
දුම්රිය රියැදුරන් වර්ජනයක් ආරම්භ කර නිමාවූවා පමණි. ඒ සමඟම කරළියට ආවේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජන කතාවකි. ඔවුන් පැවසුවේ ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් 26 වැනිදා සිට අඛණ්ඩ වර්ජනයක නියැළෙන බවකි. ඔවුන්ගේ වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ විය.
එහෙත් එය මීට පෙර මෙන් නොව මෙවර දුම්රිය ස්ථානාධිපතිවරුන් තෝරාගෙන තිබුණේ ජපානයේ දුම්රිය ස්ථානාධිපතිවරුන් 2019 වසරේදී අනුගමනය කළ වර්ජන ප්‍රතිපත්තියකි. එය මඟියාට නම් සුබදායකය. ඒ ප්‍රවේශ පත්‍ර ලබා දීමේ කටයුතුවලින් බැහැර වීම නිසාය.
දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ආරම්භ කරන ලද වර්ජනයේ ප්‍රධාන ඉල්ලීම් 10ක් වූ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සිළුමිණට කීය
‘‘අපි මේ වර්ජනය කරා ගියේ බොහෝ කාලයක් තිස්සේ ඉවසීමෙන් යුක්තව සාකච්ඡා කිරීමෙන් පසුවයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් ඉතාම සාධාරණ බව පෙන්වා දෙන්න පුළුවන්. නමුත් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා කාලාන්තරයක් තිස්සේම මේ ඉල්ලීම් ලබාදීම මඟ හරිනවා. ඒක ඇත්තෙන්ම කනගාටුයි. මොන තත්ත්වයක් යටතේ වුණත් අපි දුම්රිය මඟ තියලා මඟී ජනතාව අපහසුතාවට පත් කෙළේ නැහැ. ඒක අපේ වෘත්තීය ප්‍රතිපත්තියක් ලෙසින් තමයි සිදු කෙළේ. ඒ තත්ත්වය ඉතා පැහැදිලිව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා මෙන්ම අනෙක් බලධාරීනුත් තේරුම් ගත යුතුයි.
මඟියා දුම්රියට නඟින්නට පෙර සියලු වගකීම් තියෙන්නේ දුම්රිය ස්ථානාධිපතිවරයාටයි. සියලු දොස් එන්නේ දුම්රිය ස්ථානාධිපතිවරයාටයි. දුම්රිය ප්‍රමාදය, පීලි පැනීම් මේ සියලු දොස් මුර එන්නේ ස්ථානාධිපතිවරයාටයි. එම නිසා ඒ සියල්ලටම වගකිව යුත්තා වී ඇත්තේ දුම්රිය ස්ථානාධිපතිවරයා වුවත් ඔහු ඒ බොහෝ කරුණුවලට වගකිව යුතු නැහැ.
