මිනිස්සු ගම්ව­ලට ගියාම කොළඹ ඉතුරු වෙන්නේ කුණු විත­රයි | සිළුමිණ

මිනිස්සු ගම්ව­ලට ගියාම කොළඹ ඉතුරු වෙන්නේ කුණු විත­රයි

හෙට ලෝක කම්කරු දිනයයි. ලොව පුරා කම්කරු දිනය සමරද්දී අප රටේ කම්කරුවා අමතක කර කම්කරු දිනය සමරන්නන්ද නැතුවා නොවේ. යම් යම් පුද්ගල එකතු කිරිම් මත මැයි දිනයට හුරේ දැමීමට ‍කොළඹට පැමිණෙන්නේ මහා ජන ගංගාවකි. එම ජන ගංගාව කොළඹින් පිටව යන්නේ පිට්ටනිවල මඟ දෙපස පොලිතීන් හා ප්ලාස්ටික් ගොඩගසාය. ලෝක කම්කරු දිනයේවත් නිවාඩුවක් නොලබා කොළඹ නගරයේ පිරිසුදු කිරීම් කළ කම්කරුවාට සිදු වන්නේ කම්කරු දිනයට පසුදාත් ඉවක් බවක් නැතිව කැළි කසළ එකතු කිරීමටය.

රටක පිරිසුදුකමට මෙන්ම සංවර්ධනයට කොයිකාගේත් දායකත්වය ලැබිය යුතුමය.තම ජීවන වෘත්තිය ලෙස කැළි කසළ එකතු කරමින් නගරයේ පිරිසුදුකම රකින්නට කැප වන මොවුන්ද රටේ සංවර්ධනයට දායකත්වය දක්වන්නෝය. පසුගිය කාලයේ මෙන්ම දැන් ද කොයි කවුරුත් කොළඹ කුණු කසළ පිළිබඳව කතා කරන්නේය. දිනපතා කොළඹ නගරයේ එකතු වන කසළ පිරිසුදුකරන්නන් හා ඔවුන්ගේ ජීවන අත්දැකීම් පිළිබඳ විමසිමට පසුගිය දිනෙක අපි ඔවුන් සොයා කොළඹ නගරය පුරා සංචාරය කළෙමු . මේ අපට හමුවූ නගර පිරිසුදු කරන කම්කරුවන් පැවැසූ ඔවුන්ගේ අත්දැකීම්ය.

මීට අවුරුදු දහයකට පහළොවකට පෙර නම් කොළඹ නගරයේ මාර්ග අතුගා පිරිසුදු කරන ලද්දේ නගර සභාවේ කම්කරුවන් විසිනි. නමුදු එය පෞද්ගලික අංශයට බාර දීමෙන් පසුව දැන් එම පිරිසුදු කිරිමේ කටයුතු කරනු ලබන්නේ පෞද්ගලික අංශයේ සේවකයන් විසිනි. නගර සභාවේ සේවයේ නියුතු හා පෞද්ගලික අංශයේ නගර පිරිසුදු කරන්නන් සොයා ගිය ගමනේදී අපට කම්කරු කාන්තා පිරිසක් හමු වූයේ කොළඹ ජිනරතන මාවතේ දීය.

ඒ මද්දහනේ ඔවුන් දිවා ආහාරය ගැනීමෙන් පසු සෙවණකට වී ගිමන් හරිමින් සිටියදීය. රාණි එහි සිටියේ සිය දියණිය ද සමඟය .

‍“මේ දවස්වල උහුල ගන්න බැරි තරම් රස්නෙ නිසා හරි අමාරුයි.ඒත් ඉතිං පැත්තකට වෙලා ඉන්න බැහැනේ රස්සාව කරන්න ඕනැ .නැත්නම් අප‍ට ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැහැ.මේ දවස්වල ඉස්කෝලවල නිවාඩු නිසා මම දරුවත් එක්ක ගෙන එනවා. එයා මම වැඩ කරන තුරු පැත්තකට වෙලා ඉන්නවා.උදේ 5 වෙනකොට අපි වැඩට එනවා. හවස් වෙනතුරු අපි වැඩ කරනවා. දවසකට රුපියල් හත්සිය පනහක් තමයි ලැබෙන්නේ. මගේ මහත්තයත් මේ රස්සාවමයි කරන්නේ”.රාණි පවසන්නේ තමන්ගේ රැකියාවේ ස්වභාවයයි.

