
“හෙයියම්මාරුව කඩමණ්ඩියේ චීනපටස් පිපිරීම පසුදා එළි වන තෙක් නොනැවති දිගටම පැවතිණි. අලියා පැරදී ඇත්තේ ඡන්ද දහහතර දහස් ගණනකින් යැයි සමහරුන් කියන අතර සමහරු විසිඅට දහස් ගණනකින් යැයි කීහ. වමට ඡන්දය දුන් අයගේ සංඛ්‍යාව සිතුවාටත් වඩා විශාල බව පෙනිණි. මැම්බර් මහත්තයා දෙපස රතු කමිස ඇඳගත් ජෝකිනු සහ රතු ඇල්බොට් අණ දෙන යුද නිලධාරියකුගේ ලීලාවෙන් සටන් පාඨ කියති. දුප්පතුන් සූරාකන ධනපති බංග වේවා - වලව් රාලහාමිගේ පොල්වතු බංග වේවා, අලියා කැලේ තල් අකුලේ - ධනපතියෝ පැනලා ගියේ..... පෙළපාළිය වලව් කඩේ දෙසට ඇදී යයි. සටන් පාඨ වේගවත් වෙයි....”
වාමාංශික දේශපාලන පක්ෂයක ජයග්‍රහණයක් පිළිබඳව මේ ආකාරයට විස්තර කෙරෙන්නේ මහාචාර්ය ඒ.වි. සුරවීරගේ හෙයියම්මාරුව නවකතාවෙහි ය. රතු කමිස ඇඳ ගත් වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයන්ව එදා සමාජය විසින් හැඳින්වූයේ සමසමාජකාරයන් ලෙසිනි. ඊට හේතුව ලංකාව් ප්‍රථම වරට වාමාංශික දේශපාලන පක්ෂයක් ලෙස ස්ථාපිත වූයේ ලංකා සම සමාජ පක්ෂය වන නිසාය.
ලංකා සම සමාජ පක්ෂය බිහි වූයේ 1935 දෙසැම්බර් 18 වැනිදා ය. ඒ වන විට ලංකාව බ්‍රිතාන්‍යයට යටත්ව තිබූ අතර ලෝකයේ මාක්ස්වාදය ව්‍යාප්ත වෙමින් තිබිණි. එවකට ඇමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකික තරුණයන් බ්‍රිතාන්‍යයේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම සහ ජාත්‍යන්තර දේශපාලන පෙරළි විසින් ඔවුන් තුළ ඇති කළ බුද්ධිමය උන්නතිය මෙරට වාමාංශික දේශපාලන ධාරාවක් ජනිත කිරීමට ඉවහල් විය. බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබා මෙරටට පැමිණි ඇන්.ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන යන අය සමාජවාදි සමාජයක් බිහි කරමින් සූරාකෑම අවසන් කිරීමත් බ්‍රිතාන්‍ය පාලනයෙන් පූර්ණ නිදහස ලබා ගැනීමත් අරමුණු කොටගෙන තරුණ සංගම් පිහිටුවා ගන්නා ලදී.
කම්කරුවන් සහ ගම්බද දුගී ජනතාව අතර ප්‍රචලිත වූ මෙම තරුණ සංගම් එවකට කොළඹ වෘත්තීය සමිති ව්‍යාපාරය මත පැවැති ඒ.ඊ. ගුණසිංහගේ අධිකාරියට අභියෝග කළේය. ලංකාවේ කම්කරු පන්තිය කේන්ද්‍ර කර ගනිමින් ඒ.ඊ. ගුණසිංහ විසින් 1928දී ඇරඹු කම්කරු පක්ෂය ජාතික ස්වාධීනත්වයට සහයෝගය දීම හෝ සමාජවාදය ගැන හෝ මාක්ස්වාදය කතා නොකිරීම නිසා ජාතික කම්කරු පක්ෂයට වඩා මෙම තරුණ සංගම් ජනතා ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය. 1933 වැල්ලවත්ත රෙදි මෝලේ වර්ජනය ඊට කදිම නිදසුනකි. 1934 දී වගා පාළුව නිසා ඇති වූ සාගතය සමඟ පැතිරී ගිය මැලේරියා වසංගතයට ආධාර කිරීම සඳහා මෙම තරුණ සංගම් විසින් පුළුල් ව්‍යාපාරයක් අරඹනු ලැබීය. සූරියමල් ව්‍යාපාරය බිහිවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එදා මැලේරියාවට ගොදුරු වූ ජනතාවට ක්විනින් පෙති සමඟ මාමයිට් සහ පරිප්පු බෙදා දුන් අතර මැලේරියාවෙන් මිය ගිය අයගේ භූමදාන කටයුතු සිදු කෙරුණේ ද සූරියමල් ව්‍යාපාරයේ තරුණයන් අතිනි. ඇන්.