
භාෂණ නිදහස සඳහා ඉංග්‍රීසි ප්‍රවර්ධනය කරන්න
ජේසුදාසන් රොෂාන් (44)
දෙකටන - (ලිපිකරු)
යටත් විජිත වාදයෙන් මිදිලා ශ්‍රී ලංකාවට ලැබුණු නිදහස අපිට බොහෝ වටිනවා තමයි. ස්වාධීන රාජ්‍යයක් ලෙස තීන්දු තීරණ ගැනීම, ඒවා ක්‍රියාත්මක කිරීම, අන්තර් රාජ්‍ය සබඳතා පැවැත්වීම නිදහසින් පසු අප ලබාගත් ජයග්‍රහණ ලෙස සැලකිය හැකියි.
මෙහිදී මා දකින අඩුපාඩුවක් තියෙනවා. සිංහල රාජ්‍ය භාෂාව කළාට අන්තර්ජාතික සබඳතා විතරක් නෙමෙයි. ශ්‍රී ලංකාව මඟින් රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශයේ කටයුතු කෙරෙන්නේ ඉංග්‍රීසියෙන්.
ලංකාවේ පාසල් විෂය ධාරාවේ ඉංග්‍රීසි උගන්වන්නෙත් විනාඩි 45 ක එක පීරියඩ් එකයි. සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්නා සරසවි සිසුන්ගේ පවා ඉංග්‍රීසි දැනුම මදි. එනිසා ඉංග්‍රීසි භාෂාව නිදහසේ හැසිරවීම ප්‍රවර්ධනය කළ යුතු යැයි මා සිතනවා.
සුළු ප්‍රශ්න තිබුණත් අපි ලොකු නිදහසක් අත්විඳිනවා
ආර්.එම්.කේ.ඩබ්. කුමාරි (50)
කැලණිය - රක්ෂණ විධායිකා
අපේ අනන්‍යතාව, සිරිත් විරිත්, හා ආගමික නිදහස ඇතුව කටයුතු කරන්න හැකිවෙලා තිබීම ලොකු දෙයක්. ඒ වගේ ම දිගුකාලීනව පැවැති උතුරු නැඟෙනහිර යුද්ධයෙන් දුක් වින්දා, දැන් යුද්ධය නිමාවෙලා සාමය භුක්ති විඳිය හැකි වාතාවරණයක් උදාවෙලා. ඒ වගේ ම සහරාන්ගේ ප්‍රහාරය නිසාත් බස් රථවල, දුම්රියවල බෝම්බ තබා මහා පරිමාණ මිනිස් ඝාතනවලින් මිනිස්සු දුක් වින්දා.
දැන් ඒවා අඩුයි. වර්තමානයේ අධ්‍යාපන, ආර්ථික, සාමාජීය ක්ෂේත්‍ර යේ සුළු සුළු ගැටුම් කඩාවැටීම් නම් තියනවා. නමුත් යුද්ධය තිබුණු කාලයට වඩා නිදහසක් තිබෙනවා.
නාමික වශයෙන් නිදහස ලැබුණට ඇත්තටම නිදහසක් නෑ
නුවන් ආසිරි හේරත් (35)
ගලහිටියාව - ව්‍යාපාරික
නාමික වශයෙන් අපට නිදහස ලැබුණාට රටේ ආර්ථික, දේශපාලන, සාමාජීය නිදහසක් නෑ. රට විදේශ ණය බරින් මිරිකිලා. ආර්ථිකය විනාශ වෙලා මිනිස්සු අගාධයට වැටිලා. ගොවිතැනට ප්‍රශ්න තියනවා. ආගමික ලෙස බෙදිලා. පාස්කු ප්‍රහාරය නිසා සිංහල මුස්ලිම් ගැටුමක් ඇතිවෙලා. ක්‍රිස්තියානුවන් සමඟ ගැටුම් ඇති කරගන්න හදනවා. නැවතත් බෝම්බ තියලා. වසර ගණනාවක් තිස්සේ. රටේ භෞතික සම්පත් දියුණු කලාට ප්‍රතිලාභයක් ලැබිලා නෑ. සමහරු විදේශගත වෙන්න හදනවා. චීනය, බංගලාදේශය, ඇමෙරිකාව වගේ රටවලින් විදේශ අත පෙවීම් වැඩියි. මේවා වෙනස් කරන්න නම් ජාතික වැඩපිළිවෙළකට යා යුතුයි.
