
හරිත විප්ලවය ගැන අපි අසන්නේ දුගී රටවල ආහාර හිඟය නැති කර, සාගතයට විසඳුමක් වශයෙන් ඉදිරියට ගෙන ආ දැවැන්ත මානව හිතවාදී ව්‍යාපාරයක් වශයෙනි. සැබවින්ම එය එසේය. එම ප්‍රකාශයේ කිසිඳු වැරැද්දක් නැත.
සැබවින්ම හරිත විප්ලවය යනු ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් දියුණු රටවල මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු වැඩපිළිවෙළකි. බැලූබැල්මට මේ වැඩපිළිවෙළේ අරමුණ දුගී රටවල ජනතාව සා ගින්නෙන් මුදවා ගැනීම වුවද මෙහි දැවැන්ත භූ දේශපාලනික අරමුණුද විය.
ආහාර යනු මිනිසාගේ ප්‍රධාන මූලික අව්‍යශතාවයකි. එහෙත් ශිෂ්ටාචාරය ආරම්භයටත් පෙර සිටම මිනිසාට ආහාර ‘හිඟයට ‘ මුහුණ දුන්නේය. විසිවන සියවසේදී ලෝකයේ ධනවත් රටවල් තම ජනතාවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආහාර නිපදවීමට සමත් වන විට දුගී රටවල ජනතාව දහස් ගණනින් කුසගින්න හේතුවෙන් මරු වැලඳ ගත්හ. ධනවත් රටවල් සතුව ප්‍රමාණයටත් වඩා ආහාර තොග පැවතියද මිල පවත්වා ගැනීම ඇතුළු දේශපාලනික සහ ව්‍යපාරික හේතු මත මේ අතිරික්ත ආහාර දුගී රටවල ජනතාව වෙත ලබාදීමක් කිසිදා සිදුවූයේ නැත.
මේ අතර තම ජනතාව සුඛිත මුදිත කළ බටහිර ධනවත් රටවල් මුහුණ දෙමින් සිටි තවත් එක් ගැටලුවක් වූයේ දරිද්‍රතාව සමඟ දුගී රටවල් සමාජවාදී දේශපාලන ක්‍රමය වෙත තල්ලු වීමය. රුසියාවෙන් ආරම්භ වූ වාමාංශික දේශපාලන ව්‍යාපාර දුගී රටවල ජනතාව වැලඳ ගත්තේ එමඟින් හෝ තමන් මුහුණ දෙමින් සිටින කටුක ජීවන තත්ත්වය යහපත් කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. විශේෂයෙන්ම ආසියානු කළාපයේ සහ දකුණු ඇමරිකානු කලාපයේ රටවල් වේගයෙන් වාමාංශීක දේශපාලනය වෙත ඇදී යමින් පැවතිණි.
තම ව්‍යපාරික අරමුණු මුඳුන් පමුණුවා ගන්නා අතරම තම දේශපාලන බලාධිකාරය පවත්වා ගැනීම අරමුණු කර ගත් බටහිර රටවල් මේ වාමාංශික දේශපාලන රැල්ලෙන් දුගී රටවල් ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේදයක් කෙරෙහි අවධානය යොමු කරමින් සිටියහ. මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට අදහස් ලබා ගත් අතර එහිලා ඉදිරිපත් වූ වඩාත් ඵලදායීම අදහස වූයේ ‘හරිත විප්ලවයයි’.
හරිත විප්ලවය යන අදහස ඉදිරිපත් කර සිටියේ ‘නෝමන් බෝර්ලග් ‘ නම් වූ කෘෂිකර්ම විද්‍යාඥයෙකි. මේ අදහස වෙනුවෙන් ඔහු 1970දී නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබුවේය. ඒ ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ කුසගිනි නිවීම වෙනුවෙනි. සැබවින්ම ආරම්භයක් ලෙස හරිත විප්තවය ඉතා ඵලදායී විය. එමඟින් එහි නිර්මාතෘන්ගේ දේශපාලන සහ ව්‍යපාරික අරමුණුද සාක්ෂාත් වූ අතර දුගී රටවල ජනතාව පීඩාවට පත් කළ ආහාර හිඟයටද විසඳුම් ලැබිණි.