ඇම්. පෙරේරා “පරිප්පු මහත්තයා” ලෙසින් හඳුන්වන්නට යෙදුණේ එමනිසා ය. සූරියමල් ව්‍යාපාරය සහ තරුණ සංගම් තුළින් ද නාගරික කම්කරු පන්ති ව්‍යාපාරය තුළින් ද ක්‍රියාකාරි වෙමින් ස්වකීය දේශපාලනය ආරම්භ කළ මෙම පිරිස, වමේ ව්‍යාපාරය සංවිධානාත්මක පක්ෂයක් ලෙසින් ස්ථාපිත කිරීමට මූලික වූහ. 1935 දෙසැම්බර් 18 වැනි දින ලංකා සම සමාජ පක්ෂය බිහි වූයේ ඔවුන්ගේ පුරෝගාමිත්වයෙනි. කොල්වින් ආර්. ද සිල්වා ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රථම සභාපති විය. ප්‍රථම ලේකම් වූයේ ලෙස්ලි ගුණවර්ධනය.
1936 පෙබරවාරියේදී පිලිප් ගුණවර්ධන සහ ඇන්.ඇම්. පෙරේරා රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් කර ගැනිණි. ඔවුහු එවකට පැවැති ලෝක තත්ත්වයන් හමුවේ බ්‍රිතාන්‍යයට සහයෝගය නොදීමට තීරණය කළහ. අධිරාජ්‍ය විරෝධි, රදළ සහ ධනේශ්වර විරෝධි මෙන්ම සමාජවාදි සමාජ ක්‍රමයක් ගොඩනැඟීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ විය.
“මාක්ස්වාදයෙන් බලපෑම් කළ ප්‍රථම පක්ෂය වශයෙන් ලංකා සම සමාජ පක්ෂය හඳුන්වන්න පුළුවන්. ලංකාවේ වමේ ව්‍යාපාරයත් ලංකා සම සමාජ පක්ෂයත් දෙකක් නොවේ, එකක් හැටියටයි තිබුණේ. ඒත් ලෝකයේ මාක්ස්වාදය ට්‍රොට්ස්කි පිල හා ස්ටාලින් පිල වශයෙන් දෙකඩ වුණා. ඒ අනුව 1939 දී සම සමාජ පක්ෂයත් දෙකඩ වුණා. 1943 දී කොමියුනිස්ට් පක්ෂය බිහි වුණේ එහි ප්‍රතිඵලයක් හැටියටයි. ඒත් 1953 අගෝස්තු හර්තාලයේදී ලංකා සම සමාජ පක්ෂයත් කොමියුනිස්ට් පක්ෂයත් පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණත් එකතු වෙලා තමයි ආණ්ඩුවට අභියෝග කළේ. ඒ වන විට වමේ දිශානතිය තීරණය කළේ ලංකා සම සමාජ පක්ෂය. 1953 හර්තාලය කොයි තරම් ශක්තිමත් වුණාද කියනවා නම් කැබිනට් රැස්වීම තියන්න සිද්ධ වුණේ කොළඹ නැවක.” යනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය සුමනසිරි ලියනගේ සඳහන් කළේය. මහාචාර්ය සුමනසිරි ලියනගේ පවසන ආකාරයට ලංකා සම සමාජ පක්ෂයට රටේ බලය අත්පත් කර ගැනීමේ අවස්ථා කීපයක් හිමි වී තිබේ. පළමුවැනි අවස්ථාව වූයේ 1947 මහ මැතිවරණයයි. 1947 පැවැති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ ආසන 42කි. ස්වාධීන මන්ත්‍රී ආසන 21ක් හිමි වූ අතර ලංකා සම සමාජ පක්ෂයට ආසන 10ක් හිමි විය. කොමියුනිස්ට් පක්ෂයට හිමි වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 03කි. මෙම අවස්ථාවේදී සෙසු පක්ෂ සමඟ එකතු වූයේ නම් එක්සත් ජාතික පක්ෂයට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් හිමි කර ගනිමින් බලය ලබා ගැනීමේ හැකියාවක් තිබිණි. එහෙත් එවකට ලංකා සම සමාජ පක්ෂයේ නායක ඇන්.ඇම්. පෙරේරා ඊට කැමැත්තක් දැක්වූයේ නැත.
