
- එන්නත්කරණය අඛණ්ඩව ඉදිරියටම
- ආසාදිතයන් අඩු වුණත් නව පොකුරු මතුවීමේ අවදානමක්
- අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයන් 1,47,000 ඉක්මවයි
- ෆයිසර් එන්නත් මාත්‍රා 78,000ක් ලබන මාසයේදී
- ඇඟලුම් සේවකයන්ටත් කඩිනමින් එන්නත් ලබාදෙන ලෙස ඉල්ලීම්
ලොවම බියගැන්වූ නොපෙනෙන සතුරා බවට පත්ව සිටින කොවිඩ් 19 වයිරසයට ගොදුරු වූ ගෝලීය සංඛ්‍යාව මෙම සතිය ආරම්භයේදී වාර්තා වූයේ මිලියන 179ක් ලෙසටය. කොවිඩ් ආසාදනය වීමෙන් ලොව පුරා පුද්ගලයන් මිලියන 3.87ක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ මේ වන විට පැතිරෙමින් තිබෙන කොවිඩ් 3 වැනි රැල්ලේ ආසාදිතයන් සංඛ්‍යාව ඉකුත් 21 වැනිදා වන විට 1,40,000 ඉක්මවා ගියේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,40,000 පසු කරමිනි. එදින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත මරණ 71ක් තහවුරු කරනු ලැබුවේ එක් දිනකදී සිදුවූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වාර්තා කරමිනි.
ඩෙල්ටා ගැන සොයන පරීක්ෂණ වේගවත් කරයි
ඩෙල්ටා කොවිඩ් වයිරස් ප්‍රභේදයේ පැතිරීම වේගවත් වීම හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල පැය 24කින් ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව දැනට සිදු කරන 20,000ක් පමණ වන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 25,000 දක්වා වැඩි කරන ලෙස සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින් උපදෙස් ලබා දී ඇත. මේ අතර කොවිඩ් නොවන මරණවල අවසන් කටයුතු පැය 24ක් තුළ අවසන් කිරීමට කටයුතු සලසා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් පසුගියදා උපදෙස් දෙනු ලැබිණි. කොවිඩ් නොවන මරණ පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමෙන් අවසන් කටයුතු සිදු කිරීමට වන ප්‍රමාදය පිළිබඳ සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා විසින් එම තීරණයට එළඹ තිබිණ.
ෆේස් ෂීල්ඩ් පමණක් පැලඳීම වැරදි පූර්වාදර්ශයක්
කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් වැළකීමට භාවිත කරන මුව ආවරණ වෙනුවට Face Shield එකක් පමණක් භාවිත කිරීමේ වැරදි පූර්වාදර්ශයක් සමාජය තුළ පැතිරෙමින් තිබීම නැවත කොවිඩ් ව්‍යාප්ත වීමේ අවදානමක ලකුණක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පැවසීය. Face Shield එක භාවිත කරන්නේ නම් අනිවාර්යයෙන්ම ඒ සමඟ පිරිසුදු මුව ආවරණයක් ද භාවිත කිරීම අත්‍යවශ්‍ය බව ද හෙතෙම සඳහන් කළේය. ඇතැම් විද්‍යුත් මාධ්‍ය මඟින් Face Shield එක පමණක් භාවිත කිරීමෙන් සමාජයට වැරදි පූර්වාදර්ශයක් ලැබීමෙන් වසංගතය නැවත ව්‍යාප්ත විය හැකි බව ද විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව සඳහන් කළේය.
