පසුගිය වසර තුනකටත් වැඩි කාලයක් තිස්සේ මෙරට පළාත් සභා පැවතුණේ අපරාජිතවය. එය තවදුරටත් පැහැදිලි කළ හොත් කිව හැක්කේ හැම පළාත් සභාවක්ම කවන්ධ ස්වරූපයකින් දිස් වූ බවයි. එසේ වූයේ එම සියලුම පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු ඇමති මණ්ඩලයේත්, සෙසු මන්ත්‍රීවරුන්ගේත් නිල කාලය අවසන්වීම හේතුවෙනි.
එසේ වුවද පළාත් සභා මඟින් සිදු විය යුතු සේවා අඛණ්ඩව සිදු කෙරුණේය. එහෙයින් ඒ හැම පළාත් සභාවකම මුඳුන් මට්ටමේ දේශපාලන බලධාරීන් නොසිටින බව ප්‍රදේශවාසීන් කිසිවකුට හෝ නොදැනිති. ඒ සඳහා මුල් වූ එක් හේතුවක් වූයේ පළාත් සභාවලට පහළින් තිබෙන පළාත් පාලන ආයතන මඟින් අදාළ කර්තව්‍යයන් අඩු වැඩි වශයෙන් ඉෂ්ට සිද්ධ වීමයි.
කෙසේ වෙතත් පළාත් සභා ඡන්දය දිනෙන් දිනම ප්‍රමාද වීම නිසා මෙරට ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය යම් අයුරකින් උල්ලංඝනය වූ බව පිළිගත යුතු සත්‍යයකි. එසේ වුවද එම නිසා මහජන මුදල් රුපියල් කෝටි ගණනක් මකර කටට නොගොස් මැනවින් සුරැකුණු බවක්ද ඒ සමඟම කිව යුතුය. ඒ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේත්, සෙසු ඇමතිවරුන් ඇතුළු සියලුම පළාත් සභා මන්ත්රිවරුන්ගේත් පඩි නඩි ඇතුළු වෙනත් වරප්‍රසාද සඳහා වැයවන මුදල් කන්දරාව ඉතිරි වූ බැවිනි. ඒ නිසාම ඔවුන්ගේ කොමිස් මුදල් ගැරීම ද නතර වී තිබුණේය.
මෙහිදී අපගේ මතකයට නැඟෙන්නේ බස්නාහිර පළාත් සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සුව පහසුව සඳහා එකක් රුපියල් හය ලක්ෂයක් පමණ වන පුටු මිලදී ගැනීමට පසුගිය පළාත් සභාවේ බලධරයන් පිරිසක් විසින් ගන්නා ලද උත්සාහය ගැනය. එදා එම සිද්ධියට ජනමාධ්‍ය ඔස්සේ අනාවරණය වීම නිසා අවසන් මොහොතේ නතර කෙරුණේය.
ඉකුත් වසර තුනකටත් වැඩි කාලවකවානුව තුළ මෙරට කිසිදු පළාත් සභාවක දේශපාලන බලධාරින් පත් නොවීම නිසා එවැනි මහා පරිමාණ මට්ටමේ කොමිස් ගැහිලිවලටද වැට බැඳුණේය.
මෙහිදි අප විසින් මතු කරන ප්‍රධානතම ප්රශ්නය වන්නේ මුළු රටේම මුදල් කාබාසිනියා කෙරෙන පළාත් සභා ක්‍රමය තවදුරටත් පවත්වා ගෙන යා යුතුද යන්නය. අප එසේ කියන්නේ මෙරට කිසිදු පළාත් සභාවක දේශපාලන නායකත්වයක් ක්‍රියාත්මක නොවූ පසුගිය තුනක් වසරකටත් වැඩි කාලය තුළ දේශපාලන බලධාරීන් නොසිටීමේ අඩුවක් ජනතාවට නොවැටහුණු බැවිනි. අපට පෙනෙන අන්දමට නම් නිලධාරි පාලනයක් යටතේ පළාත් සභා ක්‍රියාත්මක කෙරුණු එම කාලය තුළ මෙරට හැම පළාත් සභාවකින්ම ප්‍රමාණවත් ජනතා සේවයක් ඉටු වී තිබුණේය.
