හම්බ­න්තොට උඩ­ම­ලල මහා­ වි­ද්‍යා­ල­යෙන් රට­ටම ආද­ර්ශ­යක් | සිළුමිණ

හම්බ­න්තොට උඩ­ම­ලල මහා­ වි­ද්‍යා­ල­යෙන් රට­ටම ආද­ර්ශ­යක්

ම්බන්තොට උඩමලල මහා විද්‍යාලයේ ලොකු ඉස්කෝල හාමිනේ වූ කලී අමාලි එරංගිකායි. ඇය පාසලේ මුල් පුටුවට පත්වීමට පෙර මේ පාසලේ මාස හයක පමණ කාලයක් නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස රාජකාරි කළාය. පාසලේ ලොකු ඉස්කෝල හාමිනේ බවට පත්වීමෙන් පසු ඇය අලුත් වැඩකට අත ගැසුවාය. වර්තමානයේ පාසල් දරුවන් වැඩි පිරිසක් කියවීමෙන් හා ක්‍රිඩාවෙන් ඈත්ව සිටින අයුරු අමාලි ලොකු ඉස්කෝල හාමිනේ අත්දැකීමෙන් දැන සිටියාය. අමාලි ලොකු ඉස්කෝල හාමිනේ නිර්මාණශීලි විදුහල්පතිවරියකි. පාසලේ දරුවන් කියවීමට හා ක්‍රීඩාවට යොමුකරගත යුතු ආකාරය පිළිබඳ ඇය පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් හා ගුරුභවතුන් සමඟ සාකච්ඡා කළාය.

‘දරුවන්ට කියවීම සඳහා පැයක් වෙන්කරලා දෙමු. අපි එක කාලපරිච්ඡේදයකින් විනාඩි 05ක් අඩුකරමු. ඒ තුළින් අපිට පැයක කාලයක් පහසුවෙන්ම නිර්මාණය කරගන්න පුළුවන්; අමාලි ලොකු ඉස්කෝල හාමිනේ යෝජනා කළාය. සතියේ සිකුරාදා දින හය ග්‍රේණියෙන් ඉහළ දරුවන්ට කියවීම සඳහා පැයක පමණ කාලයක් ලබා දෙමු. නියෝජ්‍ය විදුහල්පති හා පුස්තකාලාධිපති ඩබ්ලිව්.ජි. කැළුම් තරංග ගුරුතුමා යෝජනා කළේය. එම යෝජනාවට ගුරුභවතුන්ගේ ද එකඟතාව හිමිවිය. පාසලේ සංවර්ධන සැලැස්මට ද කියවීම හා ක්‍රීඩාව යන සංකල්පය අපි ඇතුළත් කරලා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරමු... අමාලි ලොකු ඉස්කෝල හාමිනේ

විදුහල්පතිනී අමාලි එරංගි (වමේ) ආරාධිත අමුත්තන් උත්සව සභාවට කැඳවාගෙන එමින්

කීවාය. අමාලී ලොකු ඉස්කෝල හාමිනේ පාසලේ මුල්පුටුවට පත්වීමත් සමඟ පාසල තුළ කියැවීමේ පැයක් වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. ‘කියැවීමේ පැයක්‘ වැඩසටහන ආරම්භ වීමට පළමුව පන්ති භාර ගුරුභවතුන් පුස්තකාලයට ගොස් දරුවන් සඳහා කියවීමට දිය යුතු පොත් තෝරා ගනිති. ඉන්පසු කියැවීමේ පැය තුළ එම පොත් දරුවන්ට බෙදා දෙති. පැයක කාලයක් තුළ ලබා දුන් පොත කියවීමට නොහැකි වුවහොත් ඊළඟ සතියේ කියැවීමේ පැයේ දී එම පොත කියවා අවසන් කිරීමට දරුවන්ට අවස්ථාව ලැබේ. පාසල් දරුවන් විසින් පොත කියවා අවසන් වීමෙන් පසු ඒ පිළිබඳ සාරාංශයක් ද සකස් කොට පන්තිභාර ගුරුතුමාට ලබාදිය යුතුය. කියවීමට දැඩි ඇල්මක් නොදක්වන දරුවන් මෙකී වැඩසටහන ආරම්භයේ දි ඒ සඳහා සම්බන්ධ වූයේ දැඩි කැමැත්තකින් නොවේ. මේ වනවිට උඩමලල මහා විද්‍යාලයේ පාසල් දරුවන් අතර කියැවීමේ පැය ඉතා ආකර්ෂණීය තත්ත්වයට පත්ව ඇත. දරුවන් ඉතා ඕනෑකමින් මෙකි ව්‍යාපෘතියට එක්ව සිටිති.

