ශ්‍රී ලංකා ආර්ථි­කයේ හැර­වුම් ලක්ෂ්‍යය කොළඹ වරාය නග­රයයි | සිළුමිණ

ශ්‍රී ලංකා ආර්ථි­කයේ හැර­වුම් ලක්ෂ්‍යය කොළඹ වරාය නග­රයයි

පේ රටේ ඉදිරි ගමනට මෙරට ඉතිහාසයේ ලැබෙන සුවිශේෂම අවස්ථාව වරාය නගරය ඉක්මනින් ක්‍රියාත්මක කිරීමයි. අපේ රටට වසරකට රුපියල් කෝටි 230,000ක් ප්‍රතිලාභ ලබන අලුත් රැකියා ලක්ෂයකට ආසන්න ගණනක් එකතු කරවන අපේ රටට පරම අයිතිය ඇති අපේ අධිකරණ බලය සහිත අපේ පොලිසිය පාලනය කරන මේ වරාය නගරයට එතෙර මෙතෙර ආයෝජකයන් අද්දවා ගැනීමට නිසි බල සහිත ආර්ථික කොමිසමක් අත්‍යවශ්‍ය බව ආර්ථික ක්ෂේත්‍රයේ විද්වත්හු පවසති. අපේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යය වන වරාය නගරය අපේ රටට ලැබුණු සුවිශේෂි සම්පතකි. රටේ ජීවන ගැටලුවලට ආර්ථික ගැටලුවලට කදිම විසඳුමකි.

වරාය නගරය ඉදිකර ඇත්තේ ශ්‍රී ලාංකික වෙරළ කලාපයේ හෙක්ටයාර 269 ක් වැලි පුරවා සකස් කිරීමෙනි. ඉන් ගොඩනැඟිලි ඉදිකිරීමට ලබා දෙන්නේ හෙක්යාර් 178 ක් පමණි. ඒ ප්‍රදේශයේ මනරම් වාණිජ කලාප ලෙස කොටස් 74කට කඩා දෙස් විදෙස් ව්‍යාපාර සඳහා බදු දීමට දැන් සූදානම්ය. කෙසේ වුවත් කොළඹ වරාය නගර ගිවිසුමට අනුව මේ ප්‍රමාණයෙන් 99 අවුරුදු මත චීන සමාගමට බදු දෙනු ලබන්නේ හෙක්ටයාර 116ක් පමණි. ඔවුන්ට එය ප්‍රති බදු දීම කළ හැකිය. නමුත් අයිතිය අප රට සතුය.

දැන් ඉදිකිරීම් අවසන් වෙමින් පවතින වරාය නගරය වර්ග කිලෝමීටර් 2.6ක භෞමික අවකාශයක් නිර්මාණය වුණු ලොව උසස්ම මට්ටමේ A ශ්‍රේණියේ කාර්යාල සංකීර්ණ සහිත භූමියකි. එය සාප්පු සංකීර්ණ මෙන්ම අති නවීන සෞඛ්‍ය සේවා, ප්‍රමිතිගත අධ්‍යාපන සේවා පහසුකම්, බහුවිධ සේවා පහසුකම්, සැහැල්ලු මුහුදු යාත්‍රාංගණ, සුපිරි සාප්පු සංකීර්ණ, අධි ශ්‍රේණියේ හෝටල් මෙන්ම විනෝද ආශ්වාදය සඳහා විශේෂ පහසුකම්වලින් ද යුක්ත වේ.

මේ පිළිබඳව කරුණු දක්වන මෙම වරාය නරගය ඉදිකළ CHEC සමාගමේ මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් පවසන පරිදි මෙම බහුකාර්ය ව්‍යාපෘතිය අවසන් වූ විට මෙතෙක් මෙරට වැසියන් නුදුටු සුවිශේෂී හා නව තාක්ෂණයෙන් හෙබි හා සෞන්දර්යයෙන් හෙබි ස්ථාන ගණනාවක් බලාගත හැකිය.

කොළඹ වරාය නගරය අපේ රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය බව ආර්ථික විශේෂඥයෝ පවසති.

