
සේවා කාලය නිසා බැටකන විශ්‍රාමික ශ්‍රේණිධාරි ගුරුවරු
කවර ක්ෂේත්‍රයක වුවත් රජයේ නිලධාරියකු හට ශ්‍රේණියට අදාළ වැටුප් තලයක් ඇත. එහෙත් විශ්‍රාමික ගුරුවරයාට ශ්‍රේණියට අදාළ විශ්‍රාම වැටුප් තලයක් නොමැත. ගුරුවරයාගේ සේවා කාලය අනුව විශ්‍රාම වැටුප වෙනස් වේ. එසේ සේවා කාලය අනුව විශ්‍රාම වැටුප වෙනස් වන හෙයින් ගුරුවරයාට ශ්‍රේණියක් ද අවශ්‍ය නොවන බව අපගේ හැඟීමයි.
සේවා කාලය ඉතා වැදගත් වූයේ මීට දශක ගණනාවකට පෙර පත්වීම් ලැබූ ශිෂ්‍ය ගුරුවරුන්ටය. නැතහොත් රුපියල් සියයේ වැටුප්ලාභීන්ටය. ඒ ඔවුන් නිශ්චිත අරමුණක් මත ගුරු වෘත්තියට පත්වීම් ලැබූවන් නිසායි. එහෙත් උපාධිධාරීන් සේවා කාලය මත තක්සේරු කිරීම වර්තමානයේ වෙනස් විය යුතුය. එදා අප ගුරු වෘත්තියට එක්වූයේ නිශ්චිත අරමුණක් ඇතිව නොවේ. ජීවත්වීමට රැකියාවක් නොමැති නිසායි.
මම ද උපාධිධාරි ගුරුවරයෙකි. උපාධිය සමත්ව වසර හතක් රැකියාවක් නොමැතිව සිටි අයෙකි. එදා අරගල කොට ගුරු සේවයට පත්වීම් ලැබ පළමු ශ්‍රේණියට පත් වූවෙකි. එහෙත් අද ශ්‍රේණියට අදාළ නිශ්චිත විශ්‍රාම වැටුපක් නැත. නිසි වැටුප ලබා ගැනීමට අපගේ හඬට අවධානය යොමුකරන බලධාරින් නොමැති තරම්ය.
එබැවින් විශ්‍රාමික ශ්‍රේණිධාරි ගුරුවරුන්ගේ සේවා කාලය අහෝසිකොට ගුරු ශ්‍රේණියට අදාළ වැටුප් තලයේ පිහිටුවන ලෙස අතිගරු ජනාධිපතිතුමා ඇතුළු බලධාරින්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
එස්. සමරනායක, අම්බලන්ගොඩ
මාතලේ හුලංගල බේරා දෙන්න
මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සැලගම ග්‍රාම නිලධාරි වසමේ ඉහළ බෑවුමක රක්ෂිත වනාන්තරයකට මායිම්ව පිහිටා ඇති හුලංගල යනු මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වූ කුඩා ගල් තලාවකි. පුංචි ලෝකාන්තය නමින් රටේ තරුණ පරපුර අතර මෙකී ගල් තලාව මෑත කාලයේ සිට ප්‍රචලිතය.
මෙකී ගල් තලාවට වටිනාකමක් දෙමින් තරුණ පරපුර නොමඟ යවමින් එය නැරැඹීම සඳහා පිරිස් ගෙන්වීමට කටයුතු කරන බලධාරින්ගේ යටි අරමුණක් ඇති බව සඳහන් කළ යුතුමය. හුලංගල නැරැඹීමට යා යුත්තේ රාජ්‍ය වැවිලි සමාගමට අයත් ඇල්කඩුව ප්ලාන්ටේෂන් මඟින් පාලනය වන තේ වත්තක් මැදිනි. ඒ අනුව තේ වත්ත හරහා ගමන් කිරීමට ඇතුළු වීම සඳහා වතු පාලනාධිකාරිය විසින් නිකුත් කරන ලද ටිකට් පතක් මිලදී ගත යුතු වේ. එම ටිකට්පත පිළිබඳව යටවත්ත ප්‍රාදේශීය සභාවේ හෝ අවධානයක් යොමු නොවී තිබීම කනගාටුදායකය.
