තරු පායා සැඟවී ගිය ද එහි ආලෝකය බොහෝ කල් බැබළෙයි | සිළුමිණ

තරු පායා සැඟවී ගිය ද එහි ආලෝකය බොහෝ කල් බැබළෙයි

 (අල්හාජ් බාකිර් මාකාර් මැතිතුමාගේ සියවන ජන්ම දින සැමරුම වෙනුවෙනි)

දෙවියන්වහනසේ අපට ප්‍රේම කරන්නේ අප තුළ ඇති වටිනාකමක් නිසා නොවේ. අප තුළ වටිනාකම ඇති වන්නේ උන්වහන්සේ අපට ප්‍රේම කිරීම නිසාය”. ඇමෙරිකානු කළු ජනතාවට නායකත්වය දුන් මාර්ටින් ලූතර් කිං එසේ කියා තිබේ. මිනිසෙකුගේ වටිනාකම පිළිබඳව වූ මේ විශ්වාසය මැනවින් ග්‍රහණයකර ගත් ශ්‍රී ලාංකික ජනතාවාදී නායකයෙක් ලෙස දිවංගත අල්හාජ් බාකිර් මාකාර් මැතිතුමා හඳුන්වා දීමටපුළුවන. එතුමා උපතින්ම ඉස්ලාම් භක්තිකයෙක් විය. එම නිසාම තමා විශ්වාස කළ දහමෙහි විශ්වාසය සමඟ තම ජීවිතය හැඩ ගස්වාගනු ලැබුයේඅපරිමිත භක්තිය සහ විශ්වාසය පදනම්කර ගනිමිනුයි. තමාගේ වටිනාකම වැඩිවන්නේ හෝ නැතිවන්නේ දෙවියන් වහන්සේ තමාගේ කාර්යයන් පිළිබඳව කරන්නා වූ විනිශ්චය තුළ බව එතුමා විශ්වාස කළේය.

එනිසාම, සිය ජීවිතය තුළ සෑම කාර්යයක්ම ඉටුකළේ ඉස්ලාමයේ ප්‍රධානතම මග පෙන්වීම වන”විශ්වාසය”යන්න තහවුරුවන අන්දමටයි.

ශ්‍රී ලංකාව යනු බහු ජාතික, බහු භාෂාමය, බහු වාර්ගික රටක් බව එතුමා දැන සිටියා පමණක් නොව එය විශ්වාස කරමින් එම විවිධත්වය තුළ ඇති විචිත්‍රත්වය සෑම විටම රටට පෙන්වා දීමටඋත්සුක විය. එහි දී ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව වූ සිංහල ජනතාවත්, ඔවුන් බහුතරයගේ ආගම වූ බුදුදහමත් රටේ ප්‍රමුඛස්ථානයක ලා සැලකීම කිසිවිටෙක හෙලා නොදුටු අතර, ඒ ජනතාවගේ අපේක්ෂාවන් වෙනුවෙන් නොබියව පෙනීසිටීමට ද ක්‍රියා කළේ, ජාතිවාදය හෝ ආගම්වාදය කරපින්නා ගනිමින් භේදය තුළින් ජනතා නායකයින් වීමට දරන උත්සහයන්ට කදිම පිළිතුරක් ලබා දෙමිනුයි.

සෑම ආගමකම සාරය සහ දර්ශනය බාකිර් මාකර් මැතිතුමාගේ දැනුම් සම්භාරය තුළ ගොනුවී තිබුණි. අන්‍ය ආගම්වලට ගරහන්නා සැබෑ බෞද්ධයෙක් නොවන බව ධර්මාශෝක රජතුමා සිය ටැම් ලිපියක සඳහන්කර තිබේ. ධර්මාශෝක රජුගේ එවැනි උදාර මග පෙන්වීම් පිළිබඳව මනා අවබෝධයක් තිබූ බාකිර් මාකාර් මැතිතුමා සෑම විටම සිය සිතුවිලි සහ ක්‍රියාපිළිවෙත් තුළින් තමා ජීවත් වූ කාල සීමාවට වඩා ඉදිරියෙන් සිතූ, ඒ අනුව ක්‍රියාකළ උදාර මිනිසෙක් බව සටහන් කළ යුතුයි.

ජාතියක් බිහිවන්නේ සමූහයක් වශයෙන් සිතීමට හා ක්‍රියාකිරීමට ජනතාව පොළඹවන නිර්මාණ මගින් බව එරික් හොබිස් බෝම් නම් විද්වතා සම්ප්‍රදාය නිර්මාණය කිරීම (Invention of Tradition) නම් ලියවිල්ලේ සටහන් කොට ඇත. එයට මග සැලසෙන්නේ ජාතියක් වශයෙන් සමූහ ගතවීමයි. ජාතික භාෂාව සහ සංකේත, ජාතික ධජය යනාදියෙන් පෙළවීම් මිනිසුනට අවශ්‍ය බව එරික් හොබිස් බෝම් පෙන්වාදෙයි.

