජනපති ගෝඨාභය තිලංගට දුන්නු සහතිකය

"මම ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ හැම දෙයක් ගැනම හොයලා බලලා කළා. නට් එකක් බෝල්ට් එකක් පවා හරියට තියෙනවා ද කියලා පෞද්ගලික සොයා බැලුවා. මම ජනාධිපති වුණාට පස්සේ එදා මම කරපු දේ හොයලා බලලා කරන්න නිලධාරීන්ට භාර දුන්නා. ඒත් ඒ දේ අද හරියට වෙන්නේ නෑ. ඒ නිසා බැණුම් අහන්නේ මම. දැන් බලන්න තිලංග වැඩක් කරන කොට ලස්සනට, පිළිවෙළට කරනවා. හරිම ලස්සනට මෙතැන හැමදෙයක්ම සංවිධානය කරලා. මටත් තිලංග වගේ තව හතර දෙනෙක් හිටියා නම් මම දන්නවා වැඩ ගන්න හැටි." ජනාධිපතිතුමා එසේ කියද්දී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ද අසල සිටියේය. ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩලස් අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, සරත් ඒකනායක, චන්දිම වීරක්කොඩි, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා වැනි දේශපාලනඥයෝ රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ. ජල සම්පාදන අමාත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර පසුගිය 28 වැනි සිකුරාදා දැඩි තීන්දුවක් ගත්තේය.

මේ හිටපු අමාත්‍යවරුන් හා දැන් ඉන්න ඇතැම් ඇමතිවරුන් ජල බිල්පත තාම ගෙවලා නැත්නම් ලබන සඳුදා වන විට මේ ‍සේරටම අවසන් රතු නිවේදනය යවන්න. ඊට පස්සේ නඩු දාන්න. නඩු දානකොට තාම ජල බිල්පත නොගෙවලා ඉන්නේ කවුද? කියලත් හෙළිවේවි යනුවෙන් වාසුදේව නානායක්කාර ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.

මේ වන විට මැති ඇමතිවරුන්ගේ නිල නිවාස 48 ක පමණ රුපියල් ලක්ෂ 96 ක හිඟ බිල්පත් තිබෙන බවට වාර්තා ලැබී තිබේ. මින් බහුතරයක් පහුගිය යහපාලන ආණ්ඩුව සමයේ දී හිටපු මැති ඇමතිවරුන් වන අතර වර්තමාන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු ද මේ අතර සිටින බවට තොරතුරු වාර්තා වේ.

ඇමති බන්දුලට පාකිස්තානයේ දී විශේෂ ආරක්ෂාවක්

පහුගිය සතියේ දින 8 ක් ඇමති බන්දුල පාකිස්තානයේ නිල සංචාරයකට එක් වුණා. මේ සංචාරයට ඇමති බන්දුල සමඟ රාජ්‍ය ඇමති තාරක බාලසූරියත් එක්ව තිබුණි. ඒ වගේම ඇමති බන්දුල වෙළෙඳ ඇමති විදියට මේ රටේ ප්‍රකට ව්‍යාපාරිකයන් පිරිසකුත් මේ සංචාරයට සහභාගි කරගෙන තිබුණි.

ඇමති බන්දුල ඇතුළු දූත පිරිසට පාකිස්තානයෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණි. ඒ වගේම ඉතාම විශේෂ ආරක්ෂාවකුත් ඇමති බන්දුල ඇතුළු පිරිසට ලබා දෙන්නට පාකිස්තානු රජය කටයුතු කර තිබුණි.

ඇමති බන්දුල පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හමුවුණේ පසුගිය 25 වැනි අඟහරුවාදායි. එතැනදී ඇමති බන්දුලටත් තාරක රාජ්‍ය ඇමතිතුමාටත් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමක්. එහිදී ඇමති බන්දුලගේ යෝජනාව වුණේ අපේ රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්නට ආර්ථික පැකේජයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව අග්‍රාමාත්‍ය ඉම්රාන් මීට එකඟ වුණි. ඒ වගේම කඩිනමින් ඒ සඳහා කටයුතු කරන්න කියලත් තමන්ගේ පාර්ශ්වයට උපදෙස් ලබාදුන්නේය. අග්‍රාමාත්‍ය ඉම්රාන් පාකිස්තානයේ බෞද්ධ සංචාරක ප්‍රවර්ධනයට ඇමති බන්දුලගෙන් සහයෝගය බලාපොරොත්තු වන බව පැවසුවේය. ඒ වගේම "තක්ෂිලා නුවර" වගේ බෞද්ධ සිද්ධස්ථානවලටත් ඇමති බන්දුලට සංචාරය කරන්න පහසුකම් සලසලා තිබුණි. බෞද්ධ ආගමික සංචාරකයන් පිළිගැනීම වෙනුවෙන් පාකිස්තානය සූදානම් බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්නා දුන්නේය.

