
බුදුන් වහන්සේ, සිද්ධාර්ථ කුමරු වශයෙන් උත්පත්තිය ලැබීම, සිද්ධාර්ථ ගෞතම නමින් බුද්ධත්වයට පැමිණීම හා පිරිනිවීම යන සිද්ධීන් අනුස්මරණය කරන වෙසක් උත්සවය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ ලෝකයද සහභාගි කරගනිමිනි. එයට පසුබිම වූ මෑත කාලයේ සිදු වූ සිද්ධීන් හා ශ්‍රී ලංකාවේ ඒ සඳහා වූ දායකත්වය බෙහෙවින් ලොව තුළ ප්රකටය. ‘එක්සත් ජාතීන්ගේ වෙසක් දින උලෙළ’ නමින් හැඳින්වෙන මේ උත්සවයට රාජ්‍ය අමුත්තන් රැසක් සහභාගි වන බවද, ඒ පිරිස අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රාජ්‍ය නායකයකු ලෙස මුල් තැනක් ගන්නා බවද පැවසේ. එවන් මොහොතක ශ්‍රී ලංකා - ඉන්දියා සබඳතාවල මූලික පදනම බෞද්ධාගම බව අතිශයින් පැහැදිලි වේ. ඒ සත්‍යය ගැන ඓතිහාසික කරුණු ශ්‍රී ලාංකික අපි කවුරුත් හොඳින් දනිමු. ඒ තොරතුරු අනුස්මරණයක් කිරීම පමණක් මේ ලිපියේ අරමුණ වේ.
අශෝක අධිරාජයා
බුදු දහම ශ්‍රී ලංකාවට ගෙන ආ අශෝක අධිරාජයාගේ පුත් මිහිඳු හිමි මහින්ද රහතුන් වහන්සේ ගෙන් මේ බෞද්ධ සබඳතා ඇතිවේයැයි ලේඛනගත වී ඇත. එහෙත් ඊට පෙරද බුදුරදුන් ජීවමානව විසූ කාලයේදීම ‘ධර්මය’ සමඟ මේ දිවයිනට දඹදිවින් විවිධ ක්ෂේත්රවල අය පැමිණියහ. 'ලක්දිව බුදු සමයේ ඉතිහාසය' නම් ග්‍රන්ථයෙන් වල්පොළ රාහුල සමිඳු මේ බව පවසති. 'ක්ෂත්රීයයන්ට නෑකම්' කියන දකුණු ඉන්දීය ජන කොටස්, බෞද්ධාගම පිළිබඳව තොරතුරු ගෙනෙන්නට ඇත. උත්තර භාරතයේ සිට දක්ෂිණ ඉන්දියාවට පැමිණි වෙළෙඳුන් ශ්‍රී ලංකාවටද පැමිණියහ. ඔවුහුද මේ උතුම් දහම පිළිබඳව ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළහ. අශෝක අධිරාජයාගේ දූත මහින්ද හිමිට පෙර, ශ්‍රී ලංකාවට තම්බපණ්ණියට දහම සමඟ පැමිණියහ. මේ බව සනාථ කරන ලේඛන අතර එච්. ඔල්ඩෙන්බර්ග් ගේ හා මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ අදහස් මුල් වේ.
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ මුල් ම ග්රන්ථ වන මහාවංශය හා දීපවංශය ලේඛනගත කරන ආකාරයට බුදුන් වහන්සේ තෙවරක්ම ශ්‍රී ලංකාවට වැඩම කළ සේක. ඒ පිළිබඳ විග්‍රහයක් 'ලංකා ඉතිහාසය වෙළුම - 1' ග්‍රන්ථයේ ආරම්භක පරිච්ඡේදයේ සඳහන්ය. එහි සඳහන් අයුරු මේ කතා පුවත ඇත්තේ ‘ශ්‍රී ලංකාව ධර්මද්වීපයක්’ යන සංකල්පය තහවුරු කිරීමටය. චිරාත් කාලයක් බුදු සසුන ස්ථාපිත වන ශ්‍රී ලංකාව මිථ්‍යාදෘෂ්ටීන්ගෙන් මුදාගත යුතුය යන අදහස ඒ තුළින් ගම්‍ය වෙයි. ඇතැම් බටහිර ලේඛකයන් මේ කතා පුවත් ජනප්‍රවාද පමණක් යැයි බැහැර කිරීම අප පිළිකෙව් කළ යුතුය. අප දේශයට මෙසේ තෙවරක් වැඩම කළ බුදුන් වහන්සේගේ ධර්මය පිළිබඳ අදහසක් මෙහි විසූ යක්ෂ, දේව හා නාග ගෝත්‍ර අතරද වී යැයි ස්ඵුට වේ.
