බුදුන්ගේ කේශ ධාතු තැන්පත් කළ කියයිටියෝ ස්ථූපය | සිළුමිණ

බුදුන්ගේ කේශ ධාතු තැන්පත් කළ කියයිටියෝ ස්ථූපය

අසිරිමත් වෙසක් මංගල්‍යය සඳහා තිබෙන්නේ තව දින කිහිපයක් පමණයි. මුළු රටම වෙසක් පහන් කූඩු, තොරණ හා නොයෙකුත් වර්ණවත් වෙසක් සැරසිලි වලින් සරසන්නට සූදානම් වනවා.ඒ හා සමගාමීව ආමිස හා ප්‍රතිපත්ති පූජා වල නියැලෙන්නට බොහෝ දෙනකු සැදී පැහැදී සිටිනවා.

බුදු ගුණ වැයෙනා ගාථා හා භක්ති ගීත දසත ඇසෙන ගෞතම බුදු රජාණන්වහන්සේගේ ශ්‍රී තෙමඟුල සිහිපත් කෙරෙනා මේ වෙසක් පොහෝ දින තමයි ලොව පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත වූ බෞද්ධ සැදැහැවතුන්ගේ උතුම්ම දිනය වන්නේ. ඒ නිසා වෙසක් මංගල්‍යයට සමගාමීව අසිරිමත් බෞද්ධ සිද්ධස්ථානක් ගැන තොරතුරු අද මෙම පිටුවෙන් ඔබ වෙත අප ගෙන එනවා.

මියන්මාරය එසේත් නැතිනම් අපි හොඳින් හඳුනන බුරුමය ඈත අතීතයේ සිටම ථෙරවාද බෞද්ධ රාජ්‍යයක්. එකල අපරටේ රජවරුන් හා බුරුමයේ රජවරුන් අතර තිබූ සබඳතාවන් නිසා අපේ රටේ බෞද්ධාගම නැංවීම සඳහ බුරුමයෙන් වූ සේවය අපරිමිතයි. බුරුමයේ තිබෙන ප්‍රධානතම බෞද්ධ සිද්ධස්ථාන තුනෙන් එකක් වන ස්වර්ණමය චෛත්‍යය එසේත් නැතිනම්

(Kyaiktiyo Pagoda) ලෙස මෙම ස්ථානය හඳුන්වනු ලබනවා. ඉතා උස් කඳු මුදුනක පිහිටා තිබෙන මෙම ස්ථානයේ විශේෂත්වය වන්නේ ඉහත කී ස්වර්ණමය ස්ථූපයයි. රත්‍රන් ආලේපිත විශාල පාෂාණ කුට්ටියක් වන එය තවත් විශාල පාෂාණයක කෙළවරට වන්නට ආශ්චර්‍යමත් ලෙස නොපෙරළී පැවතීම මෙහි පැමිණෙන සැදැහැවතුන්ගේ මවිතයට හේතුවක් වී තිබෙනවා. මෙයට හේතුව ලෙස සලකන්නේ බුදු රජාණන්වහන්සේගේ කේශ ධාතූන් වහන්සේ නමක් මෙහි වැඩ සිටින බවයි .

බුරුම දේශයට බුදුරදුන් වැඩිය අවස්ථාවක ටයික් තා නම් බමුණකු හට බුදුරදුන් ගේ එක් කෙස් ගසක් ලබා දී තිබෙනවා. ආරක්ෂාව සඳහා එම කේශ ධාතුව තමන්ගේ කෙස් වැටිය තුළ සඟවා ගත් බමුණා තමන්ගේ කාලය අවසන් වන විට එම ධාතූන් වහන්සේ එකල බුරුමයේ රජතුමා වෙත ලබා දී තිබෙන්නේ බමුණාගේ හිස වැනිම හැඩයෙන් යුතු ගලක් තුළ මෙම කේශ ධාතුව තැන්පත් කරන ලෙස පවසමිනි. ඉන්පසුව ශක්‍ර දෙවියන් සමඟ එක්ව මුහුදු පතුලේ තිබූ මෙම පාෂාණය සොයාගෙන තිබේ.