“අද අපේ රටේ ව්‍යාපාරයක්, ආයෝජනයක් අනුමත කිරීමට රජයේ කාර්යාල 18 කට පමණ දින ගණනාවක් යාමට ඒමට සිදුවෙනවා. ඊට අමතරව සමහර ඉහළ නිලධාරින්ගෙන් ද ඊට අනුමැතිය ලබාගත යුතුයි. එවිට පිටරට ආයෝජකයන්ට තම ආයෝජනය එපාවී ආපසු තම මවු රටට යාමට ද ඉඩ තිබෙනවා. නමුත් විශේෂ ආර්ථික කලාප පිහිටුවීම මඟින් මේ ආයෝජනයට අවසර ගැනීමට අවශ්‍ය සියලු දේ පැය කිහිපයකින් අනුමත කර ගැනීමට හැකියි.” මැලේසියාවේ ක්වාලාලාම්පූර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමිත හෙට්ටිගේ පවසයි.

විශේෂ ආර්ථික කොමිසමක මනා පාලනය ලැබුණහොත් අපේ වරාය නගරය ලොව ප්‍රමුඛ පෙළේ ආයෝජන නගරයක් ලෙස 2025 වන විට ලොව පුරා ජනප්‍රිය වීමට ඉඩ තිබෙනවා. එමෙන්ම අපේ වරාය නගරය ආසියා, අප්‍රිකා, යු‍රෝපා පිවිසුම් මඟ ඔස්සේ පිහිටීම හේතුවීම නිසා විශේෂයෙන් මෙයට සේද මාවතේ වාණිජ කේන්ද්‍රස්ථානය යන සන්නාමය ද ලැබෙනු ඇතැයි ප්‍රකාශ කරන්න පුළුවන්.

මේ පිළිබඳව තවදුරටත් කරුණු දක්වන මහාචාර්ය සමිත හෙට්ටිගේ පෙන්වා දෙන්නේ කොතරම් ශක්තිමත් හා මුල්‍යමය අතින් ඉහළ මට්ටමේ සිටින රාජ්‍යයක් වුවත් චීනය කිසි දිනෙක යම් රටක කොටසක් අල්ලාගෙන කොලනි සෑදීමක් සිදුකළේ නැති බවයි.

ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා පිහිටුවනු ලැබූ මහ කොළඹ විශේෂ ආර්ථික කලාපය අනුව තමයි චීනය මුලින්ම නිදහස් ආර්ථික කලාප බිහි කර ඇත්තේ. මෙරට කොළඹ හා කටුනායක තිබූ නිදහස් ආර්ථික වෙළෙඳ කලාප දුටු එවකට ෂැංහයි නගරාධිපති හා පසුව චීනයේම ජනාධිපති වූ යැංග් ෂිං චීනයේ නිදහස් ආර්ථික කලාප පිහිටුවීම ආරම්භ කළා. දැනට එහි ආර්ථික කලාප 10ක් 15ක් පමණ තිබෙනවා.

එවැනි එක් කලාපයක් ‍වන චීන හයිනාන් කලාපයට පසුගිය වසර 3 ඇතුළත රටවල් 82කින් ඇමරිකන් ඩොලර් 5ක ආයෝජන ඇදගෙන තිබෙනවා. ඒ අනුව මම කියන්නේ අපේ රටටත් නිදහස් ආර්ථික කලාපයක් අවශ්‍ය බවයි. එය පිහිටු වූ පමණින් අපේ රට චීන කොලනියක් වන්නේ නැහැ. එමඟින් රටේ තරුණ තරුණියන් ලක්ෂයකට විතර ඍජු හා වක්‍ර රැකියා ලැබෙනවා. අපේ රටට සංචාරකයන් වැඩිපුර එනවා. විශේෂයෙන් ලෝක පූජිත සමාගම්වල ප්‍රධාන කාර්යාල පවා වරාය නගරයේ ඉදිකරන්න සූදානමින් සිටිනවා. නව විද්‍යා තාක්ෂණ දැනුම හා මූල්‍ය කටයුතු පිළිබඳ දැනුම සහිත විද්වතුන් මෙහි පැමිණීම නිසා ඒ පිළිබඳ දැනුමක් අපේ තරුණ තරුණියන්ටත් ලබා ගැනීමට මෙමඟින් අවස්ථාව ලැබෙනවා.