විජයගේ පැමිණීම
වංග දේශයෙන් ශ්‍රී ලංකාවට විජය කුමරා පැමිණෙන්නේද මේ කාල වකවානුවේදීය. වංශ කථාකරුවන් පවසන පරිදි බුදුරදුන් මලල රජදරුවන්ගේ කුසිනාරා නුවර සල්ගස් සෙවණේ මහා පරිනිර්වාණයට පිවිසෙන වෙසක් දිනයේදීම (ක්‍රි.පූ. 543) විජය කුමරා තම්බපණ්ණියට ළඟා වේ. ආදිම හෙළයන්ට අයත් වූ මේ දිවයිනෙහි දඹදිවින් පැමිණි කුමරයකු හට රාජ්‍යයක් අරඹන අයුරු විජය කුවේණි වංශකථාව හෙළිදරවු කරයි. මෙහි යටගිය අදහසට ඉන්දීය ආගම් සංස්කෘතියක් වැලඳගත් ජන කොටසකට අයත් බව කීමයි. ඒ ඒ කථා වස්තු සාරාංශයක් වශයෙන් ගත් කල ඉන්දීය ආර්ය සම්භවයක් ඇති, බෞද්ධාගමට නෑකම් කියන පරපුරක් තම්බපණ්ණිහි ඇරැඹි බව සනාථ වේ. ඒ සඳහා දක්ෂිණ භාරතයේ ජම්බුද්වීපයෙන් ශ්‍රී ලංකාවට (තම්බපණ්ණියට) ජන කොටස් පැමිණි බව උගත් විචාරකයෝ පවසති.
තම්බපණ්ණියෙහි විසූ ගෝත්‍රිකයන්ගේ දේශය තමන්ට නතු කරගත්, උත්තර භාරතයන් මීළඟ ශතවර්ෂවල බුද්ධධර්මය ස්ථාපිත කිරීමට මං යෙදූහ. දේවානම්පිය තිස්ස රජු දවස, භාරතයේ රාජ්‍යත්වය අශෝක අධිරාජයාට හිමි විය. මුලින් තමාගේම සොහොයුරන් ඝාතනය කොට කාලිංග දේශයෙන් දිග් විජයට යොමුව අශෝක වීදිසාහි කුමරියක සරණ කර ගනී. චණ්ඩාශෝක නමින් හැඳින්වුණු මොහු පසුව බුදු දහම වැලඳගති. මහාචාර්ය ආනන්ද ඩබ්.පී. ගුරුගේගේ ‘අසෝක’ නම් ග්රන්ථයෙහි අශෝක අධිරාජයා විසින් කෙරුණු බුද්ධධර්ම ව්‍යාප්තිය විස්තර වශයෙන් දක්වා ඇත.
විදිසා දේවියගේ පුත්, මහින්ද මහ රහතුන් ශ්‍රී ලංකාවට එවා බුද්ධ ධර්මය ස්ථාපනය කළ බවත් දියණිය සංඝමිත්තා තෙරණිය සමඟ ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් එවූ බවත් විද්වත්හු ප්‍රකාශ කරති. එය දහම පිළිගත් ඓතිහාසික හා ආගමික සිද්ධියකි. දේවානම්පිය තිස්ස රජු හා පැවැති සමීප සබඳතා වර්ධනය සඳහා තම පුත‍්‍රරත්නයද දියණියද එවූ බව පිළිගත් මතයයි.