වර්ජනයේ දෙවන පියවර ලෙසින් තමයි අපි තිරිඟු පිටි ප්‍රවාහනය, ඉන්ධන ප්‍රවාහනය මෙන්ම සිමෙන්ති සඳහා ක්ලින්කර් ප්‍රවාහන දුම්රිය සේවාවෙන් ඉවත් වුණේ. කොහොම වුණත් රාජ්‍ය ඇමැතිවරයාත් ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයාත් අපෙන් විශේෂ ඉල්ලීමක් කළා; ගුවන් තොටුපොළ ඉන්ධන අර්බුදයක් කරා යන නිසා ඉන්ධන ප්‍රවාහනයට කටයුතු කරන්න කියලා. අපි ඒ නිසා වර්ජනය පවතිද්දී වුවත් කටුනායක ගුවන් තොටුපොළට ඉන්ධන දුම්රිය දෙකක් ප්‍රවාහනය කරන්න කටයුතු කළා. අපි කඩාකප්පල්කාරි මෙන්ම රජය අපහසුතාවට පත් කරන වෘත්තීය සමිතියක් නොවන බව එයින් පැහැදිලි කළා.‘‘
සුමේධ සෝමරත්න පවසන පරිදි ඔවුන්ගේ ඉල්ලීම් අතර පළමුව ඇත්තේ දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමේ හා උසස්වීම් ලබා නොදීමේ කරුණකි. ඔහු පෙන්වා දෙන්නේ සමස්ත දුම්රිය සේවයේ දුම්රිය ස්ථාන අධිකාරි තනතුරු 4ක් ඇතත් ඒ තනතුරු 4ම මේ වන විට පුරප්පාඩුව ඇති බවයි. කොළඹ කොටුව, මරදාන, දුම්රිය බඩු ගබඩාව මෙන්ම දුම්රිය පාලක මැදිරියේ අදාළ එම තනතුරු 4ම පුරප්පාඩුව පවතී. එමෙන්ම ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති තනතුරු 60ක් ඇති අතර එම තනතුරු සියල්ල පුරප්පාඩුව පවතී. පළමු පෙළ දුම්රිය ස්ථානාධිපති තනතුරු 30%ක් පුරප්පාඩුව පවතින බවත් දෙවන පෙළ දුම්රිය ස්ථානාධිපති තනතුරු සියල්ලම පුරප්පාඩුව පවතින බවත් ඔහු පෙන්වා දෙයි. එසේම 3 වන පෙළ දුම්රිය ස්ථානාධිපතිවරුන්ට වසර 5න් ලබා දිය යුතු උසස්වීම් වසර 9ක් තිස්සේ ලබා දී නොමැති බවත් වැටුප් වර්ධක පවා ලබා දී නොමැති බවද ඔහු පෙන්වා දෙයි.
එසේම දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීම් සම්බන්ධයෙන්ද කිසිදු ආකාරයක විධිමත් ක්‍රමවේදයක් සකසා නොමැති බවද ඔහු පෙන්වා දෙයි. එමෙන්ම එකම උප දෙපාර්තමේන්තුවක සේවය කරන දුම්රිය නියාමක හා දුම්රිය ස්ථානාධිපතිවරුන් වෙනුවෙන් එකම අතිකාල ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතු වුවත් දෙපිරිසට ක්‍රමවේදයන් දෙකකට අතිකාල ගෙවීමට කටයුතු කිරීම ඉවත් කිරීමද ඔවුන්ගේ ඉල්ලීම් අතර විය.
එමෙන්ම දුම්රිය ප්‍රමාදයන්ට හේතුවන මාර්ග හා සංඥා පද්ධතියේ දෝෂ නිරාකරණය කිරීම ගැනද ප්‍රතිචාරයක් නොමැති බව ඔවුහු පෙන්වා දෙති.
විශේෂයෙන්ම කැලණිවැලි දුම්රිය මාර්ගයේ සිට පැමිණෙන දුම්රියයන්ට අදාළ අංක 418 හා 419 දුම්රිය හැරවුම් (දුම්රිය පයින්ටු) ක්‍රියාත්මක වුවත් ඒ වෙනුවෙන් සංඥා නොමැති නිසා දුම්රියක් මරදාන දුම්රිය ස්ථානයේ විනාඩි 5ක් පමණ ප්‍රමාද කළ යුතු බව සංගමයේ චෝදනාවකි. එය වසර ගණනාවක් තිස්සේ පවතින ගැටලුවක් බවත් මඟීන් උරණ වන්නේ, දබර කරන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන් සමඟ බව ද ඔවුහු පෙන්වා දෙති.
දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ධීෂණ පටබැඳිගේ පවසන්නේ සමස්ත දුම්රිය පාලනය ඇත්තේ තම සංගමය සතුව බවයි. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේම සංගමයේ කොටසක්ම වන දුම්රිය පාලකවරු සියලු දුම්රිය පාලනයේ වගකීම බාරව කටයුතු කරති.
