වීදියේ දියවෙන දරුවන්ගේ ශෝකාන්තය | සිළුමිණ

වීදියේ දියවෙන දරුවන්ගේ ශෝකාන්තය

 

 

දුම්රියෙහි හෝ බස් රථයකට වැදී තමන් හැඳ සිටින බැනියම මඳක් ඔසවා පට, පට හඬින් ඉළඇට කූඩුව කැඩෙන තරම් වේගයෙන් තම වැළමිටෙන් පැත්තට පහර දෙමින් ‘ඩිංගි ගසන‘ එමෙන්ම නගරයේ අවන්හල්වල ඉඳුල් පිඟන් සෝදා, මැනින් මාර්කැට්ටුවේ මුට්ට කර ගසමින්, නැතහොත් හිඟමන් යැද, එදා වේල පිරිමහගන්නට කීයක් හෝ සොයා ගන්නට වෙර දරන මෙවැනි මාවත්වාසී දරුවන් කොළඹ නගරයෙහි සැරිසරනවුන්ට නුහුරු නුපුරුදු දසුනක් නොවිණි.

හෝටල්වල එකතු වන ඉඳුල් හා ඉතිරි වූ බත්, මාළුපිනි එක්කොට අඩු මිලකට විකුණන ‘බේසම් බත්‘ මිලදී ගෙන තම කල්ලියේ සෙසු සාමාජිකයන් ද සමඟ එක්වී සප්පායම් වීමට පුරුදුව සිටින මෙවැනි දරුවන් අතමිටේ පිච්චිය නොමැති දිනයන්හි වීදියෙහි කුණු බක්කියක් අවුස්සා සොයා ගන්නා ඉඳුල් අහරකින් කුස පුරවා ගැන්මට පුරුදුව සිටින අතර, ඔවුනගේ සිරියහන තැනෙනුයේ නගරයේ කඩ සාප්පුවක අගු පිලෙහිය.

වීදියෙහි සැරිසරන චණ්ඩින්ගේ මෙන්ම ජාවාරම්කරුවන්ගේ ඉතා පහසු ඉලක්කයක් බවට පත් මෙවැනි මාවත් වාසී දරුවන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, ඔත්තු බැලීම, ගණිකා වෘත්තියෙහි යෙදෙන්නියනට තැරැව්කාරකම් කිරීමට මෙන්ම ළමා ලිංගික ලෝලීන්ගේ කම් පවස නිවන්නට ලිංගික ක්‍රියාවන් සඳහා යොදවා ගනිමින් ඔවුන් මුදල් උපයා ගැනීමට මානබලති.

වීදි දරුවන් පිළිබඳ ගැටලුව ඉන්දියාව, තායිලන්තය වැනි රටවල තරමට ශ්‍රී ලංකාව තුළ ප්‍රබල සමාජ ගැටලුවක් බවට පත්ව නොතිබුණ ද, පසුගිය දශකයන්හි එය යම් ආකාරයකින් සමාජ ගැටලුවක් බවට පත්වීමෙහි අවදානම් සහගත තත්වයක් පැවති බැවින් වීදි දරුවන් සඳහා ක්‍රියාත්මක කරන්නට යෙදුනු එවැනි වැඩසටහන් ඉතාමත් කාලෝචිත වැඩසටහන් වූ බැව් නම් සක්සුදක් සේ පැහැදිලිය.

අද වන විට වීදි සරණ දරුවන්ගේ සංඛ්‍යාව පහත බැසීමක් සිදුවී ඇත්ද? යන්න පිළිබඳ විමසුමෙහිදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතාගේ අදහස වූයේ වීදි දරුවන් සංඛ්‍යාව යම් ආකාරයට අඩුවීමක් දක්නට ලැබෙන අතර කොවිඩ් වසංගත තත්වය ද යම් ආකාරයකට දරුවන් ගමෙන් නගරයට පැමිණීම වැළකීම කෙරෙහි බලපෑ බවකි. ඔහු විසින් සඳහන් කරන ලද වඩාත් වැදගත්ම කාරණාව නම් සමාජය තුළ ඇති දැනුම්වත්වීම හේතුවෙන් දරුවන්ට හිඟමන් දීම අඩුවී තිබීමද දරුවන් වීදියට පැමිණීමෙහි අඩුවීමක් කෙරෙහි හේතුවී ඇති බවකි.

