කැන­ඩාවේ විදී පොත් ගුල පේරාදෙණියටත් | සිළුමිණ

කැන­ඩාවේ විදී පොත් ගුල පේරාදෙණියටත්

දුල්මා කැන­ඩාවේ වීදි පොත්ගු­ලක් අසළ සිට ගත් ඡායා­රූ­ප­යක්.

 

පුස්තකාලයක් නැත්නම් පොත් ගුලක් කිව්වම අපි කාගේත් සිත්වල මැවෙන්නේ පිළිවෙළකට රාක්ක වල අසුරා ඇති පොත් සිය දහස් ගණනක් තිබෙන තැනකි. එසේ වුවත් පුස්තකාලාධිපතිවරයෙකු හෝ කාර්යමණ්ඩලයක් නොමැතිව පාඨකයේ විසින්ම පාලනය කරනු ලබන පුස්තකාල අපට ආගන්තුකය. එළඹෙන බක් මහේ සියවසක් සපිරෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලයට තරමක් නුදුරින් පිහිටි ගම්මානයක තිබෙන පුස්තකාලාධිපතිවරයෙක් නොමැති සාමාජිකත්වයක් පිරිනොනමන වීදී පොත් ගුලක් පිළිබඳ කතාව අපට මුලින්ම දකින්නට ලැබුණේ මුහුණු පොතෙනි.

පේරාදෙණියේ සිට දොළුව මාර්ගයේ කිලෝ මීටර 10 ක පමණ දුරක් ගිය පසු මෙගොඩ කළුගමුවේ මවුන්ට් රේන්ජ් කොටසේ නිවසක් ඉදිරිපිට දකින්නට ලැබුණු මේ පොත්ගුල හරියට කුරුලු කූඩුවක් වැනිය. කුඩා නිවසක ආකෘතියකට අනුව දැවයෙන් නිර්මාණය කර තිබෙන පොත් ගුලෙන් පොතක් රැගෙන යාමට කිසිවෙකුගේ හෝ අවසරය අවශ්‍යය නැත. ගෙන ගිය පොත යළි එහි ගෙනැවිත් තබන්නට කවුරුවත්ම බලපෑම් කරන්නේද නැත. රැගෙන ගිය පොත කියවා යළි පොත් ගුලේ තැන්පත් කිරීම එය ගෙනගිය කෙනාගේ යුතුකමය. ඒ අනුව මෙය දැනුම පමණක් නොව විශ්වාසය, මනුෂ්‍යත්වයද ඉහළට ඔසවා තබන්නාවූ සංකල්පයක් යැයි කීම නිවැරදිය.

වීදී පොත්ගුල අපට ආගන්තුක වුවත් ලොව දියුණු රටවලට එසේ නොවන්නේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන දුල්මා කරුණාරත්න මෙරටට විදී පොත්ගුල් හඳුන්වාදීමේ ක්‍රියාවලියේ නියමුවාය. පර්යේෂණ හා අධ්‍යයන කටයුත්තක් සඳහා කැනඩාවේ විශ්ව විද්‍යාලයකට ගොස් සිටින ඇය එරට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන වීදි පොත්ගුල් සංකල්පය හඳුන්වාදීමට කටයුතු කළේ මෙගොඩ කළුගමුවේ පිහිටි ඇගේ නිවෙස ඉදිරිපිට පොත්ගුලක් නිර්මාණය කරමිනි.