‘‘ලෝකෙ වෙන කොහේවත් නැති සංඥා ක්‍රමවේදයක් තමයි අපේ රටේ තියෙන්නෙ. රඹුක්කන ඉදල පල්ලෙවෙල දක්වා එක සංඥා ක්‍රමවේදයක්. පල්ලෙවෙල ඉදල වාද්දුව දක්වා තව ක්‍රමවේදයක්. එතැන් සිට ගාල්ල දක්වා තව ක්‍රමයක්. ගාල්ලෙ සිට මාතරට තවත් ක්‍රමයක්. මාතර බෙලිඅත්ත තව ක්‍රමයක්. පොල්ගහවෙල කුරුණෑගල තව ක්‍රමයක්. කුරුණෑගල අනුරාධපුරය තවත් ක්‍රමයක්, අනුරාධපුරයෙන් එහාට තව ක්‍රමයක්.
දුම්රිය ස්ථානාධිපතිවරුන් මේ නිසා දැඩි අපහසුතාවකට පත් වෙනවා. විශේෂයෙන්ම පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වා දේශීය ක්‍රමවේදයක් ඔස්සේ ස්ථාපිත කරපු සංඥා ක්‍රමය ඉතා අනතුරුදායකයි. එය නිවැරැදි කරන්න කිව්වත් තවම නිසි පිළිතුරක් නැහැ. දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටුණට පස්සෙ තමයි විසඳුම් හොයන්නෙ‘‘
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර පවසන්නේ පසුගිය 28 වැනිදා පැවැති සාකච්ඡාවේදී රාජ්‍ය ප්‍රවාහන ඇමැතිවරයා විසින් ප්‍රධාන ඉල්ලීම් 10න් 9ක් කඩිනමින් ලබාදීමට එකඟත්වය පළ කළ බවයි. කෙසේ වුවත් දෙපාර්තමේන්තු මට්ටමින් ඒ වෙනුවෙන් යහපත් ප්‍රතිචාරයක් මේ වන විටත් ලැබී නොමැති බවත් තම සංගමය එහි ප්‍රතිඵල ගැන බලධාරීන්ගෙන් ප්‍රගතිය ගැන දැනගන්නට උත්සාහ කළද ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බවත් ඔහු පැවසුවේය. මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසා සිටියේ මේ අවස්ථාවේ රට ගැන සිතා කටයුතු කිරීමට සියලු වෘත්තීන්හි නිලධාරීන් කටයුතු කළ යුතු බවයි. කොවිඩ් 19 හමුවේ රට පත්ව ඇති තත්ත්වය අනුව සියලු දෙනා තම වෘත්තීය සේවාව ගැන පළමුවෙන් අවධානය යොමු කළ යුතු බවත් දෙපාර්තමේන්තු මට්ටමින් ලබා දිය හැකි සියලු සේවක අයිතීන් හා වරප්‍රසාද ලබා දීමට තමන් කටයුතු කරන බවත් අමාත්‍යාංශ මට්ටමින් යම් තීරණයක් ලබා දිය යුතු අවස්ථාවන්හි එය ලැබීමෙන් පසුව අදාළ ක්‍රියාමාර්ගවලට එළැඹිය හැකි බවයි.
කෙසේ හෝ මඟී ජනතාව අපහසුතාවට පත් නොකිරීමට සියලු වෘත්තීය සමිති කටයුතු කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් බොහොමයක් සාධාරණය. ඇතැම් ස්ථානාධිපතිවරුන් 3 ශ්‍රේණියේ සිට ආවරණ කටයුතු කරන්නේ 1 ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ කටයුතුය. ඒ වෙනුවෙන් ආවරණ දීමනාවක් ඉල්ලුවද එයද ලැබී නැත. එහෙත් යම් හෙයකින් අත්වැරැදීමක් වුවහොත් ඔහුට ලැබෙන්නේ ඔහුගේ ශ්‍රේණියට අදාළ දඬුවමක් නොව 1 ශ්‍රේණියට අදාළ දඬුවමකි. එසේම අදාළ ස්ථානාධිපතිවරයාට වසර 5කට උසස්වීම් ලබාගත නොහැකිය.