අමාලි ලොකු ඉස්කෝල හාමිනේ මුල්ගුරු පුටුවට පත්වීමට පෙර පාසලේ බාහිර ක්‍රියාකාරකම් ඉතා පහත් මට්ටමකට පත්ව තිබුණි. එපමණක් නොව ක්‍රීඩා කටයුතු ද පැවතියේ ඉතා පහළ මට්ටමක වන අතර; කියවීමට අමතරව පාසල් දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍යය වැඩිදියුණු කිරිම සඳහාද වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි. කර්කශ දේශගුණික කලාපයක පිහිටි මෙකී පාසලේ දරු දැරියන් ජව සම්පන්න දරුවන් වූහ. ජානවලින්ම දරුවන්ට ජව සම්පන්න බව උරුමවී තිබුණි. එහෙත් ඒ සඳහා නිසිමඟ පෙන්වීමක් ලැබී නොතිබුණි. ඒ අනුව පාසලේ ගුරුභවතුන්ගේ හා දෙමවුපියන්ගේ ආධාර උපකාර මත පාපන්දු හා අත්පන්දු කණ්ඩායමක් ආරම්භ කිරිමට කටයුතු කරනු ලැබීය. දරුවන්ට පාපන්දු පුහුණු කිරීම සඳහා ගමේ තරුණයෙක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් විය.

කියවීම හා ක්‍රීඩාව යන සංකල්පය පාසල තුළ ක්‍රියාත්මක වෙමින් තිබියදී මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට සබුද්ධි පදනම ද ඉදිරිපත් විය. සබුද්ධි පදනම මඟින් පොත්ගුල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මෙකී පාසල තෝරාගනු ලැබිය. ඒ විතරක් නොව පාසලේ දරුවන් 100 දෙනෙකු සඳහා පොත් කට්ටල් බෙදා දිමටද කටයුතු කරනු ලැබීය.

පාසලට පොත් කට්ටල ලබාදෙමින්

‘ඇත්තටම පාසල් දරුවන්ගෙන් වැඩි පිරිසක් ජංගම දුරකථන ඇතුළු තාක්ෂණික මෙවලම් සමඟ තමයි ගනුදෙනු කරන්නේ. විෂය කරුණු වලට අදාළව පොත්පත් පරිහරණය කළත් අමතර පොත්පත් කියවන්නේ නැහැ. ඒ නිසා මේ පාසල තුළ කියැවීම හා ක්‍රීඩාව යන සංකල්පය අරමුණු කරගෙන ව්‍යාපෘතියක් ආරම්භ කළා. නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිතුමාගෙත් මෙවැනි වැඩසටහනක් තියෙනවා. අපි මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුරේදි සබුද්ධි පදනම අපිත් සමඟ සම්බන්ධ වෙනවා. අපේ අරමුණ හා ඒ පදනමේ අරමුණ එක සමානයි. සබුද්ධි පදනම මඟින් අපේ පාසලේ දරුවන් 100 දෙනෙකුට පොත් බෙදා දුන්නා.

ඒ විතරක් නෙවෙයි; ඒ පදනමේ සමාරම්භක වැඩසටහන පැවැත්වීමට තෝරා ගත්තේත් අපේ පාසල. ඇත්තටම ඒ සඳහා මැදිහත් වෙලා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කරලා දුන්නේ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු. සබුද්ධි පදනම මඟින් ක්‍රීඩාව සම්බන්ධයෙන් ලියැවුණු පොත්පත් තමයි අපිට ලබා දුන්නේ. සමාරම්භක උත්සවයේදි ‘කියවීම තුළින් පෞරුෂය වඩවමු‘ පිළිබඳ දේශනයක් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සේපාල ගුණවර්ධන විසින් සිදු කළා. ‘ක්‍රීඩාවට හිත යවමු‘ යන මෑයෙන් දේශනයක් වෛද්‍ය ලාල් ඒකනායක විසින් සිදු කළා. ‘පොතක් නිවැරදිව කියවමු‘ යන තේමාව යටතේ දේශනයක් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂක මිහිර අරවින්ද විසින් සිදු කළා. මෙකී පදනමේ විධායක අධ්‍යක්ෂ සිරිනාම රාජපක්ෂ, සභාපති තමිර මංජු යන අය ද මෙහිදී සිහිපත් කළ යුතුයි.