බෞද්ධාගම ශ්‍රී ලංකාවේ ස්ථාපිත වීම - මහාවංශය, දීපවංශය ඇතුළු ඓතිහාසික මූලාශ්‍රය හා සෙල්ලිපි මඟින් සනාථ වන කතා පුවත සම්බන්ධ කරන මහින්ද මහරහතුන් මිහින්තලා මස්තකයේ සිට ‘චුල්ලහත්ථිපදෝපම සූත්‍රය’ දේවානම්පිය තිස්ස රජුට දේශනා කළ වගයි. ඒ දේශනාව අවසන රජු හා පිරිස බුද්ධධර්මයට අනුගත වීමට කැමැත්ත පළ කළහ. එයින් බුද්ධ, ධර්ම හා සංඝ යන ත්‍රිවිධ රත්නය හා ඒ ආශ්රිත චර්යා ධර්ම දෙවනපෑ තිස් රජු තේරුම් ගත්තේ ය. ඔහු වෙත ඉදිරිපත් වූ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න මාලාව අනුසාරයෙන් මිහිඳු හිමි රජුගේ ආධ්‍යාත්මික ගැඹුර තේරුම් ගත්තේය. මීළඟ දිනයේදී රජ වාසල අනෙක් සේවකසේවිකාවන්ට බෞද්ධ කතා ඇතුළු චරිත හා විමාන වත්තුවල පැනෙන චරිත හා ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳ අවබෝධ කොටගත්හ. සංස්කාර හා සංසාර දුක පිළිබඳ මේ ජනතාවට අවබෝධයක් ලබා දීමට හැකි බව උන්වහන්සේට තේරුම් ගියේය. බාල පණ්ඩිත සූත්‍රය මගින් නිවැරැදි ජීවිතය ගැන තේරුම් කර මේ ජනයා යහමග ගැනීමට හැකි බවද පසක් විණි.
දේවානම්පිය තිස්ස රජු හා තම්බපණ්ණි වැසියන්ගේ පාර්ශ්වයෙන් මිහිඳු හිමි ඇතුළු අමුත්තන් සඳහා මහමෙවුනා උයනේ රජ වාසල තුළ නිවාස පහසුකම් සැපයිණි. මහාවංශය ඇරැඹුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. අනුරාධපුර පූජනීය නගරයක් වූයේ උන් වහන්සේගේ උපදෙස් අනුවය. එහි විහාරාරාම කරවා, ජල පහසුකම් ලැබීමට වැවක් කරවා උපෝසථශාලා කරවා, මහා සංඝයා වහන්සේ විසින් ගත කළ යුතු විනයගරුක ජීවිතය අරබයා අග්ගික්ඛන්ධෝපම සූත්‍රය වදාළ සේක. එහෙත් බොදු දහම දිවයිනේ ස්ථාපිත වී ඇද්දැයි රජතුමා කළ විමසුමකට පිළිතුරු දුන් උන් වහන්සේ වදාළේ තම්බපණ්ණියේ කුල පුතකු මහණ උපසම්පදා වී විනය දේශනා කරන දිනයේදී බොදු දහම මුල් බසින බවයි. රජතුමාගේ ඇරියුම පරිදි මහින්ද රහතුන් අනුරපුර ‘සීමා’ සටහන් කර එහි බෞද්ධ ධර්මයේ ස්ථාපිත වීම සටහන් කළ සේක. රජුගේ බෑනා වන මහා අරිට්ඨ තෙරුන් විනය දේශනා කළ බව සඳහනි.
එහෙත් ධර්මය සමඟ සංඝරත්නය ඇති කරන තෙක් හා ශාරීරික ධාතුවක් නිදන් කරන තෙක්, ත්‍රිවිධ රත්නයම දිවයින තුළ වැඩ නොවසන බව දැන රජතුමා සංඝ ශාසනය ඇති කිරීමට මුල් පියවර ගත්තේ ය.
සඟ සසුන
එය සිදු වූයේ මිහිඳු හිමි මිහින්තලා මිස්සක පබ්බතහි වස් වැසීමට ගිය පසු ය. අනුරපුරයේ දින 26ක් ගත කොට මිහින්තලාවට මෙසේ වැඩිය දාම රජුගේ බෑණා වන මහා අරිට්ඨ ඇමැතිවරයා තවත් පනස් පස් දෙනෙක් සමඟ සසුන් ගත විය. ඒ අතර සංඝමිත්තා මෙහෙණියගේ ගිහි කල පුත් සුමන හා මිස්සක පබ්බතහිදී සසුන්ගත වූ භණ්ඩුක උපාසකද විය. ඔවුන්ට මුල් කාලය ගත කිරීමට නිවාස ආරාම නැති වූ බැවින් රජතුමා විසින් කණ්ඨක චෛත්‍යය අසබඩ වූ ගල් ලෙන් සකස් කර දෙනු ලැබිණි.
