කොටුවේ රේල්වේ ස්ටේෂන් එක ඉදිරියේ ඇති ආනන්ද භවන්වලින් රුපියල් එකයි සත පනහකට මිලදී ගත් රුබෙයියාට් ඔෆ් ඕමාර් ඛයියාම් පොත ලේඛකයා අතේ වෙයි. හේ එය කියවමින් තවත් විටෙක කල්පනාවට වැටෙමින් සිටියි. වඩාත් හොඳ වචන සොයා ඔහුගේ මනස වෙහෙසෙයි. සිංහලය ලාලිත්‍යවත්, රිද්මවත්, සුලලිත බසක් බව මේ ලේඛකයා දනී. ඒ නිසාම ඔහු මෙහි නියමාකාර වදන් සොයා මනසට තවතවත් වෙහෙස දෙයි. ලේඛකයා මඩවල එස්. රත්නායක ය. ඕමාර් ඛයියාම්ගේ රුබෙයියාට් කියවන්නට මඬවල තරුණයාට පෙලඹවීමක් ඇති කරන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ය.
හේ එක කවියක් ළඟ නතර ව බොහෝ වේලාවක් සිතිවිල්ලේ නිමග්න වෙයි. අනතුරුව සිත නැවතුණු කවිය සිංහලට නැඟෙන්නේ මෙපරිද්දෙනි.
මන්ද කියලා කිසිවක් නොදනිමි
දිය දහරක් මෙන් ඇදෙමින් ආවෙමි
කොයිද කියාවත් කිසිවක් නොදනිමි
මරු කතරක සුළඟක් මෙන් පිටවෙමි
එය රුබෙයියාට් හි සඳහන් ඒ කවියේ අරුතට දිය හැකි හොඳම සිංහල පරිවර්තනය බැව් බොහෝ විද්වතුන්ගේ මතයයි. එහෙත් මඩවල සිතන්නේ එසේ නොවේ.
රුබෙයියාට් මඬවල අතින් සිංහලට පෙරළෙන්නේ සඳැස් ආරෙනි. මෙයම ජී. බී. සේනානායක නිසදැස් ආරෙන් ලියයි. ලේඛකයා මේ පිළිබඳ කල්පනාවෙන් හා අවධානයෙන් සිටිමින් කියන්නේ තමාගේ පරිවර්තනයට වඩා ජී. බීගේ පරිවර්තනය හොඳ බව ය. එහෙත් රුබෙයියාට් යන්නෙහි තේරුම පද හතරේ කවි බව පර්සියානු ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ සඳහන් ව ඇති බව මඩවලට කියන්නේ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ය.
මේ සියල්ල මා සඳහන් කළේ අන් යමක් නිසා නොව ලේඛකයකුගේ නිහතමානිත්වය හා ඔහුගේ බසේ වූ සුලලිත කාව්‍යමය ගුණය ගැන යම් වැටහීමක් ගන්නට ය. ඔහුගේ බස කෙතරම් කාව්‍යමය හා රිද්මීය බසක් වූයේ ද යන්නට මේ එක් නිදර්ශනයකි.
බසේ සුලලිත භාවමය ගුණය ගැන වඩාත් සවිඥානික කලාව වන්නේ කවිය හා ගීතයයි. ගීතයේ පද හා සංගීතයේ රිද්මය ගැන දැනුම්වත් ව ඒවා මනාසේ ගළපමින් ලිවිය යුතු හෙයින් ගීතය සියලු කලා මාධ්‍ය අතර වඩාත් සොඳුරුතම මාධ්‍ය වේ. එතරම් රන්රස සේ ගැළපිය යුතු රිද්මයක් හා වචන එකතුවක් අන් මාධ්‍යයක නොවීම එයට හේතුවයි. අමරදේවයන්ට ලියූ මේ ගීතය ඇසෙන විට පැරණි සම්ප්රදා හා නවීන සම්ප්රදා එකට අපූරුවට ගළපන අයුරු මැනවින් පෙනේ.
මින්දද හී සර වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබට ඇහෙනවද
චන්දන මල් අතුරා සැදි යහනට
කන්ද කපා පායන් රන් පුන් සඳ
ලෝවැඩ සඟරා කවි ආකෘතිය ස්මරණයේ තබා ගනිමින් අපූරු රිද්ම රටාවකට ගොඩ නඟන මේ පද සිංහලයේ ලාලිත්‍යවත් බව මනාසේ පසක් කරන්නකි. නූතන පුරාතන කාව්‍යමය ආකෘති හා භාෂාමය රිද්මයත් භාරතීය රාගධාරී සංගීතයේ එකතුවත් මේ ගීතයට එක්කරන සුලලිත බව අපූරු ය. එකට එක්වෙන එක් වන් සිතැත්තන්ගේ සුසංයෝගය නිසා සිංහල ගීත කෙතට වූ සාධාරණය රන් රස සේ ය.