ජිනරතන මාවතේ දිවා ආහාර විවේකයේ මොහොතක් ගතකරන මේ කම්කරු කාන්තාවන් අතර සිටි සෝමා මොරටුව ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි. ඇය මෙම රැකියාවට පැමිණ වසර කිහිපයක් ගතව ඇත්තේය. මෙම කණ්ඩායමේ සිටි චාන්දනී කොළඹ පාරවල් අතුගා පිරිසුදු කරන්නියකි. ඔවුන් සියලු දෙනා විසින් පිරිසුදු කර එකතු කරන කැළි කසළ රැගෙන යෑමට ට්‍රැක්ටර් එවනු ලබන්නේ ඔවුන් සේවයේ යොදවා ඇති ආයතනය මගිනි.

පරිපුරම් හැට හැවිරිදිය .බැලූ බැල්මට නම් පෙනෙන්නේ ඇය ඊටත් වඩා වියපත් බවය. ඇය බදුරලිය ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි.

‍“මම මාසයකට දවසක් තමයි ගෙදර යන්නේ. කොළඹ අපට හරියට නතර වෙන්න තැනක් නැහැ . මේ ඉන්න අය නතර වෙලා ඉන්න තැනක් තියෙනවා. මම ඉන්නේ එතැනයි. ඒගොල්ලෝ මගෙන් සල්ලි ගන්නේ නැහැ. ඔය කඩේකින් මොනවා හරි කාලා දවස් ගෙවා ගන්නවා . ගමට ගියාම දරුවන්ටත් සලකනවා”. පරිපුරම් පවසන්නීය. ඔවුන් තමන් කරන රාජකාරිය පිළිබඳ කතා කිරීමට එතරම්ම කැමැත්තක් නැත. එසේ වුවද ඔවුහු කොළඹ නගරයේ පාරවල් අතුපතුගා පිරිසුදු කිරීමට නම් මැළිකමක් නොදක්වති. කෑම විවේකය නිමා වී අව්ව පිළිබඳව හෝ ගානක් නැතිව ඔවුහු යළිත් සේවයට යෑමට සුදානම් ඒ මොහොතේ අප ඔවුන් ගෙන් සමුගෙන ආවෙමු. ඉන් පසුව අප ගියේ මහජන පුස්තකාලය පසුකර ආනන්ද කුමාරස්වාමි මාවත දෙසටය. .) විසල් තුරුවලින් සෙවණ වු ඒ මාවතේ ගිමන් හරිමින් සිටි ආර්.පී සෝමදාස අපට හමුවුයේ අහම්බෙනි. ඔහු නගරසභා කම්කරුවකු වශයෙන් සේවයට බැඳී ඇත්තේ වයස අවුරුදු විසි පහේදි පමණය. තිස් තුන් වසරක් පුරා නගර සභා සේවකයකු ලෙස කටයුතු කරන සෝමදාසගේ කතාවයි මේ.

“මම රස්සාවට ආවේ ප්‍රේමදාස මහත්තයාගේ කාලේ. ඒ කාලේ මුලින්ම ලැබුණේ මාසයට රුපියල් පන්සියක විතර පඩියක්. දැන් නම් මුලික පඩිය රුපියල් විසි පන්දහසක් විතර වෙනවා. මගේ ගම මරදාන . පවුලේ ඔක්කොම අට දෙනෙක්. ඉස්කොලේ ගියේ දෙකේ පන්තියට විතරයි. හරියට ඉගෙන ගත්තේ නැති අපට මීට වඩා රස්සාවක් බලාපොරොත්තු වෙන්න බැහැනේ. කුණු අදින එක ලැජ්ජාවක් නෙමෙයි. මේකත් ජීවත් වෙන්න රස්සාවක් නේ. මට පැවරිලා තියෙන්නේ ගෙවල්වල කුණු ලොරියට එකතු කරන එක. රස්සාවට ආව මුල් දවස්වල තිබුණේ කුණු බක්කි. ගෙවල්වලින් ඒ බක්කිවලට කුණු ගෙනැල්ලා දානවා. ඒ බක්කි තමයි අපි සුද්ද කරන්නේ. ඒ කාලේ පොලිතීන් අඩුයි. නමුත් දැන් පොලිතීන් වැඩියි. ඒ නිසා අපිට අපවිත්‍ර දෑ අල්ලන්න වෙනවා අඩුයි. ඒ දවස්වල තිබුණේ සිමෙන්ති කොළ බෑග්. ගෙවල්වලින් කුණු‍ එකතු කරද්දී සන්තෝසමක් ලැබෙනවා. මම දවල්ට විවේක ගන්නේ නැහැ. එක දිගට වැඩ කරනවා. රස්සාවට ආව අලුත කොළඹ පාරවල් පවා අතු ගෑවා. මට මේ රස්සාව මදිකමක් නෙමෙයි. මම නගර සභාවේ කුණු ඇද්දට මගෙ දරුවන්ට හොඳට උගන්න ගත්තා . පුතාලා දෙන්නෙක් හමුදාවේ සේවය කරනවා”.සෝමදාස පවසන්නේ ආඩම්බරයෙනි.