ටිකට් පතක් නිකුත් කළද සංචාරකයන්ට ප්‍රමාණවත් පරිදි යටිතල පහසුකම් හෝ ආරක්ෂාවක් සැපයීමට වතු පාලනාධිකාරිය විසින් කටයුතු කර නොතිබීමේ ඵල විපාකවලට අද වන විට සංචාරකයන් මුහුණ දෙමින් සිටින්නේ ජීවිත අනතුරුවලට ද ලක්වෙමිනි. දිනකට නන්දෙසින් සිය ගණනක් දෙනා හුලංගල නැරැඹීමට පැමිණීම නිසා මේ වන විට ඒ අවට පරිසරය, රක්ෂිත වනාන්තරය, බිසෝ ඇල්ල ජල පෝෂක ප්‍රදේශය මෙන්ම අවට ගම්වාසීන්ගේ දිවි පෙවෙතටත් දැඩි හානියක් ගෙන දෙමින් පැවැතීම අවාසනාවන්ත තත්ත්වයකි. එසේම මේ වන විට ඒ අවට පෙදෙස්වලින් මත්ද්‍රව්‍ය හා සමාජ විරෝධි අපචාර ක්‍රියාවන් ද වාර්තා වෙමින් තිබේ.
රක්ෂිත වනාන්තරයක සැඟව තිබූ පුංචි හුලංගල සමාජගත කිරීමේ ප්‍රබල ඵල විපාකවලට මුහුණ දෙමින් සිටින්නේ අවට ප්‍රදේශවාසී ජනතාවයි. මේ පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය යොමුව නිසි ක්‍රියාමාර්ග ගැනීම කඩිනමින් කළ යුත්තකි. එසේ නොමැති වුවහොත් නුදුරේදීම හුලංගල අවටින් මහත් විනාශ සිදුවිය හැකිය.
රංජිත් අමරසිරි, මාතලේ
බන්ධනාගාර රැඳවියන් ගැනත් අවධානය යොමු කරන්න
“සිරකරුවෝ ද මනුස්සයෝ ය ”යන්න තේමා පාඨය කරගත් මෙරට බන්ධනාගාර සේවය රටට කරන සේවය ඉමහත්ය.
නොදැනුවත්කමින් හෝ වැරදිවලට යොමු වූ ජීවිත සමාජයට ගැළපෙන අයුරින් නැවත පුනරුත්ථාපනය කරමින් සකස් කිරීම සුළුපටු නොවේ. බන්ධනාගාරයක ඇති කටුක, කඨෝර ඒකාකාරී ජීවිතය ගැන දන්නේ බන්ධනාගාර රැඳවියකු පමණි. අහසත් පොළොවත් හැර අන් කිසිවක දක්නට නොලැබෙන එම ජීවිත තුළ සැඟවී ඇති කඳුළු කතා අපට ද පාඩමක් කියා දෙයි.
අපේ රටේ බන්ධනාගාරගත වන පිරිස් අතර බහුතරයක්ම තරුණ පිරිස බව හැඟේ. ජීවිතයේ ස්වර්ණමය කාලය රටදැය වෙනුවෙන් කැප කිරීමට ඉඩ ප්‍රස්ථා තිබියදී වැරැදි පුද්ගලයන්ගේ ඇසුර නිසා නොමඟ ගිය තාරුණ්‍ය යළි ප්‍රකෘති කිරීම පහසු නොවේ.
මත්ද්‍රව්‍ය, සොරකම්, මිනීමැරුම්, මංකොල්ලකෑම් ආදි බරපතළ ගණයේ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයන් යළි සමාජයට යොමු කිරීමට පෙර පුනරුත්ථාපනය කිරීම අතිශය වැදගත්ය. ඒ සඳහා රජය මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙන්ම අධිකරණ අමාත්‍යාංශය ද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
විශේෂයෙන් නොමඟ ගිය තරුණ ජීවිත යළි යහමඟට ගැනීමේදී අධ්‍යාත්මික පැත්ත දියුණු කිරීම අත්‍යවශ්‍යම කරුණකි. ධර්මයට යොමු කිරීම තුළින් මනුස්ස ජීවිතයක ඇති වටිනාකම ඔවුනට දිනෙක වැටහෙනු ඇත. අද දවසේ බන්ධනාගාරගතව ජීවත්වන බොහෝ ජීවිත තමා අතින් සිදුවූ වැරැදිවලට පශ්චාත්තාප වන බවට කිසිදු සැකයක් නොමැත. එම නිසා බන්ධනාගාරගතව සිටින රැඳවියන් ජීවිත යහමඟට ගෙන නැවත සමාජගත කිරීමට හැකිනම් එය එක්තරා ආකාරයක පුණ්‍යකර්මයක් ද වනවා නියතය.