අනෙක් අතට 1987 වසරේදි එවකට පැවැති ජේ.ආර්.ආණ්ඩුව මඟින් මෙරටට ප්‍රථම වරට පළාත් සභා ක්‍රමයක් හඳුන්වා දෙන ලද්දේ උතුරේ කොටි ත්රස්තවාදීන්ට යම් සීමිත පාලන බලයක් ලබා දී ප්රභාකරන් ඇතුළු කොටි සංවිධානය ප්රජාතන්ත්රවාදී ප්රවාහයට යොමු කරවා ගැනීමේ උපක්‍රමයක් වශයෙනි. එයටද ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා පෙලඹී ගොස් තිබුණේ ඉන්දීය රජයේ බලපෑමටය. එසේ වුවද කොටි නායකයා එකී පළාත් සභා ක්‍රමය පිළි නොගත්තේය. අන්තීමේදී එම කරුමයටද කර ගැසීමට සිදු වූයේ සෙසු පළාත් වල විසූ ජනතාවටය. අප එසේ කියන්නේ ජේ.ආර්.ආණ්ඩුව මඟින් 1987 දී හඳුන්වා දෙන ලද පළාත් සභා ක්‍රමය තනිකරම සුදු අලියකුගේ තත්ත්වයට පත් වී ඇති බැවිනි. කෙසේ වෙතත් පළාත් සභා ක්‍රමය මැනවින් සහ නිසි අයුරින් ක්‍රියාත්මක කරන තත්ත්වයක් යටතේ නම් එමඟින්ද ප්‍රදේශවාසීන්ට යම් සෙතක් සලසා ගත හැකිව තිබුණ බව අපගේ ද විශ්වාසයයි. එසේ වන්නේ ඒ ඒ පළාත් වලට ආවේණික ස්වභාවික සම්පත්, එම ප්‍රදේශ වල පවතින ප්‍රශ්න සහ දුෂ්කරතා පමණක් නොව ඒවාට ලබා දිය යුතු නිශ්චිත විසඳුම් ආදිය පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් ඇත්තේ අදාළ ප්‍රදේශවල වෙසෙන ජනතාවට බැවිනි.ඒ අනුව ඔවුන් මුහුණ පා සිටින ප්‍රශ්න සහ දුෂ්කරතා මඟ හරවා ගැනීම සඳහා යෙදිය යුතු නිශ්චිත විසඳුම් ගැන ඉතා හොඳ දැනුමක් ඇත්තේ ඔවුන්ටය. ඒ ඔවුන්ට අදාළ ප්‍රශ්න සහ දුෂ්කරතා පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් ඇති බැවිනි. එහෙත් මධ්‍යම ආණ්ඩුව යටතේ කොළඹින් එවනු ලබන විශේෂඥයන්ට හෝ ඉංජිනේරුවන්ට ඒ පිළිබඳව ඇත්තේ පොත පතට පමණක් සීමා වන දැනුමකි. එම තත්ත්වය යටතේ අදාළ ප්‍රශ්න වලට නිවැරදි සහ සාර්ථක විසඳුමක් ලබා දිය හැක්කේ මුලින් සඳහන් කළ පරිදි ඒ ඒ පළාත්වල ජනතාවටය.
ඇතැම් විට 13 වැනි ව්‍යවස්ථාවෙන් හඳුන්වා දෙන ලද පළාත් සභා ක්‍රමය මඟින් එවැනි සාර්ථක ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරවීමට එදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාද සිතන්නට ඇතුවාට සැක නැත. එහෙත් ප්රශ්නය වී ඇත්තේ පළාත් සභා ක්‍රමය මඟින් සපුරා ගැනීමට බලාපොරොත්තු වූ එම උතුම් පරමාර්ථ ආරම්භක යුගයේදීම යටපත් වී දේශපාලන බල අධිකාරියක් පළාත් සභා ක්‍රමය තුළ ක්‍රියාත්මක වීම ය.
