කවර රටක වූවද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයක් හෙවත් පාර්ලිමේන්තුවක් වශයෙන් හඳුන්වනු ලබන්නේ උත්තරීතර ආයතනයකි. අප එසේ කියන්නේ රටේ මූලික නීතිය සැකසෙන්නෙත්, එය රටේ අවශ්‍යතාව පරිදි වරින් වර සංශෝධනය කෙරෙන්නෙත් පාර්ලිමේන්තුවේ මූලිකත්වයෙන් වන බැවිනි.
ඒ අනුව පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් පවතින කවර රටක වූවද, එම රටේ උත්තරීතර ආයතනය වන්නේ පාර්ලිමේන්තුවයි. එහි ඇති වැදගත්කම කොපමණ දැයි කිවහොත් රටේ විධායක ජනාධිපතිවරයා විසින් දේශයේ ආරක්ෂාව සඳහා ගනු ලබන ක්ෂණික තීන්දු තීරණ පවා පසුව හෝ පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් අනුමත කරවා ගත යුතුය.
කෙසේ වෙතත් ඉහතින් සඳහන් කළ ලොකු ලොකු කතා සියල්ලම ඇත්තේ රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ය. ඇතැම්විට එවැනි පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අතීතයේ ක්‍රියාත්මක වුවා විය හැකිය. එහෙත් වත්මන් පාර්ලිමේන්තුව තුළ එවැනි නීතිගරුක සහ විනයගරුක බවක් පවතිනවා දැයි යන්න පිළිබඳව මේ වන විට මෙරට ජනතාව තුළ එක්තරා කුකුසක් පවතින බව ද නොරහසකි.
අප එසේ කියන්නේ වත්මන් පාර්ලිමේන්තුව සඳහා මහජන ඡන්දයෙන් තෙරී පත්වන ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට සම්බන්ධ බොහෝමයක් මැති ඇමතිවරුන්ගේ හැසිරීම දෙස බලන විට එවැනි සැකමුසු බවක් වැඩි දෙනෙකු තුළ පවතින බැවිනි. මෙරට මුල් කාලයේ පැවැති පාර්ලිමේන්තුවට මහජන ඡන්දයෙන් තේරීපත්ව සිටියේ තම පෞද්ගලික දේපළ පවා විය පැහැදම් කරගෙන දේශපාලන ක්ෂේත්‍රයට එක්වූ මහත්වරුන්ය. එකලද ඔවුන් අතර මිනිසත්කමට නිගරුවක් ලෙස හැසිරුණු එකෙකු හෝ දෙන්නකු සිටින්නට ඇතුවාට සැක නැත. එසේ වූවද එදා මෙරට පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටියවුන් අතරින් බහුතරයක් විනයගරුක සහ නීතිගරුක මන්ත්‍රීවරුන් බව නොරහසකි.
අනෙක් අතට එදා සිටි මන්ත්‍රීවරුන් අතරින් වැඩි පිරිසකට වර්තමානයේ මෙන් ඉහළ දීමනා සහ වරප්‍රසාද නොතිබිණි. ඔවුන්ගෙන් කීප දෙනෙක් හැර සෙසු පිරිස පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීම සඳහා පැමිණ තිබුණේ බස්රියෙන් හෝ දුම්රියෙනි. වර්තමානයේ මෙන් මහ දවල් පවා අධිබලැති විදුලි පහන් දල්වාගෙන ඉදිරිපසින් සහ පසුපසින් ගමන් කරන ආරක්ෂක රථ එදා සිටි මැති ඇමතිවරුන් හට නොතිබුණු බව ප්‍රකට කරුණකි. ඒ සමඟම කිවයුතු වැදගත් කරුණක් වන්නේ එකල විසූ මහජන මන්ත්‍රීවරුන් මාසයේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන සෑම දිනකම අනිවාර්යෙන්ම ඊට සහභාගී වූ බවයි. එකල විසු මහජන නියෝජිතයන් එය සලකන ලද්දේ තමන් වෙතින් ජනතාව උදෙසා සිදුවිය යුතු දේව කාර්යයක් වශයෙනි.
එහෙත් අද පවතින තත්ත්වය ඊට සපුරා වෙනස්ය. මෙකල පාර්ලිමේන්තුවට තේරී පත්වන වැඩි දෙනෙකුගේ ශිෂ්ට සම්පන්න බවත්, කෘතඥ සම්පන්න බවත් රැඳී පවතින්නේ තමන් මහජන ඡන්දයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පත්වනතුරු පමණි. ඉන් අනතුරුව ඔවුන්ගේ වෙස් පෙරළෙන්නේ නිරායාසයෙනි. ඔවුනොවුන් අතර පවතින මනාප සටනින් ජය ගැනීම සඳහා රුපියල් කෝටි ගණන් වියපැහැදම් කළ සමහර අභිනව පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඉන්පසු දැකීම පවා කළුනික සොයනවාටත් වඩා අසීරු කටයුත්තක් වේ. එවන් මැති ඇමතිවරුන්ට දුරකථනයෙන් ඇමතීම ද ඊටත් වඩා අසීරු කටයුත්තකි.
මේ අතර පාර්ලිමේන්තුවට තේරී පත්වන වැඩි දෙනෙක්ට ඉන් අනතුරුව සිදුවන සුලබ විපර්යාස බොහොමයකි. සමහරුන්ට තමන්ගේ තලතුනා වයස, තමන් විසින් ගොඩනඟා ගන්නා ලද ගරුත්වය සහ තමන් සතු බුද්ධිය ඉබේටම අමතක වී “බජාර් එකේ චණ්ඩියකු” බවට නිරායාසයෙන්ම පත්වීම ඉන් අනතුරුව දැකිය හැකිය.
එහිදි අපට දුක හිතෙන සිද්ධියක් වන්නේ සමහර තරුණ වියේ පසුවන මැති ඇමතිවරුන් පමණක් නොව ඉහ නිකට පැසුණු තලතුනා මැති ඇමතිවරුන්ද දඩබ්බර ලෙස හැසිරීමය. බොහෝ දෙනා පාර්ලිමේන්තුවට තේරී පත්වූ පසු ඔවුන්ගේ වෙස් පෙරළී බජාර් එකේ චණ්ඩියකුගේ තත්ත්වයට පත්වීම ඔවුන් තෝරාපත් කර යැවූ ඡන්ද දායකයන්ගේ කෝපයටත්, කලකිරීමටත් හේතුවක් වේ.
ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ තමන් තෝරාපත් කර යැවූ නියෝජිතයන් මහත්වරුන් ලෙස හැසිරෙමින් ජනතා ප්‍රශ්න විසඳීමට මැදිහත් වීමය. උතුම්වූ පරමාර්ථයකින් පිහිටුවන ලද පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ආයතනයකට කරන බලවත් නිගරුවක් බව ජනතාවගේ පිළිගැනීමයි. ඒ අනුව බලන කල අපේ සමහර පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් මේ ගමන් කරමින් සිටින්නේ කොයිබකට දැයි යන්න අපට විසඳාගත නොහැකි ප්‍රශ්නයකි.