සබුද්ධි පදනම මඟින් ලබා දුන් පොත් 100 සෑම දරුවකුට කියවන්න පුළුවන් ආකාරයට ක්‍රමයක් අපි සකස්කොට තියෙනවා.

එක පොතක් ආරම්භක ළමයාගේ සිට රෝටරි ක්‍රමයට කියවලා යළි ඔහුට ලැබෙන පරිදි ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේ දි මේ තුළින් දරුවන්ගේ නිර්මාණ ශක්තිය වැඩි දියුණු කිරිමට ද අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මෙකී වැඩ සටහන සඳහා නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන චමිලා තුෂාරි, ඩබ්ලිව්.ජි. කැළුම් තරංග ,පාසලේ ගුරුභවතුන් සියලු දෙනා සහයෝගය ලබා දෙනවා යැයි විදුහල්පතිනි අමාලි එරංගිකා පැවසීය.

හම්බන්තොට උඩමලල පාසල වූ කලි හම්බන්තොට නගරසභා බල ප්‍රදේශය තුළ පිහිටි අඩු පහසුකම් සහිත පාසලකි. මෙකී පාසලේ දරු දැරියන් 500කට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන අතර ගුරුභවතුන්ගේ සංඛ්‍යාව 30 දෙනෙකි. කියවීම හා ක්‍රීඩාව යන සංකල්පය පාසල තුළ ආරම්භ කිරිමත් සමඟ මෙකී පාසලට ඇතුළත් වීම සඳහා දරුවන් අතර තරගයක්ද නිර්මාණය වී තිබේ. පාසලේ නියෝජ්‍ය විදුහල්පති හා පුස්තකාලාධිපති ඩබ්ලිව්.ජි. කැළුම් තරංග ගුරුතුමා ද පාසල තුළ ක්‍රියාත්මක වන මෙකී වැඩසටහන ගැන විස්තර කළේය.

“මේ පාසලේ දරුවන්ට මේ ව්‍යාපෘතිය ආරම්භ කිරිමට පෙර පොත පත ගැන එතරම් ඇගයිමක් තිබුණේ නැහැ. පුස්තකාලයෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ. පුස්තකාලයෙන් පොතක් රැගෙන ගියවිට එක ගෙන්වා ගැනීම සඳහා විශාල වෙහෙසක් දැරිමට සිදු වුණා. අපේ පාසලේ පුස්තකාලයේ පොත් 2300ක් විතර තියෙනවා. පරිවර්තන පොත් අඩුයි.

දරුවන් කියවීමට ඇදබැඳ ගන්න පොත් අඩුයි. පුස්තකාලයේ පහසුකම් ප්‍රමාණවත් නැහැ. එක මේසයක් හා පුටු 06ක් විතර තමයි තියෙන්නේ. ඇත්තටම අපේ අරමුණ වුණේ පොත් කියවීමට උනන්දුවක් නැති දරුවන් ඒ සඳහා යොමු කිරිමයි.

පොත ගැන හිතන දේ දරුවන්ට කියන්න දෙනවා. ඉදිරියේ දි අපි හොඳම පොත් කියවන දරුවන් වෙනුවෙන් ත්‍යාගයක් ලබාදීමට සැලසුම් කරලා තියෙනවා. පාසලේ පහසුකම් අඩුයි. ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. පාසලට දෙමහල් ගොඩනැගිල්ලක් ලබාදෙන්න කියලා දේශපාලන අධිකාරිය දැනුම්වත් කරලා තියෙනවා. ක්‍රිඩා පිටිය සංවර්ධනය කළ යුතු වෙනවා. ඇත්තටම අපේ පාසල කෙරෙහි කොයි කාගෙත් අවධානය දැන් යොමුවෙලා තියෙනවා යැයි ඩබ්ලිව්.ජි. කැළුම් තරංග ගුරුතුමා කීවේය.

‘කියවීම’ ජීවිත සාර්ථකත්වයට බෙහෙවින් රුකුල් දෙන්නක් බවට ලෝකය ම විශ්වාස කරන බවක් පෙනේ. සැබවින්ම හම්බන්තොට උඩමලල පාසලෙන් අනික් පාසල්වලට ලබා දී ඇත්තේ ආදර්ශයකි. සැබවින්ම මෙය හරි අපුරු සංකල්පයකි. කියවිමේ පැයේ දි පාසල් දරුවන් ඒ සඳහා සමවැදී සිටින අයුරු බලන්නට ලස්සනය.

Comments