කොරෝනා ගැන රතු එළි දල්වන PHI මහ­ත්තුරු | සිළුමිණ

කොරෝනා ගැන රතු එළි දල්වන PHI මහ­ත්තුරු

පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා ගාල්ලේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමක්
පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා ගාල්ලේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමක්

ලොවම බිලි ගත් කොරෝනා වසංගතයේ පළමු සහ දෙවන අදියර පසු කර තුන්වන රැල්ල කරා අපි ළඟාවී සිටිමු. වරින් වර විවිධ ප්‍රභේද මතුවෙමින් අප රට ද ආක්‍රමණය කර සිටින වසංගතය හමුවේ දිනෙන් දින වාර්තා වන රෝගීන් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාව ද වැඩිවෙමින් පවතී. අපි ජීවත් වන්නේ කොරෝනා රෝගියකු දැකීමටවත් අකමැති වූ සමාජයකය. කොරෝනා ආසාදිතයකු හඳුනා ගැනීමත් සමඟ ඔහු කෙරෙන් බොහෝ ඈත්වූ මිනිසුන් සිටින සමාජයකය. ඒ අතර කොරෝනා රෝගීන්ට ඉතා සමීපවෙමින් රාජකාරි කරන නිලධාරීන් පිරිසක් ද සිටිති. ඒ මේ රටේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුය.

 

ඇත්තටම කිවහොත් තුන්වන කොරෝනා රැල්ලේ බලාපොරොත්තු නොවූ ධාරිතාව මත සීමිත පිරිසක් වූ ඔවුන් දිවා රාත්‍රි නොබලා, වෙලාව අවේලාව නොබලා, කෑම බීම ගැන නොබලා රට වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක නිරතවී සිටිති. ඔවුනට සෙනසුරාදාවක්, ඉරිදාවක්, පසළොස්වක පොහොයක් තබා මැයි 01 වැනිදාට යෙදී තිබූ ජාත්‍යන්තර කම්කරු දිනයේ නිවාඩුවවත් නැත.

උදේ රැයින් රෝගීන් හඳුනා ගැනීම සඳහා පීසීආර් පරීක්ෂණ පටන් ගන්නා ඔවුන් දහවල් 1 - 2 වනතුරු එම රාජකාරිවල නිරතවී සිටිති. සවස හඳුනා ගත් රෝගීන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම සහ ඔවුන් නිවෙස් තුළ නිරෝධායනයට ලක් කිරීමේ මෙහෙවරෙහි නිරතව සිටිති. ඉන් අනතුරුව රාත්‍රී කාලයේ හඳුනා ගත් රෝගීන් හඳුනා ගත් රෝහල් කරා ගෙන යාටම කටයුතු කිරීමත් සිදු කරති.

වැඩි වශයෙන් මෙම රෝගය පැතිර යන රටේ ප්‍රදේශ රැසක සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බොහොමයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන්ම දෙන බත් පාර්සලය හෝ මාළු පාන් ගෙඩිය කා නිවෙස්වලට නොගොස් ඒ ආසන්නයේ නවාතැන්පළක ගත කරන බව මේ රටේ බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකිය. එහෙත් එය සැබෑවකි. රට වෙනුවෙන් තමන්ගෙන් සිදුවිය යුතු යුතුකම් ඉටු කරමින් ඔවුන් මෙසේ නිවෙස්වලට නොගොස් රැඳී සිටිනුයේ රෝගීන් සමඟම කටයුතු කරන තමන්ගෙන් තම පවුලේ අය මෙන්ම තම සමීපතමයන් ආසාදනය වීම වළක්වා ගැනීමටය.

ඒ පරිසර සෞඛ්‍ය කළමනාකරණය තුළින් බෝවන රෝග පාලනය කිරීම මූලික වගකීම කොට ගත් රෝග නිවාරණයේ පුරෝගාමීන් ලෙස ශ්‍රී ලංකා ප්‍රජාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා මහජන සෞඛ්‍ය නීතිය බලාත්මක කරන නිලධාරියා තමන් බව ඔවුන් දන්නා නිසාය.

