
සමනොළ රක්ෂිතයෙන් පෝෂණය වී නිදහසේ ගලා බසින බුදුගේ ඔය අතරමැදදී හමුවන ගල් පොත්තකින් අලංකාර පෙණ පුඩු නංවමින් පහළට ඇඳ හැළෙන්නේ සොඳුරු දිය ඇල්ලක් නිර්මාණය කරමිනි. බළන්ගොඩ වළේබොඩ ප්‍රාදේශීය රක්ෂිතය දිය ඇලි සංකීර්ණයකින් යුත් අති දුෂ්කර ප්‍රදේශයකි. උතුරු වළේබොඩත් කටිටියකන්ද ග්‍රාමසේවා වසම් දෙකටත් අතරමැදින් දිවෙන පහළ වළේබොඩ ග්‍රාමය හරහා දිවෙන මේ ඔය පාර කෙළවරක් දකින්නේ වලවේ ගඟිනි. එහෙත් මේ ඝන රක්ෂිතයේ බොහෝ දේ කිසිවෙකුටත් හොරා සැඟව පැවතුණේ මෙහි ඇති අති දුෂ්කර බව නිසාය. එහෙත් අවුරුදු සිරිය වින්ද සමනොළ රක්ෂිතයේ පදිංචි මේ ගමේ වැසියන්ට අමුතුම ප්‍රබෝධයක් ගෙන දුන්නේ මේ වළේබොඩ රක්ෂිතයේ සැඟව ගිය අපූරු දිය ඇල්ලක් නෙත ගැටීමෙනි.
“ අපි අලුත් දිය ඇල්ලක් හොයා ගත්තා.” ගම්වැසියනුත් ගමේ සිටි රජයේ නිලධාරිනූත් උදම් ඇනුවේ මේ පුවත මාධ්‍ය හරහා රටට කියන්නටයි. අඩි සියයක් පමණ උස අඩි හැටක් පමණ පළල මේ දිය ඇල්ලෙන් අපූරු තටාකයක් පවා මැවී තිබුණේ ඇල්ලේ සුන්දරත්වය වඩා ඔපවත් කරවමිනි. කැන්ද, නා, හොර, රුක් අත්තන තුරු ලතාවන්ගෙන් වගේම ගිරා මලිත්තන්, දඬු ලේනුන්, කහ කුරුල්ලන්ගෙන් ගහන මේ වළේබොඩ ගමින් රටටම කියූ සුන්දර දිය ඇල්ලේ නොකියවුණු කතා රැසක් අපට කිව්වේ රත්නපුර දිස්ත්‍රීක් දියඇලි යොවුන් මිතුරු සංවිධානයේ සභාපති ,දියඇලි පර්යේෂක හා පරිසරවේදිී අසිත ඉන්දික වීරවර්ධන. ඔහු මේ දිය ඇල්ල පමණක් නොව ලංකාවේ හැම දිය ඇල්ලක්ම පිළිබඳ හොඳ මතකයක් ඇති අයෙකි.
වළේබොඩ රක්ෂිතයේ දිය ඇලි ගැන ගවේෂණය කරද්දි මුලින්ම ඔහුට මේ සුන්දර දිය ඇල්ල නෙත ගැටුණු ආකාරය පිළිබඳ අලුත් කතාවක් ඔහු සිළුමිණට කිව්වේ මෙහෙමයි.
