
ඒ 2018 වසරේ ජූලි පළමුවැනිදාවයි. ඉන්දියාවේ දිල්ලි නගරය තවත් අලුත් දිනක් ආරම්භ කරමින් සිටි අතර ජනතාව උදෑසනින්ම තම දවසේ අරමුණු කරා යුහුසුළුව පිය මනිමින් සිටියහ. දිල්ලි නගරයේ ඊසාන කෙළවරට වන්නට පිහිටා තිබූ බුරාරි නගරයද සිටියේ පිබිදෙමිනි. නගරයේ බොහෝ වෙළෙඳ සැල් විවෘත කරමින් පැවති අතර එක් විතියක පිහිටා තිබූ එක් ප්‍රසිද්ධ විශාල වෙළෙඳ සැලක් පමණක් සුපුරුදු පරිදි විවෘත වෙමින් පැවතියේ නැත. එම වෙළෙඳ සැල අයත් වූයේ බුරාරි නගරයේ සුප්‍රසිද්ධ ධනවත් පවුලක් වූ භාතියා පවුලටය.
භාතියා පවුල ප්‍රදේශයේ සුපිරි ධනවතුන් වූ අතර කා සමගත් මිත්‍රශිලීව කටයුතු කළ සාමාන්‍ය මිනිසුන් ලෙස ප්‍රසිද්ධියක් ලබා සිටියහ. තම ප්‍රධාන ව්‍යාපාරය වූ බැවින්ම සෑම දිනකම උදෑසනින් තම වෙළෙඳ සැල විවෘත කිරීම එම පවුලේ අනිවාර්ය රාජකාරියක් විය. එහෙත් එදින භාතියා පවුලට ඉර උදා නොවූවා සේය.
මඳක් දහවල් වන විට තවදුරටත් නිහඬව සිටීමට නොහැකි වූ අසල්වාසීහු භාතියා පවුලේ නිවසට එබිකම් කරන්නට වූයේ ඔවුන් පිළිබඳ තොරතුරක් දැන ගැනීමේ අභිලාශයෙනි. එහිදී නිවසෙන් කිසිඳු හැලහොල්මනක් නොවූයෙන් අසල්වැසියෝ පොලීසියට ඒ බව දන්වා සිටියහ. පොලීසිය භාතිය නිවසට පැමිණියේ කිසියම් ඛේදවාචකයක් පිළිබඳ ඉවක් බුරාරි නගරවැසියන්ට ලබා දෙමිනි. නිවසට ඇතුළු වීමට ඇති දොරටු සියල්ල මනාව වසා දමා තිබුණෙන් ඇතුළු විය හැකි ස්ථානයක් සොයමින් නිවස වටේ යෑමට පොලිස් නිලධාරින්ට සිදුවිය. එසේ එබිකම් කරමින් යන අතරවාරයේ පොලිස් නිලධාරින්ගේ ඇස ගැටුණේ ලොමු දැහැ ගැන්වෙන දර්ශනයකි.
භාතියා නිවසේ නිවැසියන් එකොළොස් දෙනෙකු එකම ස්ථානයක ගෙළ වැළලාගෙන සිටි අතර ඔවුන්ගේ සිරුරු අප්‍රාණිකව එල්ලෙමින් තිබුණේ බියජනක දර්ශනයක් මවා පාමිනි.
