
ඉදි කළ අලි වැටේ ගුණාත්මභාවය පිළිබඳ ගැටලු
ආහාර සැපයීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 66ක් මුදලක් වැඩිපුර ගෙවලා
අලි රැළේ නායකයා ඇතින්නකි. අලි රංචුවක රැඳී සිටීමට හොඳින් වැඩුණු නාඹර වියේ පසුවන පිරිමි සතුන්ට ඉඩක් නැත. අලි පවුලක සිටිය හැක්කේ වැඩුණු ගැහැනු සතුන් හා ගැහැනු පිරිමි පැටවුන්ට පමණි. මේ නිසා අලි පවුලක පිරිමි සතුන් වයස අවුරුදු නමය දහය වෙද්දි අලි රංචුව අත්හැර යති. එසේ නොගියහොත් අලි පවුලේ වැඩිමහලු ඇතින්නියන්ගෙන් විසුමක් නැත. වැඩිමහලු ඇතින්නියන් විසින් එම පිරිමි සතුන් රැළෙන් පන්නා දමති. එසේ පන්නා දමන අලි; තනි අලියා නැතහොත් තනි පිරිමි අලියා ලෙස හඳුන්වයි. තනි අලියා ප්‍රචණ්ඩකාරිය.
2011 වර්ෂයේ දි කරනු ලැබු අලි සංගණනයට අනුව ලංකාව පුරා කරණු ලැබු නිරික්ෂණයන්ගෙන් සියයට 32.1ක් තනි අලි වේ. මෙරට වන අලි ගහනය අවම වශයෙන් 5879ක් වන අතර ඉන් තනි අලින් සංඛ්‍යාව 1887කි. අලි මිනිස් ගැටුම මේ වනවිට බරපතළ සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේය. අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මිනිස් ජිවිත හැට හෑත්තෑවක් පමණ අහිමි වෙති. එමෙන්ම වන අලින්ගේ ජිවිත ද 200ක් 300ක් අතර සංඛ්‍යාවක් අහිමි වෙති. ශාරිරික හා නිල දේපළ හා වගා හානිද විශාල වශයෙන් සිදුවේ. 2019 වර්ෂයේ ඔක්තෝබර් මස 28 වැනිදින වනවිට අලි මරණ 368ක් වී ඇත. මිනිස් මරණ සංඛ්‍යාව 110කි. දේපළ හානි 993කි. ශාරිරික හානි 55කි.
මෙකි අලි මිනිස් ගැටුමට විසඳුමක් ලෙස ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන වන අලි අල්ලා විවිධ පළාත්වල ජාතික වනෝද්‍යාන වෙත මුදාහැරිමට කටයුතු කරනු ලැබීය. එහෙත් වන අලින් නැවතත් මුල් නිජබිම වෙත පැමිණ පෙර පරිදිම ජනතාවට පිඩාකාරි ලෙස හැසිරුණහ. මේ නිසා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන වන අලින් අල්ලා පුනරුත්ථාපනය කිරිම සඳහා අලි රැඳවුම් මධ්‍යස්ථාන 04ක් ඉදිකිරීමට 2012 වර්ෂයේ අයවැය යෝජනා මගින් ප්‍රතිපාදන වෙන්කොට තිබුණි. එහි පළමු අදියර ලෙස 2012 මාර්තු මස 17 වැනිදින දිනැති අංක 12/0151/549/001 දරන අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි අනුරාධපුර කලාපයේ හොරොව්පොතාන ප්‍රදේශයේ හෙක්ටයාර් 997ක භුමි භාගයක් තුළ වන අලි සංරක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට අනුමැතිය ලැබි තිබුණි. රුපියල් මිලියන 345ක් වැයකොට හොරොව්පොතාන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය ඉදිකළ අතර එය 2015 වර්ෂයේ දි විවෘත කරනු ලැබීය.