සෝමදාස ගෙන් සමුගෙන එන මොහොතේදී ඔහු අප පිළීබඳ විමසුවේය. ඉන් පසු ඔහුගෙන් ලැබුණේ අහිංසක උත්තරයකි.

“අනේ ඉතිං පත්තර බලන්න මම අකුරු දන්න එකක් යෑ . දෙකේ පන්තියට ඉගෙන ගත්ත මට මහ ලොකුවට අකුරු කියවන්න බැහැ”.සෝමදාස එසේ කියමින් අප පසුකර යන්නට ගියේය.

ආර්. බාලක්‍රිෂ්ණන් පදිංචිව සිටින්නේ දෙමටගොඩය. ඔහු පනස් නව හැවිරිදිය.

“ගෙවල් ගානේ ගිහිල්ලා ගිහිල්ලා කුණු එකතු කරලා ලොරියට පටවන මට දැන් කුණු ගඳ දැනෙන්නේ නැහැ. මුල් කාලෙ නම් කුණු ගඳ ඉවසන්න අමාරුයි. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. අපිට මාසයකට සබන් කැට දෙකක් ලැබෙනවා . සමහර මාසවල ඒකත් නැහැ. රස්සාවට ආව කාලේ කොළඹ මේ තරම්ම කුණු ගොඩගැහිලා තිබුණේ නැහැ. ඒ වගේම තමයි කුණු ලොරියේ රියදුරා අපි යං කිව්වාම යන්න ලැස්ති වෙලා හිටියේ. එයා කෑම කන වෙලාවට කෑම කාලා රාජකාරිය වෙනුවෙන් සුදානම් වෙලා හිටියා. ඒත් ඒ රියදුරෝ දැන් නැහැ”.

වසර තිස් ගණනක් තිස්සේ ක්‍රිෂණන් තමන් කළ සේවා පිළිබඳව පවසන්නේ එසේය.

නගරසභාවේ සේවය කරන කම්කරුවන්ට ඔවුගේම කියා කතාවක් ඇත්තේ. හේතුවක් කීමට නොදන්නා රාමක්‍රිෂ්ණන් පවසන්නේ තමන්ගේ දරුවන්ගේ හතර දෙනෙකුම කුඩා වියේදීම මිය ගිය බවය.උදැසන සිට සවස් වනතුරු කොළඹ නගර සභාවේ කුණු එකතු කරන කම්කරුවන් අතර රාත්‍රී කාලයේදී කොටුව පිටකොටුව පිරිසුදු කරන කම්කරුවෝද වෙති.

“දවල්ට කොටුවේ පිකොටුවේ ඇවිදින මිනිස්සු හැම කෙනෙක් වගේම තම තමන්ගේ ගම්වලට ගියාට පස්සේ මේ පිටකොටුවේ අතුරු පාරවල්වල කුණු ගොඩවල් විතරයි දකින්න තියෙන්නේ. අපි ඇවිල්ලා සුද්ද කරන හින්දම වෙන්නැති මිනිස්සු මෙහෙම කුණු ගොඩ ගහන්නේ . අපි වැඩ පටන් ගන්නේ හැන්දෑවේ හයෙන් පස්සේ . වැඩ කරන කිහිප දෙනෙක්ම ඉන්නවා. කුණු ලොරියට මේ තියෙන හැම කුණු ගොඩක්ම පටවනවා. පාන්දර වෙනතුරුම අපි වැඩ කරනවා . අපිට සතුටුයි පිරිසුදු නගරය දැක්කම. ඇත්තම කිව්වොත් වෙලාවකට තරහත් යනවා. ඇයි මිනිස්සු ඉවක් බවක් නැතිව මේ විදිහට කුණු ගොඩවල් හදන්නේ කියලා. ඒත් අපිට සතුටුයි පිරිසුදු නගරය දැක්කම”. මැනිං මාර්කට් එක අවට පිරිසුදු කිරීම් කටයුතු කරන කම්කරුවකු අප හා පැවසීය.