බාකිර් මාකාර් මැතිතුමා ශ්‍රී ලාංකේය අනන්‍යතාව තුළ ශ්‍රී ලාංකේය ජාතියක් ගොඩනැංවීමට සිංහල බස රාජ්‍යභාෂාව බවට පත්කිරීමේ දී එයට දායක වූයේ නව සම්ප්‍රදායක් ගොඩනැංවීමේ දී රටකට අවශ්‍යවූ මූලික පෙලඹවීම් මැනවින් හඳුනා ගත් නිසයි. එසේ ක්‍රියාකරන විට පෙරලා අනෙකුත් භාෂාවන් සඳහා වූ අවස්ථාව කෙසේ විය යුතු ද යන්නත් එතුමා සඳහන් කළේ රටක අභිවෘද්ධියට හද ගැස්ම හඳුනන හද බස නිසි තැන තිබිය යුතු බව විශ්වාස කළ නිසයි.

අතීතය මැනවින් හඳුනා ගනිමින් වර්තමානය සකස් කොට අනාගතය ගොඩනගන්නට අවශ්‍ය තුන් කල් දකින ගුණාංගය, පොදු ජනතා මෙහෙවරට ප්‍රවිෂ්ඨ වන්නන්ට තිබියයුතු අත්‍යාවශ්‍යම ගුණයකි. අල්හාජ් බාකිර් මාකාර් චරිතාපදානය ගැඹුරින් විමසන කෙනකුට මෙම ගුණය එතුමාගේ ක්‍රියාපිළිවෙත තුළ මැනවින්හඳුනා ගැනීමට පුළුවන. බාකිර් මාකර් මැතිතුමාගේ චරිතාපදානය යනු එතුමාගේ පරපුරේ ඉතිහාසය, දේශපාලන ක්‍රියාකාරකම් තුළ ලඝු කොට සටහන් කළ යුත්තක් නොවේ. සැබෑ චරිතාපදානය ඉස්මතු කර ගැනීමටනම් එතුමාගේ ජීවන දර්ශනයේ ගැඹුර විමසා බැලිය යුතුය. රට පිළිබඳව වූ එතුමාගේ හැඟීම්, තම දරුවන් පිළිබඳ අනුගමනය කළ ක්‍රියා පිළිවෙතත්, තම දේශපාලනය පිළිබඳ වූ දැක්ම ආදී විවිධ ක්ෂේත්‍ර තුළ එතුමාගේ හැසිරීම් එකිනෙක අධ්‍යනය කළ හොත් තුන් කල් දුටු දර්ශනයක නිදසුන් රැසක් අපට නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙනු ඇත.

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ලෙස නොව ශ්‍රී ලාංකේය ලෙසත්, බෞද්ධ, හින්දු, කතෝලික, ක්‍රිස්තියානි ලෙස බෙ දී වෙන්ව නොව ආගම්වල හරයන් තුළින් අපට එකමුතු විය හැකි බව එතුමා තරයේ විශ්වාස කළේ ඇයි? තම දරුවනට සිංහල භාෂාව ඉගැන්වීමටත්, මුස්ලිම් පාසැලක අධ්‍යාපනය ආරම්භකොට, බෞද්ධ පාසලක අධ්‍යාපනයට යොමුකරමින් සිංහල මාධ්‍ය තුළින් විශ්ව විද්‍යාලය තෙක් අධ්‍යාපනය ලබාදෙන්නට මග සැලසුවේ ඇයි? දේශපාලනයේ අභියෝගාත්මක තීරණ තීන්දු ගන්නට සිදු වූ මොහොතේ දී දේශපාලනයෙන් සමුගන්නට පසුබට නොවූයේ ඇයි? මෙවැනි කරුණු පිළිබඳව විචාරශීලීව ගවේෂණාත්මකව අප කරුණු හදාරන්නේ නම් අල්හාජ් බාකිර් මාකාර් චරිතාපදානය යළි ලියන්නට පුළුවන.

වාර්ගික හෝ සාමයික බෙදීම් බාකිර් මාකර් මැතිතුමා කිසි කලෙක අනුමත කළ පිළිවෙතක් නොවේ. ශ්‍රී ලංකාවේ බහු ආගමික, බහු වාර්ගික ජනතාවක් ජිවත්වන බැවින් සාමයික, සාමග්‍රීය ද අත්‍යාවශ්‍ය සාධකයක් බව එතුමා මැනවින් දැන සිටියේය. පන්සල, පල්ලිය එක ලෙස ඇසුරු කළ එතුමා ධම්මපදයේ මග පෙන්වීම්, කුරානයේ අතිපාරිශුද්ධ ජීවන රටාව නිසි ලෙස වටහා ගැනීමට සමත් වූවා පමණක් නොව එය ශ්‍රී ලංකාවේ සෑම දරුවෙකුටම මග කියන බව සිය දරුවන්ගේ ජීවිත රටාව තුළින් ම ප්‍රායෝගිකව පෙන්වා දුන්නේ අවවාදයට වඩා ආදර්ශය උතුම් බව වචනයෙන් නොව ක්‍රියාවෙන්ම පෙන්වා දෙමිනුයි.