තනි ආසනයේ අගමැති කවුද?

"සමහරු දැන් ජාතික ආණ්ඩු හදන්න යෝජනා ගේනවලු" තුෂාර ඉදුනිල් කීවේ වෙබ් අඩවියක පළවූ පුවතක් ගෙනහැර පාමිණි.

"රට ලෙල්ලටම වැටිලා තියෙන වෙලාවේ මෙයාලා ඒකට මුවාවෙලා බෙදා හදාගෙන කන්න හදන්නේ. මේ ආණ්ඩුව රටට කරපු විනාශේ හැටියට ජාතික ආණ්ඩු තියා එකට ඉඳගන්නවත් පුළුවන් ද?" අශෝක් අබේසිංහ කීවේය.

"තනි ආසනයක් තියෙන අය අගමැතිලත් වෙලා. හැබැයි ඔය කතාව හොඳයි, මොකද ඒ අයට තියෙන්නෙ ඉතිහාසගත ඩීල්නේ" මරික්කාර් පිළිතුරු දුන්නේය.

"රාජකාරිවලට බයිසිකලෙන් යන්න කියලා යෝජනාවක් ගෙනල්ලාලු" එහෙම කීවේ හර්ෂණ රාජකරුණාය.

"ඕක තමයි කාබනික පොහොරවලට කරපු එකේ දෙවෙනි version එක" නලින් බණ්ඩාර සිනාසෙමින් කීවේය.

"V8 වලින් ගිහිල්ලා බහින ඇමතිවරු තමයි මිනිස්සුන්ට බයිසිකල්වලින් වැඩට යන්න කියන්නේ. මේ හැම දේකින්ම පේන්නේ මේ ආණ්ඩුව කොච්චරක් බංකොළොත්ද කියන එක" සජිත් කීවේය.

සමගි ජන බලවේගයට අනුබද්ධ සමගි සේවක සංගමයේ පළමු සංවත්සර උත්සවය පසුගිය දා (25) කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්විණි. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රමුඛ දේශපාලන නායකකාරකාදීන් රැසකගේ සහභාගිත්වයෙනි.

සමගි ජනබලවේගය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

"සමගි ජනබලවේගය අප සතු කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරය තමයි අපේ කම්කරු ශ්‍රමයට, එහි සාමාජිකත්වයට අපි වග වෙන්නත් ඕනේ වග කියන්නත් ඕනේ. මම ඔබ සියලු දෙනාටම හදපත්ලෙන්ම පොරොන්දු වෙනවා සමගි ජනබලවේගය රජයක් තුළ සාමාජිකත්වයටත් ඔබ සියලු දෙනාටත් රටේ කම්කරු ප්‍රජාවටත් අපි වග කියනවා; ඒ වගේම වග වෙනවා. එය ප්‍රකාශ කරන්නේ ඉමහත් ශක්තියකින් සහ විශ්වාසයකින්". සජිත් කීවේය.

රන්ජන් නිදහස් කරගැනීමේ සටන හරින්ගේ කරට

මේ අතර, සිරගතව සිටින රන්ජන්ව නිදහස් කර ගැනීම සඳහා සමගි ජනබලවේගය සිය අරගලය තවදුරටත් තීව්‍ර කොට තිබේ. සිය මන්ත්‍රීවරයා බලන්නට වැලිකඩ සිරගෙදරට ගිය සජිත් එළියට පැමිණ මාධ්‍යයට ප්‍රකාශ කොට සිටියේ රන්ජන්ව නිදහස් කරගැනීමේ අරගලය අලුත් වටයකින් ආරම්භ කරන බවය.

ඒ වගකීම සජිත් සිය පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී හරින්ට බාර දුන්නේය.

සියලු දෙනාම එකතු වී රට ගොඩනඟමු යැයි නාමල් රාජපක්ෂ ඇමතිවරයා ප්‍රකාශ කිරීමත් සමඟම හරින් කීවේ " රන්ජන්ව නිදහස් කර ගැනීමටත් දායක වෙමු කියාය.

අනතුරුව හරින් කළේ රන්ජන් නිදහස් කරගැනීමට දායක වෙන ලෙස ආණ්ඩු පක්ෂය ඇතුළු සියලුම පක්ෂවල මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටීමය.