මේ අතර හොරොව්පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්යසාධනය සම්බන්දයෙන් ජාතික විගණන කාර්යාලය මඟින් විශේෂ විගණනයක් සිදුකරනු ලැබීය. ඒ අලි සංරක්ෂණ මධ්‍යස්ථානය ආරම්භ කිරිමෙන් වූ අරමුණු ඉෂ්ඨ වුවාද යන්න පිළිබද සොයා බැලීම සඳහාය. ව්‍යාපෘතිය ආරම්භ කිරිමට ප්‍රථම මින් පරිසරයට සිදුවන බලපෑම පිළිබඳ තක්සේරු කිරීම සඳහා පාරිසරික ඇගයීම් වාර්තාවක් සකස් කළ යුතුය. එහෙත් ඒ සම්බන්ධව කිසිදු ඇගයිමක් සිදුකොට නොතිබුණි. ප්‍රාථමික හා ද්විතික වනාන්තරවල වර්ග කිලෝමීටරයකට අලි දැරිය හැකි සංඛ්‍යාව 02කි. හෙක්ටයාර් 997ක වපසරියකින් යුතු මෙම රැඳවුම් මධ්‍යස්ථානය පිහිටි වනාන්තරය ද්විතියික ලක්ෂණවලින් යුතු වනාන්තරයකි. එහෙත් මෙම තත්ත්වය නොසලකා ප්‍රචණ්ඩකාරී අලි 30ක් වර්ග කිලෝමීටර් 9.97ක තුළ රැඳවීමට කටයුතු කර තිබූ බව ජාතික විගණන කාර්යාලව මගින් නිකුත්කොට ඇති වාර්තාවේ සඳහන් වේ. හොරොව්පොතාන ජාතික වනෝද්‍යානයෙන් සියයට 58ක් පමණ මෙම රැඳවුම් මධ්‍යස්ථානය සඳහා යොදා ගැනීම නිසා වනයේ ජිවත්වූ අනිකුත් සතුන්ට වාසභුමි අහිමිව ඇත. 2015 ව වර්ෂයේ සැප්තැම්බර් මස 04 දින සිට 2019 වර්ෂයේ ජුනි 25 වැනි දින කාලය තුළ මෙකී අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත ප්‍රචණ්ඩකාරි අලි 52 කු ඇතුළත් කර තිබුණි. ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවට අනුව ඉන් දැනට ඉතිරිව ඇත්තේ අලි 09 දෙනෙකු පමණි. 12 දෙනකු මියගොස් ඇති අතර ඉතිරි අලි 31 දෙනා එම ස්ථානයෙන් පැන ගියාද, මියගියාද යන්න පිළිබඳ තොරතුරු වනජිවි දේපාර්තමේන්තුව සතුව නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන්ව ඇත. රැඳවුම් මධ්‍යස්ථානයට ඇතුළත් කළ අලින්ගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල මට්ටමක තිබු අතර එම සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පසුවිපරමක් සිදුකොට නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
මෙකී රැඳවුම් මධ්‍යස්ථානය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වුයේ දේපළ ජිවිත හා වගා හානිකරන අලින් අල්ලා දැමීම තුළින් අලි මිනිස් ගැටුම අවම කිරීමය. එහෙත් එම අරමුණට පටහැනිව සත්වෝද්‍යානයට අයත් අලින් දෙදෙනෙකු මෙකී මධ්‍යස්ථානයට මුදා හැරීමට කටයුතු කර තිබුණි. එම අලින් දෙදෙනා අලි සංරක්ෂණ මධ්‍යස්ථානයට ඇතුළත් කරනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවී තිබේ. කෙසේවුවද ප්‍රමාණවත් ආහාර නොලැබීම නිසා 2016 වර්ෂයේ දී ජයතු නම් අලියා මියගොස් තිබූ අතර මරණ පරික්ෂණ වාර්තාවේ සඳහන්ව ඇත. අනික් අලියා මියගියාද නැතහොත් ජිවත්ව සිටිද යන්න පිළිබඳ තොරතුරු දේපාර්තමේන්තුව සතුව නොවිය.