බාකිර් මාකර් මැතිතුමාගේ ජීවන චරිතය තුළ උපේක්ෂාව, මධ්‍යස්ථ බව කැපීපෙනුන ලකුණකි. කිසිවිටෙක කිසිවෙකුගෙන් පළිගැනීමට උත්සහ නොකළේය.

සැබැවින් ම අප හැදෑරිය යුත්තේ බාකිර් මාකාර් මැතිතුමා අපට පෙනෙන්නට ඉටු කළ සේවාවන් පමණක් ම නොවේ. එම සේවාවන් ඉටු කිරීමේ දී එතුමා මුහුණු දුන් මානසික සහ චිත්තාවේග කෙසේ වන්නට ඇද්ද? ඒවා කළමනාකරණය කර ගැනීමට දැරූ ප්‍රයත්නයන් සහ උපාය මාර්ගයන් මොනවාද යන්නයි.

එතුමා බොහෝ විට සිය යුතුකම් ඉටුකළේ විවිධ ආරවුල් සහ ආවේගවල ගැටුමකට මුහුණ දෙමිනුයි.

ශ්‍රී කෘෂ්ණා යුදපිටියේ දී අර්ජුනට දුන් උපදේශයක් භගවත් ගීතාවේ දී අපට දකින්නට ලැබේ. පොදු යුතුකම් පිළිබඳව සංකල්පය ලෙස හඳුන්වන එම උපදේශය අල්හාජ් බාකිර් මාකර් මැතිතුමාට මඟ පෙන්වූවාට කිසිදු සැකයක් නැත. එහි කියැවෙන්නේ ”ආරවුල් මැද්දේ හා ආවේගවල ලොකු ගැටුමක් පවත්නා අවස්ථාවක දී මුත් ඔබ නොපිරිහෙලාම ඔබගේ රාජකාරී ඉටුකළ යුත්තේ ඔබගේ ක්‍රියාවේ විපාකය අපේක්ෂා කරන නිසා නොව එය ඉටු කිරීම ඔබගේ යුතුකම වන බැවිනි.”

අල්හාජ් බාකිර් මාකර් මැතිතුමා සිය ජීවිතය තුළ ඉටුකළ සෑම මෙහෙයක්ම ඉටු කොට ඇත්තේ ක්‍රියාවේ විපාකය ගැන සිතමින් නොව සිය යුතුකම ඉටුකිරීම ප්‍රමුඛතම තැන තබමිනුයි.

එතුමාගේ සියවන ජන්ම දින සැමරුම පවත්වන මොහොතේ අල්හාජ් බාකිර් මාකර් මැතිතුමාගේ චරිතාපදානය ගැඹුරින් කියවිය යුත්තේ, උපත සහ විපත අතර භෞතිකව සටහන්වූ දෙයට ඔබ්බෙන් ගැඹුර විමසා බැලියයුත්තේත්, පූර්වාදර්ශ නොව පරමාදර්ශී චරිතයක සළකුනු රටට ලබාදීම තරම් උතුම් මෙහෙවරක් ඒ තුළ ගැබ්ව ඇති නිසයි .

සැබැවින්ම අල්හාජ් බාකිර් මාකාර් මැතිතුමා පරමාදර්ශී ජීවිතයක මහිමය අපට පෙන්වා දී තිබේ.

හෙන්රි වර්ඩ්ස්වර්ත් කවියා ලියූ පද්‍යපන්තියක සටහන් වන්නාක් මෙන් තාරකාවන් ඈත අජටාකාශයේ නිවී ගිය ද, එහි ආලෝකය කප් සුවහසක් මුළුල්ලේ ඒ සා දුර විශ්වයේ සිට පෘථිවියට විහිදමින් මිනිස් ඇසට ලක් වන සේ බැබලෙයි.

එසේම, ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් අභාවයට පත් වුවද අපට නොපෙනෙන බොහෝ දිගු කාල පරිච්ඡේදයක් පුරා ඒ චරිතය දිළිඳු මිනිස් දිවි පෙවතට එළිය දෙයි.

වර්ඩ්ස්වර්ත් කවියාගේ පරිකල්පනය ද අල්හාජ් බාකිර් මාකාර් මැතිතුමාගේ ජීවිතය පිළිබඳ වූ විවරණයකි.

ඒරානන්ද හෙට්ටිආරච්චි

Comments