ඒ සඳහා ඔහු අත්සන් ලිපියක් ද පිළියෙල කළේය.

ඒ සමඟම රටේ ජනප්‍රිය කලාකරුවන් ද තවත් පැත්තකින් රන්ජන් නිදහස් කර ගැනීමේ අරගලයට දායක විය.

"මේ වෙලාවේ කොහෙන් හරි රන්ජන්ට නිදහස ලැබෙනවා නම් ඒක තමයි විය යුත්තේ" හරින් කීවේය.

සල්ලි අච්චු ගහන මැෂිම රනිල්ගේ වැඩක්

නායක රනිල් බදාදා සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත ගොස් පක්ෂ ක්‍රියාකාරීන් හමුවූවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී ගත් තීන්දු සම්බන්ධයෙන් යෝජනාවලියක් මහලේකම් රංගේ සභාවට ඉදිරිපත් කළේය. එහිදි අනුමත වූ පරිදි ‍නව වසරට එළිදක්වන පක්ෂයේ දර්ශනය සකස් කරන්නැයි නායකයා එහිදි මහලේකම්ට දැනුම් දුන්නේය.

"මෙයාලට කිසි සැලසුමක් නෑ. ආණ්ඩුව කරන්නේ රට ආපස්සට ගෙනියන එක. තෙල් නැති නිසා දැන් පා පැදියේ රැකියාවට එන්න කියලා ඇමතිවරු කියනවා. ලයිට් නැති නිසා ලාම්පු කුප්පි පාවිච්චි කරන්න කියලා ඉස්සරහදී කියයි." සාගල ද කතාවට එකතු වූවේය.

"රටේ ඩොලර් නැති වුණාට රුපියල් නම් ඕන තරම් තියෙනවා. මේ මාසේ මුල් දවස් 25 ට විතරක් රුපියල් කෝටි 15,704 ක මුදල් අච්චු ගහලා. මේවා වෙළෙඳපොළට ආවාම ඉතින් ආර්ථිකයට දෙයියන්ගේ පිහිටයි." රංගේ කීවේය.

"මෙයාලා අපේ නායකතුමාට පින් දෙන්න ඕනේ ආර්ථිකය මෙහෙමවත් තියාගෙන යනවාට?" නියෝජ්‍ය නායක රුවන් කී විට සියල්ලෝම නායකයා දෙස බලන්නට වූහ.

"නෑ. රුවන් ඔය කියන්නේ මමනේ මුදල් අච්චු ගහන තෝමස් ඩිලාරෝ කොම්පැණිය බියගමට ගෙනාවේ. ඒක නිසා තමයි ආණ්ඩුවට මුදල් අච්චු ගසමින් ආර්ථිකය කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ." රනිල් කීවේ සිනාසෙමිනි.

"ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයත් රටපුරා පැතිර යනවා. හැම පැත්තෙන්ම අහන්න ලැබෙන්නේ කොවිඩ් රෝගීන් ගැන. රෝහල් පිරිලා. අනෙක් පැත්තෙන් ඇන්ටිජන් කට්ටල ගේන්න මුදල් නෑ. ඇන්ටිජන් කට්ටල නැති නිසා දැන් ඇන්ටිජන් පරීක්ෂණ කරන්න විදියකුත් නෑ." වජිර පැවසුවේ කනස්සල්ලෙනි.

"ආණ්ඩුවට කිසිම දේක සැලසුමක් නෑ. දෙසැම්බර් ජනවාරි මුල් සතිවල නිවාඩු වැඩියෙන් තිබුණ නිසා මිනිස්සු රට වටේ සංචාරයේ ගියා. අනතුරක් තියෙනවා කියලා ආණ්ඩුව ජනතාවට කියන්න තිබුණා. ගමන් බිමන් යන්න එපා කියන්න තිබුණා. දැන් මේ නිසා නැවත ඔමික්‍රෝන් පැතිරෙන්න පටන් අරගෙන. අපිත් ජනතාව එක්රැස් කරද්දී පරිස්සමෙන් වෙන්න ඕනා." නායක රුවන් කීවේ සියල්ලන් දෙස බලමිනි. නායකයා බ්‍රහස්පතින්දා පෙරවරුවේ සිය පැරණි සේවකයෙකුගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යයේ සාක්ෂිකරුවකු ලෙස අත්සන් කිරීම සඳහා වැලිවේරියට ගියේය.

