බයික් විප්ලවේ | සිළුමිණ

බයික් විප්ලවේ

 ප්‍රමාණය අතින් සලකන කල අපේ රට කුඩාය. ජන සංඛ්‍යාවද විශාල නැත. එහෙත් අතීත අත්දැකීම් සම්භාරයක් අප සතුව ඇත. මෑත ඉතිහාසය පමණක් සලකා බැලුවද අසාර්ථක විප්ලව දෙකක සහ වසර තිහක් පුරා ඇදි ඇදී ගිය යුද්ධයක අත්දැකීම් අප සතුය. සලකා බලන්නේ නම් ජන සමාජයක් ලෙස විපර්යාස රැසකට බඳුන් වීමට තරම් මේ අත්දැකීම් ප්‍රමාණවත්ය. එහෙත් අපේ ජන සමාජය නම් එසේ විපර්යාසයන්ට බඳුන් වූයේ නැත.

විප්ලව දෙකක් සිදු විය. අයුධ ගත් පිරිස් මර්දනයට ලක් වූ අතර සෙසු බහුතරය පහුවදා උදේ නැගිට මුහුණ කට සෝදා දෛනික රාජකාරි ආරම්භ කළහ. වසර තිහක් පුරා යුද්ධය පැතිර ගියේය. එහෙත් එමගින් සිදුවූ සමාජ පෙරළියක් නොවීය. උතුරේ අත්දැකීම් දකුණට විසරණය වූයේ නැත. දකුණ වෙනදා පරිද්දෙන් කා බී හැඳ පැලඳ එදිනෙදා ජීවන රටාවේ නියැළිණ.

රට තුළ කොතෙක් හැලහැප්පීම් සිදු වුවද මේ සාමාන්‍ය සමාජ පැවැත්ම වෙනස් කිරීමට යුද්ධයට හෝ විප්ලවයට හෝ වෙන කිසිම ගාමක බලවේගයකට හෝ මෙකී නොකී කාට හෝ හැකියාවක් ලැබුණේ නැත. අපේ මිනිස්සු තම සුළු ධනේශ්වර නිද්‍රශීලීත්වයේ සුවදායක ලෙස ඇලී ගැලී සිටියහ. හොඳට හෝ නරකට අපේ ජන සමාජය වෙනස් වූයේ නැත.

එහෙත් විප්ලවයට, යුද්ධයට එසේ කළ නොහැකි වුවද ලක්ෂ දෙකක් පමණ මුදලක් වැය කර තමන් සතු කර ගත හැකි වූ උපකරණයක් මේ වන විට අපේ ජන සමාජය උඩු යටිකුරු කරමින් සිටින්නේය.

ඒ උපකරණය අන් කිසිවක් නොව ‘ඉන්දියන් බයික්ය‘.

එයට පොදුවේ මෝටර් බයිසිකල් කියා හැඳින්විය නොහැකි වන්නේ ජපානයේ නිෂ්පාදිත මෝටර් බයිසිකල්ද පවතින නිසාය. එහෙත් අපේ සමාජය වෙනස් කිරීමේ ක්‍රෙඩිට් එක දිනා ගන්නේ ඉන්දියන් බයික්ය.

ජපානය ‘කොලිටි‘ මෝටර් බයික් හදන්නේය. ඉන්දියාවද ඒ අනුසාරයෙන් බයික් හදන්නේය. කොලිටි නැත. ජපන් බයික් ගන්නට නම් ඉඩම් ඇති උන් ඉඩම් විකිණිය යුතු වන්නේය. එහෙත් කොලිටි නැති ඉන්දියන් බයික් රස්සාවට ගොස් වසරක් ඉක්ම යත්ම පර්සන්ල් ලෝන් එකක් ගසා මිලදී ගත හැකිය.

ඉන්දියාවට තම බයික්වලට මාර්කට් එකක් අවශ්‍ය වන්නේය. පහළ බලන විට ලංකාව පෙනෙන්නේය. ඒ අනුව නැව් පුරවා බයික් අපේ රටට එන්නේය. එතැන් සිට අර විප්ලව දෙකටත්, යුද්ධයටත් කරන්නට බැරි වූ සමාජ විපර්යාසය කිරීමේ වගකීම මේ ඉන්දියන් බයික් කරට ගන්නේය‍. එපමණක්ද නොව එය සාර්ථක ද කර ගන්නේය.