මෙරට කටුනායක, බියගම වෙළෙඳ කලාප ආරම්භ කරන කාලයේදී පිටරටවල්වල ආයෝජන අද්දා ගැනීමට ලොව රටවල් අතර වර්තමානයේ තරම් තරගයක් තිබුණේ නැහැ. නමුත් අද ‍සිංගප්පූරුව, ඩුබායි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයක වැනි ආර්ථික කලාප මඟින් ආයෝජකයන්ට ආයෝජන ආකර්ෂණය සඳහා විශේෂ වාසි ලබාදී තිබෙනවා. මේ නිසා ඒ තරගයට අපත් මුහුණ දීමට ආයෝජකයන්ට වාසි හා පහසුකම් ලබා දුන්නොත් අපේ වරාය නගර ආර්ථික කලාපයටත් ලොව අනෙක් ආර්ථික කලාප සමඟ තරග කරන්න පුළුවන්.

සිංගප්පූරුව, කොරියාව, ඉන්දියාව, ඩුබායි රාජ්‍යය හා චීනය වැනි රටවල් මෑතක කාලයේදී වැඩිපුර දියුණුවක් ලැබුවේ මේ ආර්ථික කලාප නිසා. අපේ තරුණ තරුණියන්ටත් මෙහි රැකියා කරලා ඩොලර් වලින් දැනට වඩා පඩියක් ගන්න පුළුවන්.

ලෝකයේ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට හැකි උපරිම පහසුකම් අපි ලබා දිය යුතුයි.

ඒ නිසාම එය ස්ථාවර නිදහස් වෙළෙඳ ආර්ථික කොමිසමක් මඟින් පාලනය කළ යුතුයි. මට හිතෙන විදිහට මේ විශේෂ ආර්ථික කොමිසමට තනිකරම පත්විය යුත්තේ ශ්‍රී ලාංකික විද්වතුන් පමණයි.

මේක අපේ ආර්ථිකයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යය බව අවධාරණයෙන් කියන්න පුළුවන්. මහාචාර්ය සමිත හෙට්ටිගේ පවසයි.

මේ පිළිබඳව විශේෂයෙන් කරුණු දක්වන මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ මේ වරාය නගරය නිසා අපේ රටේ ආර්ථික වර්ධනය ලබන වසර 5 ඇතුළත 7%ක් පමණ වනු ඇති බවයි. මේක අපේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යයයි.

අපේ රට දුප්පත්කමින් ඉදිරියට යන්නට නම් රටේ අනාගත පරපුරට හොඳ රටක් ලබා දෙන්නට නම් වරාය නගරය මෙන්ම එය පාලනය කරන ආර්ථික කොමිසම ද පිහිටුවීම අත්‍යවශ්‍යයි.

මේ පිළිබඳව කරුණු දක්වන වරාය හා සමුද්‍ර ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ ලේකම් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම පවසන්නේ මෙම වරාය නගර‍යේ ඇති චීනයට 99 අවුරුදු බදු දී ඇති ඉඩම්වල පවා අලුතින් ආයෝජනයක් ක්‍රියාත්මක කළහොත් ඒ සඳහා අපේ නාගරික සංවර්ධන අධිකාරියේ අවසර ගත යුතු බවයි.