රන්වන් කරල් සැලෙයි, නිල් මානෙල් මල් පිපුණ, මින් දද හී සර වැනි ගුවන් විදුලි ගීත ද ගැටවරයෝ හා පටාචාරා චිත්‍රපට සඳහා ඔහු විසින් ලියන ලද සිහින හතක් මැද, තණ්හා ආශා ඔලොගු කරේ දා ගීත ද මඩවල රත්නායක නම් වූ ගේය කාව්යක්කරයාගේ ප්‍රතිභාව පිළිබිඹු වෙන නිර්මාණ කිහිපයකි. සාහිත්‍යයේ සියලු ප්‍රවර්ගයන්හි සුරු ව සැරුව ද හේ වඩාත් ම විස්කම් පෑවේ ගීතය ඇසුරේ දැයි සිතෙන තරමට ඒ ගී රට නැළවූයේ ය. විශිෂ්ට නිර්මාණ පෞරුෂයක්, දිදුලන කවිත්වයක්, ජීවිතයේ අරුත් කියා දුන් ගීතාවලියක් ඔහු රටට තිළිණ කළේ ය. හේ පුළුල් පරාසයක විහිදී පැතිරී ගිය භූමිකා රැසකට හිමිකම් කියන්නෙකි. ගීතයේ මෝහනය කවරාකාරදැයි විමසන්නකුට මඩවල ගී නිර්මාණාවලිය විමැසීම වුව නිශ්චිත පිළිතුරක් ලැබීමට උපස්ථම්භක වෙයි.
සම්මත සීමා හා ආකෘති ඛණ්ඩනයට නම් තමා කරන්නට යන කාර්යය පිළිබඳ පැවතිය යුතු දැනුම හා එහි පෙළහර පෑමේ නිර්භයත්වය නිර්මාණකරුවාට තිබිය යුතු ම ය. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී කීවෝ කුමාරතුංගයෝ ය. එය මඬවල කවියා ඇසුරේ පරම සත්‍යයකි. වෙසෙසි පිරියෙසුම් සහිත ගීතාත්මක කාව්යා්ක්ති පිළිබඳ හේ හසළයෙකි. පවතින සමාජ යථාර්ථය පිරිසිදීමේ ලා නිපුණයෙකි. අත්දැකීම් ප්‍රතිනිර්මාණයේ ලා සුරුවෙකි. නැත්නම් ලියන මුල්ම නවකතාවෙන් හේ සම්මානිත වෙන්නේ නැත. 1959 ඔහු විසින් ලියන පළමු නවකතාව අක්කර පහ දොන් පේද්‍රික් ත්‍යාගය හා සම්මානය දිනා ගන්නේ ය. පාරම්පරික ගම්බිම්වල හිරවී සිටි බොහෝ පිරිසක් අලුත් ජනපද ගැන දැන ගන්නේ අක්කර පහ ඔස්සේ ය. ගෙයි ආලින්දයේ රූපරාමු ක්ෂණයෙන් මාරු කළ හැකි මෙකල්හි මෙන් නොව එදා පරම්පරාවේ බොහෝදෙනකුගේ වීරයන් වූයේ නවකතා පොත් අතර සිටි චරිත ය. කුමාරිලා, සඳලතාලා මෙන්ම තෙරේසා ද මේ සමාජයේ ජීවත් වෙන චරිත ය. අක්කර පහ කතාවෙන් මේ චරිත හරහා මතු කළේ දැනට පවතින සමාජ ක්රමයේ විවිධ හැඩතල ය. එනිසා ම ඒවා හදවත්හි ජීවත් වෙන චරිත බවට පත් විණි. මඩවල මැවූ ලෝකයේ මනස් රූප සැබෑ රූප රාමු ලෙස අක්කර පහ චිත්‍රපටයේ ලෙස්ටර් චිත්රණය කරන්නේ ද පොතෙන් මැවුණු රූප රාමුවලට හානියක් නොවන ලෙසිනි.