“ලෝකයේ බොහෝ රටවල මංමාවත් වල මේ වීදී පොත්ගුල් දක්නට ලැබෙනවා. තමන් කියවා අවසන් කළ පොත් අනෙක් අයටත් කියවන්න අවස්ථාව ලබාදීම පිණිස ඇතැම් අය තමන්ගේ නිවස ඉදිරිපිට පොත්ගුලක් හදලා ඒ පොත්ටික එහි තැන්පත් කරනවා. වීදියක පිහිටලා තිබෙන නිවාස වල වැඩි පිරිසක් තමන් කියවන පොත් මේකට දාලා මෙතනින් අලුත් පොත් කියවන්න අරගෙන යනවා. ඉබි යතුරු දාලා වහන්නේ නැති නිසා ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක ඇවිත් මෙතනින් පොතක් අරගෙන යන්න පුළුවන්. මේ වගේ දෙයක් ක්‍රියාත්මක කරන්න ගියාම අපිට ඇතිවන ලොකුම ප්‍රශ්නය පොත් ගුලෙන් කියවන්න ගෙන යන පොත් ආපසු රැගෙන විත් ඒ තුළ තබයි ද කියන කාරණය යි. මෙතනදී තමයි දැනුම සහ මනුෂ්‍යත්වය කියන කාරණා දෙක ඉස්මතු වෙන්නේ. සාමාන්‍ය පුස්තකාලයක­ින් පොතක් නිකුත් කරන්නේ බැඳීම් ගණනාවකට අපව යටත් කරමිනුයි. පොත තියාගන්න පුළුවන් කාලයක් තියෙනවා. ගෙනියන්න පුළුවන් පොත් ප්‍රමාණයක් තිබෙනවා. සාමාජිකත්වය ගන්න ඇපකරුවෝ අවශ්‍යයි. විශ්ව විද්‍යාල පුස්තකාල බාහිර සමාජයේ අයට භාවිත කරන්න අවස්ථාව ලැබෙන්නේ හරිම අඩුවෙන්. මෙතනදී ඒ කිසිදු කොන්දේසියක් අදාළ වන්නේ නැහැ. පොතක් කියෙව්වම රසයක් හා දැනුමක් ලැබෙනවා. තමන් ලබාගත් දැනුම හා රසය තවත් කෙනෙකුට ලබන්න අවස්ථාව ලබා දෙනවා කියන්නේ පරාර්ථය හා බැදුණු දෙයක්. කොච්චර දැනුම ඇත්තෝ වුණත් වැඩක් නැහැ මනුෂ්‍යත්වය නැත්නම්. අපි අපේ රට තුළ මනුෂ්‍යත්වය ප්‍රවර්ධනය කරන්න ඕන. අපේ වත්මන් පරම්පරාව කියවීමෙන් දුරස් වෙලා. අනෙක් පැත්තෙන් අවංකත්වය හා ස්වයං විනය පිරිහිලා. මිනිස්සු ආත්මාර්ථකාමි වෙලා. තමන් ප්‍රයෝජනයක් ගත් දෙයකින් තවත් කෙනෙකුට ප්‍රයෝජනයක් ගන්න අවස්ථාව දෙන පිරිස හරිම අඩුයි. ඒ උසස් ගුණධර්ම යළිත් සමාජයට කැන්දාගෙන එන්න මේ වීදි පොත් ගුලකට පුළුවන්.“

දුල්මා කැනඩාවේ සිට දුරකතනයෙන් සම්බන්ධ වෙමින් ප්‍රකාශ කළාය.

 

පොත් ගුලෙන් පොත් රැගෙන යන පාසැල් සිසුවෙක්

කැනඩාවේ වික්ටෝරියා නගරයේ වීදී කිහිපයකම පොත්ගුල් දක්නට ලැබීම නිසා දුල්මා ඒ පිළිබඳ වැඩිදුර විස්තර රැස් කරන්නට පටන්ගෙන තිබේ. එම ප්‍රදේශයේ සිතියම පරීක්ෂා කිරීමේදී වැලි ඇතිරුවාක් මෙන් ළං ළංව පොත්ගුල් සිය ගණනක් පිහිටා තිබෙනු දුටු ඇය ඒවා එකින් එක නිරීක්ෂණය කරන්නට අමතක නොකළාය. බස්නැවතුම් පොළවල්, පාසැල්, ආගමික ස්ථාන, ප්‍රජා ශාලා, ක්‍රීඩා පිටි, ළමා උද්‍යාන ආදි සෑම තැනකම ඇති පොත්ගුල් ජනතාව විසින් හරිම අපූරුවට නඩත්තු කරනු දුටු ඇය මෙම සංකල්පය මෙරට පැළ කරන්නට සිතා ගත්තාය. සැමියා සහ දරු දෙදෙනා සමඟ කැනඩාවේ සිටින දුල්මාට කොවිඩ් අර්බුදය නිසා තවත් මාස කිහිපයක් එරට රැදී ඉන්නට සිදුවීම නිසා ඇය තම සැමියාගේ පියා වන ආර්. එම් කුඩාබණ්ඩා ලවා පොත්ගුලක් මෙගොඩ කළුගමුවේ පිහිටි ඔවුන්ගේ නිවස ඉදිරිපිට විවෘත කිරීමට පියවර ගත්තාය.