මහා මාවත්වල අයාලෙහි යන දරුවන් මෙන්ම දරුවන් කරපින්නාගෙන හිඟමන් යදින වැඩිහිටියන් දුටු විට බොහෝ දෙනෙකු 1929 අංකයට කතාකොට ඒ බව දැනුම් දෙන්නට පුරුදුව සිටිති.

මහාචාර්ය මුදිත විදානපතිරණ පවසන අන්දමට මේ ආකාරයෙන් වීදියෙහි හිඟමන් යදින දරුවන් පිළිබඳව මෙන්ම, දරුවන් වඩාගෙන හිඟමන් යදින වැඩිහිටියන් පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි ගලා ඒම තුළින්ම සමාජයෙහි සිදුවන මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අවධානයෙන් පසුවන අතරම, ළමා අපයෝජනයන් පිළිබඳව බොහෝ දෙනෙකු දැනුවත්ව සිටින බවද දක්නට හැකිය.

සිඟමන් යදින දරුවන්ට මෙන්ම, දරුවන් පෙන්වා සිඟමන් යදින්නෙකුට අනුකම්පා පෙර දැරිව මුදල් ලබා දෙන්නට මෙන්ම එය පින් කටයුත්තක් යැයි සිතන්නට කාලයක් තිස්සේම අප සමාජය හුරුවී සිටි බැව් කවුරුත් හොඳින් දන්නා කරුණකි. හිඟමන් යැදීම සඳහා දරුවන් යොදවා ගැනීම අපයෝජනයක් බැව් දැනුවත් වීම තුළ සමාජය යාචකයන් කෙරෙහි ප්‍රතිචාරයන් දක්වන අන්දම වෙනස් වීමද දරුවන් මාවතට අවතීර්ණ වීම අඩුවීම කෙරෙහි බලපා ඇති බැව් පෙනී යයි.

මහාචාර්ය මුදිත විදානපතිරණට අනුව 2019 වසරෙහි දී ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව අටදහස් පන්සිය පනස් පහක් (8555) වූ අතර ඉන් දෙසිය අනූ නවයක් (299) හිඟමන් යදින දරුවන් සම්බන්ධව ලැබුණු පැමිණිලි විය. එහෙත් 2020 වසරෙහිදී ලද මුළු පැමිණිලි සංඛ්‍යාව අටදහස් එකසිය හැටපහක් (8165) වූ අතර හිඟමනෙහි යෙදුණු දරුවන් සංඛ්‍යාව ඒ අතරින් දෙසියයක් වී තිබිණි.

“2019 වසරෙහිදි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට පනතින් ලැබී තිබෙන බලයට පිටින් වූ පැමිණිලි බාර ගත්තේ නැහැ. නිදසුනක් ලෙස ගතහොත් බලය ලැබී තිබෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ දහතුන් වැනි වගන්තියෙන්, අනිවාර්ය අධ්‍යාපන පනතට අනුව දරුවෙකු වයස අවුරුදු 16 වනතුරු අධ්‍යාපනය ලැබිය යුතුයි. එමෙන්ම අවුරුදු 16ට අඩු දරුවන් ළමා ශ්‍රමිකයන් ලෙස යොදවා ගැනීම අපයෝජනයක්. කෙසේ වුවත් මේ වන විට අප වෙත ලැබෙන පැමිණිලි සියල්ල භාර ගැන්මට තීරණය කරනු ලැබ තිබෙනවා.“

“මේ හැරුණු විට දරුවන් යාචක වෘත්තියෙහි යෙදීම වැනි සිද්ධීන් පිළිබඳව පැමිණිලි සම්බන්ධයෙන් 2019 වසරට ප්‍රථමයෙන් සිදුවූවාට වඩා අත්අඩංගුවට ගැනීම සිදුවීම ද වීදි දරුවන් අඩුවීමට බලපෑ බැව් මහාචාර්ය මුදිත විදානපතිරණගේ අදහසයි.

2020හි ලද පැමිණිලි සංඛ්‍යාවෙන් 25%ක්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙහි ඇති බලයට පිටින් වන පැමිණිලි වන බැවින් ඒ අනුව බලන විට එයිනුත් වීදි දරුවන් සංඛ්‍යාව පිළිබඳ අඩුවීමක් විය යුතු බැව් පෙන්නුම් කරන බැව් පෙනෙයි.

