
- සංචාරක ගැටලුවට ප්‍රසන්නගෙන් විසඳුම්
- අගරදගුරුතුමාගෙන් ආණ්ඩුවට රතු එළියක්
- සුහද හමුවට පැමිණි කතුවරුන්ට සජිත්ගෙන් පිඟන්
- කොරෝනා අවසන් කටයුතු ගැටලුව පවිත්‍රා විසඳයි
- ඉන්දීය එන්නත ලංකාවට දීම ගැන රනිල්ගෙන් පැසසුම්
දේශපාලන කරලියේ මෙන් ම සමාජීය වශයෙන් ආන්දෝලනාත්මක වූ කරුණු කිහිපයකට ඉකුත් සතියේ පිළිතුරු ලබාදීමට රජය කටයුතු කළේය.
කොරෝනා වයිරසයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ ආදාහනය කරනවාද? භූමදානය කරනවාද යන්න පිළිබඳව රජය ස්ථිර තීරණයක නොසිටීම සම්බන්ධව සමාජය තුළ මහත් කතාබහක් හටගෙන තිබුණි.
කොරෝනා වසංගතයෙන් මිය යන රෝගීන් ගේ මෘතදේහ මිහිදන් කළ යුතු බව පවසමින් මුස්ලිම් දේශපාලන පක්ෂ කිහිපයක් මෙන් ම මුස්ලිම් සංවිධාන එකතු වන දිවයිනේ ප්‍රදේශ රැසක නිහඬ විරෝධතා පැවැත්වූ අතර ඊට සහය දක්වමින් සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය ද බොරැල්ල කනත්ත ඉදිරිපිට මාර්ගයේ නිහඬ විරෝධතාවක නිරත වෙමින් රජයට විරෝධය පෑවේය.
මෙම තීරණය ප්‍රමාද වීම හේතුවෙන් කොරෝනා රෝගය වැලඳී මිය ගිය කිහිප දෙනකුගේම මෘත දේහ රෝහල්වල තැන්පත් කර තිබීම නිසා එම රෝහල්වල කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් මෙයට විරෝධතාවක් දක්වමින් උද්ඝෝෂණවල නිරත විය.
මේ තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේද අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් නොයෙක් තර්ක විතර්ක ඉදිරිපත් කරනු ලැබුණි.
කොරෝනා වයිරසයෙන් මිය යන සියලුම පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය කළ යුතු බවට ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු විශේෂඥ කමිටුව නිර්දේශ කර ඇති බවත්; රටේ භයානක වසංගත තත්ත්වයක් පවතින හෙයින් එම වෛද්‍ය නිර්දේශ, සමාජීය, ආගමික, දේශපාලනික හෝ වෙනත් කිසිදු හේතුවක් නිසා හෝ වෙනස් නොකරන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි ඉකුත් 07 වැනිදා පාර්ලිමේන්තුවේදී කීවාය. ඒ අනුව මාස කිහිපයක් රජයට මෙන්ම සමාජගත වෙමින් තිබූ ගැටලුවකට ස්ථිර විසඳුමක් ලැබුණි.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමකට ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවට වරාය වෘත්තීය සමිති මෙන් ම ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම රජයට චෝදනා එල්ල කරමින් සිටියේය.
යහපාලන රජයේ කාලයේ සිටම මෙම තීරණය ගෙන ඇති බව පවසමින් අවස්ථා ගණනකදීම වරාය සේවක වෘත්තීය සමිති උද්ඝෝෂණ මෙන් ම වැඩ වර්ජන ද සිදු කරනු ලැබීය.
කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ කළමනාකරණය හෝ මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට වත්මන් රජය කිසිදු තීරණයක් ගෙන නැති බවත් එසේ සිදු නොකරන බවත් මහින්ද රාජපක්ෂයන් ඉකුත් 06 වැනිදා පාර්ලිමේන්තුවේදී දැඩිව අවධාරණය කළේය.