විශ්‍රාමික ගුරුවරයෙකු වන කුඩාබණ්ඩා පොත්ගුලේ ආරම්භය හා විකාශනය පිළිබඳ මෙසේ විස්තර කළේය.

“පොත්පත් කියවීම වර්තමාන සමාජයෙන් බොහෝ දුරට ඈත් වෙමින් යනවා. පාසැල් වල පුස්තකාල භාවිතය විශාල ලෙස අඩුවෙලා. දරුවෝ අද වැඩිපුර ඉන්නේ ෆෝන් එකේ. කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කියමනක් තිබෙනවා. පොත්පත් කියවීම මඟින් දැනුමට අමතරව ආදරය, කරුණාව, දයාව වගේ දේවල් අපටත් නොදැනිම හිත්වල පූදින්න පටන් ගන්නවා. දුව කැනඩාවේ පොත්ගුලක ඡායාරූපයක් එවලා කිව්වා ඒ වගේ එකක් ගේ ඉස්සරහා හදන්න කියලා. මම වඩුකාර්මියකුට පෙන්නලා ඒ විදිහටම ලී වලින් ගෙයක හැඩයට පෙට්ටියක් හැදුවා. දුවගේ හිතවතුන් බොහෝ දෙනෙක් පොත් ගෙනත් මේකට දැම්මා. එදා ඉඳලා තමයි මේක පොත්ගුලක් බවට පත්වුණේ. දැන් ගොඩක් අය මෙතනින් පොත් අරගෙන යනවා. පාසැල් දරුවෝ තමයි වැඩිපුර පොත් ගෙනියන්නේ. සමහරු පොතක් කියවලා ආපහු ගේන්නේ තවත් පොතකුත් එක්කයි. පොත් අරගෙන ගිහින් නොගෙනෙන අයත් ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් එහෙම කළා කියලා මේ සංකල්පය මැරෙන්න දෙන්න එපා කියලා දුව කිව්වා.

දුල්මා විසින් අපේ රටේ වීදි පොත්ගුල් සංකල්පය පැළකර මාස දෙක තුනක් පමණ වේ. මේ වන විට පොත්ගුල් සංකල්පය මහනුවර මැද බෝවල, අනුරාධපුර, ගම්පහ, පානදුර, මාතර, වවුනියාව ආදි ප්‍රදේශවල වීදි පොත්ගුල් දක්නට ලැබෙයි. ඒ දුල්මාගේ විශ්ව විද්‍යාල මිතුරන් හා මුහුණු පොතේ මිතුරන් සමඟ මේ සම්බන්ධව කෙරුණු සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙසිනි.

“මම කැනඩාවේ වීදි පොත්ගුල් සම්බන්ධව මුහුණු පොතට ඡායාරූප සමඟ සටහනක් එක් කළා. එය ගොඩක් දෙනෙක් ෂෙයාර් කරලා තිබුණා. මේ සංකල්පය අපේ රටෙත් ඇති කරන්න ඕන කියන හැඟීම ඒ හැමෝටම තිබුණා. ඒ අනුව තමයි අද වන විට වීදි පොත්ගුල් කිහිපයක්ම අපේ රයේ ගම් කිහිපයක ඇති වී තිබෙන්නේ. දුල්මා පවසන්නේ සතුටිනි.

ඡායාරූප - රුවන් මීගමන්න

 

Comments