දිළිඳු රටවලට කොවැක්ස් පහසුකමත් පිටුපායි
වසංගතයට එරෙහි එකම අවිය එන්නත්කරණය බව මේ වන විට මුළු ලෝකයම පාහේ පිළිගෙන තිබුණද කොවැක්ස් පහසුකම යටතේ ලොව දුප්පත් රටවලට කොරෝනා මර්දන එන්නත් අඛණ්ඩව ලබා දීමට නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් 21 වැනිදා නිවේදනය කළේය. මේ වනවිට කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රටවල් 131කට එන්නත් මාත්‍රා මිලියන 90ක් බෙදා හැර ඇත. එසේ වුවද ලොව පුරා ජනතාව කොරෝනා වයිරසයෙන් ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් එන්නත් තොග කොවැක්ස් පහසුකම සතුව නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසා තිබුණි. ඉකුත් 23 වැනිදා වන විට කුමන හෝ කොවිඩ් මර්දන එන්නතකින් එන්නත් මාත්‍රා දෙකම ලබාගනිමින් ලෝක ජනගහනයෙන් සියයට 10.2ක් එන්නත්කරණය සම්පූර්ණ කර තිබිණි. එදින වන විට ශ්‍රී ලංකාවේ එන්නත්කරණය සම්පූර්ණ කළ සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ජනගහනයෙන් සියයට 3.9කි.
දරුවන්ට හානිකර බරපතළ තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්
කොවිඩ් 19 රෝගය හා සම්බන්ධ ඉතා බරපතළ තත්ත්වයක් දරුවන් සම්බන්ධයෙන් මතුව තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පැවසීය. කොවිඩ් වයිරසය ආසාදනය වී සති 2 – 6ක් පමණ කාලයක් ගතවන විට Multi System Inflammatory Syndrome නැමති නව රෝගී තත්ත්වයක් දරුවන් තුළ හට ගන්නා බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
එම රෝගී තත්ත්වයට දරුවන් නොදැනුවත්වම ගොදුරු වී සිටීම එහි ඇති බරපතළ තත්ත්වය වන බව ද හෙතෙම තවදුරටත් පැවසීය.
මේ වන විට එම රෝගී තත්ත්වයට පත්වු වයස අවුරුදු 8 ත් 15ත් අතර පසුවන දරුවන් 6 දෙනකු රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ. උණ, සිරුරේ දැඩි වේදනාව, වමනය, බඩේ අමාරුව, පාචනය, ඇස් රතු වීම, දද වැනි ස්වභාවයක් හට ගැනීම එම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වන බවත් එහි භයානක තත්ත්වය වන්නේ හෘද වස්තුවට බලපෑම් කර රුධිර පීඩනය අඩුවීමෙන් මියයෑමේ තත්ත්වයක් ඇතිවීම බවද විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත වැඩිදුරටත් අනාවරණය කළේය. එබැවින් ඉහත දැක්වූ රෝග ලක්ෂණ
ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසත් හෙතෙම පැවසීය.
ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කොවිඩ් ප්‍රභේද
මුල් කාලයේ මෙරටින් සුලභව වාර්තා වූයේ දේශීය කොවිඩ් ප්‍රභේදය වන අතර පසුව එය අබිබවමින් ඇල්ෆා හෙවත් බ්‍රිතාන්‍ය කොවිඩ් වයිරස ප්‍රභේදය රට පුරා පැතිර යන්නට විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනය විසින් මෙරට පැතිර යන කොවිඩ් වයිරස ප්‍රභේද පිළිබඳ සිදු කළ නව අධ්‍යයන වාර්තාවට අනුව ඇල්ෆා හෙවත් බ්‍රිතාන්‍ය කොවිඩ් වයිරස ප්‍රභේදය ආසාදිතයන් කොළඹ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොළ, හබරාදූව, තිස්සමහාරාමය, කරාපිටිය හා රාගම යන ප්‍රදේශවල සිදුකළ ජෛව සාම්පල් පරීක්ෂණ මඟින් හඳුනාගනු ලැබිණි.
එසේ මෙරට ප්‍රදේශ රැසකින් හඳුනාගත් බ්‍රිතාන්‍ය B117 හෙවත් ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය, සියයට 50කට වැඩි වේගයකින් පැතිරීම සිදුවන බවත් එම ප්‍රභේදයේදී රෝගයේ දරුණුභාවය හා මාරාන්තික බව ද සියයට 55කින් පමණ වැඩි බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර පැවසීය. ඒ අනුව මෙරට කාලයක් පුරා පැතිර යමින් තිබු B.1.411 යන ප්‍රභේදය යටපත් කරමින් ඇල්ෆා ප්‍රභේදය හිස ඔසවමින් තිබේ.
