
1980 වසරේ පැවැති රාජ්‍ය සේවා ලංකා වැඩ වර්ජනයේදී සේවය අහිමි වූ රාජ්‍ය සේවකයා මාධ්‍යවේදියකු ලෙස ඉදිරි කටයුතු පියවර තබනු ලැබීය. සහජයෙන්ම කවියකු මෙන්ම ලේඛකයකු, ගත් කතුවරයකු ලෙස හැකියාවක් තිබූ නමක් දිනාගනිමින් කාගේත් හද දිනූ වදාකඩ නවරත්ත වන ඔහු පසුගිය 8 වැනිදා සිය ජීවන ගමනට තිත තැබුවේය. වයඹ පළාතේ වදාකඩ හිරිපත්ඇල්ලේ විසූ ආර්.එම්. ඩිංගිරි බණ්ඩා හා ලීලාවතී විජේසුන්දර යුවළේ දරුවන් එකොළොස් දෙනාගේ පවුලේ දෙවැන්නා ලෙස නවරත්න උපන්නේ 1948 මැයි 19 වැනිදාය.
ගමේ පාසලෙන් අකුරු කළ නවරත්න 1972දී මහාමාර්ග දෙපාර්තමේන්තුවේ ආනමඩුව කාර්යාලයේ වැඩ පරීක්ෂකවරයෙකු ලෙස පත්වීමක් ලබාගත්තේය. ඔහු ඉඩ ලද අවස්ථාවන්හි ගමේ ඇවිදින්නට ඔහු ගියේය.
උරුමවූ හැකියාව නිසා කවියෙන් අයිරින් තරුණියගේ ආදරය ජය ගන්නට ඔහු සමත් විය.
අයිරින් ධවල පුෂ්පා වූ ඇගේ ආදරණීය නාමය රමණී විය. 1973 ජනවාරි 23 වැනිදා මේ යුවළ අතිනත ගත්තේ කොට්ටුකච්චිය මැල්ලන්කුලමේදීය. ඔවුන්ට දරුවන් සිවු දෙනෙකි.
මේ අතර 1980 වැඩ වර්ජනය ආවේය. දැඩි වාමාංශික අදහස් දැරූ නවරත්න ඊට එක්වූයේ දෙවරක් නොසිතමිනි. ප්‍රතිඵලය නොසිතූවක් වූයේය. රැකියාව අහිමිවුවත් ඔහු සිතින් කඩා වැටුණේ නැත.
![]() |
වදාකඩ නවරත්නයන්ගේ දේහයට ගෞරව දක්වන පවුලේ සාමාජිකයින් |
තමන්ගේ දේශපාලන අදහස් ක්‍රියාවට නංවමින් ජනතාව දැනුම්වත් කරන්නට පටන්ගත් නවරත්තයන් මහජන පක්ෂයේ ආනමඩුව ආසන සංවිධායකවරයෙකු ලෙස පත්වීම් ලැබුයේ මේ අතරය. දේවබණ්ඩාර සේනාරත්නයන් සමඟ ආනමඩුවේ ඔහු නොගිය නිවසක් නොවීය. දේශපාලන කටයුතු කරන අතරේ දරුමල්ලන් රැකීමේ වෑයම ඔහු කිසිවිටෙක අත් නොහළේය.
ගොවිතැනේ යෙදුණේ ඒ නිසාමය. වැසි සමයට ගංවතුර ගලා යද්දී ඔහු මී ඔයේ ජලකඳ තරණය කරමින් ගොවිතැන් කටයුතුවල යෙදුණු හැටි බිරිය රමණී කියන්නේ තම සැමියා යුතුකම් ඉටු කරන්නට ගත් වෙහෙස සිහිපත් කරමිනි.
