
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අගය විශාල ලෙස උච්චාවචනයට බඳුන්වීම වළක්වාලමින් විනිමය අනුපාත ස්ථාවර මට්ටමක රඳවා තබාගැනීම ප්‍රඥා ගෝචර ක්‍රියාවලියකි. මෙහිදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ විනිමය අනුපාත දැඩිව අධීක්ෂණය කරමින් ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස තම මුදල් ඒකකය පවත්වාගෙන යාමට වෙරදරයි.
මෙලෙස ශ්‍රී ලංකා රුපියලෙහි අගය අවප්‍රමාණය වීමට බලපාන සාධක පිළිබඳව අවධානය යොමුකොට ඉන් මිදීමට අවශ්‍ය බාහිර සහයෝගයන් ලබාගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනු ලැබේ. එවැනි සහයෝගයක් ශ්‍රී ලංකාවට මීට මාස 6කට ප්‍රථම ඉන්දියානු මහ බැංකුවෙන් ලැබිණි. එනම් මාස 03කින් ආපසු ගෙවීමට සැලසුම් කළ අමෙරිකානු ඩොලර් මිලියන 400ක විදේශ මුදලක් ලබාදීමය. එය නියමිත පරිදි තුන්මසකින් පසු ගෙවා නොදමා නැවත වතාවක් මාස 3කට එම ගෙවීම දීර්ඝ කරගන්නා ලද ශ්‍රී ලංකාව එම දීර්ඝ කරගැනීමට අනුවම එය නිමවූ පසු ඉන්දියාවට නියමිත පරිදි පොලිය සහ මුදල ගෙවා අවසන් කළේ කීර්තිමත් ඉතිහාසය හා බැඳුණු විශ්වාසය ජාත්‍යන්තරව නැවත වතාවක් සනිටුහන් කරමිනි.
ශ්‍රී ලංකාව නිදහසින් පසු ඉතිහාසයේ කිසිම රටකට හෝ විදේශීය ආයතනයකට ගෙවිය යුතු ණය සඳහා වන පොලිය සහ වාරික නිසි පරිද්දෙන්ම ආපසු ගෙවා දමන රටකි. මේ නිසාම ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාව කෙරෙහි විශාල කීර්තියක් හා විශ්වාසයක් ගොඩනැඟී ඇත. එය වඩාත් තීව්‍ර වූයේ ඉකුත්දා ඉන්දියාවට ගෙවූ ඩොලර් මිලියන 400ක මුදල නියමිත පරිදි ගෙවා දැමීම නිසාය.
ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු ආයෝජකයකුට ලබාදීමට කටයුතු නොකොට ඒ වෙනුවට බටහිර ජැටිය සංවර්ධනය කිරීමට වැඩි හිමිකාරීත්වයක් යටතේ ඔවුන්ට පැවරීමට යන බවට මතයක් රටේ ගොඩනැඟී තිබේ. එනමුත් මෙම වරායේ ගනුදෙනුව සහ විදේශ විනිමය ශක්තිමත්ව පවත්වා ගැනීමේ වැඩපිළිවෙළ අතර කිසිඳු සහසම්බන්ධතාවයක් නැතැයි අමුතුවෙන් කිව යුතු නොවේ යැයි මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කළේය.
මෙම එකිනෙකට සමපාත නොවන සිද්ධි 2ක් මුල්කරගෙන කරුණු දැන හෝ නොදැන ඇතැම්දෙනා රජයට චෝදනා කරමින් සිටී. ඉන්දියානු සේවකයෝ සහ ඉන්දියානු රජය ශ්‍රී ලංකා රජය සමඟ අමනාපකමක් මතුකරගෙන ඇතැයි ඇතැමෙක් ප්‍රකාශ කරති. එනමුත් කරුණු හරිහැටි අධ්‍යයනය කර බැලීමේදී මෙම කරුණු 2ක අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව සක්සුදක් සේ පැහැදිලිව දක්නට ලැබෙන බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි. එසේ නම් සිදුවූයේ කුමක්ද?
ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ලබාගත් එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක මුදල ආපසු ගෙවීමේ දිනය සම්පූර්ණ වීමත් සමඟ එය නිසි පරිදි ගෙවා අවසන් කර දැමීමට මහ බැංකුව කටයුතු කළේය. මෙලෙස ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කළේ ඉන්දියානු රජයට නැඟෙනහිර ජැටිය සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලුව නිරාකරණය කර ගැනීමට කටයුතු කරමින් සිටියදීය. මේ නිසාම මේ සන්සිද්ධින් 2ක එකිනෙකට ගළපා ගැනීමට ඇතැම් දෙනා විවේචන හා විවිධ අර්ථකථනයන් දීමට උත්සාහ කළද ඒවා සියල්ල සත්‍යයෙන් සහ බොරු අවලාදවලින් පිරි ඒවා බව පසක් කර දිය යුතුය. ඒ සම්බන්ධයෙන් රජය විවේචකයන්ට කරුණු කීමට හෝ පිළිතුරු ලබාදීමට ඉදිරිපත් වන්නේ නැත. අප නිවැරැදි දේ සිදුකරමින් කොතරම් අසීරු, අමාරු අභියෝග මැද පවා මෙරට ආර්ථිකය මනාව හසුරුවාලීමට හැකි කළමනාකරණ ක්‍රමවේද ඔස්සේ ඉදිරියට රැගෙන යාමට පමණක් මුල්තැන දී ක්‍රියාකරන බව අවධාරණය කිරීමට කැමැත්තෙමි.
මුදල් අමාත්‍යාංශයේ සහ මහ භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කළේ විදේශ විනිමයේ අගය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය නම් ඉන්දියාවෙන් පමණක් නොව චීනයෙන් වුව විදේශ සංචිත ගෙන්වා ගැනීමට පසුබට නොවන බවය. එලෙස ඉදිරියේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 2.5ක මුදලක් ලබාගැනීමට ද දැනටමත් පියවර ගනිමින් සිටින බව ද ආටිගල මහතා පෙන්වා දුන්නේය.
මේ අන්දමට ශ්‍රී ලංකා රුපියලේ අගය ආරක්ෂා කරගැනීමට ආරක්ෂක වැඩපිළිවෙළ සිදුකරන අතර ඇතැමෙකු සෑම දෙයටම දේශපාලනය ඈදා ගැනීමට සහ පක්ෂ, පාට කණ්ණාඩිවලින් බලා විවේචන ඉදිරිපත් කිරීමට පියවරගෙන තිබීම පිළිබඳව බුද්ධිමත් ජනතාව තීරණයක් ගනු ඇති බව තම විශ්වාසය යැයි ද ආටිගල මහතා අවධාරණය කළේය.
මෑතකදී මහ බැංකුව ඉන්දියාවට බේරුම් කළ ඩොලර් මිලියන 400ක කතාව පිළිබඳව මෙලෙස සමාජයේ විවිධ කතාබස් පැතිර ඇති මොහොතක එහි ආර්ථික වටිනාකම කුමනාකාරයේ බලපෑමක් සිදුකරන්නේදැයි විමසා බැලීමට අප ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂ ප්‍රවීණ ආර්ථික විශේලේෂක වින්සන් මර්වින් ප්‍රනාන්දුගෙන් විමසීමක් කළෙමු.
එහිදී ඔහු දැක්වූයේ මෙවන් අදහසකි.
ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් නීති පනතේ 113 වැනි වගන්තියට අනුව රජයේ ණය කළමනාකරණය කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම ඉටුකිරීමට කටයුතු කරයි. ඒ අනුව මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තිබේ. මෙම දෙපාර්තමේන්තුව හරහා මූලික වූ ක්‍රියාකාරකම් 5ක් සිදුවේ. ඒවා නම්,
1. ආණ්ඩුවේ අයවැය ලේඛනයේ සඳහන් දළ ණයගැනීම් අවශ්‍යතාව සපුරා ගැනීමට අරමුදල් රැස්කර දීම.
2. නියමිත කාලය තුළ රජයේ ණය සේවාකරණ ගෙවීම් සිදු කිරීම.