ඉන්දියන් බයික් තම පළමුවැනි ටාගට් ග්රූප් එක කර ගන්නේ තරුණ පිරිමින්වය. එය හරියටම යුද්ධයේදී මෙන්ම විප්ලවයේදීද සිදු වුණා සේමය. යුද්ධයට හා විප්ලවයට ඉතා ඉක්මනින් ආකර්ෂණය වූවා සේම තරුණ පිරිමි ඉන්දියන් බයික්වලටද ඉක්මනින් ආකර්ෂණය වූහ. ‘විප්ලවයේ ආකර්ෂණීය නියමුවෙක්, යුද්ධයේ අභීත සෙන්පතියෙක් වනවාටත් වඩා බයික් එකක නැගී සුළඟ කපාගෙන වේගයෙන් යෑමට තරුණ පිරිමින් තුළ පවතින්නේ නොතිත් ආශාවකි. විප්ලවයට හෝ යුද්ධයට දායක කර ගැනීමට පොලඹවා ගැනීමට වඩා බයික් එකක් විකුණා ගැනීම පහසු වන්නේ ඒ නිසාවෙනි. මිනිසුන්ගේ සිහින යනු වෙළෙන්දාගේ සාර්ථකත්වයේ ශක්තිමත්ම පදනමය. ඉතින් බයික් කොම්පැනි ඒ ශක්තිමත් පදනම අපේ ජන සමාජය මත දමා ගන්නේය.

මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවට අනුව අප රටේ වැඩියෙන්ම ලියාපදිංචි කරන වාහන වර්ගය මෝටර් බයික්ය. ඉන්පසු ත්‍රීවීලර්ය. මේ දෙකම ඉන්දියන් නිෂ්පාදන වන්නේය. සිහිනවලට මිලක් නියම වන්නේ එසේය.

ලක්ෂ දෙකක් දෙන විට බයික් එක ගෙදර ගෙන යා හැකිය. ලයිසන්එක පස්සේ වුවද ගත හැකිය. ඇතැම් බයික්වල වේගය පෙන්වන ඩිජිටල් පුවරු ආකර්ෂණීයය. එහි හැත්තෑව අසූව ඉක්මවා ඉලක්කම් සටහන් වනු දැකීම ද සිහිනයේ කොටසක්ය. මේ වන විට අපේ රටේ මාර්ග අනතුරුවලින් දිනකට මියයන සංඛ්‍යාව අටකි. ඒ අතරින් බහුතරය මෝටර් බයික් ධාවකයන් බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැත.

අඩුම තරමින් යුද්ධය හේතුවෙන් හෝ විප්ලවයෙන් වසර ගණනක් එක ලෙස මේ සා මහ මග මිනිසුන් මිය ගියේ නැත. යුද්ධය අවසන් විය. විප්ලවය ඊට පෙර අවසන් විය. එහෙත් ඉන්දියන් බයික් සප්ලයි දෙන තුරාත් වසරක් පාසාම සිහින සමග මහ මග තරුණයන් මිය යෑම නැවැත්විය නොහැකි වනු ඇත.

එලෙස තරුණ පිරිමින් ආක්‍රමණය කළ බයික් සමාගම් එතනින් නැවතුණේ නැත. ඔවුහු තවත් වෙළෙඳ පොළ වර්ධනය කර ගැනීමේ ක්‍රම සෙවූහ. ගෙවල්වලට වී සිටින අපේ ගෘහණියන් ඔවුන්ගේ ඇස ගැසෙන්නේ ඒ අනුවය. අපේ සමාජයේ දැනටමත් සිදුවෙමින් පවතින් දැවැන්තම සමාජ පෙරළිය සිදුවන්නේ ඒ අනුවය.

කලින් කීවා සේ අපේ රට විශාල රටක් නොවේය. ප්‍රවාහන පහසුකම් නොමැති ඈත ගම්වල කාන්තාවන්ට නම් පදින බයිසිකලය හෝ මෝටර් බයිසිකලය අරුමයක් නොවන්නේය. එහෙත් ඉන්දියන් බයික් කම්පැනි කරන්නේ නාගරිකව ජීවත් වන කාන්තාවන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ නිෂ්පාදන මුදා හැරීමය. එහි අතුරු ප්‍රතිඵලය අපේ ගෙවල්වල කාන්තාවන්ද කඹය කඩා ගත්තා හා සමාන වීමය.

ආමර් වීදියේ පිටකොටුවට පිවිසෙන කෙළින් පාර ප්‍රවිෂ්ටය අසල බිල්ඩිමක වහලය මත දිලෙන කටවුටයකි. එහි පෙනී සිටින්නේ රූමත්, සිහින් සිරුරැති තරුණියකි. ‘ඔබට එය බයික් එකක් විතරයි. ඒත් මට එය ජීවිතය‘ ඇය අසලින් එසේ සඳහන්ව ඇත. මේ කටවුටය පිහිටුවා ඇති ස්ථානය ඍජුවම සම්මුඛ වන්නේ ඒ අසල ඇති ට්‍රැෆික් ලයිට්වලටය. දවසකට මේ ට්‍රෆික් ලයිට් හේතුවෙන් මේ කටවුට් අසල නවතාගෙන සිටින බස් රථ සංඛ්‍යාව දහස් ගණනකි. මේ බස් රථවල තෙරපී සිටින කාන්තාවන්ගේ සිහිනයට කටවුටයේ කාන්තාව එසේ ආමන්ත්‍රණය කරමින් සිටින්නීය. එහි ප්‍රතිඵලය කාන්තාවෝ ඉතා ශීඝ්‍රයෙන් පාට පාට මෝටර් බයික්වල හිමිකාරිනියන් බවට පත්වීමය.

