ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරා ගැනීමේ කතාව | සිළුමිණ

ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරා ගැනීමේ කතාව

නාධිපති බලතල ප්‍රකාරව පසුගිය ජූනි 18 වන දින නිකුත් කර ඇති 2021 අංක 2232/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව සීමාසහිත ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පැවරිණ.

1974 දී ආරම්භ කළ ලංකා පොස්පෙට් ආයතනය එකල පැවතියේ භූ විද්‍යා හා පතල් කාර්යාංශය යටතේය. ජාතියට අගනා දායාදයක් වූ එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රය කරගෙන 1991 වසරේදී ලංකා පොස්පේට් ආයතනය සමාගමක් බවට පත්කොට ජාතික ආර්ථිකය ශක්තිමත් කළ හැකි පරිදි යොදාගැනීමට සැලසුම් කොට තිබුණි. එසේ වුව ද පසුව මෙම පොස්පේට් නිධිය මැක්‌මෝන් (Freeport MacMoran) සමාගමට විකිණීමට එකල පැවති රජය කටයුතු කළේ එයින් මේ රටේ ආර්ථිකයට සිදුවන අනිසි ප්‍රතිඵල ගැන කිසිදු වගවිභාගයක් නැතිවය. ශ්‍රී ලංකාවේ පරිසර ආඥා පනත් සියල්ල උල්ලංඝණය කරමින් සිදු කොට තිබූ මෙම අකටයුත්ත සඳහා පරිසර පනත පවා වෙනස්‌ කිරීමට ඔවුන් ක්‍රියා කර තිබුණි.

ඒ අනුව පොස්‌පේට්‌ නිධියෙන් ටොන් මිලියන 25 ක්‌ ඉතා සුළු මුදලක් ගෙන පිටරට පැටවීමට ඔවුන් කැමැත්ත පළ කළ අතර, ඒ සඳහා ගෙවීමට එකඟ වූ හිමිකාර භාගය ඉතා සුළු අගයක්‌ විය. අදාළ කාල සීමාව තුළ පොස්‌පේට්‌ නිධිය මුළුමනින්ම විනාශ විය හැකි බව තේරුම් ගත් මෙරට ප්‍රධාන පෙළේ විද්‍යාඥයන් ඊට දැඩි ලෙස විරෝධය පෑමට පටන් ගත් අතර, ඒ අනුව ශ්‍රී ලංකා ජාතික විද්‍යා ඇකඩමිය, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය, ජාතික විද්‍යා පදනම, රසායන විද්‍යා ආයතනය සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය යන සියලු ආයතන මැක්‌මොරන් යෝජනාවට විරුද්ධව සටන් වැදුණෝය.

වසර 400කට අධික කාලයක්‌ මේ රටේ පොහොර අවශ්‍යතාව සපුරා ගැනීමට හැකි මේ ජාතික සම්පත විජාතික සමාගම්වලට විකුණා අවුරුදු 25 ක්‌ තුළ එය ජාතියට අහිමි කිරීමට දේශපාලකයන් දැරූ එකී උත්සාහය එදා වැළලී ගියේ එප්පාවල ගොවිජනතාව නැඟී සිටි නිසාය.

එහෙත් සමහර දේශපාලඥයන්ගෙ උපදේශකවරු ලෙස කටයුතු කළ විද්‍යාඥයන් පිරිසක් ක්‌ලෝරීන් සහ වෙනත් අපද්‍රව්‍ය පොස්‌පේට්‌ නිධියේ ඇති නිසා මෙයින් පොහොර නිෂ්පාදනය කිරීමට නොහැකි බවත්, ඒ සඳහා දේශීය විද්‍යාත්මක දැනුම ප්‍රමාණවත් නොවන බවත් පැවසීය. එහෙත් 2002 වසරේ ලංකා පොස්‌පේට්‌ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය චන්දන උඩවත්ත ඒ අභියෝගය බාර ගත්තේය. ඔහු මේ නිධියෙන් තනි සුපර් පොස්‌පේට්‌ පොහොර ටොන් 20 ක්‌ එප්පාවල පොස්‌පේට්‌ කම්හලෙහිම නිපදවා පෙන්වීය. ඔහු විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන්ගේ සහාය ඇතිව නිපද වූ මෙම දේශීය පොහොර ගැන සිදු කළ පරීක්‌ෂණවලින් හෙළි වුයේ වී, බඩඉරිඟු වැනි බෝග සඳහා පිටරටින් ආනයනය කරන පොස්‌පේට්‌ පොහොරවලටත් වඩා හොඳ අස්‌වැන්නක්‌ මේ දේශීය පොස්‌පේට්‌ පොහොර භාවිතයෙන් ලබාගත හැකි බවය.