මහාමාරිය මේ රටේ පැතිර ගිය වකවානුවක 1913 වසරේදී මෙම සේවාව ආරම්භ වී ඇත්තේ ‘සැනිටරි ඇසිස්ටන්ට්‘ යනුවෙනි. ඒ බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට නිලධාරීන් තිදෙනකු 1912 වසරේදී එංගලන්තයට යවා පුහුණු කර ගෙන්වා ගැනීමෙන් පසුවය. බ්‍රිතාන්‍යයේ එළිසබෙත් මහ රැජින අනුශාසකත්වය දරන රාජ්‍ය සෞඛය සංගමයෙන් ඔවුනට උසස් ඩිප්ලෝමාවක් ලබාදී තිබූ අතර මෙරට පළමු උසස් ඩිප්ලෝමාලාභීන් වන්නේ ද ඔවුන්ය.

බේරුවල හු‍ෙදකලා කළ ගම්මානයකට ගෙනයන භාණ්ඩ පරීක්ෂාකරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්

ඉන්පසු 1935 දී ‘සැනිටරි ඉන්ස්පෙක්ටර්‘ යන නමින් හැඳින්වූ ඔවුන් 1950 වසරේදී පිහිටුවනු ලැබූ ‘සැනිටරි බෝඩ්‘ කමිටුවල සාමාජිකයන් වූහ. ඉන්පසු මහජන සෞඛ්‍ය පරීක්ෂක යන නිල නාමය ඔවුනට ලැබුණේ 1977 වසරේදීය.

මෙරට 350 කට ආසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල මෙන්ම විශේෂිත ව්‍යාපාරවල මේ වනවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2500ක් පමණ සේවයේ යෙදී සිටිති. ඒ අතරේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරියන් කීප දෙනෙක් ද වෙති.

රේණුකා හේරත් සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ කාලයේ අත්හදා බැලීමක් වශයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂණ පුහුණු කණ්ඩායම් තුනක් සඳහා ආධුනික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරියන් කීප දෙනෙකු බඳවා ගන්නා ලදි. ඒ පළමු කණ්ඩායමට 03ක් දෙවන කණ්ඩායමට 01ක් හා තුන්වන කණ්ඩායමට 03ක් වශයෙනි. එහෙත් ප්‍රායෝගික ගැටලු මත එම තීරණය අසාර්ථක වූ බැවින් ඉන්පසු මෙම වෘත්තීය සඳහා කාන්තාවන් බඳවා ගැනීම සිදු නොකරන ලදී. එසේ බඳවා ගත් හත් දෙනාගෙන් එක් අයකු දන්ත වෛද්‍යවරියක වශයෙන්ද, තවත් අයකු විදේශ රැකියාවක් සඳහා සහ තවත් අයකු මෙරට වෙනත් රැකියාවක් සඳහා ද මෙම සේවය අතහැර ගොස් ඇති අතර මේ වන විට ඉතිරිව සිටිනුයේ ඉන් සිවු දෙනකු පමණි.

ඉන් එක් අයකු නුගේගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරිය වශයෙන්ද, අනෙක් තිදෙනා මහනුවර ළය චිකිත්සාගාරයේ, ගම්පහ ලාදුරු මර්දන ඒකකයේ සහ මොනරාගල මැලේරියා මර්දන ඒකකයේ ද සේවයේ නිරතව සිටිති.

ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් සිය අාධුනිකයන්ගේ සහාය කොරෝනා වැඩසටහනට ලබාගනිමින්

රට පුරා ඇති සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල පළාත් සභා යටතේ පාලනය වුවද කළුතර සහ බේරුවල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස දෙක පාලනය වන්නේ මධ්‍යම රජය යටතේය. ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කරන කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය පිහිටා තිබීමත් පුහුණුවන්නන්ට ක්ෂේත්‍ර පුහුණුව ලබා දීමත් සඳහාය. තුන්වන කොරෝනා රැල්ලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරනා ආකාරය කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී. සිංහබාහු විස්තර කළේ මෙසේය.