1929 පෙබරවාරි 05 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙනි උඩුකහ දකුණු කෝරලයේ මඬවල දී උපත ලබන මඩවල සිරිසේන රත්නායකගේ පියා වන්නේ රත්නායක අච්චිලාගේ ඩිංගිරි අප්පුහාමි ය; මව රතඹලගේ හාමිනේ ය. මඩවලට සහෝදර සහෝදරියන් දෙදෙනෙකි. ඔවුහු උක්කු අම්මා සහ ඩිංගිරි අප්පුහාමි වෙති. මූලික අධ්‍යාපනය ලැබුවේ 1935 අලව්ව හුම්බුළුව බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙනි. 1942 වසරේදී කනිෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සමත් වී කෑගල්ල බෞද්ධ මිශ්‍ර ඉංග්‍රීසි පාඨශාලාවට ඇතුළත් වන මඬවල ශිෂ්‍යයා 1945 දී ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර විභාගය සමත් වෙයි. අනතුරුව උසස්පෙළ හැදෑරීම සඳහා සිල්වෙස්තර විද්‍යාලයට ඔහු පිවිසෙන්නේ 1949 දී ය. තරුණ මඩවලගේ කාව්‍ය නිර්මාණයක් මුලින් ම පළ වෙන්නේ පෙරමුණ පත්‍රයේ ය. අනතුරු ව කෑගල්ලේ ඡන්ද දෙපාර්තමේන්තුවේ ලිපිකාර සේවයට බැඳෙන ඔහු නොබෝදිනකින් ලංකාදීප පත්‍රයේ පොල්ගොල්ල ප්‍රාදේශීය වාර්තාකරු ලෙස පත් වෙයි. 1946 දී සිය මුල්ම කාව්‍ය සංග්‍රහය වන පෙම් අමා පළ කරන ඔහු 1950 දී ලේක්හවුස් ආයතනයේ දිනමිණ කර්තෘ මණ්ඩලයට එක් වෙයි. යළිත් 1952 දී දිනමිණෙන් ඉවත් වී ලංකාදීපයට යන හේ 1954 වසරේදී යළිත් ලංකාදීපයෙන් ඉවත් වී ගුවන්විදුලි නිබන්ධන සම්පාදකවරයකු ලෙස ගුවන් විදුලියේ සේවයට බැඳෙයි. ඔහු සිය ප්‍රථම ගීතය නවක චලිත සීත සුළඟ ලියන්නේ 1955 දී අමරදේවයන් වෙනුවෙනි. බොහෝ දෙනකුගේ අතිශය ආකර්ෂණයට පත් වූ රොබින්සන් කෘෘසෝ පරිවර්තනය ඔහු පාඨක ලොවට ලබා දෙන්නේ 1956 වසරේදී ය. පාඨක විචාරක උභය පාර්ශ්වයේ ම වඩාත් ආදරයට හා අවධානයට ලක්වෙන මෙන්ම සම්මානිත වෙන අක්කර පහ නවකතාව ඔහු ලියන්නේ 1959 දී ය.
1963 වසරේදී ගුරුවරියක වූ ලිලියන් සෝමලතා සමඟ විවාහ දිවියට ඇතුළත් වන මඩවල එස්. රත්නායකට දරුවන් හතරදෙනෙකි. ඒ නිපුණිකා, තුෂාර, සුලෝචන හා පුණ්ණක ලෙසිනි. මුනුපුරු මිනිබිරියන් 6කි; ඒ අනුප්‍රිය, සජාන්, පුන්සිත්, යසස්, උත්තරා, කෞෂි ලෙසිනි. ඔහු සිය දිවියෙන් සමුගන්නා 1997 වසරේ ජනවාරි 8දා වන විට ලියූ මුළු කෘති සංඛ්‍යාව 30කට ආසන්න ය. ඒ අතර නවකතා 10ක්, කෙටිකතා සංග්‍රහ 9ක්, කාව්‍ය ග්රන්ථ 3ක්, ගීත පොත් 2ක්, ශාස්ත්‍රීය ග්රන්ථයක්, අපදානයක් හා පරිවර්තන 2ක් වේ. සිය නිර්මාණ ඉසව් හැම එකක් ම පාහේ කුමන හෝ සම්මානයකින් සම්මානිත වුව ද හේ කිසිවිටෙකත් එකී සම්මාන ඌෂ්ණයෙන් බැබළුණේ නැත. ඒවා ලැබුණත් නැතත් හේ සිය කාර්යය අනලස් ව හා කන්කෙඳිරි ගෑමකින් තොරව ඉටු කළේ එය තමාගෙන් රටට විය යුතු යුතුකමක් සේ සලකා ය. අක්කර පහ නවකතාවට දොන් පේද්‍රික් ත්‍යාගය, ගැටවරයෝ චිත්‍රපටය වෙනුවෙන් සරසවි සම්මානය, කලාකීර්ති ජනාධිපති සම්මානය, ගීත නිබන්ධක සංසද සම්මානය, උණ්ඩා අභිනන්දන ගුවන්විදුලි සම්මානය, රාජ්‍ය සාහිත්‍ය සම්මානය, කලාලය සම්මානය, අර්ථසාද් සම්මානය, ගුවන් විදුලි ජනාධිපති සම්මානය හා විශ්ව ප්‍රසාදිනී සම්මාන ඔහුගේ නිර්මාණ කාර්යය අගයා විවිධ අවස්ථාවල ලැබුණු සම්මාන වෙති.