මේ බයික් විප්ලවයේ කොමරේඩ්ලා ඉතා සියුම් ලෙස අපේ කාන්තාවන්ට කියා දෙන්නේ ගෙදරින් එළියට පැන ගත්තොත් ඔබ දිනුම් කියාය. ඉතින් ඒ සඳහා බයික්එකක් මිල දී ගත යුතුය. අපේ කාන්තාවෝ හිතන්නේද බයික් එකක් ගත හොත් ශාන්ති, ප්‍රගති හෝ ඉශිතා වගේ විය හැකි යැයි යනුවෙනි. ඔවුන් නිදහස අර්ථ ගන්වා ගන්නේ ‘තැනකින් තැනකට ළඟා වීමේ පහසුව‘ යනුවෙන් වීම ඛේදවාචකයකි. එය ඛේදවාචකයක් වන්නේ ඔවුන්ටත් වඩා ඔවුන්ගේ දරුවන්ටය. අනික් අතට අපේ රටේ අනාගත පරම්පරාවටය.

පාරේ යන ගෑනු බයික් හෙවත් ස්කූටර් සියයක් සැලකුව හොත් එයින් අනූවකම දරුවෙක්ද සිටින්නේය. අම්මලා මේ කරන්නේ දරුවන්ගේ කාර්ය භාරය බව සැබෑය. එහෙත් එයින් බැහැරව බයික් එක නිසා ලත් නිදහසද සමග ඔවුන් කරනා දේවල් අපේ ජන සමාජය පෙරළියකට බඳුන් කරමින් සිටින බව කිසිවකු දන්නේ නැත.

මේ ස්කූටර් ‘ඩිවෝස් බයික්‘ නැතිනම් ‘විතවුට් හස්බන්ඩ්‘ වැනි නම්වලින් අභිෂේක ලබන්නේද සිදුවෙමින් පවතින මේ සමාජ පරිවර්තනය නිසාය.

සමාජයක පදනම හෙවත් පවුල ශක්තිමත්ව පැවතීම එම සමාජයේ පැවැත්මට බලපාන වැදගත්ම සාධකයක් වේ. එහෙත් පවුල් ඒකකය අස්ථාවර වීම යනු සමාජය අස්ථාවර වීමට තබන ප්‍රථම පියවර බවද සිහියේ තබා ගත යුතුය.

බටහිර රටවල දික්කසාදය සාමාන්‍ය දෙයක් වී ඇති නමුත් ඒ හේතුවෙන් ඒ රටවල සමාජය අස්ථාවර වී නැතැයි යමෙකුට තර්ක කළ හැකිය. එහෙත් ඔවුන්ගේ පවුල් ඒකක අස්ථාවර වන්නේ සංවර්ධිත ආර්ථීකයක්, ජනතාවට වගකියන ආණ්ඩු සහ නීතිය ස්ථාපිත වූ සමාජ පරිසරයක ස්ථාපිත වූ පසුව බව අමතක කළ යුතු නැත. එහෙත් අපේ රටවල් සිටින්නේ මේ කියන තැනින් කිලෝමීටර් ගණනාවක් ඈතිනි.

අපේ ජන සමාජය මේ තරමටවත් අල්ලාගෙන සිටින්නේ අතීතයේ සිට අපේ සංස්කෘතියේ පැවති සාරධර්ම හේතුවෙන් බව අප වටහාගෙන නොසිටින එහෙත් වටහා ගත යුතු කරුණකි. ඒ සාර්ධර්ම අපේ ජන ජීවිතය හා බැඳී නොපවතින්නට අප මේ වන විට ජැමෙයිකාවටත් එහා සිටිනු ඇත. එබැවින් ඒ සාරධර්ම කිසියම් හේතුවකින් විනාශ වන්නේ නම් එසේ විනාශ වීමට නොදී ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුය. පිරිමින් හදිසි අනතුරුවලින් මිය යෑමටත්, දරු පවුල් දෙකඩ වීමටත් මුල පුරා ඇති ප්‍රවාහන විප්ලවයෙන් රට බේරා ගත යුතුමය.

ටිරෝනි වෑවලගේ 

 

Comments