
ඉන්දීය සාගරය යනු ලෝකයේ මහාද්වීප පහටම මැදි වී පිහිටා ඇති සාගර කලාපයකි. සෙසු සාගර සමග සසඳන විට ඉන්දීය සාගරයට හිමි වන්නේ කුඩා ප්‍රදේශයකි. එහෙත් වර්තමාන ලෝකයේ භූදේශපාලනිකව සැලකූ විට ඉතාම වැදගත්කමක් හිමි කරන කලාපය ලෙස ඉන්දීය සාගර කලාපය දැක්විය හැකිය. මෙතක් කලක් අප්‍රිකාවට මෙන්ම ආසියාවටද කුඩම්මාගේ සැලකිලි ලැබුණු නමුත් අනාගත ලෝකය පාලනය කරන්නේ ආසියාව විසින් බවට දැන් තහවුරු වෙමින් තිබේ. අත්හැර දමා තිබූ ආසියානු රටවලට බටහිර බලවතුන්ගේ අවධානය යොමු වන්නේ ඒ සමගමය. ආසියානු රටවල බිම් හිමි කර ගනිමින් තම කඳවුරු ස්ථාපිත කිරීමට ලොව බොහෝ බලවත් රටවල් කැසකවන්නේ ඒ සමගින්ය. ඒ සියල්ලම සිදුවීමට හේතුව වන්නේ ඉන්දීය සාගර කලාපය අනාගත ලෝකයේ බල කේන්ද්‍රස්ථානය බවට පත් වීමයි.
වාසනාවකට මෙන් ඉන්දීය සාගර කලාපයේ පිහිටා ඇති රටවල් තම කලාපයට හිමිවෙමින් පවතින වැදගත්කම මේ වන විට වටහාගනිමින් තිබේ. ඒ සඳහා හොඳම උදාහරණය පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වුණු ඉන්දිය සාගර සමුළුවයි. මේ සමුළුව සඳහා ඉන්දීය සාගර කලාපයේ සෑම රටක්ම පාහේ දායකත්වය ලබා දුන් අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සමුළුව ඇමතීය.
කලාපීය සහයෝගීතාව, කලාපීය ආරක්ෂාව, තිරසාර සංවර්ධනය මෙන්ම පරිසරය ආරක්ෂා කිරීම මේ සමුළුව පැවැත්වීමේ ප්‍රධාන අරමුණු අතරට එක්වන අතර මෙහි ආරම්භය සටහන් වන්නේ 2016 වසරේදීය. වසංගතය ආරම්භ වීමට පෙර අවසන් වරට පැවති සමුළුව 2019 වසරේදී මාලදිවයිනේදී පැවති අතර එවර සමුළුවේ තේමාව ‘ඉන්දීය සාගර කලාපයේ සුරක්ෂිතතාව හා සම්ප්‍රදායික නොවන අභියෝග නම් විය‘ මෙය ඉතා නූතනවාදී තේමාවක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඉන්දීය සාගරයට අසල්වැසි වන සෑම රටක්ම ඉන්දියානු සාගර කලාපයේ භූ දේශපාලනික හැසිරීම හේතුවෙන් තමතමන්ට මුහුණ දීමට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් තරයේ අවධානය යොමු කළ යුතු අතර එස වක්‍රාකාරයෙන් සමස්ත ලෝකයේ භූ දේශපාලනික අනාගතය තීරණය කිරීමටද දායක වේ.
මෙවර සමුළුවේ තේමාව ‘පරිසරය, ආර්ථිකය, වසංගතය‘ යනුවෙන් නම් කර තිබූ අතර වැඩිපුර වගකීම් දැරීම, වඩා හොඳ සබඳතා ගොඩනඟා ගැනීම කෙරෙහි ප්‍රමුඛතාව දීමට ඉන්දියානු සාගරයට අසලව ජිවත් වන ජාතීන්ට අද සිදුවී තිබෙන බව මේ සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් පවසා සිටියේය.
සමුළුව ඇමතු ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් පෙන්වා දුන්නේ වන විනාශය සීමා කිරීම, පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම, සීමිත සම්පත් සූරා කෑම වැළැක්වීම සහ පුනර්ජනනීය බලශක්ති භාවිතය වැඩි කිරීම පිළිබඳ ගෝලීය ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වන බවයි. එතුමාගේ කතාව අගය කරමින් ඕමාන් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයා සමුළුව හමුවේ පවසා සිටියේ ඉන්දීය සාගරය හරහා බහුපාර්ශ්වික ක්‍රියාකාරකම් වෙනුවෙන් වේදිකාවක් ලෙස ක්‍රියාකළ හැකි ඵලදායී සාකච්ඡාවකට ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් මග පෙන්වූ බවයි.