වසර හයකට ආසන්න කාලයක් මේ ආකාරයට ජීවන ගමනේ යෙදුණු නවරත්න රමණි යුවළ දරු සිවු දෙනා සමඟ ගමෙන් පියමං කළේ එන හැටියකට මුහුණ දෙන්නටය. ගමන නතරවූයේ දාරළුව පෙදෙසිනි.
ඔහු දිනකර පුවත්පතේ සේවයට එක්වෙමින් මාධ්‍ය ජීවිතයට පිවිසියේය. කලක් එහි සේවය කළ හෙතෙම ලංකාදීපට එක්වූයේය.
එතැනින්ද ගමන නතර වූයේ නැත. සත්දින, මැදපෙරදිග, සටන, ඇස, ලක්දිව, ත්‍රී ශුලය, තරණය, රාජාලියා, යන පුවත්පත්වල සේවය කරන අතරේ ‘සත්දින' පුවත්පතේ කර්තෘවරයා ලෙස ද කලක් සේවය කළේය. රාජාලියා පුවත්පතේ නොනිල කතුවරයා වූයේද ඔහුය. උපතින්ම හපන්කම් දැක්වූ කවි කලාව ඉදිරියට ෙගන යමින් කවි පුවත්පතේ කතුවරයා ලෙස කාව්‍යකරණයට ලබාදුන් පිටිවහල ඉමහත්ය.
මේ අතර මේ කැදැල්ලට තවත් සාමාජිකයෙක් එක්වූයේය. මේ දරු පිරිස ගීතිකා සරස්වතී , ගීත් චින්තක , ගීත් ක්‍රිෂ්ණ , ගිතාංජනී සුරංගිකා , තුලසි බණ්ඩාර ලෙස නම් කෙරිනි.
1989 භීෂණ සමයේ සිදුවූ ක්‍රියාදාමයන්ට එරෙහිව ඔහු නිර්භයව පෑන මෙහෙයවූයේය. කලක් තාවකාලික නිවහන්හි ගතකළ
නවරත්නයන් 1992 වනවිට මීරිගම විජය රජදහන සිය ස්ථිර වාසභවනය කරගත්තේය.
ඔහු ඉරිදා පුවත්පතේ සේවය කරන අතර අවස්ථා ගණනාවකදීම යුද පුවත් වාර්තාකරණයට ගියේ යුද බිමේ බිහිසුණු බව අමතක කරමිනි.
තෙවැනි නැඟිටීම, වවුල්කැලේ තීන්දුව, වැල්ලේ ලේ මල්, භීෂණයේ දිනපොත, වමේ වේදිකාවේ වෙඩි උණ්ඩය, නවකතා පාඨක ලොවට ඔහු උරුම කළේ තමන්ගෙන් සමාජයට විය යුතු වගකීමක් ඉටු කරන්නටය එක්සත් ජාතීන්ගේ සහන කවි සම්මේලනයේ සභාපතිවරයා ලෙසත් තම්මැන්නා කවි සමාජයේ අනුශාසකවරයා ලෙසත් ඔහු කළ සේවය අපමණය. උපතින්ම ගෙනා කවි හැකියාව ඔප් නංවන්නට පී.බී. අල්විස් පෙරේරා, ඉන්ද්‍රා කුමාරනායක, මිල්ටන් කුමාරනායක, කවිකිවිඳියන්ගෙන් ලත් ආභාසය ඔහු නිතර මෙනෙහි කළේ හදබැතියෙනි.
නවරත්නයන්ගේ කලා හැකියාවන් නිසාම 2019 දී කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීම ඔහුගේ ජීවිතයේ අමරණීය සන්ධිස්ථානයකි. මෑතක් වන තුරුම පුවත්පත් හා බැදුණු දිවියක් ගතකළ මේ සත්පුරුෂයා කෙටි කලක් නිවහනට වී ගත කළේය. කවිසිතට පණ පෙවූ නවරත්නයෝ ආදරණීය ජනයාගෙන් සමුගෙන ගියේ 10 වැනිදා පස්වරුවේය.