“වරාය නගරයට අදාළ විශේෂ ආර්ථික කොමිසම පිළිබඳ වත්මන් රජය ඉදිරිපත් කළ පනතත් පසුගිය රජය ඉදිරිපත් කළ පනතත් බොහෝ දුරට සමානයි. මේ වරාය නගර‍ෙය් හෙක්ටයාර 269 න් චීන සමාගමට 99 අවුරුදු බද්දට ලබාදී ඇත්තේ 43%ක් පමණයි. නමුත් එහි කිසිම සින්නක්කර අයිතියක් ඒ සමාගමට නැහැ. ඒ අයට තිබෙන්නේ ඔවුන්ට බදු දී ඇති ඒ ඉඩම් යළි ප්‍රතිබදු දීමේ බලය පමණයි. එසේ වුවත් ඒ ඉඩම් තවත් අයෙකුට ආයෝජනය කිරීමට බාර දුනහොත් ඒ ආයෝජකයා බදු ගිවිසුම අත්සන් කළ යුත්තේ අපේ නාගරික සංවර්ධන අධිකාරිය සමඟයි. ඒ අනුව විපක්ෂය ගෙන යන චීන කොලනිය පිළිබඳ කතාව සම්පූර්ණ අසත්‍ය බව පැහැදිලි වනවා. තවත් අවධාරණය කළහොත් මේ මුළු වරාය නගරයේම නිල පරම අයිතිකරු ශ්‍රී ලංකා රජය පමණයි.

මේ වරාය නගරයේ විශේෂ ආර්ථික කොමිසම සඳහා 2019 සැප්තැම්බර් 19 ඉදිරිපත් කළ පනත අනුවම තමයි මේ කොමිසම් සභාව පිළිබඳව යෝජනා කර තිබෙන්නේ. එසේ වුවත් සමහර අය අලුත් පනතට විරුද්ධයි.

නමුත් පරණ පනත අලුත් පනතට වඩා ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට විරුද්ධයි. පරණ පනත අනුව මේ භූමිය තුළ වි‍ෙශ්ෂ උසාවියක් ස්ථාපනය කළ යුතුයි. නමුත් අලුත් පනතේ ඒ උසාවිය පිළිබඳව නැහැ. අලුත් පනත අනුව වාණිජ අධිකරණයක් යටතේ වරාය නගරයට අදාළව නඩුවක් ඉදිරිපත් කළහොත් ඒ නඩුව සීමිත කාලයක් තුළ විභාග කර අවසන් කළ යුතුය.

කොළඹ වරාය නගරය වෙළෙඳ මධ්‍යස්ථානයක්, මූල්‍ය මධ්‍යස්ථානයක් පමණක් නොවෙයි හරිත උද්‍යානයක් සහිත පාරිසරික මධ්‍යස්ථානයක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. එහි අක්කර 111ක භූමි ප්‍රදේශයක් තුළ හරිත උද්‍යාන, රුවල් නැව් යාත්‍රාංගණ, නාගරික උද්‍යාන සමඟ විශාල වෙරළක් තිබෙනවා. මේක කොළඹට තිබුණු විශාල අඩුවක් පිරිමැසීමක්.

ගෝල්ෆේස් පිටිය මෙන් 9 ගුණයක් විශාල මේ ප්‍රදේශයට පමණක් නොව මුළු වරාය නගරයටම රටේ ඕනෑම පුරවැසියකුටම කිසිම බාධාවක් නැතිව ඇතුළු වෙන්න පුළුවන්. දැන් පොදු ජනතාව ගෝල්ෆේස් පිටියට යන්නේ කෙසේද ඒ ආකරයටම වරාය නගරයට කිසිම අයකිරීමක්, කිසිම පාස්පෝට් ඉල්ලීමක් නැතුව නිදහසේ ඇවිද යන්න අවස්ථාව තිබෙනවා.

මේ ආර්ථික කොමිසමේ මූල්‍ය පාලනය සිදුවන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති විදේශ ගිණුම් පවත්වාගෙන යෑම පිළිබඳ අණපනත් යටතේයි.

මෙයට අදාළව යම් අලුත් රෙගුලාසියක් ප්‍රකාශයට පත්කරනවා නම් එය ගැසට් කර ප්‍රකාශයට පත්කර පාර්ලිමේන්තු මඟින් අනුමත කර ගත යුතුයි. මෙම කොමිසම සඳහා ජනාධිපතිතුමා සාමාජිකයන් පත්කරන්නේ අදාළ සුදුසුකම් මත පමණයි. ඒ අය යම් වරදක් කළහොත් ඉවත් කරන්නත් එතුමාට අවස්ථාව තිබෙනවා.