හරිත විප්ලවය දියත් කිරීමේදී ක්‍රියාත්මක කළ යුතු ඉලක්ක කිහිපයක් විය. ඒ අතරින් ප්‍රධාන වූයේ වගාවන් වෙනුවෙන් අති විශාල යන්ත්‍ර සූත්‍ර භාවිත කිරීමය. මෙමඟින් මිනිස් ශ්‍රමය යොදා කරන කෘෂිකර්මයට වඩා විශාල අස්වැන්නක් ලබා ගත හැකි අතර වගාවට ගතවන කාලයද අවම කර ගත හැකිය. මේ සඳහා යන්ත්‍ර භාවිත කළ හැකි ඇතැම් යන්ත්‍ර සූත්‍ර ඒ වන විටත් බටහිර රටවල වගාවන් සඳහා භාවිත වෙමින් තිබූ අතර මෙලෙස තවත් රටවලින් යන්ත්‍ර සඳහා ඉල්ලුම් ලැබීමෙන් බටහිර රටවල පිහිටා තිබූ එම යන්ත්‍ර නිෂ්පාදන සමාගම්වල ලාභයද වේගයෙන් ඉහළ යන්නට විය.
දෙවනුව හරිත විප්ලවයේදී ක්‍රියාත්මක කළ අරමුණ වූයේ වගාවන් සඳහා නූතන විද්‍යාත්මක ක්‍රමවේද භාවිත කිරීමයි. තෙවනුව නව බීජ වර්ග භාවිත කළ යුතු වූ අතර මේ අතරින් බොහෝ බීජ වැඩි අස්වැන්නක් ලබා දෙන සේ විද්‍යාගාරවලදී සකස් කරන ලද ඒවා විය. සිවුවනුව පැමිණියේ විශාල ලෙස කෘෂිනාශක කෘමිනාශක සහ පොහොර භාවිත කිරීමයි. වගාබිමෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා මෙසේ කිරීම අත්‍යාවශ්‍ය විය. එමෙන්ම මේ යටතේ කෘෂිනාශක, කෘෂිනාශක සහ පොහොර සඳහා අධික ඉල්ලුමක් ඇති වූ අතර බටහිර රටවල එම නිෂ්පාදන කටයුතු සිදුකරන සමාගම්වල ලාභය විශාල ලෙස ඉහළ යන්නට විය. අවසන් වශයෙන් හරිත විප්ලවයට අදාළව ක්‍රියාත්මක වූ අරමුණ වූයේ ඉඩම් අත්පත් කර ගැනීමයි. විශාල යන්ත්‍රසූත්‍ර භාවිතයෙන් සිදුකරන මහා පරිමාණ වගාවන් සිදු කිරීමට විශාල ඉඩම් අවශ්‍ය වන අතර කැබලි වී ගිය කුඩා ඉඩම්වල මේ මහා පරිමාණ වගාවන් කළ නොහැකිය. එබැවින් හරිත විප්ලවය ලොවට හඳුන්වා දුන් විද්‍යාඥයන්ගේ තවත් එක් නිර්දේශයක් වූයේ මහාපරිමාණ වගාවන් කළ හැකි පරිද්දෙන් විශාල වශයෙන් ඉඩම් අත්පත් කරගත යුතු බවය.