"අප්‍රේල් මුල් සතියේදී අපි ප්‍රාදේශීය සියලු වෙළඳසැල් පරීක්ෂා කර වෙළඳසැල්වලට ඇතුළුවීමට පෙර අත් සේදීම, විෂබීජනාශක දියර පෙඟවූ කාපට් ඇතිරීම ආදී රෝග වළක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඊට අමතරව ප්‍රදේශය පුරා ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් රෝගය වළක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. එහෙත් ජනතාව මීට සූදානම් වුණේ නැහැ. වෙළඳසැල්වල පොකුරු පිටින් ගැවසෙන්න ගත්තා. අපි අවුරුදු උත්සවවලට ඉඩ දුන්නේ නැහැ. බයිසිකල් ධාවන තරග කීපයකට ඉඩ දුන්නේ සියලු ක්‍රීඩකයන් හා සංවිධායකයන් ප්‍රතිදේහ පරීක්ෂණවලට භාජනය කිරීමෙන් අනතුරුවයි. අපේ ප්‍රදේශයේ තුන්වන කොරෝනා රැල්ල ආරම්භ වූයේ අවුරුදු කැට පොළවල් හා අවසර නැතිව පැවැත්වූ ක්‍රිකට් තරග එක්ක. දෙවන රැල්ලේ අවසන් කොරෝනා ආසාදිතයන් මීට සහභාගිවී තිබෙනවා."

ඒ අනුව පයාගල හොරගස්කැලේ ප්‍රදේශයේ අයකු රෝගාතුරවී කළුතර මහ රෝහලට පැමිණි අතර ඔහු කොරෝනා ආසාදිතයකු බවට හඳුනා ගත්තා. ඒ අනුව කළ පරීක්ෂණවලදී ඔහුගේ පවුලේ සාමාජිකයන් 06 දෙනෙකු ද ආසාදිතයන් බවට හඳුනා ගත්තා. ගම තුළ කළ පීසීආර් පරීක්ෂණ තුළින් තවත් රෝගීන් 62ක් හඳුනා ගත්තා.

තුන්වන රැල්ලේ දෙවන රෝගියා අපට හමු වූයේ කළුතර අධිකාරිගොඩ ප්‍රදේශයෙන්. ඇය ඇඟලුම් සේවිකාවක්. අධිකාරිගොඩ ග්‍රාම නිලධාරි වසමේ කොස්හේන ප්‍රදේශයේ ඇය පදිංචිවී සිටි අතර එම ප්‍රදේශයේ පැවැති අවුරුදු සාදයකට හා කැටපොළකට සහභාගිවූ අය ඇතුළුව රෝගය ගම පුරා පැතිර ගියා. මේ මොහොත වන විට 120 ට වැඩි රෝගීන් පිරිසක් එම ගමෙන් හඳුනාගෙන තිබෙනවා.

පාසල් වෑන් රථ රියැදුරන්, රිය සහයකයන් ආසාදිතයන්වීම තුළින් රෝගය පාසල් කරාත් පැතිර ගියා. ඒ අනුව එම ගමෙන් පිටත අනු පොකුරු රැසක් බිහි වුණා. තුන්වන කොරෝනා රැල්ල හමුවේ හුදෙකලා කළ දෙවන ග්‍රාම නිලධාරි වසම බවට අධිකාරිගොඩ පත්වුණා.

කළුතර හා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස දෙකටම සිටිනුයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 18ක් පමණයි. මේ අය අති මහත් කැප කිරීමෙන් යුතුව දිවා රාත්‍රි නොබලා වැඩ කරනවා. උදේ වරුවට පීසීආර් පරීක්ෂණ 400 ක් පමණ කරනවා. බේරුවල වරායේ පීසීආර් පරීක්ෂණ ආරම්භ කළේ අලුයම 5 ට.

බොහෝ ප්‍රදේශවල ජනතාව පීසීආර් පරීක්ෂණ සඳහා සහය දුන්නත් බේරුවල, අළුත්ගම, ධර්ගා නගරය හා කටුකුරුන්ද වැනි ප්‍රදේශවල ඇතැම් පිරිස් සහය නුදුන් බව සඳහන් කළ යුතුයි. ඔවුන් මෙම පරීක්ෂණ ප්‍රතික්ෂේප කරමින් වෙළඳසල් වසා පලා ගියා.