මීළඟට භික්ෂුණී ශාසනය ස්ථාපිත කිරීමට මුල් වූයේ රජුගේ බිසව වූ අනුලා දේවිය හා ඇයගේ පරිවාර කාන්තාවන්ය. තමාටද සසුන්ගත වීමට අවශ්‍ය බව රජුට දැන්වීමෙන් රජු මේ වන විට තම මිත්‍රයා බවට පත් වී සිටි අශෝක අධිරාජයා වෙත රාජ දූතයන් යවා ඒ සඳහා කටයුතු පිළියෙල කිරීමට ඉල්ලා සිටියේ ය. එයට ප්‍රතිචාර දැක්වූ අශෝක අධිරාජයා තම දියණිය බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව හා දූත පිරිසක්ද සමඟ අනුරාධපුරයට එවීය.
බොදු දහම තම්බපණ්ණිය තුළ අංග සම්පූර්ණ ධර්මයක් හා දර්ශනයක් ලෙස ස්ථාපිත කර ප්‍රතිපත්ති හා ආමිස පූජා පැවැත්වීමට සැලැසීම සඳහා සංඝමිත්තා තෙරණියගේ බෝධීන් වහන්සේ ගෙන ඒම විශේෂිත ආධාරකයක් වීය. පළමුවම උද්දේසික වස්තුවක් ලෙස සැලකෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අනුරාධපුරයේ මහ හරසරින් රෝපණය කරන ලදහ. ඒ සමඟම අනුලා දේවි ඇතුළු කාන්තාවන්, බලා සිටියේ සංඝමිත්තා තෙරණියගේ පැමිණීමත් සමඟ භික්ෂුණී ශාසනය දිවයිනෙහි ඇති කරලීමටයි. එයද ඉටු වීමෙන් භික්ෂු පරපුර හා භික්ෂුණී ශාසනය ද ඇතුළු තම්බපණ්ණියෙහි ජනතාව ‘සතර පිරිසක්’ (සිවුවනක්) බවට පත් වූහ. ඒ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සමාජ කොටස්ය.
මිළඟට රජුට අවශ්‍ය වූයේ ශාරීරික ධාතූන්ද වැඩමවා චෛත්‍යයක් කරවීමය. මේ ඉල්ලීම අශෝක අධිරාජයා වෙත යොමු කරන ලද්දේ අධිරාජයාගේ මුනුපුරු සුමන සාමණේර වහන්සේ හරහාය. එයටද තම අනුමැතිය දුන් අශෝක රජු බුදුන්ගේ දක්ෂිණ අකු ධාතුව දිවයිනට මහත් ගෞරවයෙන් වැඩමවීය. ඒ සමඟම ශ්‍රී ලංකාවටම වෙන් කර තැබූ ධාතු ද්රෝණයක්ද ලැබිණි. මේ සමඟම එම ධාතූන් වහන්සේ අනුරපුරයේ ථූපාරාම දාගැබෙහි නිදන් කර ප්‍රථම චෛත්‍යය මේ පින් බිමෙහි ස්ථාපිත විය. එහෙයින් ධර්මය දේශයෙහි මුල්බැසගැනීම සඳහා අවශ්‍ය වූ ශාරීරික, පාරිභෝගික හා උද්දේසික වස්තු දඹදිවින් තම්බපණ්ණියට දායාද කෙරිණි.