ඩබ්ලිව්. ඒ. කේ. මොහාන්, මහවැලි සී. කලාපය
ග්‍රාම සංවර්ධන සමිති ශාලාවට මොකද වුණේ?
මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් පොහොන්නරුව ග්‍රාමසේවක කොට්ඨාසය පවුල් 450කට වැඩි සංඛ්‍යාවක් ජීවත්වන ප්‍රදේශයකි. පොහොන්නරුව ග්‍රාමසේවා කොට්ඨාසයේ පැවැති ග්‍රාම සංවර්ධන සමිති ශාලාව දිරාපත් වී තිබීම හා ඉඩකඩ මදිකම නිසා ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන්ගේ අවසරයෙන් පසුගිය කාලයේදී කඩා ඉවත් කරන ලදී.
නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට වසර තුනකට ආසන්න කාලයක් ඉක්ම ගියද මේ වන විට එය භාවිතයට ගැනීමට හැකි ආකාරයෙන් ඉදිකර ගැනීමට නොහැකි වී තිබේ. එසේම පැරැණි ශාලාවේ තිබූ පුටු, මේස, බංකු කිසිවක්ම වර්තමානයේ දක්නට නැත. එම භාණ්ඩවලට සිදුවූ දෙයක්ද කිසිවෙක් නොදනී. දැනට එම ස්ථානයට යාමට පවා නොහැකි තත්ත්වයකට වල් බිහිවී තිබේ.
ග්‍රාම සංවර්ධන සමිති ශාලාව නොමැතිකමින් ග්‍රාම සංවර්ධන සමිතිය, එක්සත් මරණාධාර සමිතිය, පුබුදු ගොවි සංවිධානය, වැඩිහිටි සමිතිය, සමෘද්ධි හා සුබසාධක ජන ව්‍යාපෘතිය සහ සෞඛ්‍ය සේවා සමිතිය ඇතුළු සමිති සියල්ලකගේම රැස්වීම තැබීමට ශාලාවක් නොමැතිකමින් ප්‍රදේශයේ ජනතාව මේ වන විට මහත් අපසුතාවකට පත්ව ඇත.
තවද ග්‍රාම නිලධාරි කාර්යාලය ඇතුළු රජයේ කාර්යාල කීපයකම කාර්යාලය ද එම ශාලාවේ පිහිටා තිබූ නමුත් මේ වන විට එම කාර්යාල ද ප්‍රදේශයේ විවිධ ස්ථානවල පවත්වාගෙන යති. ප්‍රදේශයේ පවත්නා විහාරස්ථානවලට ද මෙකී ශාලාව නොමැතිකම විශාල පාඩුවකි.
එම නිසා පොහොන්නරුව ග්‍රාම සංවර්ධන සමිති ශාලාව කඩිනමින් ඉදිකර දෙන මෙන් ප්‍රදේශයේ දේශපාලන බලධාරින්ගෙන් ඉල්ලා සිටිමු.
නන්දපාල වෙලගෙදර, මීරිගම
දහම් ගුරු සිසුන්ට සවියක් වෙමු
මහකුඹුක්කඩවල ශ්‍රී සම්බුද්ධ රශ්මි දහම් පාසලේ අඩුපාඩුකම් රැසකි. පිරිසුදු පානීය ජල පහසුකම් නොමැති ප්‍රධාන ගැටලුවකි. වැසිකිළි පහසුකම් සඳහා ගැහැනු, පිරිමි භේදයකින් තොරවම ඇත්තේ එකම වැසිකිළියකි. දහම් පාසල් දරුදැරියන් හට ආහාර නොමැතිව ක්ලාන්ත වන අවස්ථා ආගමික වතාවත් සිදු කරන උදය කාලය තුළදී සුලබව දැකිය හැකි වේ.