මහාචාර්ය සුමනසිරි ලියනගේ පෙන්වා දෙන 2වැනි අවස්ථාව වන්නේ 53 හර්තාලයයි. එය අඛණ්ඩව පවත්වා ගෙන ගොස් රාජ්‍ය බලය ලබා ගත හැකිව තිබුණද ඇන්.ඇම්. පෙරේරා පමණක් නොව කොමියුනිස්ට් පක්ෂය ද ඊට උනන්දු වූයේ නැත. ඉන් අනතුරුව 1960 මාර්තු මාසයේ පැවැති මැතිවරණයේදී ද ආසන 10ක් දිනා ගැනීමට ලංකා සම සමාජ පක්ෂයට හැකි විය. 1960 මහ මැතිවරණයේ ජයග්‍රහණය ලැබූ එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ ආසන 50ක් පමණි. සමස්ත ආසන 151කින් ආසන 50ක් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ විට බහුතරයක් විරුද්ධ පක්ෂයට අයත් වීමත් සමඟ ඇවැසි නම් සම සමාජ පක්ෂයට සෙසු පක්ෂ සමඟ එකතු වී රජයක් පිහිටුවා ඇමති ධුර ලබා ගත හැකිව තිබිණි. එහෙත් එසේ සිදුවූයේ ද නැත.
1963 අගෝස්තු 13 වැනි දිනට 53 හර්තාලයට දස වසරක් පිරෙද්දී කොළඹ ගාලු මුවදොර පිටියේ රැලියක් පැවැත්විණි. එහිදී ලංකා සම සමාජ පක්ෂයත් කොමියුනිස්ට් පක්ෂයත් මහජන එක්සත් පෙරමුණත් එකඟවිය හැකි අවම කරුණු ප්‍රමාණයක් යටතේ ප්‍රතිපත්ති මාලාවක් මත සමඟියෙන් කටයුතු කරන බවටත් ඉදිරි මැතිවරණයේදි බලය දිනාගෙන සමාජවාදි සමාජයක් ගොඩ නඟන බවටත් ප්‍රතිඥා දෙනු ලැබීය. ඉන්පසුව ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලය ඉල්ලීම් 21ක් සකස් කර රජයට ඉදිරිපත් කරන ලදී. එදා එක්සත් ජාතික පක්ෂය එම ඉල්ලීම් බරපතළ ලෙස නොතැකූ නමුත් 1964 දී රාජ්‍ය බලය අත් කරගෙන සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව ඒ කෙරෙහි අවධානය යොමු කළේය. එවකට අගමැති ධුරය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලංකා සම සමාජ පක්ෂයට රජයට එකතු වන ලෙස ආරාධනා කළේ මුදල් ඇමතිව සිටි ටී.බී. ඉලංගරත්නගේ ගැටයකට අනුවය.
මෙහිදී මහන එක්සත් පෙරමුණේ නායක පිලිප් ගුණවර්ධන ඊට තරයේ විරුද්ධ වූයේ 56 දී එකතු වී ලැබූ කටුක අත්දැකීම් නිසාය. කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන සහ බර්නාඩ් සොයිසාගේ අදහස වූයේ රජයට එකතු වන්නේ නම් වාමාංශික එක්සත් පෙරමුණ ලෙස සම්බන්ධ විය යුතු බවයි.
බාලා තම්පෝ, එඩ්මන්ඩ් සමරක්කොඩි, මෙරිල් ප්‍රනාන්දු වැනි වෘත්තීය සමිති ප්‍රකාශ කළේ කුමන පදනමක් යටතේ හෝ රජයට එක් නොවිය යුතු බවයි. ඇන්.ඇම්. පෙරේරා, අනිල් මුණසිංහ සහ විවියන් ගුණවර්ධනගේ අදහස වූයේ ලංකා සම සමාජ පක්ෂය තනිවම රජයට එකතු විය යුතු බවය. අවසානයේදී ලංකා සම සමාජ පක්ෂය ආණ්ඩුවට එකතු වී 1964 ජුනි 11 වැනිදා ඇන්.ඇම්. පෙරේරා මුදල් ඇමති ලෙස දිවුරුම් දුන්නේය. සම සමාජ මන්ත්‍රීවරුන්ට ඇමති ධුර තුනකුත් උප ඇමතිධුර දෙකකුත් හිමි විය.