නෝමන් බේර්ලග්ගේ මේ හරිත විප්ලවයට ඇමරිකාවේ ෆෝඩ් පදනම සහ රොකෆෙලර් පදනම යනාදී ආයතනවලින් සහයෝගය හිමි විය. ඒ අනුව 1950 දශකයෙන් ඇරඹී ඉන්පසුව නොකඩවා 1960 දශකය පුරාද ලොව පුරා මේ හරිත විප්ලවය ක්‍රියාත්මක විය. මේ වැඩපිළිවෙළ දියත් කිරීම සඳහා ඔවුන් විසින් විශේෂ රටවල් කිහිපයක්ම තෝරා ගත් අතර එම රටවල වාමාංශීක දේශපාලන නැඹුරුවක් තිබීම පොදු කරුණක් විය. මෙක්සිකෝව, පිලිපීනය, ඉන්දියාව සහ චීනය ඒ අතරින් ප්‍රධාන විය. තවත් අප්‍රිකානු රටවල් සහ ආසියානු රටවල් රැසක්ම ඔවුන්ගේ ලැයිස්තුවේ වූ අතර එහෙත් ඒ අතිරින් බොහෝ රටවල හරිත විප්ලවය සාර්ථක වීමට අවශ්‍ය ප්‍රධාන කරුණු සම්පූර්ණ වීම කෙරෙහි යම් යම් ගැටලු උද්ගත වී තිබිණි.
මෙක්සිකෝව, ඉන්දියාව සහ චීනය යන රටවල හරිත විප්ලවය සාර්ථකව ක්‍රියාත්මක වූ අතර විශේෂයෙන්ම පැවසිය යුතු වන්නේ හරිත විප්ලවයේ නිසි ඵල නෙළා ගත්තේ චීනය බවයි. කොටින්ම කිවහොත් චීනය හරිත විප්ලවය ආරම්භ කළ නිර්මාතෘන්ගේ අරමුණු එළෙසින්ම ක්‍රියාත්මක කරමින් ඔවුන්වද උඩුයටිකුරු කළේ තමන්ටම ආවේණික ක්‍රම අනුගමනය කරමිනි. චීනය යනු අතිවිශාල භූමියක වෙසෙන අතිවිශාල ජනගහනයකි. ස්වභාවික උවදුරුද එම භූමියේ බහුලය. වසරකම ස්වභාවික උවදුරු හේතුවෙන් චින ජනතාවගේ වගාවන් විනාශ වන්නේ හෙක්ටයාර ගණනිනි. එහි ඍජු ප්‍රතිඵලය වූයේ සාගතයෙන් වසරක් පාසා මිනිසුන් දහස් ගණනින් මිය යෑමය. චීන ජනතාව තණකොළවල සිට සියලුම සතුන් දක්වා ආහාරයට ගැනීමට කටයුතු කරන්නේද එසේ මුහුණ දුන් දැඩි සාගත සහ දුර්භික්ෂ මෙන්ම ස්වභාවික උවදුරුද හේතුවෙනි. හරිත විප්ලවය සැබවින්ම චීන ජනතාවගේ බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීය. ඔවුන් මේ උපක්‍රම භාවිතයෙන් තම අස්වැන්න විශාල ලෙස වැඩි කර ගත් අතර අද වන විටත් ඔවුන් එම ක්‍රමවේද භාවිත කරමින් සිටිති. විශේෂම කරුණ වන්නේ ඔවුන් හරිත විප්ලවය ඇති කිරීමට බටහිර රටවලට ප්‍රධාන හේතුව වූ වාමාංශික දේශපාලන රාමුව එලෙසම පවත්වා ගනිමින් හරිත විප්ලවයෙන් උපරිම ඵල නෙළා ගැනීමය. වාමාංශික දේශපාලන නැඹුරුව තුරන් කිරීමට ආරම්භ කළ බටහිර හරිත විප්ලවය චීනය තුළ ක්‍රියාත්මක වන්නේ කොමියුනිස්ට් පක්ෂයේ මූලිකත්වයෙන් වීම බටහිරට එල්ල කළ උපහාසයක් සේ සැලකිය හැකිය.