අලි රැඳවුම් මධ්‍යස්ථානය වටා කිලෝමිටර් 16කින් යුතු විදුලි වැටක් ඉදිකිරිම සඳහා රුපියල් මිලියන 159.48ක් වැය කොට ඇති අතර එහි ගුණාත්මක භාවය පිළිබද ගැටලුවක් පැවති බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. රුපියල්. 3,312,778 වියදමක් දරා ජලධාරිතාව ලීටර් 20000කින් යුතු පොකුණු 05ක් සහ ජල ධාරිතාවය ලීටර්2000ක් වූ පොකුණු 04ක් 2018 හා 2019 වර්ෂවලදි ඉදිකොට ඇත. ඉදිකරනු ලැබු පොකුණු හා දිය වළවල් සඳහා ජලය පිටතින් ගෙනවිත් පිරවිය යුතුය. හොරොව්පොතාන ජාතික උද්‍යාන කාර්යාලයට ජල බවුසරයක් නොමැතිවම හා මෙම ප්‍රදේශවල ජල හිගකම නිසා ජල පොකුණු හා දිය වළවල් සඳහා ජලය සැපයීමට නොහැකිවී තිබූ බවද විගණනයේ දි අනාවරණය වී ඇත.
සාමාන්‍යයෙන් වැඩුණු අලියකුගේ දෛනික ආහාර අවශ්‍යතාව කිලෝග්‍රෑම් 300ක් වන අතර පැය 17ක් පමණ කාලයක් ආහාර ගැනිමට ගතකරනු ලබයි. සතුන්ට ආහාර ලබාදීමේ දී එම සත්වයාගේ දෛනික ආහාර අවශ්‍යතාව වන කිලෝග්‍රැම් 300ට අමතරව කිලෝග්‍රෑම් 100ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් ලබාදිය යුතු වේ. මෙකී අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ වන අලි 30ක් පමණ රඳවා තබාගතහොත් දිනක ආහාර අවශ්‍යතාව කිලෝග්‍රෑම් 12000ක් පමණ වේ. මෙකී රැඳවුම් මධ්‍යස්ථානය පිහිටි වනාන්තරය ද්විතික ලක්ෂණවලින් යුතු වනාන්තරයකි. මේ නිසා එම ආහාර ප්‍රමාණය රැඳවුම් මධ්‍යස්ථානය ඇතුළත පිහිටි ශාඛවලින් ලබාගත නොහැකිය.
2018 නොවැම්බර්මස 01 දින සිට 2019 ඔක්තොබර් 31 වැනිදින දක්වා කාලය තුළ රැඳවුම් මධ්‍යස්ථානයේ අලි 30 දෙනෙකු සඳහා දෛනිකව කොස්කොළ මිශ්‍ර කොළ හා වට්ටක්කා කිලෝග්‍රෑම් 2800 බැගින් සැපයිම සඳහා රුපියල්. 26,133,700 ක කොන්ත්‍රාත්තුවක් පිරිනමා තිබුණි. එහෙත් මේ පිළිබඳ සිදුකළ භෞතික පරික්ෂාවේ දී කොළ අතු ආහාරයට නොගැනීම හේතුවෙන් විශාල කොළ අතු ප්‍රමාණයක් ඉතිරිවී ෙව්. ගොස් තිබුණි. බාහිරින් සපයන ආහාර පිළිබඳ ප්‍රමාණවත් අධික්ෂණයක් සිදුකර නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් කොට ඇත.
හොරෝව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට 2019 වර්ෂයේ ජුලි මස සිදුකරනු ලැබූ අලි සංගණනයට අනුව මෙම මධ්‍යස්ථානයේ සිටින අලි සංඛ්‍යාව 09ක් වුවද අලින් 30 දෙනෙකු සඳහා අහාර සපයා තිබූ ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ. 2019 වර්ෂයේ අගෝස්තු මස 01වැනි දින සිට ඔක්තෝබර් මස 31 වැනි දින දක්වා කාලය තුළ වැඩිපුර අලි 21 දෙනෙකුට ආහාර සැපයීම වෙනුවෙන් රුපියල්. 6,559,245 මුදලක් කොන්ත්‍රාත්කරුට ගෙවා ඇති බව ද විගණන වාර්තාවේ දැක්වේ.
