ලංකාවේ එකම ‘ලොන්ඩරිගම’ට ගියෙමු | සිළුමිණ

ලංකාවේ එකම ‘ලොන්ඩරිගම’ට ගියෙමු

රෙදි පිරිසිදු කිරීමේ රැකියාව ශ්‍රී ලංකාවේ ඇරැඹුණේ 1930 දශකයේ මුල් භාගයේ ය. ඉංග්‍රීසි හමුදා නිලධාරීන්ගේ නිල ඇඳුම් සේදීමට එදා පේවී සිටියේ ද්‍රවිඩ ජනතාවයි. සිංහල හා මුස්ලිම් පවුල් කීපයක් ද ඒ අතර විය. එම යුගයේ, දැනට ඉතිරිව ඇති එකම රෙදි සෝදන ගම්මානය වන මරදාන මාලිගාවත්ත රෙදි සෝදන ගම්මානයට අමතරව කොටහේන, කොල්ලුපිටිය හා කොම්පඤ්ඤවීදියේ (වෑකන්ද) ප්‍රදේශයේ ද තවත් රෙදි සෝදන ගම්මාන තුනක් තිබුණි.

ලොන්ඩරිවත්ත රෙදි සේදුම් ගම්මානය ‘පැරඩයිස් වත්ත’ යනුවෙන් නම වෙනස්කර ඇත. කහ දියර ඉසිමින් සුවඳ දුම් මැදින් පහන් දල්වන දේවාලය හාත්පස, රෙදි වැල් එල්ලා තිබීම උචිත දැ’යි මා කපු මහතාගෙන් විමසූ අතර, ඔහු කියා සිටියේ කාලි කෝවිල ඇරඹුවේ ඔවුන්ගේ රැකියාවෙන් ලැබෙන මුදලින් බවය.

කෝවිල ඉදිරිපිට පර්චස් 20 පමණ වපසරියක එක යායට ලණු වැල්වල එල්ලුනේ නෙක වර්ණ ඇඳුම් ය. පොළවට පතිත වන ගිනි අව්ව අතරින් හමනා මඳ සුළඟට පාට පාට රෙදි එහාට මෙහාට පැද්දුණේ සරුංගල් මෙනි.

රෙදි සේදීමට යොදාගන්නා ටැංකි ජලයෙන් පුරවා තිබුණි. සබන් වතුරෙන් පෙරා ගත් රෙදි එකින් එක ගෙන ටැංකි සමීපයේ තිබෙන පැතලි ගල මතට චටාස් පටාස් හඬින් ගසන උඩුකය නිරුවත් තරුණයන් කීප දෙනෙකි‍.

සෝදා පිරිසුදු කළ රෙදි බඳුන්වල දමා ගෙනවිත් වැලේ වනන කාන්තාවෝ කඩිමුඩියේ තම රාජකාරිය ඉටු කරති. රෙදි සේදීමට ටැංකියට පුරවන ජලයේ බැස නාන කු‍ඩා කොලු ගැටයන් දෙදෙනෙකි. සිංහල පවුල් 3, 4 හැරුණු කොට අනිත් සියල්ලෝම දමිළ වුවත් ඔවුන්ගෙන් ඇතැමෙක් සිංහල භාෂාව හොඳින් කතා කරති. මේ සිදම්බරම් මංගලේෂ්වරම්ගේ (50) හඬයි.

මේක අපේ පරම්පරාගත රස්සාව. ලයිට් වතුර බිල්වලට අමතරව අපි ඉන්න ගේකට මාසෙකට නගර සභාවට රු. 11.25 ක් හා කඩේකට රු. 8.25 ක් ගෙවනවා. අවුරුද්දකට වරක් සල්ලි ගෙවන්නේ. මේ පිටිපස්සේ තියන තට්ටු බිල්ඩිම රජයෙන් හදලා අවුරුදු ගාණක් වුණත් නගර සභාව ඒවා තාම අපට දෙන්නේ නෑ.”

ලොන්ඩරි රැකියාව කරන සිංහල අයකු වන ලොකුලියනගේ සුනිල් (60) අතීතය සිහි කළේ මෙහෙමයි.

‘ලොන්ඩරිවත්තේ පවුල් 350 විතර ඉන්නවා. සමහර ගෙවල්වල පවුල් 2, 3 ඉන්නවා. මේකෙ තියන පරණ වැසිකිළියක හදලා තියන වර්ෂය ලෙස 1931 කියලා ගහලා තියෙනවා. ඉස්සර සිංහල, දෙමළ දෙපිරිසම හිටියා සුද්දන්ගේ හමුදා රෙදි හෝදන්න. සිංහල අය පසු කලෙක වෙන වෙන රස්සාවලට ගියා. දෙමළ පිරිස වැඩි වුණා. ඒ කාලෙ රෙදි හෝදන ගම්මාන 04 ක් කොළඹ තිබුණත් දැන් තියෙන්නෙ මේක විතරයි.

අපි කොළඹ 1 – 15 දක්වා ජනතාවගේ රෙදි හෝදනවා. කොළඹ මහ නගර සභාවෙන් අපි ගැන බලන්නෙ නෑ.

වහලය ගහලා දුන්නේ බැසිල් රාජපක්ෂයන්ගේ මූලිකත්වයෙන්. ඒ කාලේ ගෙවල් 44 යි. කිලිටි රෙදි දාන්න කාමර 50 යි. සේදූ රෙදි දාන්න කාමර 50. දැන් පවුල් වැඩි නිසා රෙදි දාන කාමරවලත් පවුල් ජීවත්වෙනවා.