ජනාධිපතිවරයා, අගමැතිවරයා ඉකුත් සතිය තුළ කාර්ය බහුල විය. කොරෝනා වසංගතයත් සමඟ සීමා වී තිබූ උත්සව මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සිදු කෙරෙන සාකච්ඡා ද පුද්ගලයන් අඩුවෙන් සහභාගී කරවමින් පවත්වන අතර; සෞඛ්‍ය උපදේශවලට අනුව ඒවා පවත්වනවාද යන්න පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් පෞද්ගලිකව ම සොයා බලනු ලබයි.
සද්භාවයෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් හට දඬුවම් කළ නොහැකි ආකාරයට ව්‍යවස්ථානුකූල ආරක්ෂාවක් සැලසීමට පියවර ගන්නා බව අගමැතිවරයා කීවේය.
යහපාලන ආණ්ඩුව රටට කළ විශාලතම ද්‍රෝහිකම වන්නේ ජනතාවට සේවය කිරීම නිසාම රාජ්‍ය නිලධාරීන් සිරගත කිරීම බවත් යළිත් කිසිදු රාජ්‍ය නිලධාරියකුට එසේ දඬුවම් කිරීමට ඉඩ නොතබන බව අගමැති මහින්ද අවධාරණය කළේය. ඔහු එසේ කීවේ “ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට” ජාතික වැඩසටහනට සමගාමීව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමට අරලියගහ මන්දිරයේ ඉකුත් 07 වැනිදා පැවැති උත්සව අවස්ථාවට එක් වෙමින්ය.
මේ අවස්ථාව සඳහා රජයේ ඇමැතිවරු මන්ත්‍රීවරු මෙන් ම රාජ්‍ය සේවයට අයත් විශාල පිරිසක් එක්ව සිටිනු දැකගත හැකි විය.
ගම සමඟ පිළිසඳරක් වැඩසටහන ආරම්භ කළේ ඉතිහාසයේ සිට පැවැති තත්ත්වය වෙනස් කරමින් ගමේ ජනතාවගේ ගැටලු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමේ අරමුණින් බව මේ සඳහා එක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් පැවසීය.
විපක්ෂයේ සිටින කාලයේ ගමට ගොස් ගමේ ජනතාව සමඟ සාකච්ඡා කිරීමේ දී හඳුනාගත් ගැටලු විසඳීම සඳහා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කළා. දැන් නැවතත් ගැටලු විසඳීම සඳහායි අපි ගමට යන්නේ. බොහෝ වෙලාවට ආණ්ඩු පත් වුණාම ජනතාවගේ වැඩ කරන්නේ නැතිව ඉඳලා බලයෙන් පහ කරාට පස්සේ ජනතා ප්‍රශ්න ගැන කතා කරනවා. අපි එහෙම විය යුතු නැහැ. මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මේ අතර දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මෙරට ප්‍රධාන දේශපාලඥයන් සියලු දෙනා හමු විය.
ජනාධිපති ගෝඨාභය, අගමැති මහින්ද, විපක්ෂ නායක සජිත්, හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මෙන් ම දෙමළ පක්ෂවල ප්‍රබල නායකයන් වන ඩග්ලස් දේවානන්ද සහ ආර්. සම්බන්ධන් යන පිරිස සමඟ ද ඉන්දීය විදේශ ඇමැතිවරයා සාකච්ඡා පැවැත්වීය.
ඉකුත් 05 වැනිදා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් කොළඹ පිහිටි ටාජ් සමුද්‍ර හෝටලයේ එක් මහලක් වෙන්කර තිබුණි.
සෞඛ්‍ය උපදෙස් මත සියලුම සේවා ලබාදී තිබූ අතර විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන සමඟ දිවා භෝජනයකට ද සහභාගි වීමට විදේශ ඇමැතිවරයා කටයුතු කළේය.
දැනට දෙරට ධීවරයන් අතර තිබෙන ගැටලු මෙන් ම දෙරට අතර සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති හා කොරෝනා රෝගය වෙනුවෙන් ඉන්දියාවේ දී නිපදවන එන්නත මෙරටට ලබාදීම කෙරෙහි ද විශේෂ අවධානය යොමු කරමින් මොවුන් දෙදෙනා පැය කිහිපයක්ම කතා බහක නිරත විය.