හරිත විප්ලව සංකල්පය ලොව පුරා ව්‍යප්ත කර දශක හතරක් පමණ ගෙවී යන විට එහි තේමාව යල් පැන ගොස් තිබූ අතර එම සංකල්පයේ යම් යම් දෝෂද හඳුනා ගැනීමට හැකි විය. ඒ අතරින් ප්‍රධාන වූයේ අධික පොහොර භාවිතය මෙන්ම කෘෂීනාශක, කෘමිනාශක භාවිතයෙන් දැඩි අහිතකර ප්‍රතිඵල උද්ගතවන බව සොයා ගැනීමය. එමෙන්ම අති විශාල වගා බිම් ඇති කර ඒවායේ වගාවන් ඇති කිරීම පෘථිවියේ ජෛවවිවිධත්වයට විශාල ලෙස හානි ගෙන දෙන බව ද සොයා ගනු ලැබීය. වගාවන් සඳහා ජලය ලබා ගැනීමේදී පොළවේ ජල මූලාශ්‍ර වෙත ඍජුව ළඟා වී ජලය ලබා ගැනීම නිසා ජල මූලාශ්‍ර සිඳී යෑමේ තර්ජනයන් මතුවන බවද හෙළිදරවු විය.
කෘමිනාශක, කෘෂීනාශක සහ පොහොර හේතුවෙන් මිනිසුන්ට බොහෝ පිළිකා ඇතිවන බව සොයා ගනු ලැබුවේ අසූව දශකය තරම් මැතකදීය. පසට එකතු වන අධික කෘමිනාශක සහ පොහොර හේතුවෙන් ‘ලිම්පෝමා, ලියුකේමියා ‘ පිළිකා වර්ග මෙන්ම පෙණහලු පිළිකාද, පියයුරු පිළිකාද ඇති වන බව තහවුරු විය. පළිබෝධනාශක හේතුවෙන් ඩිම්බකෝෂ පිළිකා ඇතිවන බව පර්යේෂණ මඟින් තහවුරු විය. ඉන්දියාව දැඩි ලෙස හරිත විප්ලවයට දායකත්වය ලබා දී සාර්ථකත්වය අත්පත් කරගත් රටකි. එහෙත් පන්ජාබ් ප්‍රාන්තයේ අධික පළිබෝධනාශක භාවිතයට එරෙහිව ජනතාව මෙහෙයවූ ‘වන්දනා ශිවා’ ප්‍රකාශ කරසිටියේ අධික පළිබෝධනාශක ජනතාව රෝගී කරමින් සිටින බවයි. ග්‍රීන්පීස් සංවිධානයද පළිබෝධනාශක සහ පොහොර භාවිතය හේතුවෙන් පරිසරයට මෙන්ම වන සතුන්ටද, කෘමීන්ටද වෙන හානිය සම්බන්ධව දැඩි මත පළ කර තිබේ.
මේ හේතුන් මත අද වන විට හරිත විප්ලවයේ යම් යම් දුර්ලක්ෂණ දැකීමට බොහෝ දෙනා පෙලඹී සිටියද ප්‍රකාශ කළ යුතු වන්නේ පරම්පරා ගණනාවකින් කුසගින්න අත්නොවිඳි ජනතාව සටන්පාඨ වටා ඒක රැස් වෙමින් සිටින බවයි. පරිසරය ආරක්ෂා කර ගනිමින් ඉදිරි පරම්පරාවට තිළිණ කළ යුතු බවට තර්කයක් නැත. එමෙන්ම අහිතකර රසායන ද්‍රව්‍ය හේතුවෙන් රෝගී වීමෙන් මිදීමේ අයිතිය ජනතාව සතු බවටද තර්කයක් නැත. එබැවින්ම පළිබෝධනාශක මෙන්ම පොහොර භාවිතයද සීමා කිරීම වැදගත්ය. එහෙත් එය ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවට ගැටලුවක් ඇති නොවන අන්දමින් සිදු විය යුතුමය..