කරුණු එසේ වුවද ඉලක්කම්වලින් පෙන්වන දෑ අනුව වීදි දරුවන් පිළිබඳ වර්තමාන තත්වය සම්බන්ධව සම්පූර්ණ පැහැදිලි චිත්‍රයක් පිළිබඳ අදහසක් ඇති කරගැන්ම කොතරම් දුරට සාර්ථකදැයි යන්න වඩාත් ගැඹුරින් සිතා බැලිය යුතු වන්නේ වීදියෙහි දිවි ගෙවන සෑම දරුවෙකුම හිඟමන් යදිනවුන් නොවන්නා සේම සෑම වීදි දරුවෙකු පිළිබඳවම පැමිණිලි කිරීමක් ද සිදුවීමට අවකාශය අඩු බැවිනි.

ඒ පිළිබඳව වඩාත් පුළුල් දෘෂ්ටි කෝණයකින් බලමින් මහාචාර්ය මුදිත විදානපතිරණ පවසනුයේ ඉලක්කම්වලින් අඩුවීම දුටු පමණින් අපට සතුටු විය නොහැකියි. හේතුව එක් දරුවෙකු අපයෝජනය වීමක් සිදුවන්නේ නම් එයත් බරපතළ කාරණාවක් යනුවෙනි.

වීදි දරුවන්ගේ උපසංස්කෘතිය තුළ ඔවුනටම සුවිශේෂී හැසිරීම් රටාවන් වෙති. ඒ අනුව ඔවුහු නිතරම ජනයා බහුලව ගැවසෙන අවස්ථාවන් එනම් කතරගම, නුවර පෙරහැර ආදී ලෙසින් සංචරණය සිදුවන බැවින් ජාතික වශයෙන් සිදුකරනු ලබන විධිමත් සංගණනයකින් තොරව වීදි දරුවන් පිළිබඳ සංඛ්‍යා ලේඛන පැවසීම අසීරුවෙන් හෝ කළ නොහැකි වූවකි. අනෙක් අතට රාත්‍රි කාලයෙහිදී සිදුකරන ගණන් ගැනීමකදී වීදියෙහි කන බොන නිදන යන ඛාණ්ඩයට අයත් වන දරුවන් හසුකර ගත හැකි වුවද, නගරයට ඔබ්බෙහි වූ මුඩුක්කු, පැල්පත් ආදියේ සිට දිවා කළ යමක් උපයා ගැන්මට හෝ එවැනි කිසිවක් සඳහා මාවතට පැමිණ ආපසු රාත්‍රිය ගත කිරීමට තම නිවහන වෙත යන දරුවන් හසු නොවීමට ඇති ඉඩකඩ වැඩිය.

එහෙයින් එවැනි සංගණනයකදී ‘වීදි දරුවා‘ යන්න සම්බන්ධව නිර්වචනයට අනුව වන වීදි දරුවන් පිළිබඳ වර්ගීකරණය ගැන වැඩි අවධානයක් යොමුකරලීම වඩාත් වැදගත් වනු ඇත.

වීදි දරුවන් අඩුවීමේ ප්‍රවණතාවයක් ඇත්ද? යන්න විමසුමෙහිදී අපරාධ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා තම අත්දැකීම් ඇසුරින් පවසනුයේ මෙතෙක් බොහෝ දෙනෙකුගේ අවධානයට හසුනොවූ කරුණු කිහිපයකි.

“බොහෝ දුරට වීදි දරුවන් අඩුවීම පිළිබඳ අපට දකින්න පුළුවන්. හැබැයි ඒ එක්තරා කොටසක්. එනම් නාගරික සමාජය තුළ සිදුවන යම් ආකාර සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කළ කොටසෙහි යම්කිසි අඩුවීමක්.“