බලයට පත්ව සිටින ආණ්ඩුවේ උදවුකරුවන්ට රැකියා සැපයීම එවැනි එක් අරමුණකි. ඒ හැර එම පිරිසට තමන්ගේ ආණ්ඩුවේ පාලනය යටතේ විවිධ ව්‍යාපෘති අරඹා එමඟින් කොමිස් ගැසීමට ඉඩදීම තවත් ප්රතිලාභයකි. බස්නාහිර පළාත් සභාව මඟින් එකක් රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා සුව පහසු ආසන තොගයක් මිලට ගැනීමට සූදානම් වීම ඒ සඳහා කදිම උදාහරණයක් ලෙස දැක්විය හැකිය. තමන්ගේ පාක්ෂිකයන්ට රැකියා සැපයීම තවත් එවැනි ප්රතිලාභයකි. තමන්ගේ පාලනය යටතේ තිබෙන පළාත් සභා මඟින් ඉහත සඳහන් ඵල ප්‍රයෝජන 1987 සිට මේ දක්වා පත්වූ හැම ආණ්ඩුවක්ම ලබා ගෙන ඇති බව විශේෂයෙන් ම සඳහන් කළ යුතුය.
එනයින් බලන විට මෙරට පැවති හැම පළාත් සභාවක්ම මහජන මුදල් කාබාසිනියා කළ සුදු අලියෙකු බවට පත් වී තිබුණේය. එමඟින් ලැබෙන ඵල ප්‍රයෝජන වලට වඩා සිදු වී තිබෙන මහජන මුදල් නාස්තිය වැඩිය. පළාත් සභා පිහිටුවීමේ දී සැලකිල්ලට ගැනුණු මූලික පරමාර්ථයන් ද එමඟින් ඉටු නොවූ බව පිළිගත යුතු සත්‍යයකි.
කෙසේ වෙතත් අපගේ අදහස වන්නේ වසර 34 කට ආසන්න කාලයක් තිස්සේ දිගින් දිගටම අසාර්ථක වූ සහ මහජන මුදල් කාබාසිනියා කළ පළාත් සභා ක්‍රමවේදය අවලංගු කළ යුතු බවය. එමඟින් යම් පරිපාලනමය අඩුවක් ඇති වුවහොත් වසර 150 කට ආසන්න කාලයක් තිස්සේ මෙරට ක්‍රියාත්මකව පවතින පළාත් පාලන ආයතන සතු බලතල වැඩි කිරීමෙන් එය පිරිමසා ගත හැකි බව අපගේ අදහසයි.
එමඟින් පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් ඇතලු පළාත් ඇමති මණ්ඩල සහ ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ඉබේටම අහෝසි වන බැවින් එම අමතර මුදල් නාස්තිය ද අවම කෙරේ. ඒ අනුව සිදු කළ යුතු ව ඇත්තේ දැනට පවතින මහ නගර සභා ඇතුළු සියලුම පළාත් පාලන ආයතන සතු බලතල වැඩි කිරීමය. පළාත් පාලන ආයතන සතු බලතල වැඩි කිරීම සඳහා මෙරට ආණ්ඩක්රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ද අවශ්‍ය නොවන බව අපගේ විශ්වාසයයි. ආණ්ඩුවට පළාත් සභා සුදු අලියා කැළයට පලවා හැරීමට සැබෑ අවශ්‍යතාවක් ඇත්නම් ඒ සඳහා කළ යුත්තේ පළාත් පාලන ආයතන සතුව තිබෙන බලතල ප්‍රමාණය වැඩි කර මෙරට සියලුම පළාත් සභා සදාකාලික නිද්‍රාවට පත් කිරීමයි.