
අපේ රටේ ප්රමුඛ විද්වතෙක් වූ විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග යළි අන්තර්ජාතිකව සම්භාවනාවට ලක් වී සිටියි. ඒ ජපාන රජයෙන් සිවිල් වැසියෙක් වෙත පිරිනැමෙන උසස්ම සම්මානයෙන් පිදුම් ලබමිනි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමරතුංගයන් පිදුම් ලබන්නේ ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන ජපන් අධිරාජ්‍යයාගේ “සූර්ය ස්වර්ණ” (The Order of the Rising Sun)) සම්මානයෙනි. රන් රිදී ලෝකඩ ලෙස සම්මාන ත්‍රිත්වයක් මේ අරභයා පිරිනැමේ. අමරතුංගයන් පිදුම් ලබන්නේ රන් සම්මානයෙනි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග දෙවතාවක් ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපකුලපති ධූරය දැරූ පරිචය ඇත්තෙකි. ජපානයෙන් උසස් අධ්‍යාපනය ලබමින් ජපානයේත් සම්භාවනාවට ලක් වූ විද්වතෙකි.
ජපන් සමාජය අතිශයින්ම කෘතවේදී මිනිසුන්ගෙන් සමන්විත මානව ගුණය විදාරණය කළ සමාජයකි. ඔවුහු තමන්ගේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් අර්ථාන්විත කැපකිරීමක් කළ විදේශිකයන් දෙදෙනෙක් සඳහා වාර්ෂිකව “සූර්ය ස්වර්ණ“ සම්මානය පුදති.
එය ඒ පුද්ගලයාට ඔහුගේ දැනුමට සහ ජාතිකත්වයට කළහැකි උත්තම ගෞරවය ලෙස ඔවුහු සලකති. සම්මානයේ ප්‍රකාශිත නිමිත්ත ජපානය සමඟ මිත්‍රශීලී සබඳතාව වැඩිදියුණු කිරීම සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් ජපාන රජය විසින් කරන ඇගැයීමය. ජපන් සංස්කෘතිය හා බැඳුණු ඉතිහාසයක් ඇති මෙම සම්මානය පිදීම සම්මත වන්නේ වර්ෂ 1875 දී ජපානයේ මෙයිජි (Meiji) අධිරාජ්‍යයා දෙන ලද නියෝගයකිනි.
“සූර්ය ස්වර්ණ” (The Order of the Rising Sun) සම්මානය පිරිනැමීමේ උත්සවය පසුගිය 22 දා පස්වරුවේ පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක මහා විහාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයාකි අතින් සම්මානය භාරගත් ජනාධිපතිවරයා එය ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග වෙත පිරිනමනු ලැබීය.
ජීවිතයේ එක් වරක් පමණක් පුද්ගලයකුට පිරිනැමෙන “සූර්ය ස්වර්ණ“ සම්මානයෙන් සම්මානිත ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංගයන් විමසුවෙමු.
“ මේ සම්බන්ධව මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා. මොකද මේ වගේ සම්මාන ඉල්ලලා ගන්න පුළුවන්කමක් නෑ. සම්මානය දෙන්න සුදුසු පුද්ගලයා තෝරන්නෙ ජපන් බලධාරීන්. ජපානය හා ලංකාව අතර සහයෝගීතාව වැඩි වෙන්න මා යම් දෙයක් කරලා තිබුණා නම් එය ගැන සැලකිලිමත් වීමක් තමයි මෙතන වෙලා තිබෙන්නේ. මා කළ දෙයක් වේ නම් එය සම්පූර්ණයෙන්ම ලිපිගොනු වශයෙන් ජපන් රජයේ කැබිනට් මණ්ඩලයත් පාර්ලිමේන්තුවත් දැනුම්වත් කරලා තමයි ජපන් අධිරාජ්‍යයා විසින් මේ සම්මාන ප්රදානය පිළිබඳ තීන්දුව ගන්නේ. ජපානයේ තිබෙන නිර්මලත්වය එයින් පැහැදිලි වෙනවා. මේ සම්මානය හිමි වුණු බව ප්‍රකාශයට පත් කරනකම් අදාළ පුද්ගලයා ඒ බව දන්නෙ නෑ.“
ඒ ගැන ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයා පවසයි.
මීට පෙර මෙම සම්මානයෙන් සර් ජෝන් කොතලාවල පිදුම් ලද බව අසා ඇත්තෙමු. දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලියු. ආර්. ඩී බණ්ඩාරනායකයන් වෙඩි වැදුණු අවස්ථාවේ දී ශල්‍යකර්මය කළ ශල්‍ය වෛද්‍ය විශේෂඥ පී. ආර්. ඇන්තනීස් වෙතත්, විශිෂ්ට සිනමාවේදීනි සුමිත්‍රා පීරිස් වෙතත් මේ ස්වර්ණ සූර්ය සම්මානය පිරිනමා තිබේ.