3. රාජ්‍ය සුරැකුම්පත් ගනුදෙනු පියවීමේ පහසුකම් සුමටව සිදුකිරීම සඳහා ලංකා සෙක්‍යු (Lankasecure) පද්ධතිය මඟින් පහසුකම් සැලසීම.
4. මධ්‍යම තැන්පතු පද්ධතියේ (CDS)රාජ්‍ය සුරැකුම්පත් ලේඛනය පවත්වාගෙන යාම.
5. අවදානම් කළමනාකරණය සඳහා ණය සංයුතියේ සිදුවන වෙනස්වීම් පිළිබඳ විශ්ලේෂණාත්මක කටයුතුවල නියැළීම.
මෙම ක්‍රියාදාමයන්ට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව තවත් සුවිශේෂී කටයුත්තක් සිදු කළේය. එනම්, මෑතකදී ඉන්දියානු මහ බැංකුවෙන් ලබාගත් ඩොලර් මිලියන 400ක ගනුදෙනුව රාජ්‍ය ණය පිළිබඳ ගනුදෙනුවකට වඩා වැදගත්කොට සලකන 'SWAP' ගනුදෙනු විශේෂයක් සිදුකිරීමය. මෙය අන්තර්ජාතික ණය උපකරණයකි. එමෙන්ම එය කෙටිකාලීන ගනුදෙනු විශේෂයකි. එම ගනුදෙනුව කල්පිරෙන විට පියවා දැමීම කළ යුතුයි.
මෙහිදී සිදුවූයේ මාස 3කට ලබාගත් එම SWAP ගනුදෙනුව කල්පිරීමේ කාලය සම්පූර්ණ වූ නිසා මහ බැංකුව රජය වෙනුවෙන් ඉන්දියාවට ගෙවා දැමීමය. එය හා නැඟෙනහිර ජැටිය අතර කිසිම සම්බන්ධයක් නැත. අවශ්‍ය නම් යළිත් එවැනිම SWAP ගනුදෙනුවක් ඉන්දියාව සමඟ කරගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබේ.
පුද්ගලයකු හෝ වේවා, රටක් හෝ වේවා තමන් ලබාගත් ණය මුදලක් නිසි ලෙස ආපසු ගෙවූ විට නැවත ණය මුදල් ලබාගැනීමේදී එය ධනාත්මක තත්ත්වයක් ඇතිකරන්නක් වේ. සරලව කිවහොත් තමා ලබාගත් ණය නිසි පරිදි ගෙවන්නේ නම් එය යහපත් ලක්ෂණයකි. මූල්‍ය විනය සහ මූල්‍ය විශ්වාසනීයත්වය පිළිබිඹු කරන සන්සිද්ධියක් වනු ඇත. එහිදී ණය මුදල් ආපසු ගෙවීම නිසා රටේ විදේශ සංචිත අඩුවීම සිදුවිය හැක. එය ප්‍රශ්නයක් කරගත යුතු නොවේ.
ඒ මන්ද හොඳම ක්‍රියාව වනුයේ නිසි පරිදි ඕනෑම ණය මුදලක් ගෙවීම යහපත් කටයුත්තක් වන බැවිනි. එලෙස කටයුතු කිරීම තුළින් රටට ද, කීර්ති නාමයක් හිමිවේ. පුද්ගලයකුට වුවද එය එලෙසම කීර්ති නාමයක් ගෙනෙන්නක් වේ. ඒ නිසා ඉදිරියට තවදුරටත් ඕනෑම ගනුදෙනුවක් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාව මේ තුළින් උදා වී ඇත. එලෙස ණය ලැබීම ඔස්සේ යළිත් විදේශ සංචිත ශක්තිමත් වීම සිදුවේ.
එමෙන්ම විදේශ විනිමය අභියෝගයට ලක්වූ අවස්ථාවක එය සමනය කරගැනීමට ද ඉන් ඉඩ ප්‍රස්ථාවක් හිමිවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ නිසා මේ අවස්ථාවේ ඉන්දියාවට ඩොලර් මිලියන 400ක මුදල ගෙවීම සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් හෝ කලබලයක් හෝ ඇතිකරගත යුතු නොවේ.