වසරේ දින 365න් අවම වශයෙන් දින 15ක් 20ක් දුම්රිය වර්ජනයන්ය. වරෙක නියාමකවරුන්ය විටෙක රියැදුරන්ය. තවත් විටෙක දුම්රිය ස්ථානාධිපතිවරුන්ය. ඇතැම් විට ශ්‍රේණීගත වෘත්තිය සමිති එකතුවක්ය. මේ සියලු දෙනාගේ අතකොලු වන්නේ මඟියාය. ඇතැම් ප්‍රදේශවලට දුම්රිය සේවා මිස බස් රථ නොමැත. ප්‍රධාන මාර්ගයේ හොරපේ දාරළුව, හීන්දෙණිය පට්ටිගොඩ ගණේගොඩ බෝතලේ එයින් වැඩි අපහසුතාවක් ඇතිවන උප දුම්රිය ස්ථානයි. විශේෂයෙන්ම රාගම හා වේයන්ගොඩ යනු ප්‍රධාන මාර්ගයේ ඇති ප්‍රධානතම දුම්රිය නගර දෙක වේ. එහි ප්‍රධාන ගමන් මාර්ගය දුම්රිය සේවාව යි. එම දුම්රිය ස්ථානවලින් කොළඹ බලා එන මඟීන්ගෙන් 90%ක් පමණ භාවිත කරන්නේ දුම්රිය සේවයයි.
අප ළඟ ඇති සංඛ්‍යා ලේඛනයකින් පෙන්නුම් කරන්නේ නම් 2018 වසරේ ධාවනයට සැලසුම් කළ දුම්රිය සංඛ්‍යාව 130384ක් බවයි. එම වසරේ ධාවනය වූ දුම්රිය සංඛ්‍යාව 124034ක් වන අතර අවලංගු වී ඇති දුම්රිය සංඛ්‍යාව 6350කි. අදාළ වර්ෂයේ නියමිත වේලාවට ධාවනය කර ඇත්තේ දුම්රිය 67323ක් වන අතර ප්‍රමාද වී ධාවනය වූ දුම්රිය සංඛ්‍යාව 50361කි. එම ප්‍රමාද ද සලකා ඇත්තේ විනාඩි 11 ඉක්මවා ගිය අවස්ථාවන්හිදී පමණි. විනාඩි 10ක් දක්වා ප්‍රමාද සලකා නොමැත.
එවන් තත්ත්වයකට දුම්රිය පමා වීමේ වගකීම දරන්නේ කවුද? බලධාරීන්ද නිහඬය. බොහෝ දුම්රිය ප්‍රමාද වන්නේ වළක්වා ගත හැකි ප්‍රමාදයන්ගෙනි.
වරද හෝ දෝෂය බොහෝ විට ඇත්තේ දුම්රිය රියැදුරන්, නියාමකවරුන් හෝ පාලකවරුන් හෝ දුම්රිය ස්ථානාධිපති අතේය. එවන් අවස්ථා අපට අපමණ දක්නට ඇත. ඒ රාජකාරියේ සිදු වන්නා වූ දෝෂයන්ය. එසේ වුවත් දුම්රිය පමාවන් පවා නිසි ලෙසින් අධීක්ෂණය වන බවක් පෙනෙන්නට නැත. දුම්රිය ප්‍රමාද කළ අයට ගැටලුවක්ද නැත. බී.ඩී. රම්පාල සාමාන්‍යාධිකාරි ධුරය දැරූ සමයේ දුම්රිය පමා කළහොත් දඩ නියම කිරීමේ ක්‍රමවේදයක් තිබුණි. අද එවැන්නක් නැත. එමෙන්ම මේ වෘත්තීය අරගල සිදු කරන්නා වූ සැවොම තම යුතුකම් හා වගකීම් ගැනද අවබෝධයෙන් කටයුතු කළ යුතුමය.
සේයාරූ - චින්තක කුමාරසිංහ