වරාය නගරය තුළ පිටරටින් එන ආයෝජකයන් අපේ ඉඩම්වල මහතට්ටු බිල්ඩිම් ඉදිකරාවි. නමුත් බද්ද අවසන් වෙලා ඒ අය යනවිට ඒවා අරන් යන්නේ නැහැ. සිදුවන්නේ අපේ වත්කම වැඩිවීමයි. ඉන් රටේ ආර්ථිකය දියුණු වෙනවා පමණක් නොව රටේ පොදු ජනතාවට ද ආර්ථික හා සාමාජික වාසි රැසක් ලැබෙනවා.

ඒ අනුව නගරයේ සල්ලිකාරයන්ට වගේම ගමේ ගොඩේ අයටත් වක්‍රව ඒ වාසි ලැබීම වළක්වන්න බැහැ. ඉන් රටේ දේශපාලන ස්ථාවරත්වයත් රැකෙනවා. විරුද්ධ පක්ෂය මේ වැඩේට විරුද්ධ වන්නේ ර‍ෙට් සැමටම මේ අයුරින් වැඩි වාසි ලැබෙන නිසාදැයි මම ප්‍රශ්න කරනවා. ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම පවසයි.

මේ ගැන කරුණු දක්වන කොළඹ විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යා හා සත්ව විද්‍යා අංශයේ ආචාර්ය සූරතිස්ස දිසානායක පවසන්නේ මෙවැනි වරාය නගර මඟින් පරිසර දූෂණය අවම කළ හැකි බවයි.

නව වරාය නගර සංකල්පය අනුව වැඩියෙන් යොදා ගන්නේ පුනර්ජනනීය බලසම්පත්. ඒ නිසා වායු දූෂණය, ජල දූෂණය අවම වෙනවා. එමෙන්ම මෙවැනි නගර තුළ අනිවාර්යයෙන්ම හරිත උද්‍යාන, හරිත නගර ඉදිවෙනවා. එවිට එම රටවල අනෙක් නාගරික ප්‍රදේශවලට වඩා මෙහි පරිසර දූෂණය අවම වීමක් සිදුවෙනවා.

මේ නව නගර සංකල්පය අපට පමණක් සීමාවුණු දෙයක් නොවේ. සමහර රටවල වෙළෙඳ කලාප ප්‍රදේශ තිබෙනවා.

අරාබි මුහුදේ ගොඩනඟා ඇති ඩොලර් බිලියන 10.7ක් වැයවන සයින්බෝ ඕමාන් ඉන්ඩස්ට්‍රියල් සිටි කලාපය වර්ග කිලෝමීටර් 11ක භූමි භාගයකින් යුක්තවූවක්. මේ අයුරින් සලකා බලන විට මැලේසියාව, නයිජීරියාව, සවුදි අරාබිය, ඉක්ව‍දෝරය, ඕමානය, කසකස්ථානය, කෙන්යාව වැනි රටවල් 40ක මෙවැනි නව නගර ඉදිවෙමින් පවතිනවා. ඒ අනුව මෙවැනි නගරයක් ඉදිකිරීම වාණිජ මට්ටමින් දියුණු වීමේ තවත් සන්ධිස්ථානයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.

මේ වරාය නගරය ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථිකමය තත්ත්වය නඟාසිටුවීම සඳහා ඉතා වැදගත් වන මර්මස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ මඟින් අපේ රට සංචාරක පාරාදීසයක් වනවා පමණක් නොව මූල්‍ය හා වාණිජ්‍ය මධ්‍යස්ථානයක් ද වනවා.

මේ අනුව මෙම කාර්ය සිදුකිරීම සඳහා අවශ්‍ය වන සියලුම කටයුතු සඳහා පූර්ණ සහ‍යෝගය ලබාදීම මඟින් අපේ රටේ ජනතාවට සෞභාග්‍යයේ දේශයක් උදාවනු ඇතැයි ආචාර්ය සූරතිස්ස දිසානායක පවසයි.

Comments