ප්‍රියන්ත ජයකොඩි මහතා පවසන අන්දමට මෙයට වසර ගණනකට ඉහතදී වීදියෙහි සැරි සරන දරුවන් අධ්‍යාපනය සඳහා යොමු නොවූ තරම්ය. එහෙත් සමාජය විවෘත වීම තුළ සමාජයේ අනෙක් පුද්ගලයින් ලෝකය දක්නා ආකාරයටම ලෝකය දැකගැන්මට මෙම මාවතෙහි දිවිගෙවන වුන්ට අවකාශය ලැබී ඇති බැවින් වීදියෙහි ජීවත් වුවද අධ්‍යාපනය ලැබීම සඳහා බොහෝ දරුවන් යොමුවී සිටිති. එවැනි තත්වයක් තුළ අධ්‍යාපනය හරහා ජීවිතයට ලැබගන්නා අගනාකම්, වටිනාකම් හේතුවෙන් අන් අයට අතපා සිඟමන් යැදීම වෙනුවට සමාජය තුළ ‘දෙපයින් නැගී සිටිමින්‘, ජීවත්වීමට හැකි අන්දමෙහි ජීවනෝපායක නිරතවීම සඳහා වන ඉලක්කයන් ඇති කර ගැන්ම හා ඒ කරා ළඟාවීම තුළ ‘හිඟමන් යැදීමට‘ යොමුවන දරුවන්ගේ අඩුවීමක් දැකගැන්මට හැකිය.

වීදි දරුවන් පිළිබඳ විමසුමෙහිදී වඩාත් අවධානය යොමු විය යුත්තේ වීදි දරුවන් බිහිවන සාධකයන් පිළිබඳවය. ඇඟළුම් කම්හල් හා එවැනි කුමන අන්දමක හෝ රැකියා අවස්ථාවන් සොයා ගමෙන් නගරයට සංක්‍රමණය වන ඇතැම් තරුණ පිරිස් අනතුරුව ඒ හරහා ගොඩනඟා ගනු ලබන විවාහ සබඳතා තුළ බිහිවන දරුවන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීම, එනම් ආහාර, රැකවරණය, අධ්‍යාපනය වැනි දෑ ලබා දී ඔවුන් නඩත්තු කිරීමට අසමත් වීම හෝ පැහැර හැරීම තුළ දරුවන් ප්‍රතික්ෂේප වීම ඇතැම් විට දරුවන් වීදියට පැමිණීමට බලපෑ කරුණු අතර ප්‍රබල කරුණක් විය හැකිය.

මේ හැරුණු විට ඈත ගම් පළාත්වලින් දරුවන් මෙහෙකාර සේවය සඳහා ගෙන ඒම සහ එවැනි විටෙක සිදුවන පහරදීම්, තාඩන පීඩන හේතුවෙන් දරුවන් එම නිවෙස්වලින් පලාගොස් වීදියට අවතීර්ණ වීම, දෙමාපියන් මැදපෙරදිග යාම, බිඳුණු පවුල් පරිසය වැනි විවිධ හේතූන් රැසක් දරුවන් වීදියට අවතීර්ණ වීමට බලපා ඇති බැව්, කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයෙහි ආචාර්ය ජගත් බණ්ඩාර පතිරගේ පවසයි.

දරුවන් වීදියට පැමිණීමට බලපාන කාරණාවන් පිළිබඳව සොයා බැලීම මෙන්ම වීදියට පිළිපන් දරුවන් එතැනින් ඉවතට ගෙන සමාජයට අන්තර්ග්‍රහණය කරගන්නා ආකාරය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි යන්න ආචාර්ය ජගත් බණ්ඩාර පතිරගේ විසින් අවධාරණය කරනු ලබයි.

සමාජය බොහෝවිට මෙවැනි දරුවෙකු දෙස බලන්නේ අනුකම්පා සහගත ලෙසින්. අනෙක් අතට තවත් සමහරුන් ඔවුන් දෙස බලන්නේ අනාගතයෙහි බිහිවීමට සිටින පාතාල කල්ලි සාමාජිකයින් වීදියෙහි සරන ගණිකාවන් මත්ලෝලීන් දෙස බලන අන්දමටයි.

වීදි දරුවන් සමාජ පිළිලයක් ලෙසින් දකිමින් ඔවුන් හංවඩු ගහන, ලේබල් කරන ඇතැමුන්ට අමතක වූ තවත් කරුණක් ඇත. එනම්, මෙවැනි දරුවන් වීදියට පැමිණ ඇත්තේ වේදනාකාරී ජීවිත අත්දැකීමක ප්‍රතිඵලයක් ලෙසින් බව යන්නය.