ලෝකයේ ප්‍රධාන පෙළේ පොස්පේට් නිධි දහයකට ආසන්න ප්‍රමාණයක් පැවතිය ද ලෝකය පිළිගන්නා හොඳම පොස්පේට් නිධිය එප්පාවල පොස්පේට් නිධිය බව සඳහන් වේ.

පොස්පේට් යොදාගෙන පොහොර නිෂ්පාදනය කිරීමේදී රසානික විෂ ද්‍රව්‍යයක් වන කැඩ්මියම් අඩංගු ප්‍රමාණය ගැන විශේෂ අවධානයක් යොමු කරයි.උතුරු මැද පළාත තුළ වකුගඩු රෝගය පැතිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මේ කැඩ්මියම් රසායනයයි. එහෙත් එප්පාවල පොස්පේට්වල කැඩ්මියම් රසායන ද්‍රව්‍යය ඇත්තේ දශම 0.05 ක ප්‍රමාණයකි. එම ප්‍රමාණය ඉතාම සෞඛ්‍යාරක්ෂිත අවම ප්‍රමාණයක් බවට පිළිගෙන ඇත.

එවන් වටිනාකමක් ඇති පොස්පේට් නිධිය පොස්පේට් සමාගම යටතේ වසර ගණනාවක් පුරා පාඩු ලබමින් තිබුණි. ඉකුත් යහපාලන ආණ්ඩු සමයේ (2015) සිය දැවැන්තම පාඩුව වාර්තා කළේ සමස්ත අලාභය රුපියල් මිලියන 80.8ක් ලෙස සටහන් කරමිනි.

එතැන් පටන් දිගින් දිගටම පාඩු ලබමින් පැවති ලංකා පොස්පේට් සමාගම නව ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍යවරයා වූ විමල් වීරවංශ යටතේ දියුණුවට පත්වෙමින් කාබනික පොහොරවල ඇති ‘පොස්පරස් ඌනතාව සපුරා දිය හැකි ‘රොක් පොස්පේට්’ පොහොර මිශ්‍රණයක් ‘එප්පාවල පොහොර’ යන දේශීය සන්නාමය යටතේ හඳුන්වාදීමට 2020 වසරේදී කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ සමත් විය.

සමාගම 2020 අග භාගයේ සිට 2021 ජුනි දක්වා රුපියල් මිලියන 104.6 ක් ඉක්ම වූ ලාභයක් වාර්තා කළේය.

එහෙත් මෙතෙක් කලක් ලෝකයක් මවිත කළ මේ ඛනිජ නිධියෙන් ප්‍රයෝජන ගත්තේ අපවත් රජයවත් නොව රටේ පොහොර අධිකාරිය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි බහුජාතික සමාගම් ය. නමුත් ලංකා පොස්පේට් සමාගම ඉතිහාසයේ ප්‍රථම වතාවට කර්මාන්ත අමාත්‍යාංශය යටතට පත්වීමත් සමඟ මෙහි ඉරණම වෙනස් විය.

කෘෂිකර්ම අමාත්‍යංශයට සමාගම පවරා දීම සම්බන්ධයෙන් සටහනක් තබමින් විමල් වීරවංශ අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැන්නකි.

" 2000 වසරේදී පෞද්ගලික සමාගමකට කුණු කොල්ලයට විකිණීමට යෝජිතව තිබු ලංකා පොස්පේට් සමාගම රජරට ජනතාවගේ සහ සමස්ත ශ්‍රී ලාංකීය දේශමාමක ජනතාවගේ කැපවීමෙන් ඓතිහාසික නඩු තීන්දුවක් මඟින් නැවත රාජ්‍ය ව්‍යවසායක් බවට පත්විය. එදා පටන් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ ලංකා පොස්පේට් සමාගම 2015 යහපාලන ආණ්ඩු සමයේ දුමින්ද දිසානායක කෘෂිකර්ම අමාත්‍යවරයා යටතේ කෘෂිකර්ම අමාත්‍යංශයට ගැසට් කොට තිබිණි. ඊට හේතු වූයේ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ දිස්ත්‍රික්කයේ මෙන්ම ඔහු නියෝජනය කළ ආසනයේම ලංකා පොස්පේට් සමාගම පිහිටා තිබීමය. 