අව්ව වැස්ස පිළීබඳ ඔවුන්ට ගානක් නැත. ඔවුන්ට අවශ්‍ය තම රාජකාරිය හරිහැටි ඉටු කිරීම‍ටය.

මේ දවස්වල ඇති දැඩි අව් රශ්මිය ‍ද නොතකා ගිනි ගහන අව්වේ විහාර මහා දේවි උද්‍යානයේ සුව මං තිරු අතුගාමින් සිටි කම්කරුවා අප සමඟ කතා බහ කළේ මහත් ඕනෑකමිනි. ඔහු ආරුමුගන්ය. වයස අවුරුදු පනහකට වැඩිය.

“මම අවුරුදු විස්සක්ම කළේ පිටකොටුවේ මුට්ට කරගහපු එක. ඒ කියන්නේ මම නාට්ටාමි කෙනෙක් හැටියට තමයි හිටියේ . අපි හතර දෙනෙක් විතර එකට හිටියා. අල ලොරියක් ලූනු ලොරියක් බාන්න අපි කතා වෙලා ගන්නවා. ගෝනි ගානට තමයි ගාන කියන්නේ. කොහොමත් හැන්දෑවට එක්කෙනෙකුට රුපියල් තුන් හාරසීයක් සොයා ගන්න පුළුවන්. නමුත් ඒ රස්සාව අතහැරියේ අසනීප වුණාට පස්සේ. ඉස්සර වගේ ‍ගෝනි කර ගහගෙන උඩ නගින්න බැහැ. ඒ නිසා තමයි මම මේ රස්සාවට ආවේ. මගේ පවුල රස්සාවක් කරන්නේ නැහැ. හිඟාකාලා හරි මගේ ගෑනිව බලා ගන්න එක මගේ යුතුකමක්. තව පොඩ්ඩකින් ලොරිය එනවා කුණු ගෙනියන්න”. ආරුමුගන් අප හා පැවසුවේ කඩිනමින් සිය රාජකාරියේ නිරත වන අතරතුරදීය.

අපට හමු වූ ආරුමුගන්, බාලක්‍රිෂ්ණන්, සෝමදාස, රාණි, චාන්දනි..... පමණක් නොව අපට හමු නොවූ අනෙක් කැළි කසළ එකතු කරන නගර සභා කම්කරුවන්ගේ ජීවිත ද මේ ජීවිත හා සමානය. මේ කවුරුත් අනුන්ගේ කුණු අතගාමින් මුදල් උපයන්නේ බත් පත සරිකර ගෙන තම අඹු දරුවන් රැක ගැනීමටය.

කවුරුත් කියන්නේ ඔවුන් අත් විඳිදේය. කොළඹ කුණු ගැන කවුරු කවුරුත් කතා කරන අද දවසේ මීට වසර තිහ හතළිහකට පෙර කොළඹ පරිසරයේ කැළි කසළ එකතු කළේ කෙසේදැයි යන්න පිළිබඳ පාඨක ඔබ දැනුම්වත් කිරීමේ අරමුණින් පැරැණි කම්කරුවන් කිහිපදෙනෙකුගේ තොරතුරු දැන ගැනීමට අපි කොළඹ නාගරික කොමසාරිස්වරයාට ලිපියක් ඉදිරිපත් කෙරුවෙමු. ඔහු අපට කාරුණිකව අනුග්‍රහය දක්වමින් අපගේ අවශ්‍යතාව ඉටු කළේය.

එහෙත් තවදුරටත් තොරතුරු ලබා ගැනීම සඳහා කොළඹ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යක්ෂතුමිය වෙත අප යොමු කරනු ලැබුවේය. එහෙත් ඇයගෙන් අපට ලැබුණේ රළු ප්‍රතිචාරයකි. මාධ්‍ය වෙත ඇගේ ප්‍රතිචාරය එසේ නම් මහජනතාවට සේවය සලසන මෙවන් ආයතනයක ඉහළ තනතුරක් හොබවන ඇගෙන් මහජනයාට කුමන අන්දමේ ප්‍රතිචාර ලැබේද යන්න පිළිබඳ අප සිත්හි මතුවූයේ කුකුසකි.

මෙවන් නිලධාරිණියන් රාජ්‍ය ආයනවල සේවය කරන්නේනම් මහජනතාව එම ආයතනවලින් කාරුණික සේවයක් බලා පොරොත්තු වන්නේ කෙසේ ද යන ප්‍රශ්නය අපෙන්ම විමසමින් අපි එතැනින් නික්මුණෙමු. 

 

Comments