බෞද්ධ දර්ශනය ව්‍යාප්ත කරවීම සඳහා මිහිඳු සමිඳුන් තම්බපණ්ණියට ගෙන ආයේ ත්රිපිටකයයි. එම ධර්ම වස්තු සිංහලයට පරිවර්තනය කර සීහළට්ඨ කතා ඇරැඹීය. භාෂාව හෙළයන්ගේ උත්තම ස්ථානයට පත් වීය. අශෝකාක්ෂර සිංහල භාෂාවට ඇතුළු කළ උන් වහන්සේ හෙළ බස, සාහිත්යික බසක් බවට පරිවර්තනය කරවීය. භාෂාවේ සාහිත්‍යයේ වර්ධනය එයින් ඇරඹූ බව අද ශ්‍රී ලාංකිකයින්ට අමුතුවෙන් කිව යුතු නොවේ. කලා ශිල්ප - ගෘහ නිර්මාණ ශිල්පය, වාරි ක්‍රම, කෘෂිකර්මය, යන විවිධ ක්ෂේත්‍ර වර්ධනය ද ඇරැඹුණේ බෞද්ධ ධර්මයේ ආගමනයත් ආර්යන්ගේ ආගමනයත් සමඟයි.
ශ්‍රී ලංකාවම වැදුම් ලත් බෞද්ධ පූජනීය වස්තුව සිරිමේඝවණ්ණ (ක්‍රි.ව. 30–28) රජු දවස දන්ත කුමරු හා හේමමාලා ගෙන ආ අතිපූජනීය දන්ත ධාතූන් වහන්සේය. මේ දන්ත ධාතූන් වහන්සේ හා ශ්‍රී මහා බෝධිය අප දිවයිනෙහි වැඩ සිටින තාක් කල් බෞද්ධ දර්ශනය, ශ්‍රී ලංකාවේ පවතින බවත්, එම පැවතීම සමඟ ශ්‍රී ලාංකීය රාජ්‍යත්වයද නොබිඳී පවතින බවත්, පිළිගත් සත්‍යයකි.
රාජ්‍යාගම
දඹදිව රාජ්‍යාගම වශයෙන් අශෝක අධිරාජයාගේ සමයේදී පිළිගැනුණේ බුද්ධාගමය. ඒ අනුවම ශ්‍රී ලංකාවට (තම්බපණ්ණියට) ආ බෞද්ධාගමද එහි රාජ්‍ය ආගම බවට පත් වීය. එම තත්ත්වය වෙනස් වීම ගැන පැහැදිලි සාක්ෂි නැත. බ්‍රිතාන්‍යයන් විසින්ද මෙය 1815දී ගිවිසුමෙන් පිළිගන්නා ලදී. වර්තමාන ව්‍යවස්ථාව ද එසේ ය. දන්ත ධාතූන් හා ශ්‍රී මහා බෝධිය ආරක්ෂා කිරීම සැම රාජ්‍යයක් විසින්ම කළ යුතුය.
මෙවන් පසුබිමක් ඇති දේශයක් එම බෞද්ධාගම ලෝකයට ගෙන යෑමට කටයුතු පිළියෙල කොට, වෙසක් අන්තර්ජාතික දිනයක් බවට පත් කොට ඇත. ඒ රාජ්‍ය උත්සවය සියලු අයුරින්ම සාර්ථක වේවා යන්න සෑම බෞද්ධ, හා ශ්‍රී ලාංකික වැසියකු තුළ ම පවතින මහඟු පැතුමකි.
මේ ආගමික දිනය පෙර සිට ම ලංකාවේ උත්සව පැවැත්වුණු දිනයන් වූ බවට ඉතිහාසයේ සාක්ෂි දරයි. 'දන්ත ධාතු උත්සවය' සිරිමෙවන් රජු (ක්‍රි.ව. 371) සිට පැවැති බව සඳහන් ය. වෙසක් උත්සවය ද එසේ ම ආගමික ස්වරූපයකින් පැවති බව සඳහන්ය. අද ඉන්දියාවෙන් ඈත් වී ඇති බෞද්ධ දර්ශනය ඔවුන්ට නැවත හඳුන්වා දීමටද ශ්‍රී ලංකාවට හැකිය. බෞද්ධ දර්ශනය, ලෝකය තුළ අහිංසාව පතුරා අන්තර්ජාතික අර්බුද වළක්වන ධර්මයක් නිසා ශ්‍රී ලාංකිකයන්ට එහි ශක්තිය හා ආශීර්වාදය නොමඳව ලැබේ.
සතරතිලක බණ්ඩා අටුගොඩ
විශ්‍රාමලත් තානාපති