“ලංකා සම සමාජ පක්ෂයේ මළගමේ අරම්භය විදිහට මම දකින්නේ 1964 රජයට එකතු වීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දක්ෂිණාංශික පක්ෂයක් වුණාට ජනසතු කිරීම්, තෙල් ටැංකි පවරා ගැනීම්, කුඹුරු පනත ගෙන ඒම වැනි ක්‍රියා නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් බොහෝ දෙනෙකුට පෙනුණේ වාමාංශික පක්ෂයක් හැටියට. ඒනිසා ලංකා සමසමාජ පක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් වෙනස්කමක් ජනතාවට තේරුණේ නැහැ. ඒනිසා ලංකා සම සමාජ පක්ෂයේ ඡන්දත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැටුණා.” යනුවෙන් මහාචාර්ය සුමනසිරි ලියනගේ සඳහන් කළේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශාඛා සූරියබණ්ඩාර පැවසුවේ වාමාංශික දේශපාලන පක්ෂ සභාග රජයන් සමඟ කටයුතු කිරීමෙන් ලංකා සම සමාජ පක්ෂය දුර්වල වූ බවය.
1965 දී එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණි අතර 1970 දී සමගි පෙරමුණු රජය බලය පිහිටුවනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ලංකා සම සමාජ පක්ෂයේ එකමුතුවේ පොදු සම්මුතියකට අනුවය. 1970 පත් වූ සමගි පෙරමුණු රජයේ ඇමති ධුර තුනකුත් උප ඇමති ධුරයකුත් ලංකා සම සමාජ පක්ෂයට හිමි විය. “ලංකා සම සමාජ පක්ෂයේ මන්ත්‍රීවරුන් තනි පක්ෂයක් හැටියට 1947 ඉඳලා පාර්ලිමේන්තුවේ හිටියා. මන්ත්‍රී ආසන 10ක් 12ක් දිනා ගත්තා. ඒත් රජයේ පාර්ශ්වයක් වුණාට පස්සේ ලංකා සම සමාජ පක්ෂය පිරිහුණා.
සමාජවාදි ක්‍රමය ගොඩනැඟෙන්නේ විප්ලවයකින් බලය අල්ලා ගැනීමෙන් කියන අදහස තමයි පක්ෂයේ මූලික වී තිබුණේ. ඒත් ලංකා සම සමාජ පක්ෂය මැතිවරණ ප්‍රවාහයට එකතු වී ඇමති ධුර දැරීම සමඟ පක්ෂයේ ජනප්‍රියත්වය අඩු වුණා. ඒ වගේම තමයි 70 - 77 කාලයේ ආර්ථික ප්‍රතිපත්ති ජනතාව ගොඩාක් පීඩාවට පත් කළා. ඒ තුළින් සමාජවාදි ආර්ථික ප්‍රතිපත්ති කියන්නේ මිනිසා පීඩාවට පත් කරන ප්‍රතිපත්ති කියලා අදහසක් සමාජයේ මුල් බැස ගත්තා. 1977 දී ලංකා සම සමාජ පක්ෂය තනිවම තරග කළාට එකම ආසනයක්වත් දිනාගන්න බැරි වුණේ ඒ නිසයි. ඒ සමඟම 1977 විවෘත ආර්ථිකය සමඟ ඇති වූ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති හමුවේ සමාජවාදි සිහිනය බිඳ වැටුණා.
ලෝක ධනවාදය තුළ සමාජවාදයට ඉඩක් නැතිව ගියා. සෝවියට් දේශයෙත් සමාජවාදය බිඳ වැටෙද්දි අපේ රටවල්වල සමාජවාදය අසරණ වුණා.” යනුවෙන් විස්තර කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ඔසන්ත එන්. තල්පාවිල ය.
1970න් පසුව ලංකා සම සමාජ පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු මැතිවරණයකින් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පැමිණියේ නැත. අදටත් ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින්නේ ජාතික ලැයිස්තුවෙන් පැමිණි මන්ත්‍රීවරයෙකි.
“සාම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාරය 1970ට පෙර සහ පසු කියලා කොටස් දෙකකට බෙදා වෙන් කරන්න පුළුවන්. ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ඇතුළු වාමවාදි පක්ෂ ජනප්‍රිය වුණේ 1970ට පෙර. ඊටපසුව සභාග රජය සමඟ කටයුතු කිරීම, ලිබරල් ප්‍රතිපත්ති අනුගමනය කරන දේශපාලන පක්ෂ මත යැපීම, නායකත්වයට 2 වැනි පෙළක් සකස් නොකිරීම වැනි කාරණා නිසා එතෙක් වාමාංශික අදහස් තිබූ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ වෙත විතැන් වුණා.