මෙරටට ආ අලුත්ම ප්‍රභේදය
මේ දිනවල ඉන්දියාවේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන B.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් 5 දෙනකු කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ෛසල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ ඉකුත් 17 වැනිදාය.
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් මෙරට සමාජයෙන් හමුවූ පළමු අවස්ථාව එය විය. මීට පෙර ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයකු වස්කඩුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් අතර ඔහු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයකු විය. මේ අතර ඩෙල්ටා හෙවත් ඉන්දියානු වයිරස ප්‍රභේදය ආසාදිත බවට සැක කෙරෙන පුද්ගලයකු හඳුනාගත් මාදිවෙල ප්‍රගතිපුර පාර ප්‍රදේශය ඉකුත් 22 වැනිදා සිට හුදෙකලා තත්ත්වයට පත්කරනු ලැබිණි.
ඩෙල්ටා ප්‍රභේදයට එන්නත්කරණයෙන් ලැබෙන ආරක්ෂාව
කිසිදු එන්නතක් මඟින් කිසිදු ප්‍රභේදයක් ආසාදනය වීමේ සම්භාවිතාව 100% කින් අඩු නොකළද දැනට මෙරට සිදුකරගෙන යන එන්නත්කරණය, පවතින ප්‍රභේද මෙන්ම මෙම නව ප්‍රභේදය නිසා ඇතිවන දරුණු තත්ත්වය සහ මරණ අවම කිරීමට ද ඉවහල් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. එහෙත් කොරෝනා ආසාදන තත්ත්වයෙන් මිදීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පෙර පරිදිම පිළිපැදීම මෙම නව ප්‍රභේදයටත් අදාළ වන බවද සෞඛ්‍ය විශේෂඥයෝ අවධාරණය කරති. ඉතා වේගයෙන් පැතිර යා හැකි නව ප්‍රභේදය සොයා ගැනීමත් සමඟ ජනතාව ගැවසෙන ස්ථාන මෙන්ම, පිරිස් එකිනෙකාට ආසන්නයෙන් ගැවසෙන එළිමහන් නොවන ස්ථාන මග හැරීමට වඩාත් සැලකිලිමත් විය යුතුය.
වරින් වර අලුතින් සොයා ගන්නා ප්‍රභේද පිළිබඳ ලැබෙන තොරතුරු ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යයනය කරන ලද ඉතා කුඩා නියැදි තුළින් ලබාගන්නා ලද දත්ත බැවින් ඉදිරියේදී අලුත් දත්ත ලැබීමත් සමඟ වෙනස් විය හැකි බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් පවසයි.
ගැබිනි මවුවරුන් සඳහා එන්නත්කරණ වැඩපිළිවෙළ
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නියම කර ඇති පරිදි එන්නත්කරණය සඳහා තෝරාගත් ගැබිනි මවුවරුන් සඳහා අගෝස්තු 14 වැනිදා වනවිට එන්නත්කරණය සිදුකර අවසන් කළ යුතු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා පැවසීය. එම විද්‍යායතනය පෙන්වා දෙන්නේ ගැබිනි මවුවරුන් සඳහා එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනම් කළයුතු නමුත් එහි ප්‍රමාදයක් සිදුවන බව නිරීක්ෂණය වන බවයි. රජය විසින් ගැබිනි මවුවරුන්ගේ එන්නත්කරණය සඳහා සියලුම පහසුකම් සලසා තිබියදී එම වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන් ඇතිවන සියලුම ප්‍රශ්නවල වගකීම අදාළ නිලධාරින් විසින් භාරගත යුතු බව විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා වැඩිදුරටත් පැවසීය. මේ වන විට මෙරට ගැබිනි මවුවරුන් 10 දෙනකු කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් මරණයට පත්ව ඇත.
ඡායාරූප- විමල් කරුණාතිලක, සුදත් මලවීර, රංජිත් අසංක, රුක්මල් ගමගේ සහ සමන් ශ්‍රී වෙදගේ
මෙහි සඳහන් කර ඇත්තේ ජුනි 25 වැනිදා පස්වරු 12.30 තෙක් වාර්තා වූ දත්ත වේ.