ලොව වටා | සිළුමිණ

ලොව වටා

ටියුනීසියානු ජනපති

අගමැති එළවයි

 

 

උතුරු අප්‍රිකානු රටක් වන ටියුනීසියාවේ රාජ්‍ය බලය තමන් වෙත පවරා ගැනීමට එරට ජනාධිපති කායිස් සායිද් පසුගියදා කටයුතු කළේය. ව්‍යවස්ථාව අනුව රාජ්‍ය බලය අගමැතිවරයාට සහ පාර්ලිමේන්තුවට හිමි වන අතර පසුගියදා ජනාධිපතිවරයා තමන් සතු බලතල භාවිත කරමින් අගමැතිවරයා ධූරයෙන් ඉවත් කළේය. අමතරව පාර්ලිමේන්තුව දින 30ක කාලයකට අක්‍රිය කළ ජනාධිපතිවරයා සියලුම වගකීම් සහ බලතල තමන් වෙත පවරා ගත් බවද ජනතාවට දැනුම් දුන්නේය.

අගමැති හිචෙම් මෙහිච් ධූරයෙන් ඉවත් කළ බව ජනාධිපති කාර්යාලය විසින් නිවේදනයක් මගින් ජනතාව වෙත දැනුම් දී තිබේ. ජනතාව අතර කළහකාරී හැසිරීමේ ඇති කර නොගන්නා ලෙසද ජනාධිපතිවරයා එම නිවේදනය මගින් ජනතාවගෙන් ඉල්ලා තිබේ.

 

ඉන්දීය ගොවියෝ යලි පාරට

 

 

පසුගිය වසරේ ඉන්දියාව කැළඹූ ගොවි උද්ඝෝෂණ මෙවරද යළිත් ආරම්භ වෙමින් පවතින බවට ළකුණු පහළ වෙමින් තිබේ. ගොවි ජනතාව මෙලෙස මෝදි රජයට එරෙහිව උද්ඝෝෂණ ආරම්භ කර සිටියේ ගොවීන්ගේ නිෂ්පාදන සම්බන්ධව පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගත් නීති කිහිපයකට විරෝධය දක්වමිනි.

පසුගිය වසරේදී දහස් ගණන් ගොවි ජනතාව දිල්ලි නුවරට පැමිණි අතර තම ගොවි නිෂ්පාදන සඳහා භාවිත කරන යන්ත්‍ර සූත්‍ර නගරයට වෙත ගෙන එමින් මාර්ග බාධක යොදමින් ඉන්දීය රජයට ‘දැනෙන’ උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට ඔවුහු එහිදී සමත් වූහ.

දැන් යළිත් ඉන්දීය පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටලමින් සිදුකිරීමට යන උද්ඝෝෂණ සම්බන්ධව අදහස් දක්වමින් ගොවි ජනතාව පවසා ඇත්තේ තම නිෂ්පාදනවලට අසාධරණයක් සිදුවන ලෙස පනවා ඇති නීති ඉවත් කර ගත්නා තුරු තමන් ආණ්ඩුවට විරෝධය දක්වන බවයි.

 

රට පනින

ලිබියානු සංක්‍රමණිකයෝ

මුහුදේ ගිලී මරුට

 

 

වෙනත් රටවල් කරා මුහුදු මගින් සංක්‍රමණය වීමට උත්සාහ දැරූ ලිබියානුවන් දහසකට පමණ සංඛ්‍යාව මේ වසර තුළදී පමණක් මේ වන විට මුහුදේ ගිලීමෙන් මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් සම්බන්ධ අංශය විසින් දැනුම් දී තිබේ.

තම රටේ ඇතිවෙමින් පවතින ආර්ථික සහ දේශපාලන අස්ථාවර භාවය හේතුවෙන් වෙනත් රටවල දේශපාලන රැකවරණ පතා යෑමට උත්සාහ දරන ලිබියානුවන්ගේ සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

මේ අතරින් බහුතරයක් මුහුදු මාර්ගයෙන් යුරෝපා රටවල් කරා යෑමට උත්සාහ දරන අතර ඒ සඳහා යොදා ගන්නා අබලන් යාත්‍රා අතරින් බහුතරය මුහුදු ගමන් අතරතුර විනාශයට පත් වන බව හෝ ගිලී යන බව වාර්තා වී තිබේ. මේ වසර ආරම්භයේ සිට මේ දක්වා පමණක් එවැනි මුහුදු අනතුරු හේතුවෙන් ලිබියානුවන් 984ක් මියගොස් ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ සංක්‍රමණික අංශය පවසා සිටී.

 

දූවිලි කුණාටුවක්

චිනයේ නගරයක් වසා දමයි

 

 

චීනයේ ගෝබී කාන්තාරයට ආසන්නයේ පිහිටා ඇති ඩන්හන්ග් නගරය පසුගියදා දූවිලි කුණාටුවක් හේතුවෙන් වැසී ගිය බව මාධ්‍ය වාර්තා කර තිබිණි. කාන්තාරයේ සිට පැමිණි දුහුවිලි වලාවන් නගරය වසා ගනිමින් මීටර් සියයක් පමණ උසැති දුවිලි බිත්තියක් නිර්මාණය කර තිබූ බව ඡායාරූප මගින් දැක ගත හැකි විය.

චීනයේ ඩන්ග්හන්ග් නගරයට අතීතයේ සිටම සුන්දර නගරයක් ලෙස ප්‍රසිද්ධව පැවතුනේ අතීත සේද මාවතේ එක් ප්‍රධාන නැවතුම් පොළක්ද වශයෙනි.

කෙසේ වුවද ගෝබී කන්තාරය ආශ්‍රිතව පිහිටීම හේතුවෙන් නිතර දුහුවිලි කුණාටවලට මුහුණ දීමට නම් මේ නගර වැසියන්ට සිදුවී තිබේ.

මෙවර ක්ෂණයකින් හමා ආ දුවිලි කුණාටුව විනාඩි පහක - හයක කාලයක් ඇතුළත නගරය මුළුමනින්ම වසා ගත් බව නගර වැසියන්ගේ අත්දැකීම විය.

තමන්ට පැය ගණනාවක් ගතවන තුරු හිරු දැක ගැනීමට නොහැකි වූ බව පැවසු ඩන්ග්හන්ග් වැසියෝ වැඩිදුරටත් පවසා තිබුණේ වසර කිහිපයක් තුළ මෙවැනි විශාල දූවිලි කුණාටුවක් තමන් අත් නොවිඳි බවයි.

Comments