එමෙන්ම බාහිරින් සපයන අහාර ද්‍රව්‍යවල බර කිරීම සඳහා අවශ්‍ය උපකරණ හොරව්පතාන වනජිවි කාර්යාලයේ නොතිබූ අතර ඒ සඳහා පුද්ගලික සහල් මෝලක තරාදිය භාවිත කොට තිබුණි. ආහාරවල බර කිරීම සඳහා අධීක්ෂණ නිලධාරියකු රඳවා නොතිබූ බැවින් ආහර ද්‍රව්‍යවල බර නිවැරදි දැයි තහවුරු කරගැනීමකින් තොරව ගෙවිම් කොට ඇති බව ද විගණනයේ දී අනාවරණය වී ඇත. එමෙන් අහාර සැපයීම සම්බන්ධ ගිවිසුමේ සියඹලා කොළ සැපයිය යුතු බව සඳහන් වුව ද සියඹලා කොළ අලි ආහාරයට නොගන්නා බව අනාවරණ වි ඇති බව ද විගණන වාර්තාවේ දැක්වේ. එමෙන්ම මෙකී මධ්‍යස්ථානයට ඇතුළත් කළ අලින්ගෙන් 12 දෙනෙකු මියගොස් තිබු අතර ඉන් අලි 05 දෙනෙකු මියගොස් ඇත්තේ ප්‍රමාණවත් ආහාර නොමැතිවීම හා මන්දපෝෂණය හේතුවෙන් බවට නිරීක්ෂණය වී ඇති බව ද විගණන වාර්තාවේ දැක්වේ. අලියා සංක්‍රමණික සත්වයෙක් වන අතර දිනකට කිලෝමිටර් 20ක් 25ක් දුර ගමන් කරයි. විශේෂයෙන්ම වනගත පිරිමි අලින් මඳ කිපෙන කාලයේ දී වර්ග කිලෝමීටර් 600ක පමණ පුළුල් ප්‍රදේශයක ගමන් කරයි. හෙක්ටයාර් 997ක්වු වපසරියකින් යුතු රැඳවුම් මධ්‍යස්ථානයක් තුළට මෙම අලින් කොටුකර තැබීමෙන් නිදහසේ ජිවත්වීමට අවශ්‍ය පරිසරය අහිමිවි තිබු බවද විගණන වාර්තාවේ දැක්වේ.
වන අලි සුරක්ෂිතව ජිවත්වෙනවාද යන්න සොයා බැලීම සඳහා අනතුරට පත්වුවහොත් සොයාගැනීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදය වන්නේ කරපටි පැලඳ විමයි. එහෙත් හොරොව්පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ කරපටි පැලඳවීම සිදු කර තිබුණේ අලි තිදෙනෙකුගේ පමණි. මේ නිසා රැඳවුම් මධ්‍යස්ථානයට ඇතුළත්කර තිබු අනිකුත් අලින් 49 දෙනාගේ හැසිරිම් රටා අධ්‍යයනය කිරීමට සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කර නොතිබුණි.
ඒ විතරක් නොව රැඳවුම් මධ්‍යස්ථානයට ඇතුළත් කරනු ලැබු අලි 51 දෙනාගෙන් 15 දෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළත් කරන අවස්ථාවේ දුර්වල මට්ටමක තිබී ඇත. එහෙත් එම අලි සම්බන්ධයෙන් කිසිදු පසුවිපරමක් සිදුකොට නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එමෙන්ම රැඳවුම් මධ්‍යස්ථානයට ඇතුළත් කළ අලි 51 දෙනාගේ ආහාර අවශ්‍යතා සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන් සොයා බැලීමට විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දී නොතිබුණි. අලි රැඳවුම් මධ්‍යස්ථානයේ කළමණාකරණය කිරීමේ කාර්ය නිසිපරිදි සිදුකොට නොතිබූ බවට නිරික්ෂණය වූ බවද විගණන වාර්තාවේ දැක්වේ.
වන අලි සංගණනයට අනුව වන අලින්ගෙන් සියයට 67.2ක් වනජිවි රක්ෂිත කලාප වල ද, සියයට 27.8ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත වලද, සියයට 3.2ක් ස්වාධීනව විසිරී ඇති වන ළැහැබ වලද සැරිසරති. අලි මිනිස් ගැටුමට සෘජු ලෙස සම්බන්ධ වන්නේ විසිරී ඇති වන ළැහැබ්වල සැරිසරන අලින් බව වන ජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්වාසයයි.