දහම් පාසල් දරුවන්ට ඇඳුම් පැලඳුම් උපකරණ අඩුපාඩු රැසකි. එසේම වන අලින් ඇතුළු සතාසිවුපාවන් නිසා ද මෙකී දූදරුවන් විඳින්නේ
බොහෝ පීඩාවන්ය.
රට පුරාම දුෂ්කර පෙදෙස්වල තිබෙන අතිදුෂ්කර දහම් පාසල් කෙරෙහි අවධානය යොමු කිරීම බලධාරින්ගේ වගකීමකි. එසේම මෙවැනි දුෂ්කර ජිවිත ගතකරන දූදරුවන්ට සවියක් වෙමින් අතිමහත් පුණ්‍යකර්මයන් සිදුකරගන්නා මෙන් රජයෙන් හා පරිත්‍යාගශීලි සැමගෙන් ඉල්ලා සිටිමු.
ප්‍රේමරත්න විජේසේකර, මහකුඹුක්කඩවල
අවුරුදු සුබාසිරි!
නිදහස් ගසේ අතු අග මල් සුපිපේවා
අදහස් සැමගෙ පිවිතුරු ලෙස පැතිරේවා
උදහස් නොවන සිතුවිලි ලොව රැව්දේවා
දෙදස් විසිදෙකේ රෝ බිය දුරු වේවා
පිටරට තොරතුරුය අප රට තොරතුරුය
ගෙනෙනා ලිපි සමඟ කව් රස හරබරය
මංගල සීනු හඬ හඬවයි සොමිබරය
සිළුමිණ පුවත්පත මනසට සුවබරය
මවකට සුවය දරු සුරතලයක් නේද
මලකට සුවය ගුම් දෙන බඹරෙක් නේද
විලකට සූවය හොඳ පස් පියුමක් නේද
මනසට සුවය "ජනමඬලේ" මෙහෙවර නේද
සිහල දමිල මුස්ලිම් ජා බර්ගර්ලා
එක මවකගේ දරුවන් ලෙස ඉඳපල්ලා
ජාති බේද කුල ආගම් බූවල්ලා
පලවා හරින්නට මෙහි කවි ලියපල්ලා
කලාභූෂණ ලයනල් ජයලත්, පාණදුර
දුම්රිය රියැදුරන් වෙතයි
දූ දරුවන්, දෙමවුපියන් පෝෂණය කිරීමට මෙන්ම දූ දරුවන්ගේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට ජීවිතය කැපකරන අප වැනි පිරිස් ගැනත් සිතන මෙන් ඉල්ලා මෙසේ සටහනක් තබන්නෙමු.
අපගේ ශ්‍රමය වැය කරන්නෙ රටේ අවශ්‍යතා උදෙසායි. ඔබලාත් අප සැමත් එකම අරමුණකට ගමන් කරන්නන් යැයි සිතන්නෙමු.
එහෙත් දුම්රිය රියැදුරන් වන ඔබලාගේ ක්‍රියාදාමයන් නිසා මහජනතාව වන අප අපහසුතාවට පත්කරන්නෙ මනුෂ්‍යත්වයෙන්ද යන්න ගැටලුවකි. අලුයම සිට අවදිව කෑමට කිසියම් අහරක් ගෙන වාර ප්‍රවේශ පත්‍රයේ පිහිටෙන් රැකියාවට එන අප අඳුර වැටෙද්දී දූදරුවන් දැකබලා ගැනීමට නිවෙසට යාමට නොතිත් ආශාවෙන් පසුවන්නෙමු.
එසේ දුම්රිය ස්ථානයට දිව එන අප හට ඇතැම් අවස්ථාවලදී දුම්රිය රියැදුරන් රටේ සමස්ත ශ්‍රම බළකායටම එල්ල කරන්නෙ මරු පහරකි. ඒ අතරේ පාසල් ගිය දූ දරුවන්ට ද ඔබලාගේ වෘත්තිය ක්‍රියාමාර්ග නිසා අත්වන්නේ අන්ත අසරණ භාවයකි. ඉකුත් දිනෙක පැවති දුම්රිය රියැදුරන්ගේ වැඩ වර්ජනයක් නිසාවෙන් අප සියලු දෙනාටම මුහුණ පෑමට සිදු වූයේ අන්ත දුකකි.