1998 වසරෙහි පමණ වූ කාලසීමාව තුළ එක්තරා දිනයෙක කොළඹ නගරයෙහි විසූ මාවත්වාසී දරුවෙකු හිටි හැටියේ අතුරුදහන් වූ අතර කෑගල්ල පෙදෙසෙහි කැලෑබද පෙදෙසකින් දින ගණනාවකට පසු ඔහුගේ මළ සිරුර හමුවිණි. මාවතෙහි දිවිගෙවන දරුවන්ට එරෙහිව වැඩිහිටියන් විසින් සිදුකරනු ලබන තාඩන පීඩන හා අපරාධයන් කොතෙකුත් වුවද සමාජයේ ඇතැමුන් උත්සහ කරනුයේ දරුවා වෙතට ඇඟිල්ල දිගු කිරීමටයි.

සර්වෝදය ව්‍යාපාරයෙහි සභාපති වෛද්‍ය ආරියරත්නට අනුව එම වැඩසටහන පවත්වාගෙන යනු ලැබූ ගොඩනැගිල්ලෙහි අයිතිය පිළිබඳ මතුවූ ගැටලුව හේතුවෙන් වැඩසටහන අතරමගදී නතර කර දැමීමට සිදුව තිබිණි.

එසේ වුවද එම වැඩසටහනට සම්බන්ධව සිටි මාවත්වාසි දරුවන් විශාල සංඛ්‍යාවක් ඔවුනගේ පවුල් සමඟ නැවත සම්බන්ධ කිරීමට හැකිවීම මෙන්ම මාවතෙහි හිඟමන් යැදීම වෙනුවට වෘත්තීය පුහුණුව ලබා දීම තුළ ජීවනෝපාය මාර්ගයක් ලෙස ඔවුනට රැකියා අවස්ථාවන් ලබා ගැන්මට හැකියාව ලැබීම වැඩසටහනෙහි සාර්ථකත්වය පෙන්නුම් කරන්නකි.

“මීට අවුරුදු ගණනාවකට ඉහතදී කොළඹ නගරාශ්‍රිතව වීදි දරුවන් සෑහෙන සංඛ්‍යාවක් සිටියත්, නාගරික සංවර්ධන වැඩසටහන් ආදිය ක්‍රියාත්මක වීම හේතුවෙන් අද වීදි දරුවන් එදා මෙන් සුලබව දක්නට ලැබෙන්නේ නැහැ.“ වෛද්‍ය ආරියරත්න පවසයි. වෛද්‍ය ආරියරත්න පැවසූ අන්දමට නගර සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වීමත් සමඟ නගරයේ හුදෙකලා සැඟවුණු ස්ථානයන් නොවීම තුළ මෙම ජාවාරම්වලට වැට බැඳීමක් සිදුවූ බැවින්, එම තත්ත්වයන් ද වීදි සරන දරුවන් අඩුවීමට එක්තරා අන්දමකට බලපෑම් සිදුවූවා විය හැකියි.

කොළඹ නගරයෙහි වීදි දරුවන් අඩුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රියන්ත ජයකොඩි මහතා පවසන්නේ නගරය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි යම් මට්ටමකට නිෂ්ක්‍රීය වීම ද වීදි දරුවන් අඩුවීමට හේතුවී ඇති මුත්, මත්ද්‍රව්‍ය ජාවාරම තවදුරටත් සිදුවෙමින් පවතින බවකි.

“මෙම තත්වය විශේෂයෙන් බලපාන්නේ කොළඹ උතුර, එනම් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම, දෙමටගොඩ හා කොළඹ නගරයේ වූ මහවත්ත, මෝදර, මට්ටක්කුලිය වැනි වතු ආශ්‍රිතවයි. මුල් අවස්ථාවෙහිදී මත්ද්‍රව්‍ය පාවිච්චියට කලින් ඊට ඇබ්බැහි වන තරුණ පිරිස් පසුව මත්ද්‍රව්‍ය මිලදී ගැන්මට මුදල් අවශ්‍ය බැවින් මත්ද්‍රව්‍ය ප්‍රවාහකයන් ලෙස කටයුතු කිරීමට යොමුවනු දකින්න පුළුවන්.“ එසේත් නොමැති නම් දෙමාපියන්ගේ අවශ්‍යතාවය මත මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළා. මෙවැනි ඇතැමෙකු පසුකලෙක කුලියට හිරේ යාමට පවා පෙළඹෙන බැව් ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