එය තැන්පත් කිරීමට කියයිටියෝ කඳු මුදුන තෝරාගෙන ස්ථූපය පිහිටුවා කේශ ධාතූන්වහන්සේ එහි තැන්පත් කර තිබේ. එම කේශ ධාතූන්වහන්සේ නිසා මෙම ස්ථූපය පහළට නොපෙරළී පවතින බවට විශ්වාසය කෙරෙන්නේ මේ නිසාවෙනි. මෙම පාෂාණය මෙම ස්ථානයට ගෙන ඒමට බෝට්ටුවක් භාවිතා කර තිබෙන අතර පසුව එම බෝට්ටුවත් පාෂාණයක් බවට පත් කර තිබේ.

ස්වර්ණමය ස්ථූපයේ සිට මීටර් 300 ක් පමණ ඈතින් තිබෙන මෙම පාෂාණයත් වන්දනාකරුවන් විසින් වැඳුම් පිදුම් සිදු කරන ස්ථානයක් බවට පත් වී තිබේ. පුරාතනයේ සිට පැවසෙන්නේ මෙම කඳු මුදුන වෙත එක් වසරක් තුළදී තුන් වරක් පා ගමනින් පැමිණවන්දනාමාන සිදු කළහොත් එම පුද්ගලයාට ධනය හා කීර්තිය අත් වන බවයි.

මෙමස්ථූපය රන් පැහැ වී තිබෙන්නේ වසර ගණනාවක සිට මෙහි පැමිණෙන සැදැහැවතුන් විසින් රත්‍රන් පත්‍ර මිලයට ගෙන ඒවා මෙහි ඇලවීම නිසායි. ඊට අමතරව මුදල් නෝට්ටුද කෝටුවක ගසා මෙම පාෂාණය යටින් ආධාරක ලෙස සිටවන්නේ ද චාරිත්‍රයක් ලෙසිනි.

මෙම මුදල් සියල්ල විහාරස්ථානයේ නඩත්තු කටයුතු සඳහා භාවිතා කරනු ලබනවා. මියන්මාර වැසියන්ගේ තවත් එක් වෙනස් වූ චාරිත්‍රයක් වන්නේ කිසිම ගැහැනු කෙනකු මෙම ස්ථූපය අසළට නොයෑමයි. ඒ සඳහා විශේෂ හේතුවක් සඳහන්කර නැතත් මෙම ස්ථූපය සහිත පාෂාණය ස්පර්ශ කිරීම අතිශයින්ම පුරුෂයන් සඳහා වෙන්වූ ක්‍රියාවක් ලෙස මොවුන් සලකනවා.

මෙම කඳු මුදුන වෙත පැමිණීම තරමක අසීරු කටයුත්තක් වන අතර බොහෝදෙනා කන්දේ තරමක් දුරට වාහනයකින් පැමිණ කඳු මුදුනට කිලෝමීටරයක් පමණ පහළින් පිහිටි ස්ථානයක සිට පාවහන් නොමැතිව පයින් පැමිණෙනවා. විශාල සංචාරක ආකර්ෂණයක් හිමිවී තිබීම නිසා හෝටල්ද සැලකිය යුතු ප්‍රමාණයක් මෙම ප්‍රදේශය අවට දක්නට ලැබෙනවා.

වර්තමානය වන විට මෙම ස්ථූපය අවට පිහිටි කඳු මුදුන් වල ස්ථූප හා වන්දනා ස්ථාන සකසා තිබෙන අතර අඩි පාරවල් ඔස්සේ කැළය මැදින් ඒවා වෙත සංචාරකයන් හා වන්දනාකරුවන් ගමන් කරනවා. නොවැම්බරයේ සිට මාර්තු දක්වා මෙම ස්ථානය වන්දනාකරුවන්ගෙන් පිරී ඉතිරී යන අතර දෙසැම්බරයේදී රාත්‍රියට ඉටිපන්දම් දහස් ගණනක් දල්වා රාත්‍රියම ආලෝකමත් කරන උත්සවයක්ද මෙහි පැවැත්වෙනවා. 

Comments