රටින් රටට වෙනස් වන සමාජ මාධ්‍ය නීති | සිළුමිණ

රටින් රටට වෙනස් වන සමාජ මාධ්‍ය නීති

• ජර්මනිය

ජර්මනිය සමාජ මාධ්‍ය සම්බන්ධව වැඩි වශයෙන් නීති පනවා ඇත්තේ එම මධ්‍ය ආයතනවලින් තම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම අරමුණු කර ගනිමිනි. ඒ අනුව කිසියම් සමාජ මාධ්‍ය ආයතනයක් ජර්මනිය තුළ ක්‍රියාත්මක වීමට නම් ඩොලර් මිලියන දෙකක් ගෙවා ප්‍රථමයෙන්ම ලියාපදිංචිය ලබා ගත යුතු වේ. එමෙන්ම අදාළ ආයතනය සහ රජය විසින් එකඟ වනු ලබන නීති වරෝධී යැයි සලකනු ලබන අන්තර්ගතයන් පැය 24ක තුළ ඉවත් කර දැමීමට අදාළ සමාගම් කටයුතු කළ යුතුය යන්න ජර්මනිය තුළ ක්‍රියාත්මක වන තවත් නීතියකි.

ෆේස් බුක් භාවිත කරන්නන් සඳහා 2019 වසරේ ජූලි මාසයේදී ජර්මනිය විසින් නව නීති මාලවක්ද හඳුන්වා දෙනු ලැබීය.

 

• යුරෝපා සංගමය

යුරෝපා සංගමය දැඩි සේ නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනු ලබන ත්‍රස්තවාදය සම්බන්ධ අන්තර්ගතයන් කෙරෙහිය. මෙවැනි වීඩියෝ හෝ අන්තර්ගතයන් පැයක් තුළ ඉවත් කරන ලෙස යුරෝපා සංගමය අදාළ සමාජ මාධ්‍ය ආයතනවලින් ඉල්ලා තිබේ.

මීට අමතරව යුරෝපා සංගමය විසින් සියලුම සමාජ මාධ්‍ය ආයතන සම්බන්ධව පොදු නීති පද්ධතියක්ද හඳුන්වා දී තිබේ. මීට අමතරව සමාජ මාධ්‍යයන්හි පළවන නිර්මාණවල කර්තෘ හිමිකම් සම්බන්ධවද යුරෝපා සංගමය නීති පනවා තිබේ.

 

• ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාව 2019දී සම්මත කරගත් පණතක් අනුව සමාජ මධ්‍යයන්හි ත්‍රස්තවාදය හා සම්බන්ධ තොරතුරු පළ කිරීම හේතුවෙන් වසර තුනකට නොවැඩි සිර දඬුවම් වුවද ලබා දීමට හැකියාව ලැබී තිබේ.

මීට අමතරව සමාජ මාධ්‍යයන් අවභාවිත කිරීම සඳහා දඩ මුදල් අය කිරීමේ ක්‍රමවේදයක්ද එරට ක්‍රියාත්මක වේ.

ඔස්ට්‍රේලියාව මෙවැනි නීති ක්‍රියාත්මක කිරිම ආරම්භ කළේ 2014 වසරේ දී එරට රූපවාහිනී නිවේදිකාවක් වූ චාලට් ඩොසන්ගේ සිය දිවි නසා ගැනීමත් සමඟිනි. ඇය එරට සමාජ මාධ්‍ය තුළ ‘සයිබර් බුලිං’ හෙවත් සමාජ පීඩාවන්ට දීර්ඝ කාලීනව හසුවී තිබූණු අතර ආතතියෙන්ද පීඩා විඳ තිබුණාය. ඒ කිසිවක් දරා ගත නොහැකිව ඇය සිය දිවි නසා ගත් පසු ජනතාවගේ ආරක්ෂාව සඳහා මෙවැනි නීති පැනවීමට ඔස්ට්‍රේලියානු රජය කටයුතු යෙදීය.

 

• රුසියාව

2015 වසරේදී රුසියාව සියලුම සමාජ මාධ්‍යවලට දන්වා සිටියේ තම රට සම්බන්ධව පළවන සියල්ල ගබඩා කර තැබිය යුතු බවයි. එමෙන්ම රුසියාව පසුගිය වසරේදී නීතියක් සම්මත කර ගනු ලැබුවේ ලැබෙන නියෝග අනුව අන්තර්ජාලයද ඇතුළු සියලු සමාජ මාධ්‍ය එකවර අවහිර කර දැමීමට රජය බලය ලබා දෙමිනි.

 

• චීනය

චීනය තුළ ට්වීටර්, වට්ස්ඇප් සහ ගුගල් තහනම් ය. මේ සඳහා චීනය යොදා ගන්නේ වයිබෝ, බයිඩු සහ වීචැට් ක්‍රමවේදයන්ය.

මේ හැර තවත් දහස් ගණනක් නීති අන්තර්ජාලය මෙන්ම සමාජ මාධ්‍ය නියාමනයට චීනය තුළ ක්‍රියාත්මක වේ.

මේ අන්දමින් ලොව තවත් රටවල් රාශියක් සමාජ මාධ්‍ය සම්බන්ධව නීති පනවා තිබේ. මේ නීති පැනවීමේදී බොහෝ රටවල් අපේක්ෂා කරන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අවැඩ සහ අවකල් ක්‍රියාවලින් ජනතාව ආරක්ෂා කර ගැනීමය. මේ කෙසේ වුවද ජනතාවගේ ආරක්ෂාව මත පටවමින් නිදහස් අදහස් දැක්වීමට කිසියම් රජයක් බාධා කරන්නේද යන්න සමාජ මාධ්‍ය නීති සම්පාදකයන් ඉතා අවධානයට ගත යුතු වන බවද මෙහිලා පැවසිය යුතුමය.

Comments