මේ සම්මාන සේ ම ඔහු ජීවිතයේ ලැබුණු සද්ජන ඇසුරෙන් ද සම්මානිත වූවෙකි. එදිරිවීර සරච්චන්ද්‍ර, ජී. බී. සේනානායක, මීමන ප්‍රේමතිලක, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, පෙරමුණේ තිලක, මහගමසේකර, අමරදේව, පණීභාරත, චිත්‍රසේන වජිරා හා වසන්ත කුමාර වැනි කලා ලොව විවිධ ඉසව් නියෝජනය කරන කලාකරුවන්ගේ සද්ජන ඇසුරෙන් ලද පරිචය ඔහුට සරසවියක දැනුම හා සම විය. විශිෂ්ටයන්ගේ ඇසුර ඔහුගේ ජීවන රිද්මය පෝෂණීය මෙන්ම ලාලිත්‍යවත් ද කළේ ය. සිය ජන්ම ලාබය ලද ග්‍රාමය වූ මඩවල ගුණ සුවඳ ඔහුගේ ජීවිතයෙන් කිසිදිනෙක බැහැර වූයේ නැත. ඔහුගේ නිර්මාණ කාර්යාවලිය හා ඉන් විහිදෙන ගැමි ජීවන සුවඳ අපට දැනෙන්නේ ඒ නිසා ය. හැටේ දශකය මුල් භාගයේ සිංහල කවි සමයෙහි ඇති වූ ආකෘතික පෙරළියේ ආභාසය මුල් කාලයේ දී ම ලද කවියකු ලෙස මඩවල හඳුනා ගත හැකි වුව ද ඒ ආකෘතික පෙරළි කිසිවිටෙකත් ජන මූලයෙන් බැහැර වූයේ නැත. කාල්පනික හෝ දාර්ශනික චින්තා එහි මුඛ්‍ය ලක්ෂණයක් වුව ද ඒවා මහා මනස් පෙරළි වූයේ නැත. ප්‍රේමයේ චමත්කාරය සේම ජීවිතයේ ශූන්‍යත්වයත් එහි එකසේ අන්තර්ගත වීම ගසට පොත්ත මෙන් එකට බැඳුණේ ය. හේ පරිකල්පනීය ලෝකයේ නිමක් නැති චාරිකා කළේ මහ පොළොවේ පය ගසා ගනිමිනි.
මඩවල රත්නායක වූ කලි ජීවිතයේ අනිත්‍ය භාවය, මනුෂ්‍යත්වයේ ගැඹුර ඉසියුම් සංවේදීතාවකින් දුටු කවියෙකි. ඔහු ජීවිතයේ වස්සානය සේම ජීවන දර්ශනය ද එකට කළතන්නේ ය. ඔහුගේ සමහර කවි දීර්ඝ ය. සමහර විචාරකයන් එය දකින්නේ ඔහුගේ කාව්‍යකරණයේ අසාර්ථක ලක්ෂණයක් ලෙසිනි. එය සාධනීය සංක්ෂිප්ත භාවයකින් යුක්ත වූයේ නම් වඩාත් අර්ථපූර්ණ හා ආකර්ෂණීය වන බැව් එහි අරුතයි.
මඩවල නිර්මාණකරුවා විමසන විට දැනෙන හැඟෙන දෙයක් වන්නේ ඔහුගේ ඇසූ ගී වලට වඩා නෑසූ ගී බහුල වනු ඇති බවයි. ඔහුගේ නිර්මාණ සොයා යන්නකුට හසුවන මිණිමුතු වන් නිර්මාණාවලියක් ඔහු සතු ය. අව්‍යාජ කලාකරුවා කවරකු වැනි දැයි යන්නට හේ නිදර්ශනයකි. මරණය පවා ජයට ම ගන්නට ජීවත් ව සිටියදී සැලසුම් කරනා අයට හේ දුන් කදිම කාව්‍ය පිළිතුරක කොටසක් මෙහි බහාලන්නට සිතුණේ ඒ කවිය පුරා ඔහුගේ ජීවන විලාසය ගැබ් ව ඇති බැවිනි.
නෑ මිතුරනි, මහද දිනූ
මා මළ විට ඒ මළ කඳ
පැය විසිහතරක් ඇතුළත
මහ පොළොවට පොහොර වෙන්න
පස් යට ගසන්න..