නිදහස කියන්නේ වචනයක් විතරයි
සුමිත් ප්‍රියන්ත (53) කළුතර
- යුද හමුදා විශ්‍රාමික නිලධාරී
උතුරු - නැගෙනහිර ත්‍රස්තවාදී යුද්ධය නිසා වසර 25 ක් තිස්සේ මිනිස්සු දුක් වින්දා. මම 1989 සිට 2015 දක්වා යාපනයේ මෙහෙයුම් ප්‍රදේශවල සිටියේ. ප්රභාකරන් අල්ලලා යුද්ධය නිමා කරන්න අපි දායක වුණා.
යුද්ධය නිසා දෙමාපියන්ට දරුවෝ නැති වුණා. බිරින්දෑවරුන්ට සැමියන් නැති වුණා. සමහර දරුවන්ට පියවරු නැති වුණා.
රටට නිදහස ලබාදෙන්න ඒ පිරිස් පුදුම තරම් කැපවීම් කළා. ඒත් මේ කැපවීම් කරපු සමහර අයට සාධාරණය ඉටුවෙලා නෑ. විශ්‍රාම ගියාට නිදහසක් නෑ.
දේශපාලනඥයන්ට තියන සැලකිලි නෑ. මොන රජයන් ආවත් සාධාරණය ඉටු නොවූ පිරිස් තාමත් ඉන්නවා. ඉතින් නිදහස කියන එක වචනයක් පමණයි අපට නම්.
කොරෝනාවෙන් අහිමිවූ නිදහස ජය ගැනීමේ වගකීම ජනතාව අතේ
දමයන්ති ජයසේකර (58) මාලබේ
- නිෂ්පාදන කළමනාකාරිනී
ශ්‍රී ලංකාවට නිදහස ලැබිලා ජනතාව වාර්ෂිකව ඒ නිදහස ඉහළින් ම සමරනවා. නිදහසේ සිතන්න, කතා කරන්න, සංචාරය කරන්න, රැකියා කරන්න, කොටින් ම කියනව නම් නිදහස්ව නිවහල්ව ජීවත්වෙන්න නිදහසක් ලාංකිකයන්ට ලැබිලා තියෙනවා.
ඒත් මුළු ලෝකෙටම බලපෑ කොරෝනා උවදුර නිසා ශ්‍රී ලාංකික අපිටත් පහුගිය දෙවසර පුරාම නිදහසක් තිබුණේ නෑ. ශාරීරික - මානසික නිදහසත් අහිමි කරගෙන. ත්‍රස්තවාදය දුරු කළ නිසා නිදහසක් තියනවා. ලැබුණු නිදහස නැවත අහිමි කර නොගැනීමේ වගකීම තියෙන්නෙත් සාමාන්‍ය ජනතාව අතේම තමයි.
කාලෙන් කාලයට නිදහස සීමාවීම් තියෙනවා
මොහොමඩ් ඉනාෆ් (27)
ගාල්ල - ස්වයං රැකියාව
එක එක කාලෙට ‘නිදහස‘ සීමාවීම් තිබුණා. අතීතයේ විදේශ ආධිපත්‍යයන්ට යටත්වෙලා තිබුණා. පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන්ගෙන් මිදිලා නිදහස ලැබුවා. ඉන්පසුව ත්‍රස්තවාදී යුද්ධයෙන් දිගු කාලයක් තිස්සේ ජනතාව බැටකෑවා. යුද්ධය නිමා කළ නිසා ඒ භීතිකාවෙනුත් මිදුණා.
කොරෝනා උවදුර, ඩෙංගු, මැලේරියාව වගේ බෝවන රෝග නිසාත් ජනතාවගේ නිදහස අහිමිවෙලා ගියා. සහරාන්ගේ බෝම්බ සිද්ධියෙනුත් කායික, මානසික, නිදහස අහිමිවුණා.
දැන් මිනිස්සු කවුරුත් ආර්ථික යුද්ධයක පැටලිලා. ජීවන අරගලයක යෙදෙනවා. මේවායින් නිදහස සොයා යනවා.