බස් රථයක හෝ යන්නට මුදලක් අත නොමැතිව බොහෝ දෙනෙක් මුහුණ පෑයේ මහත් දුෂ්කරතාවකටයි.
එම නිසා දුම්රිය රියැදුරන් ලෙස ඔබලා වැඩ වර්ජන කරනවා නම් අඩුම තරමේ දිනකට කලින් හෝ සියලු දෙනාම දැනුම්වත් කිරීමට කාරුණික විය යුතුය.
මන්ද වැඩ වර්ජන තුළින් දුක් විඳින්නේ පාලකයන් නොව රටේ අසරණ ජනතාවයි. ගුරුවරුන්ගේ ඔන්ලයින් වර්ජන තුළදී ද පීඩනයට පත් වූයේ දුප්පත් දූදරුවන් මිස පාලකයන් නොවේ.
එම නිසා වැඩ වර්ජන, වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නේ නම් කල්තියා දැනුම්වත් කිරීමට කාරුණික වන්නැයි දුම්රිය මගීයෙක් ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නෙමු.
ආර්. පී. ජයරත්න, දාරළුව
පාසල් සඳහා ලබා දෙන කාර්ය මණ්ඩල ප්‍රමාණවත් ද?
අප රටේ පාසල් දස දහසකට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත. පළාත් පාසල් සහ ජාතික පාසල් වශයෙන් වර්ගීකරණයක් ද තිබේ. කුමන වර්ගීකරණයකට අයත් වුවද මේ හැම පාසලකම ඉගෙනුම ලබන්නේ අපේ රටේ දරුදැරියන්ය.
දරුවන් පාසලට පැමිණෙන්නේ හුදෙක්ම ඉගෙනීම සඳහාය. ඒ සඳහා අවශ්‍ය වන වටපිටාව පරිසරය අප විසින් සකස් කළ යුතු නොවේද?
දරුවකු උදෑසන පාසලට පිය නැඟු පසු සෑම පාසලකම කෙරෙන දෛනික වැඩ කොටසක් තිබේ. ඒ දිනපතා පාසල අතු ගෑම, කැළිකසළ නියමිත පරිදි බැහැර කිරීම ආදි සාමාන්‍ය වැඩපිළිවෙළය.
එහෙත් දැන් දරුවන්ට දැරිය නොහැකි රාජකාරි ද මේ අතර පැවරී ඇත. ඒ වැසිකිළි කැසිකිළි පිරිසුදු කර ගැනීමය.
මෙය දරුවන්ට කිසිසේත්ම ගෝචර නොවේ. දරුවන් උදේට සුදු ඇඳුමින් පැමිණෙන්නේ ඉතාම ක්‍රමානුකූලවය. මෙම දෛනික වැසිකිළි පිරිසුදු කිරීම නිසා ඔවුනගේ ඇඳුම් පැලඳුම්, සපත්තු ආදිය අපිරිසුදු වේ. වර්තමානයේ ආර්ථික තත්ත්වය අනුව මවුපියන්ට නිතර නිතර ඇඳුම් පැලඳුම් මිලදී ගත නොහැකිය.
මහා විද්‍යාල, ජාතික පාසල් බෝඩ් ලෑල්ලට පමණක් සීමා වී ඇත. පාසලට අවශ්‍ය සනීපාරක්ෂක කම්කරුවන්, උද්‍යාන කම්කරුවන් යන මේ කිසිවකු නැත. බඳවා ගැනීම් ගුරු වෘත්තියට පමණක් සීමා වී තිබේ. රටපුරාම පාසල්වල තත්ත්වය මෙසේය.
පාසලකට භෞතික සම්පත් සේම මානව සම්පත ද අත්‍යවශ්‍ය බව සිහි තබා ගත යුතුය. අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රමුඛ තේමාව ගුරුවරුන් බඳවා ගැනීම ම නොවන වග මතක තබා ගත යුතුය.
චන්දන වන්නිආරච්චි, දෙහිඅත්තකණ්ඩිය
දොඩංගොඩ ප්‍රාදේශීය සභාපතිට මල් මිටක්
දොඩංගොඩ ප්‍රාදේශීය සභා බල සීමාවේ "සේරුපිට" ග්‍රාම නිලධාරි කොට්ඨාසයට නව ආදාහනාගාරයක් ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ටෙනිල් විශ්වසාන්ත මහතාට සේරුපිට ඇතුළු අවට ගම්වාසීන්ගේ කෘතඥ පූර්වක තුති පුද කරන්නේ හදපිරි බැතියෙනි.