සමහර පවුල්වල දරුවෝ ඉගෙන ගන්නවා. ඉදිරියට මේ රස්සාව අපිත් එක්ක අහෝසිවෙලා යන්නත් පුළුවන්. අපේ ළමයි අනුන්ගේ රෙදි හෝදන්න කැමැති නෑ. අපි ඉගෙන ගත්තෙ නෑ. අකුරු සාස්තරේ බෑ. මේක පුරුදු රස්සාවනෙ. රෙදි සේදීමේ ක්‍රියාවලිය ගැන කයම්බු කාර්වේගම් (65) පැවසුවේ මෙවැන්නකි.

“මුලින් ම අපි, ගේන හා අපිට ලැබෙන රෙදි වෙන් කරගන්නවා‍. සුදු රෙදි වෙනම පාට රෙදි වෙනම, පැල්ලම් සහිත රෙදි, සායම් යන නොයන ලෙසත් වෙන්කර ගන්නවා. හැම ඇඳුමකම ඇතුළේ, නොපෙනෙන තැනක අංකයක් යොදනවා. ඉස්සර එහෙම අංක ලීවෙ බෙහෙත් කඩෙන් ගන්න සේන් කොට්ටන් ඇටවලට කට්ටකින් ඇන්නාම එන කිරිවලින්. ඒකෙන් අත තුවාල වෙන නිසා දැන් Red Leaf Marker 707 පෑනක් යොදාගන්නවා. එසේ වෙන් කරගත් රෙදි වෙන වෙනම සෝදන්නෙ.

තද පැල්ලම් තියන රෙදි සබන්, රින්සෝ, සෝඩා, බේත් වතුර පෙ‍ඟෙන්න දානවා දවසක් ම. කුණු ඉවත්වෙන්න පෙරනවා. ඉන්පසු සබන් ගාලා බ්‍රෂ් කරනවා. ගලේ ගහලත් කුණු ඉවත් කරනවා. නැවත ජලයෙන් සෝදනවා. ඉන්පසු හොඳ වතුරින් ආයෙත් හෝදනවා. නිල්, කැඳ දාන්නේ අන්තිමට. ‘රානිපාල්’ නිල්වලට කලවම් කරලා දැම්මාම ඇඳුම දීප්තිමත් සුදක් ලැබෙනවා. වේළුණාම මදිනවා. මැදලා රෙදි වෙන වෙනම තෝරනවා. සේදූ රෙදි තැන්පත් කරන්න සෑදූ කාමරවල තියනවා.

රෙදි මදින්නෙ පොල්කටු අඟුරු ඉස්තිරික්කයෙන්.ඒ කාලේ අල්ලගත්ත විදිහට එක එක පවුලට වෙන් කරගත් ලණු වැල් ගාණක් තියනවා. සමහරු දවසකට රු. 1500 – 2500 දක්වා හොයා ගන්නවා.

මේ තට්ටු ගොඩනැඟිල්ල හදලා අවුරුදු ගාණක්. ඒත් තාම අපිට දෙන්නේ නෑ. අපි නිදාගන්නේ හරස් අතට. හරියට මදුරුවෝ. අපිව මේ අපායෙන් මුදවලා ගෙවල් දෙන්න කියලා අපි ඉල්ලනවා.”

පොල්කටු ඉස්තිරික්කයෙන් කමිසයක් මදින හැඩි දැඩි තරුණයෙකි. ඔහු රාජාය. තම සහෝදරයා සමඟ කුලියට රෙදි මදින ඈ කදිරේෂන් අන්නලෙච්චමී (43) වන්නීය.

“උදේ 7.00 ඉඳලා රෑ 6.00 වැඩ කරනවා. දවසකට රු. 1500 – 2000 හොයනවා. කරන්ට් එකෙන් මදින්න වෙනම ඉස්ත්‍රික්ක තිබුණත් හැමෝටම පුරුදු නෑ. මම 5 පන්තියට විතරයි ඉගෙන ගත්තේ. අපේ දරුවන්ටත් දැන් දරුවෝ ඉන්නවා. එයාලා ඉගෙනගන වෙන රස්සා කරනවා. අපි නම් සතුටින් තමයි පුරුදු රස්සාව කරන්නේ.

රෙදි වර්ග කරමින් රෙදිවල අංක ලියන කාර්ටේගම් සුදාකරන් (40) පැවසුවේ මෙවැන්නකි.

අපි වගේ ම අපේ තාත්තලත් මේ රස්සාව තමයි කළේ. ඒත් අපේ ළමයින්ට නම් මේක හරියන්නෙ නෑ. අපෙන්ම මේක ඉවර කළ යුතුයි”

ලොන්ඩරිවත්තේ පදිංචි එස්. නඩරාජා පැවසුවේ එක් දින, තෙදින, සත්දින හා දස දින සේවාවන් 4 ක් යටතේ රෙදි පිරිසිදු කරගත හැකි බවත් ඒ අනුව මිල ගණන් අඩු වැඩි වන බවත් ය.

ඔවුන් එකවර මුදලක් හොයාගන්නේ සීට්ටු දැමීමේ ක්‍රමවේදයෙනි. ඒ මොන දේ කළත් කාලි කෝවිලේ හැරෙන්නට, ඔවුන්ගේ ජීවිතවල විශාල වෙනසක් සිදුව නොමැත. හරියට ගෙයක් දොරක් සාදාගෙන ඇත්තේ ද පවුල් කීපයක් පමණි.

Comments