නුවරඑළිය හැඩකරන වසන්ත සැණකෙළිය | සිළුමිණ

නුවරඑළිය හැඩකරන වසන්ත සැණකෙළිය

 සීතල වස්සානයේ පුබුදින ලිලී මලේ හැඩ බලන්නට නුවරඑළියට යා යුතුයැයි මගේ සිත කියන්නට විය. සුදෝ සුදුවට යායක් පුරා සුපිපි ලිලී මල් නුවරඑළියට වසන්තය ළඟා වූ බවට ඉඟි කරයි. වස්සානයේ නුවරඑළියට වසන්තයක්ම උදාවන්නේ ය. ලිලී මල් පමණක් නොව ඉංග්‍රීසි රෝස නමින් විරුදාවලිය ලත් රෝස මල්ද නුවරඑළිය අපූරුවට හැඩ කරන්නේ අප්‍රේල් මස වසන්තය එළඹුණු විටදීය. ඇඟ කිලිපොළා යන සීතලටත්, දෙසැම්බරයේ කුණාටු මතුවන නුවරඑළියටත් වස්සානය උදාවන්නේ මේ රුදුරු දේශගුණයට ආයුබෝවන් කියමිණි. දැන් ඇත්තේ හදවතින් රිසිසේ විඳින්නට හැකි සෞම්‍ය දේශගුණයකි. නුවරඑළියට ආවේණික ශීත දේශගුණය හදවතට දැනෙන්නට අපි ශිත කබායන්ට සමුදුන්නෙමු.

“අන්න රේස් කොස් එකේ අශ්ව රේස්.....“ කෙනෙක් කියනු ඇසිණි. අපේ නෙත් බොහෝ දුර දිව ගියේය. සීතල එංගලන්තයක් බඳුවූ මේ සුරපුරය විචිත්‍රවත් කරන්නට නුවරඑළියට දැන් බොහෝ දේ පැමිණ ඇත. පෝනින් හා අශ්වයන් ආගන්තුක අපේ රට පුංචි එංගලන්නතයට සම කරන්නට, පුංචි එංගලන්තයේ සිරිය ගෙනෙන්නට අවුරුදු වසන්තයේ නුවරඑළියට මේ ආගන්තුකයෝ පැමිණ සිටියහ. එදා නුවරඑළියේ රේස් කෝස් පිටියෙන් ඇරැඹි මේ අපූරු සංදර්ශන දිවා රෑ මේ නොනිදන නගරය විචිත්‍රවත් කරන්නේය. නගරය දෙපස ඇති කඩපිල්වලට ගොස් උණුසුම් තේ කෝප්පයකින් සප්පායම් වෙමින්, සීතල කපාගෙන විදුලි වේගයෙන් ඉදිරියට ඇදෙන මේ දැවැන්තයන්ගේ රේස් බලන්නට බොහෝ දෙනා කැමැත්තෝය.

මේ හැම දේම එක් මොහොතක සිතුවමකි. නුවරඑළිය රේස් කෝස් පිටිය වූ කලී කබාවලින් උණුසුම් වන හදවත්වලට නැවුම් අත්දැකීමක් එක්කරන තැනකි. නුවරඑළියේ සීතල කපාගෙන යන වේගයෙන් දිවයන රෝඩ් ෂෝ හෙවත් රේස් කාර් මේ පිටියට ආගන්තුක නැත. කඳු පල්ලම් අතරින් බිහිසුණු අත්දැකීම් විඳින්නට අපේක්ෂා කරන්නන්ට පමණක් නොව, නෙතින් රස විඳින්නන්ටද මෙය ජීවිතයේ නවමු අත්දැකීමකි.

ග්‍රෙගරි වැව් තාවුල්ල දැන් වෙනදාටත් වඩා මනහරය. ජනාකීර්ණ වූ එය තවත් කාර්ය බහුලය. එහෙත් නුවරඑළියට වසන්තය උදාවූ විට ග්‍රෙගරි වැවේ ලස්සන තවත් වැඩි වන්නේය. ග්‍රෙගරි වැවේ බෝට්ටු සවාරි යන්නනට මෙන්ම පෝනි පිටේ ටවුම වටේ සවාරි යන්නන්ටද නුවරඑළිය තරම් තවත් තැනක් නැත්තේ ය. ජීවිතයේ බොහෝ ගැටලු අමතක කරමින් ජීවිතය සැබැවින්ම විඳින්නන්ට ග්‍රෙගරි වැව් තාවුල්ල තෝතැන්නකි. මෙහිදී පැයක් දෙපැයක් නොව දිනක් ගෙවී යනු නොදැනෙන්නේ ය. අව්වේකි අපේ දිවියට මොහොතකට ජීවයක් දෙන්නට නම් වස්සානයෙන් පූදින නුවරඑළිය හොඳටෝම ප්‍රමාණවත් ය. රොබරෝසියා වැනි වූ අති සුන්දර මලින් ගැවසී ගත් සුන්දර නුවරඑළිය සුවඳවත් කරන්නේ වික්ටෝරියා උයනෙන් පූදින සුවඳවත් මල් ගොමුවලිනි. වික්ටෝරියා උයනේ සුපිපි මල් අතරින් පියමං කළ මම මොහොකට නතර වුණෙමි. සුරපුරයක් මවන මේ මල් ගොමු අතර ලස්සනම මල සොයන්නට මම වෙහෙසුණෙමි. මම පැරදුම බාර ගතිමි. සෑම මලක්ම එකසේ සුන්දරය. විචිත්‍රවත් ය. මේ මල් පමණක් නොව රස වෑහෙන පීචර්ස්, ඇපල්, පෙයාස් රස විඳිය හැක්කේද සුන්දර නුවරඑළියේදීමය.

දැන් වසන්තය වැලඳගත් සුන්දර නුවරඑළියට ආයුබෝවන් කියන්නට ඇවැසිය. ඒ මට විතරක් නොවේ. වසරක් පාසා මේ සුන්දරිය වැලඳගන්නා වසන්ත කාලයටද ආයුබෝවන් කියන්නට ඇවැසිය. නොගොසින් නැවතත් එන්නට නොහැක්කා සේ නුවරඑළියේ වසන්තය දැන් නැවතත් යන්නට සූදානම් ය. ඒ ඔබේත් මගේත් මතකයන් පමණක් ඉතිරි කරමිනි.

සුභාෂිණි ජයරත්න
ඡායාරූප - විමල් එස්. හෙට්ටිආරච්චි

Comments