මුළු සවස් වරුවම අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කැප කරන්නේ රෝගීන්ගේ ආශ්‍රිතයන් සොයා ගැනීමට හා ඔවුන් නිරෝධායනයට ලක් කිරීමටය. රාත්‍රි 10 - 11 වනතුරු හඳුනා ගත් රෝගීන් රෝහල් සොයා රෝහල්ගත කිරීම් සිදු කරනවා. මේ දිනවල රෝගීන් සංඛ්‍යාව වැඩිවීම නිසා රෝහල් පිරී ගොස් තිබීම විශාල ගැටලුවක්. ඒ අනුව හඳුනාගත් රෝගීන් පවා දින කීපයක් නිවෙස් තුළ රඳවා තබා ගැනීමට සිදු වුණා.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මැදිහත්වී අපට දිනකට පීසීආර් කට්ටල 400ක් හා ක්ෂණික ප්‍රතිදේහ කට්ටල 250ක් පමණවූ වැඩි කෝටාවක් ලබාදී තිබෙනවා. ඒ තුළින් වැඩි රෝගීන් පිරිසක් ඉක්මනින් හඳුනා ගැන්මට අපට හැකි වුණා.

නිවෙස්වල මිය යන පුද්ගලයන් පීසීආර් පරීක්ෂණ සඳහා භාජනය නොකර අවසන් කටයුතු සිදු කිරීමට ඉඩ දෙන ලෙසට ඇතැම් ප්‍රාදේශීය දේශපාලඥයන් අපට විශාල වශයෙන් බලපෑම් කරනවා. අප ඒ බලපෑම් නොතකා මෘත දේහ පීසීආර් පරීක්ෂණ සඳහා රෝහල වෙත යොමු කරනවා.

උතුරු කළුතර ප්‍රදේශයේ නිවසක මිය ගිය අයකු පීසීආර් පරීක්ෂණ සඳහා යොමු නොකරන ලෙසට එසේ බලපෑම් ආවා. අප ඒ බලපෑම් නොතකා මෘත දේහය පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව කොරෝනා ආසාදිත බවට හඳුනා ගත්තා. ඊට දවස් තුනකට පසු ඒ නිවසේම තවත් අයෙකු කොරෝනා රෝගයෙන් මිය ගියා. තවත් ආසාදිතයන් කීප දෙනෙකු නිවසින් හඳුනා ගත්තා. ඒ වගේම නාකන්දලගොඩ ප්‍රදේශයේ මිය ගිය අයකුගේ මෘත දේහය අපි බලෙන් වගේ පරීක්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව කොරෝනා ආසාදිත බවට හඳුනා ගත්තා. පසුව කළ පරීක්ෂණවලදී එම නිවසින් තවත් රෝගීන් 5 දෙනෙකු හඳුනා ගත්තා.

මෙහිදී කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා අදහස් දක්වමින් මෙසේ කීය. කළුතර දිස්ත්‍රික්කය පුරා සේවය කිරීමට අපට ඉන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 59 ක් හා පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 11ක් පමණයි. තවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 20ක පමණ හිඟයක් අපට තිබෙනවා. දිවා රාත්‍රි නොබලා අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු රාජකාරියේ නිරතව සිටිනවා. එසේ කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනට බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේදි කොරෝනා රෝගියකු මුහුණට කෙළ ගැසීමේ සිද්ධියක් පවා වාර්තා වුණා. කොරෝනා තුන්වන රැල්ලට මුල් වුණේ අලුත් අවුරුද්දට පෙර ජනතාවට දුන් උපදෙස් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොකිරීමයි.