70න් පසු වාමාංශික දේශපාලන ව්‍යාපාරය රැඳී තිබෙන්නේ එතැන. අනික මම දකින විදිහට ලංකා සමසමාජ පක්ෂය නාගරික කම්කරු පංතිය සමඟ එකතු වුණාට ගමේ කම්කරු ජනතාව සමඟ ගොවි ජනතාව සමඟ එකතු වුණේ නැහැ. ඒකත් ලංකා සමසමාජ පක්ෂය දුර්වල වීමට හේතු වුණා. ලංකා සමසමාජ පක්ෂය කුඩා පක්ෂවලට බෙදී යාමත් පක්ෂය අඩපණ කිරීමට බලපෑවා. ලෝක දේශපාලනයේ සමාජවාදය බිඳ වැටෙන විට අපේ රටේ වාමාංශික දේශපාලනඥයන්ගේ චින්තනය බිඳ වැටුණා. ඔවුන් අසරණ වෙලා ලිබරල් ප්‍රතිපත්තිවලට මුක්කු ගැසීමට පටන් ගත්තා. එයින් සිද්ධ වුණේ මාක්ස්වාදි හිසකුත් ලිබරල්වාදි කඳකුත් සහිත සමසමාජ පක්ෂයක් බිහිවීම.” යනුවෙන් තවදුරටත් විස්තර කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශාඛා සූරියබණ්ඩාර ය.
ඈ තවදුරටත් පැවසුවේ වර්තමානයේ දක්නට ලැබෙන්නේ ලංකා සම සමාජ පක්ෂයේ නෂ්ටාවශේෂ බවය. වර්තමානයේ සමානුපාතික ඡන්ද ක්‍රමය නොතිබුණා නම් ලංකා සම සමාජ පක්ෂයට පාර්ලිමේන්තුවට පැමිණීමට හැකියාවක් නොලැබෙන බව කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ඔසන්ත එන්. තල්පාවිල සඳහන් කළේය.
ලංකා සම සමාජ පක්ෂය පසුගිය 18 වැනිදා සමරනු ලැබුවේ 86 වැනි සංවත්සරයයි. රටේ පවතින කොවිඩ් වසංගතය හමුවේ සංවත්සර උලෙළක් නොපැවැත්වුණු නමුදු පසුගිය 17 වැනි දින කොළඹ දිස්ත්‍රික් මණ්ඩලය සූදානම් කළ පරිදි “වත්මන් අර්බුදය හමුවේ වමේ කාර්යභාරය” මාතෘකාව යටතේ ලංකා සම සමාජ පක්ෂයේ වත්මන් සභාපති, මහාචාර්ය තිස්ස විතාරණ විසින් විශේෂ දේශනයක් පවත්වනු ලැබීය.
“අපේ පක්ෂයේ යෝධ බලකණු වන ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන වැනි අය මිය ගියාට පසුව දැන් මහාචාර්ය තිස්ස විතාරණගේ නායකත්වයෙන් පක්ෂය ඉදිරියට අරගෙන යනවා. අපිට සම්බන්ධ වෘත්තීය සමිති, දිස්ත්‍රික් මණ්ඩල තිබෙනවා. ඒ අය සමඟ අපි වාමාංශික ව්‍යාපාරයක් හැටියට ඉදිරියටම යනවා.
අපි මේ ආණ්ඩුව සමඟ හිටියාට දක්ෂිණාංශික අදහස්වලට විරුද්ධයි. ඒ විරෝධතාව, විවේචන අපි ඍජුව නොපැකිළව ඉදිරිපත් කරනවා. හැබැයි අපි මේ ආණ්ඩුවට වැටෙන්න දෙන්නේ නැහැ.” යනුවෙන් පැවසුවේ ලංකා සම සමාජ පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අනිල් ද සොයිසා ය. මේ වන විට ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ පමණි. ලංකා සම සමාජ පක්ෂය කෙරෙහි තවමත් බලාපොරත්තු දල්වා ගෙන සිටින්නේ එය ලංකාවේ ප්‍රථම වාමාංශික දේශපාලන පක්ෂය වන නිසාය.