ජනතා සේවයට මැනවින් කැපවී කටයුතු කරන සභාපති විශ්වසාන්තගේ සේවය ජනතා හදවත් තුළ මැනවින් සටහන් වී ඇත්තේ ඔහු විසින් පසුගිය කාලය පුරාවටම මහජන නියෝජිතයකු ලෙසින් සිදුකර ඇති අමිල සේවය හේතුවෙනි.
මහජන නියෝජිතයකු ලෙස තම කාර්යභාරය මනා ලෙස හඳුනාගෙන ජනතා සේවයට අවංකව කැපව කටයුතු කරන දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපතිවරයා වන ටෙනිල්, ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂය විසින් ඇගයීමට ලක්කළ යුතුම පුද්ගලයෙකි.
ඒ අනුව ටෙනිල් විශ්වසාන්ත ප්‍රාදේශීය සභාපතිවරයාට දේශපාලනයේ හිණිපෙත්තටම ගමන් කිරීමට අවස්ථාව ලබාදීම ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඇතුළු ඉහළ දේශපාලන බලධාරින්ගේ වගකීමකි. මේ පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමු විය යුතුය.
රන්දික උදටියාවල, දකුණු කළුතර
පිදිය යුත්තන් පිදිය යුතුමය
අප රටේ පොල් කර්මාන්තය නඟා සිටුවීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය ද ඒ යටතේ පවත්නා පොල් සංවර්ධන අධිකාරිය හා පොල් වගා කිරීමේ මණ්ඩලය ද ලුණුවිල පිහිටි පොල් පර්යේෂණ ආයතනය ද කියා නිමකළ නොහැකි තරමේ සේවාවක් ඉටුකරන බව සඳහන් කළ යුතුමය.
එම ආයතනවල මූලිකත්වයෙන් මේ වන විට රටේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ලක්ෂ ගණනින් පොල් පැළ සිටුවීම සිදු කෙරේ. ඒ අතරේ එහි නවතම පියවර ලෙස පොල් පර්යේෂණ ආයතනය මඟින් පටක රෝපණ පොල් පැළ නිපදවීමේ ව්‍යාපෘතියක් ද අරඹා තිබීම අතිශයින් ප්‍රශංසනීය තත්ත්වයකි. ඊශ්‍රායලයට ගොස් එරට තුළ තිබෙන පටක රෝපණ තාක්ෂණය මෙරටට හඳුන්වා දීමේ ගෞරවය හිමි විය යුත්තේ දැනට විදෙස් රටක තානාපතිනියක ලෙස සේවය කරන කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කළ ක්ෂණිකා හිරුඹුරේගමටයි. ඇයගේ නාමයට ගෞරවයක් ලෙස ඒ බව සඳහන් කර සිටින්නෙමු.
වීරවිල, වැලිගන්න ප්‍රදේශයේ කෙසෙල් පටක රෝපණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර විශ්වවිද්‍යාල සිසුන් ඒ සඳහා යොමුකරන ලද්දේ ඇය විසිනි. එමඟින් ආරම්භ වූ මෙරට පටක රෝපණ තාක්ෂණ ක්‍රමවේදය පොල් පැළ නිපදවීම දක්වා වර්ධනය වී තිබීම අතිශය සතුටට කරුණකි.
මේ අනුව ඉදිරි කාලයේදී මෙරට තුළ පොල් වගා කරන අයට පටක රෝපිත පොල් පැළ ලබා දීමට පොල් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් වර්තමානයේ ප්‍රශංසනීය ව්‍යායාමයක යෙදී ඇත. පොල් යනු අප රටට විදේශ විනිමය ගෙනෙන උල්පතකි. පොල් හා තැඹිලි ආශ්‍රිත නිෂ්පාදන කිහිප ගුණයකින් වැඩිකර ගැනීම තුළින් අනාගතයේ විදේශ විනිමය හිඟ ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් ලැබෙනු ඇත.
කේ. එල්. ඩී. ජයසිංහ