පොලීසිය වහාම දොරවල් කඩා දමා නිෙවසට ඇතුළු වුහ. සැබවින්ම එය බියජනක දර්ශනයක් විය. පවුලේ සාමාජිකයන් එකොළොස් දෙනෙකුගේ සිරුරු එල්ලෙමින් පැවති අතර එම පිරිසට පවුලේ වැඩිමහල්ම සාමාජිකාව වූ එම පවුලේ මිත්තණිය වන 80 හැවිරිදි නාරායන් දේවි වූවාය. නාරායන් දේවි ගේ සැමියා වූ භෝපාල් සිං 2006 වසරේදී මියගොස් තිබුණේ ස්වභාවික හේතු මතය. ඔවුන් දෙදෙනාට දරුවන් තිදෙනෙකු වූ අතර ඔවුන් භුවනේෂ්, ලලිත් සහ ප්‍රතිභා නම් වුහ. දෙවැනියට එල්ලෙමින් තිබුණු සිරුර භුවනේෂ්ගේ විය. මියයන විට ඔහු 50 හැවිරිදි වූ අතර මිය ගිය පිරිස අතරින් දෙවැනියට වැඩිමහල් පුද්ගලයා ද විය. භුවනේෂ් අසලින්ම ඔහුගේ බිරිය වූ 48 හැවිරිදි සවිතාගේ සිරුරද එල්ලෙමින් පැවතිණි. නාරායන් දේවිගේ දෙවැනි පුත්‍රයා වූ ලලිත්ද එල්ලී මියගොස් සිටි පිරිස අතර විය. ඔහු ඒ වන විට 45 හැවිරිදි වියේ පසුවූයේය. ඔහු අසලින්ම ඔහුගේ බිරිය ටීනාගේ සිරුර එල්ලෙමින් පැවති අතර ඇය 42 හැවිරිදි වියේ පසුවූවාය. පනස් හත් හැවිරිදි ප්‍රතිභා භාතියා මේ සියලු දෙනා අතර තනිව ගෙල වැළලාගෙන සිටියේ ඒ වන විටත් ඇය වැන්දඹුවක් වූ බැවිනි. ඇයගේ දියණිය වූ ප්‍රියංකා 33 හැවිරිදි වියේ වූ අතර ඇයද තම මව සමගින් ජීවිතක්ෂයට පත්ව සිටියාය. භුවනේෂ්ගේ දරුවන් තිදෙනා වූ 25 හැවිරිදි නිතූ, 16 හැවිරිදි මේනකා සහ 15 හැවිරිදි ධාරව් ද තම දෙමාපියන් අසලින්ම මියගොස් සිටියහ. එකොළසේවැනියට මිය ගොස් සිටියේ ලලිත්ගේ සහ ටීනාගේ පුත්‍රයා වූ 15 හැවිරිදි ශිවාම්ය.
මේ එල්ලෙමින් පැවති සිරුරු දුටු පොලිස් නිලධාරීහුද මේ සිදුවී ඇත්තේ කුමක්දැයි සිතා ගත නොහැකිව වික්ෂිප්ත වූහ. සිද්ධිය සැලවීමෙන් බුරාරි නගර වාසීහු සියලු වැඩඅත්හැර භාතියා පවුලේ නිවස වටා එක්රොක් වන්නට වූයේ තවතවත් තොරතුරු දැනගැනීමේ අටියෙනි.
පොලීසිය වැඩිදුර තොරතුරු සොයා නිවස පීරන්නට වූ අතර ප්‍රථමව පොලීසිය අනුමාන කර සිටියේ මෙය කිසියම් ඝාතකයන් පිරිසකගේ වැඩක් විය හැකි බවයි. ඔවුන් මේ නිවැසියන් මරා දමා පසුව එය ගෙල වැළලාගෙන මිය යෑමක් සේ හුවා දැක්වීමට උත්සාහ කළ බවට අනුමානයක් පොලීසිය සතු විය.
එහෙත් නිවස පීරා වැඩිදුර තොරතුරු සොයා යන විට පොලීසිය අකමැත්තෙන් වුවද තීරණය කර සිටියේ මෙය අතිශය අසාමාන්‍ය සාමූහික ගෙල වැළලාගැනීමක් බවයි. ඒ බව සනාථ කිරීමට ඇති තරම් දත්ත භාතියා නිවසේ විය.
ප්‍රථමයෙන් පොලිසිය අතපත් වූයේ ලලිත් භාතියා විසින් වසර කිහිපයක් තිස්සේ ලියන ලද දිනපොත් එකොළහකි. එම දිනපොත්වල ඔහු ලියා ඇත්තේ තමාගේ මියගිය පියා විසින් තමාට කළ යුතු දේ දැනුම් දෙන බවයි. ඒ අනුව සියල්ල තීරණය වන බවද ඔහු දිනපොත්වල ලියා තිබිණි.