වීදි දරුවෝ සංඛ්‍යාව එක්තරා අන්දමකට අඩුවීමක් දක්නට ලැබුණද මාවත්වාසී දරුවන් වෙනුවට කොවිඩ් වසංගතයෙන් අනතුරුව එදිනෙදා නඩත්තුව සඳහා තිබූ රැකියා අවස්ථාවන් අහිමිවීම වැනි හේතූන් මත දරුවන් සමඟ මාවතට පැමිණෙන වැඩිහිටියන්, විශේෂයෙන් රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ මාර්ග සංංඥා පුවරු අසල ගැවසෙමින් මඟ යන එනවුන්ගෙන් යමක් ඉල්ලා ගන්නට උත්සුක වූවන්, දක්නට ඇති බැව් වෛද්‍ය ආරියරත්න සඳහන් කරයි.

වර්ල්ඩ් විෂන් ලංකා ආයතනයෙහි ළමා ආරක්ෂණ උපදේශක චන්දිල කොළඹගේ පවසනුයේ විවිධ ආයතන මෙන්ම මාධ්‍ය හරහා වීදි ළමුන් පිළිබඳව සමාජය දැනුවත් වීම, නීති ක්‍රියාත්මක වීම නිසි පරිදි සිදුවීම වැනි කරුණු වීදි ළමුන් අඩුවීම කෙරෙහි බලපා ඇති බවයි.

ශ්‍රී ලංකාව වැනි රටවල වීදියෙහි ජීවත්වන ළමුන් හා පවුල් සංඛ්‍යාත්මකව විශාල නොවුණත් ආපදා අවස්ථාවකට මුහුණ දීම සඳහා නිසි සැලසුමක් නොතිබීම තුළ වීදියට අවතීර්ණ වීමට අවකාශය ඇති පිරිස වැඩිවීමේ අවදානමක් තිබිය හැකි බව චන්දිල කොළඹගේ අවධාරණය කරයි.

සමාජය තුළ යම්කිසි ගැටලුවක් මතුවූ විට එවැනි ගැටලුන්ට විසඳුම් සෙවීමට දායක වීම එම සමාජයෙහි වෙසෙන හැම පුද්ගලයෙකුගේම යුතුකමකි.

කාලයක් තිස්සේ ඉබි ගමනක ගිය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් මාවත්වාසී දරුවන් මෙන්ම සමාජයෙහි වෙසෙන ඕනෑම දරුවකු සම්බන්ධ අපයෝජන සිදුවීම් හා එවැනි ගැටලුන් සම්බන්ධයෙන් වඩාත් ඵලදායි කඩිනම් සේවාවක් ඇති කිරීමේ අරමුණින් දරුවන් සම්බන්ධ අපයෝජන සිදුවීම් පිළිබඳ 1929 ට අමතරව 119 වෙත දැනුම් දීමට අවකාශ සලසා ඇත.

මීට අමතරව, වීදි දරුවෝ වැනි ලිපිනයක්, නිවසක් නොමැති දරුවකු සම්බන්ධ පැමිණිල්ලකදී ඔවුන් පොලිස් ස්ථානය වෙත ගෙන එනු ලබන අවස්ථාවන්හිදී ළමයාගේ වැඩිහිටියෝ, භාරකරුවෝ කැඳවා සිද්ධි සමාලෝචනයක යෙදෙන තුරු කළුබෝවිල ශික්ෂණ රෝහලෙයි ළමා වාට්ටුවෙහි නතර කර ගනු ලබන අතර, අනතුරුව නිවසක් ඇති දරුවකු නිවස වෙතද, එසේත් නැත්නම් නෑදෑ, භාරකරුවන් ඇති දරුවකු නම් මහේස්ත්‍රාත් හරහා ඔවුනගේ භාරකාරත්වයට ද පමුණුවන අතර කිසිඳු භාරකරුවෙකු නොමැති දරුවෙකු නම් ළමා නිවාසයක් වෙත ද යොමු කිරීමට පියවර ගෙන ඇති අතර, මෙය දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙහි විශේෂඥ අධිකරණ වෛද්‍ය ටී.බී. දසනායක හා මහාචාර්ය මුදිත විදානපතිරණ මුල්වීමෙන් කරගෙන යනු ලබන නියමු ව්‍යාපෘතියකි.

 

 

 

Comments