“ වළේබොඩ කියන්නේ හොඳ ජල පෝෂිත ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ දියඇලි බහුලයි. මේ නිසා අපි වළේබොඩ කියන ප්‍රදේශයේ දියඇලි පිළිබඳ ගවේෂණය කරන්න පටන් ගත්තේ 2001 වසරේදි. 2005 වසරේදිත් අපි මේ ප්‍රදේශයේ තියෙන දියඇලි ගැන ගවේෂණය කළා. මෙහෙම ගවේෂණය කරද්දි අපි මේ පළාතේ දියඇලි 6 ක් හඳුනා ගත්තා. එයින් එකක් තමයි වළේබොඩ රාවණා ඇල්ල. අනික තමයි ඌරා ඇල්ල. මේ ඌරා ඇල්ල අඩි 100 ක් විතර උසයි. මේ ඇලි සියල්ල නිර්මාණය වෙන්නේ වලවේ ගඟින්. වළේබොඩදි අපි සොයා ගත් අනෙක් ඇලි 4 ගැන තවමත් ගවේෂණ කරන නිසා අපි මේ 4 ට නමක් තැබුවේ නැහැ. මේ නම් නොතැබූ ඇලි 4 න් එකක් තමයි වළේබොඩ ගමේ අය මේ හොයා ගෙන තියෙන්නේ......”යැයි අසිත පවසයි. මේ දිය ඇල්ල ගම්මුන්ට අලුත් දෙයක් නොවන අතර වළේබොඩ රක්ෂිතයේ පිහිටි මේ දියඇලි ගවේෂණයේදි ගමේ අයගේ සහාය ද තමා ඇතුළු කණ්ඩායමට නොඅඩුව ලැබුණු බවත් අසිත අප හා පැවසීය.
මේ ඇල්ලට යන පාර හරිම දුෂ්කරයි. ගමන හරිම අවදානම්. මේ ගමන යන්න ගමේ අයගේ සහාය නැතුවම බැහැ. මේ ඇල්ලට යන්නෙ කැලෑ පාරකින් . එහෙම නැත්නම් දොළ දිගේ මේ ඇල්ලට යන්න පුළුවන්. බළන්ගොඩ නගරයේ සිට සීතාගල හරහා කිලෝ මීටර 20 ක් විතර දුරක් මේ ඇල්ල ගාවට යන්න තියෙනවා......” අසිත මෙසේ පවසන්නේ ඔවුනට මේ ඇල්ල හොඳට හුරු පුරුදු නිසාය.
මීට පෙර ගවේෂණයන්ගෙන් මේ ඇල්ල පිළිබඳ ඔවුන් සොයා ගත්තත් ඒ තොරතුරු එක්වරම එළියට දමන්නට ඔවුන් මැලි වූ කරුණු කාරණා ද වූ බව ඔහු පවසයි.
“ ඇල්ලක් ගවේෂණය කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමේ. මේ ඇල්ල අපි මීට වසර කිහිපයකට පෙර හොයා ගත්තත් එය එළියට නොදැම්මේ එහි වූ සුවිශේෂි කරුණු නිසා. ඒ නිසා මේ ඇල්ල අපි නැවත නැවත ගවේෂණය කරන්න තිරණය කළා. මේ කාර්යයයේදි අපිට විශාල වගකීමක් තියෙනවා. ඇල්ලක් හොයා ගත්තා වගේම එය එළියට දැමීමත් වගකීමෙන් යුතුව කරන්න ඕන. හිතුමතේට ප්‍රසිද්ධ කරන්න බැහැ. එසේ ප්‍රසිද්ධ කිරිමම ඒ ඇල්ලේ විනාශයට හේතුවක් වෙන්න පුළුවන්. මේ ඇල්ල ආශ්‍රිතව දරුණුවට වන විනාශය වෙනවා. ඒ නිසා මෙය අනාරක්ෂිත කලාපයක්. ඒ වගේම මේ ප්‍රදේශය තරමක් ජනශුන්‍ය ප්‍රදේශයක්. බොහෝ විට දිය ඇල්ලේ තොරතුරු එළියට දැම්මොත් මේ හරහා බලාගාරයක් වුවත් ඉදිකරන්නට පුළුවන්. මෙය දියඇල්ලට හානියක්. නමුත් මෙහෙම කියලා රටේ මේ වගේ ස්වභාව සෞන්දර්යය එළියට නොදා ඉන්නත් බැහැ. එහෙත් හැම දේම කරන්න කලින් අපිට දෙපාරක් හිතන්න වෙනවා , ඒ රට වෙනුවෙන්.........” අසිත එසේ පවසන්නේ රටේ වගකීම් දරන සංගමයක් වන ඔවුන්ට අලුත් දියඇලි සොයා ගත් පමණින් එය රටට අනාවරණය කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවන නිසාය.