එහෙත් 2015 සිට 2020 වසර දක්වා ක්‍රමයෙන් පාඩු ලබන තත්වයට පත්වෙමින් තිබූ ලංකා පොස්පේට් සමාගම 2020 අවසන් කාර්තුවේ සිට කර්මාන්ත අමාත්‍යංශය යටතේ තමන් අතට පත් වූ දා පටන් ලංකා පොස්පේට් සමාගමේ සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ කැපවීමෙන් නැවත ලාබ ලබන තත්වයට ගෙන ඒමට හැකියාව ලැබුණු බවය.

එප්පාවල පොස්පේට් සමාගමේ නව සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය පත් වීමෙන් පසු අමාත්‍යාංශ ලේකම්තුමන් ද සහභාගී කරවාගෙන සාකච්ඡා ගණනාවක් පවත්වා එප්පාවල පොස්පේට් නිධියෙන් රටටත්, ගොවි ජනතාවටත් උපරිම ඵලයක් ලබා දීම පිණිස හෙතෙම කටයුතු කළ බවය.

ඒ අනුව එප්පාවල පොස්පේට් පොහොරවලට වටිනාකමක් එකතු කිරීමත්, කාබනික පොහොරවල ඇති පොස්පරස් ඌනතාව වැළැක්විය හැකි ‘එප්පාවල රොක් පොස්පේට් (ඊ.ආර්.පී) ඇසුරුමක්’ හඳුන්වාදීමටත් තීරණ කළ බවත්, එප්පාවල රොක් පොස්පේට් වෙනත් පොහොර නිෂ්පාදකයන්ට තොග වශයෙන් ලබා දීම නතර කර ඊට අගයක් එකතු කර ‘සුපර් පොස්පේට්’ පොහොර නිෂ්පාදනය කර ලංකා පොස්පේට් සමාගම මඟින් ම අලෙවි කිරීම ආරම්භ කර තිබුණි.

කොවිඩ් වසංගතයත් සමඟ සෞභාග්‍යයේ දැක්ම අනුව ගෙවතු වගා සංග්‍රාමයක් අරුඹූ මොහොතේ කාබනික පොහොර සඳහා ඉතා විශාල ඉල්ලුමක් ඇති වූ අවස්ථාවේ දෙවන තීරණය කඩිනමින්ම ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබිණි.

‘අපිට පොහොර - අපිම හදමු’ තේමාව යටතේ කාබනික පොහොර කිලෝ 20කට එකතු කළ හැකි එප්පාවල රොක් පොස්පේට් (ඊ.ආර්.පී) කිලෝ 01ක පැකට්ටුවක් ‘එප්පාවල පොහොර’ නමින් හඳුන්වා දීම සිදුකිරීමටත් හැකියාව ලැබිණි.

සාමාන්‍ය වෙ‍ෙළදපොළේ මිල රුපියල් 30ක්ව පැවති එම පොහොර අප ලබා දුන්නේ රුපියල් 10කට ය. ඒ අනුව අපට රසායනික පොහොර වෙනුවට ‘සවිබල ගැන්වූ කාබනික පොහොර’ ගොවි ජනතාවට හා ගෙවතු වගාවෙහි නිරත පිරිස්වලට ලබා දීමට හැකිව ලැබිණි.

කාබනික පොහොරවල නයිට්‍රජන් හා පොටෑසියම් සංඝටක ප්‍රමාණවත් ලෙස තිබෙන නමුත් පොස්පරස් සංඝටකය අවම වීම අප හඳුන්වා දුන් එප්පාවල පොහොර මිශ්‍රණයෙන් මඟ හරවා ගැනීමේ හැකියාව ලැබිණි. එමඟින් ආනයනික පොහොර සඳහා වසරකට වැයවන රුපියල් බිලියන 33ක මුදල රට තුළම ඉතිරි කර ගැනීමේ ඉඩකඩ නිර්මාණය වීමට මූලික පසුබිම සැකසිණි.

රජය හදිසියේ මේ තීරණය ගැනීමට මූලිකම හේතුව වී ඇත්තේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ගොවියන් වෙත ලබාදීමේ වැඩපිළිවෙළ වඩා කාර්යක්ෂමව හා අප්‍රමාදව සිදු කිරීමේ අරමුණ ඇතිවය.

 

Comments