මෙහිදී ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අදහස් දක්වමින් මෙසේ කීය. මේ වනවිට මහජන සෞඛය පරීක්ෂකවරුන් 1.000 කගේ පමණ හිඟයක් රට තුළ පවතිනවා. අතිකාල ඉල්ලීමකින් තොරව රෑ එළිවෙනතුරු ඇතැම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු රාජකාරියේ නිරතව සිටිනවා. රාත්‍රි 2ටත් රෝගීන් රෝහල් ගත කිරීමට කටයුතු කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිටිවා. මෙවැනි කැපවීමකින් කටයුතු කරන අයව සමහරු ජීවිත කාලය තුළම දැක නැතිව ඇති. ඒත් ඇතැම් පාර්ශ්වවලින් විවිධ කෙනහිලිකම් තිබෙනවා.

බිම් මට්ටමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කැපවීමෙන් කරන මෙම මෙහෙය අත්හැරියොත් මෙම රෝගී තත්ත්වය කොහෙන් නවතීද කියා හිතන්න අමාරුයි. ග්‍රාම නිලධාරිවරුන්, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමඟ මේ මොහොතේ සමීපව කටයුතු කරනවා. මෙම රෝග පාලන කටයුතු සඳහා අන්තර් පාර්ශ්වීය සහය අවශ්‍යය.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ පිහිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පුහුණු කිරීමේ විදුහලේ විදුහල්පති පී. සාලිය චන්ද්‍ර කුමාර ද සිල්වා මෙහිදී අදහස් දක්වමින් මෙසේ කීය.

කළුතර මහජන සෞඛ්‍ය පරීක්ෂක විදුහලේ ආධුනික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 118 දෙනකුද, මඩකලපුව, ගාල්ල, කුරුණෑගල, යාපනය, කඩුගන්නාව යන ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථාන පහේ 232 දෙනකුද ඇතුළුව නව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 350ක් මේ වන විට පුහුණුව ලබමින් සිටිනවා. ඔවුන්ගේ වසර දෙකක පුහුණුව අවසන් වන්නේ මේ වසර අවසානයේදී.

දෙවන කොරෝනා රැල්ලේදී අප බ්‍රැන්ඩික්ස් පොකුර සහ පෑලියගොඩ මාළු වෙළඳපොළ පොකුර ආශ්‍රිත රෝගීන්ගේ කටයුතු සඳහා දැනටමත් අප විදුහලේ පුහුණුව ලබමින් සිටින ආධුනික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 118 දෙනාම යෙදවුවා. යෝධ ව්‍යසනයක් හමුවේ ප්‍රජාවගේ වසංගතවේද ආවේක්ෂණ කටයුතු සඳහා පුහුණු වෙමින් සිටින කණ්ඩායමක් අනුයුක්ත කළ ලෝකයේ පළමුවන අවස්ථාව මෙයයි. අප එසේ මොවුන් විශ්වාසයෙන් යුතුව යොමු කළේ වසංගත රෝග පාලනය පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් ඒ වනවිටත් ඔවුනට මෙම පාඨමාලාව තුළින් ලබාදී තිබීම නිසයි. ඔවුන් කිසිම දීමනාවකින් තොරව මෙම කටයුතුවල නිරතව සිටියා. එසේ කිරීමෙන් ඔවුන්ගේ පාඨමාලා කාලය සම්පූර්ණ කිරීමට තවත් මාස කීපයක් ගත කිරීමට සිදුවී තිබෙනවා.

මෙම ආධුනික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රෝග නිවාරණ කටයුතු සඳහා පිටව යාමට පෙර අපූරු කවියක් මහජන සෞඛ්‍ය පරීක්ෂක විදුහලේ දැන්වීම් පුවරුවේ තබා ගොස් තිබුණා.

"කොරෝනා, අපි එනවා
වෙන මොකටවත් නෙවෙයි
උඹ දැන් නැටුවා ඇති
අහිංසක මිනිසුන්ගේ
කඳුළු එක්ක
ඒ පව ගෙවන්න වෙයි උඹට
අපි එනවා උඹත් එක්ක
දෙකෙන් එකක් විසඳ ගන්න
යක්කු වගේ කොල්ලො ටිකක්
බැරිවෙයි උඹට ගැලවෙන්න
උන්ගෙන්
අනුකම්පා නොකරම උඹ මේ
පුංචි රටෙන් යවන්න වෙනවා
හදවත් පුරෝගෙන අපි ආවේ
නොඑන්නම උඹව යවන්න"

Comments