ගම්මුන් සොයා ගත්තා යැයි කියන මේ ඇල්ලට ඔවුහූ ‘ බුදුගේ ඇල්ල‘ නමින් නමක්ද යෝජනා කරති. ඒ බුදුගේ ඔය පාරෙන් මේ ඇල්ල මැවෙන නිසාය.
“ දිය ඇල්ලක් හොයා ගත්තත් ඒකට නමක් අපිට හිතුමතේට දාන්න බැහැ. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. මුලින්ම අපි බලන්න ඕන මේක ඇල්ලක්ද කියලා. වර්ෂා කාලයේදි, පායන කාලයේදි අවුරුදු ගණනාවක් මේ ගැන ගවේෂණය කරන්න ඕන. අපේ රටේ මල දිය ඇලි තියෙනවා. ඒ වගේම ස්ථාවර ඇලි තියෙනවා. මේවා හඳුනා ගැනීම අවශ්‍යයි. අපේ රටේ ස්ථාවර දියඇලි තියෙන්නේ සියයට 20 යි. මේ වෙළේබොඩ ප්‍රදේශයේත් මේ වගේ දිය ඇලි තියෙනවා. මේවා අතරින් අපි දියඇලි කියලා සොයා ගත්තේ 6යි. එයින් දෙකකට අපි නම් දැම්මා. ඉතුරු 4 අප්‍රකටයි. අපි තවමත් මේ ගැන ගවේෂණය කරන නිසා නම් තබන්න අවශ්‍ය වුණේ නැහැ. මේ එයින් එකක්. මේ වන තෙක් අපි දියඇලි 28 කට නම් තබා තියෙනවා. සිංහරාජ, රක්වාන කඳු වැටිය, නකල්ස් වගේම ශ්‍රි පාද රක්ෂිතයේ අපි සොයා ගෙන නම් නෙදාපු දියඇලි 12 ක් 16 ක් විතර තියෙනවා.
මේ වන විට ලංකාවේ තියෙන සියලුම ඇලි අපි සොයා ගෙන තියෙනවා වගේම ඒවා ගවේෂණය කරලත් තියෙනවා. නමුත් අපිට තව සොයා ගන්න දිය ඇලි 3 ක් තියෙනවා. ඒ ඇලි තුන තියෙන්නේ ශ්‍රී පාද අඩවියේ හරිම අවදානම් තැනක. ඒ වගේම ලොකු හෙලක. අපි ගුවනින් මේ සැඟවුණු ඇලි තුන සොයා ගත්තත් මේවාට ළඟා වෙන්න අමාරුයි. ඒත් ඉදිරියේදි අපි උත්සාහ කරනවා මේ ඇලි 3 ත් කොහොම හරි සොයා ගන්න. ඒ ඇලි තුන ඇරුණහම අපිට රත්නපුර ප්‍රදේශයේ අලුතින් සොයා ගන්න දිය ඇලි නැහැ.......” අසිත එසේ පවසන්නේ වගකීමෙනි.
කෙසේ වුවත් වලේබොඩ ගම්මුන්ට අද මේ ඇල්ල සම්පතකි. හෙට දිනයේ මේ ඇල්ලෙන් නොසිතූ තරමට ප්‍රචාරයක් ලැබිය හැකියි. ඒ ඔස්සේ ගමට මෙන්ම ගම්වැසියන්ට යම් යම් ආදායම් මාර්ගයන්ද පෑදිය හැකිය. එහෙත් පරිසරවේදි අසිත පවසන්නාක් මෙන් රට වෙනුවෙන් මේ හැම දෙයක් ගැනම දෙපාරක් සිතිමට අද කාලය උදාවී ඇත. රටේ සැඟව පවත්නා සම්පත් රටට හඬගා පැවසිමම, එහි විනාශයට හේතුවක් වන බවත් සිහි තබා ගත යුතුය. දිය ඇල්ලක් සොයා ගැනිම දුෂ්කර කාර්යයක් වන්නා සේම එය රැක ගැනීමද අතිශය දුෂ්කර කාර්යයක් බව කවුරුත් දත යුතුය.