ගාල්ලේ දී වජිර සමඟ ගෑස් ටැංකි, පාන්ගෙඩි උඩයයි

පසුගිය සඳුදා දිනයේ ගාල්ල දිස්ත්‍රික් ආසන සංවිධායකවරු සහ ක්‍රියාකාරීන් ගාල්ල රිච්මන්ඩ්කන්ද හසාරා හෝටලයට කැඳවූ වජිර "අඟහරුවාදා උද්ඝෝෂණය පවත්වන්නේ කාටවත් මඩ ගහන්න, කාටවත් වෛර කරන්න, කාටවත් අපහාස කරන්න හෝ වෙනත් පටු අරමුණකින් නොවේ, අප මේ උද්ඝෝෂණය පවත්වන්නේ ජනතාව හා රට පත්ව සිටින පීඩාකාරී තත්ත්වයෙන් මුදා ගැනීමේ අරමුණ ඇතිවයි. ඒ නිසා උද්ඝෝෂණයට ජනතාව සහභාගී කරවීමේ සිට එය අවසන් වන තුරු සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කරමින් සිටින ලෙස ඔබ සමඟ එන සියලු දෙනාට උපදෙස් ලබා දෙන්න" යැයි ප්‍රකාශ කරමින් උද්ඝෝෂණයට එන ජනතාවට ලබා දීම සඳහා කොළ පැහැති මුඛ ආවරණ ද ඔවුන්ට ලබා දුන්නේය. සංවිධානය කරගත් පරිදි අඟහරුවාදා සවස 03.30 පමණ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල සිට අති විශාල ජනකායක් ගාල්ල නගරයේ ස්ථාන දෙකකට එක්රොක් වූහ. එතැන් සිට විරෝධතා පුවරු හා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් ඔවුන් පා ගමනින් ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටට පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, හිටපු ඇමති පාලිත තෙවරප්පෙරුම, ශාන්තිනී කෝන්ගහගේ, කළුතර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න ප්‍රමුඛ ගාල්ල දිස්ත්‍රික්කයේ සංවිධායකවරු හා ක්‍රියාකාරීන් පෙරටු කරගෙනය. කෘෂි කර්මාන්ත ව්‍යාපාරය ඇතුළු විවිධ ක්ෂේත්‍ර නිරූපණය වන ආකාරයට විනාශ වූ තේ ගස්, බඩ ඉරිඟු ගස්, ගොයම් පැළ මෙන් ම වෙළඳපොළේ භාණ්ඩ මිළ ඉහළ යාම හා භාණ්ඩ හිඟය නිසා තමන් පීඩාවට පත්ව සිටින බව පෙන්වීමට පාන් ගෙඩි, හිස් ගෑස් ටැංකි, දර මිටි, හිස් කිරි පිටි පැකට් ආදිය රැගෙන පැමිණි පිරිස සිය නායකයන් සමඟ එක්ව විවිධ සටන් පාඨ කියමින් උද්ඝෝෂණය ආරම්භ කළෝය. ගෑස් ටැංකි ඔසවමින් පාන් ගෙඩි උඩ දමමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

ප්‍රාදේශීය සභා දෙකක සහ නගර සභාවක බලය පොහොට්ටුවට

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව බලය පිහිටුවනු ලැබූ හොරොව්පතාන ප්‍රාදේශීය සභාව, කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාව සහ බළංගොඩ නගර සභාවේ බලය යළි පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය 27 වැනිදා සමත් විය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී බළංගොඩ නගර සභාවට හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාවෙන් මන්ත්‍රී ධූර 07 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ අතර මන්ත්‍රී ධූර 06 එක්සත් ජාතික පක්ෂයටත් මන්ත්‍රී ධූර 03 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් හිමි විය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව නගර සභාවේ බලය පිහිට වීය. එහෙත් බළංගොඩ නගර සභාවේ වාර්ෂික අය වැය ලේඛනය පසුගිය දෙසැම්බර් මස සභාවට ඉදිරිපත් කිරීමේ දී 2021 දෙසැම්බර් 14 සහ 29 දින එය පරාජයට පත් වූ අතර ඒ අනුව ආණ්ඩුකාරවරයා විසින් සභාපතිවරයා බලයෙන් ඉවත් කරනු ලැබීය. එසේම කහටගස්දිගිලය සහ හොරොව්පතාන ප්‍රාදේශීය සභාව සඳහා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නව සභාපතිවරුන් දෙදෙනෙක් පත් කර ගැනීම 27 වැනිදා සිදුවිය.

Comments