ඒ අනුව වෝහාරික විශේෂඥයන්ගේ සහ මනෝ විද්‍යාඥයන්ගේ උපදෙස් අනුව පොලීසිය අනුමාන කරනු ලැබුවේ මේ දිවි නසා ගැනීම් ලලිත් භාතියාගේ පෙලඹවීම් මත සිදුකරන ලද ඒවා බවයි. ඔවුන් තම ආත්මය වඩා යහපත් තැනකට ගෙන යාම අරමුණු කර ගනිමින් මේ දිවි නසා ගැනීම් කරන්නට ඇති බව අවසන් තීරණය විය. දිවි නසා ගත් සියලු දෙනාම එකම ආකාරයට මුහුණු රෙදිවලින් වසා සිටි අතර නිවසේ එකම බිත්තියක් දෙසට හැරී සියලු සිරුරු එල්ලෙමින් තිබිණි.
පසුව පොලීසිය එම බිත්තිය නිරීක්ෂණය කරන විට පෙනී ගියේ එම බිත්තියෙන් ඉවතට එන සේ සකසා තිබූ නල එකොළහකි. එම නල අතරින් හතරක් ඍජුවත් සෙසු නල වක්‍රවත් සකස් කර තිබීමෙන් මිය ගිය අය අතර සිටි පිරිමි සිව් දෙනා සහ කාන්තාවන් හත් දෙනා නිරූපණය කර තිබූ බව මනෝ විද්‍යාඥයන්ගේ අදහස විය.
ලලිත් භාතියාගේ අදහස මත මෙවැනි ව්‍යසනයක් සිදුවීමට බලපෑ හේතු මොනවාදැයි වැඩිදුර විමසා බැලීමේදී ලලිත් භාතියා තම ජිවිතයේ අවස්ථා කිහිපයකදීම මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම් සහ භයානක හදිසි අනතුරු හේතුවෙන් ඔහු මානසික රෝගියකු බවට පත්ව සිටින්නට ඇතැයි අනුමාන විය. ඔහු පසුකාලීනව තම පියා මියගිය පසු ඔහුගේ ආත්මය තමාට ආරූඪ කර ගනිමින් මුළු පවුලම තම මතයට අනුගත කර ගැනීමට සමත් වන්නට ඇතැයි නිගමනය වූ අතර ඔහුගේ බලපෑම මේ දිවි නසා ගැනීම් සිදුවන්නට ඇති බව තහවුරු විය.
මනෝ විද්‍යාවේදී මෙලෙස එක් පුද්ගලයකුට සමූහයක් තුළ ඇති කළ හැකි මානසික බලපෑම හඳුන්වනු ලබන්නේ SHARED PSYCHOSIS යනුවෙනි. කෙසේ වුවද මේ සමූහ දිවි නසා ගැනීම ඉන්දියාව කැළඹීමට ලක් කළ අතර මෙය ඇසූ දුටු බොහෝ දෙනා භීතියට පත් වූහ. දිවි නසා ගත් එකොළොස්දෙනා අතරින් පස් දෙනෙක්ම අවසන් මොහොතේදී මරු විකල්ලෙන් තම ජිවිතය ගලවා ගැනීමට ඕනෑම මිනිසකු දරන උත්සාහය හෝ දරා නොතිබූ අතර ඔවුන් ඉතා කැමැත්තෙන් මරණය වැළඳගෙන තිබිණි. එයම බොහෝ භිතිය දනවන කරුණක් විය.
බුරාරිහි භාතියා පවුලේ ඛේදවාදකය එසේ විසදෙද්දී කාලයත් සමඟ ඒ ඛේදවාචකය බොහෝ දෙනාගේ මතකයෙන් මැකී යන්නට විය. එහෙත් පසුගිය ඔක්තෝබර් 8වැනිදා නෙට්ෆ්ලික්ස් සමාගම විසින් නිකුත් කළ හවුස් ඔෆ් සීක්‍රට්ස් වාර්තා චිත්‍රපටය හේතුවෙන් බුරාරි මරණ නැවතත් ලොව පුරා කතාබහට ලක් විය.