“රට පාලනය කරන අයට රට අවුරුදු පහකට හයකට බාරදීලා තියෙන්නේ ජන ජීවිතය අවුල් නොකර රට බලා ගැනීමට කටයුතු කිරීමට දේශපාලන නායකයන් ක්‍රියා කළ යුතු බවත් එයට පටහැනිව යනවා නම් එයාලාට පාරට බැහැලා ගෙදර යන්න සිදුවන බවත්” අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, පෞද්ගලික සමාගමක් විසින් මුතුරාජවෙල තෙත් බිම මහා පරිමාණ සංචාරක ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීම නිසා ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකම ජනතාවගේ ජනජීවිතයට එල්ල වන බලපෑම සඳහන් කරමිනි.
මෙහිදී උන්වහන්සේ දැඩි සේ රජයෙන් ඉල්ලා සිටියේ මෙම ව්‍යාපෘතිය නවතාලීමට පියවර ගන්නා ලෙසයි.
පසුගිය සතියේ දිවයිනට පැමිණි යුක්රේන සංචාරක කණ්ඩායම සෙනසුරාදා මිරිස්සටත්, ඉරිදා යාලටත් ගියේය. යාලට ගිය සංචාරක කණ්ඩායම රැගෙන ගිය සෆාරි ජීප් රථ රියදුරන් වෙන් කර තැබීමට තීරණය කිරීමත් සමඟ ඔවුන් ඒ සම්බන්ධයෙන් කලින් දැනුම්වත් නොකළ බව පවසමින් විරෝධය පළ කිරීමත් සමඟ දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය. සිද්ධිය දැනගත් ජනාධිපති ගෝඨාභයත්, අගමැති මහින්දත් සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංගට කතා කළේ මේ පිළිබඳ විමසීම සඳහාය. ඒ වනවිටත් ප්‍රසන්න හමුදාපතිවරයාටත්, නාමල් හා ඩී.වී. චානක යන ඇමැතිවරුනුත් සම්බන්ධ කර ගනිමින් ගැටලුව විසඳීමට කටයුතු කරමින් සිටියේය.
“ඇමැතිතුමා අර යාල වැඩේ ඉක්මනින් විසඳන්න වෙයි?” ජනපති, ප්‍රසන්නට කීවේය.
“මම දැනටමත් ඒ ගැන අවශ්‍ය දේ කළා සර්. ඒක වෙලා තියෙන්නේ මේ සෆාරි රියදුරන්ව හරියට දැනුම්වත් කරලා නෑ. අනික සර් 28 දෙනෙක් හින්දා රටක් උකසට තියන්න බෑනේ. මම කිව්වා මේ අය වෙන් කරලා තියන්න කියලා. කවුරු අතින් වැරැද්ද වුණත් දැන් අපි ඊළඟ පියවර ගන්න ඕනෑනේ...” ප්‍රසන්න ජනාධිපතිවරයාට පැහැදිලි කළේය.
“මේ සෆාරි ඩ්‍රයිවර්ස්ලා ඉන්නේ බබල් එකේ. කොරොන්ටයින් නෙමෙයි. මේ අයගේ ගෙවල්වලට අපි මේ වෙනකොට වියළි ආහාර මල්ලකුත් යැව්වා.” ප්‍රසන්න වැඩිදුරටත් කීවේය. “ඒක හොඳයි. දැන් විපක්ෂය ඕක තමයි ගන්නේ...” ජනාධිපතිවරයා කීවේය.
සඳුදා ප්‍රසන්න යුක්රේන සංචාරය සංවිධාන කළ සංචාරක සංවිධාන තුන සිය අමාත්‍යාංශයට කැදෙව්වේය. ඒ සමඟම සංචාරකයන් මෙරටට ගෙන්වීමට අදාළ සියලු ආයතන ප්‍රධානීන් ද, සෞඛ්‍ය නිලධාරීන් ද ගෙන්වා ගත්තේය. සංචාරකයන්ට යාමට ඉඩ දෙන සංචාරක ස්ථාන බාර රජයේ ආයතන ප්‍රධානීන් ද ගෙන්වා ගත්තේය.
“මේ වගේ දෙයක් ආයේ වෙන්න බෑ. අපි දුන්න ගයිඩ් ලයින්වලට අනුව කටයුතු කරන්න බැරි නම් කරුණා කරලා සංචාරකයන් නොගෙන්වා ඉන්න. අපි මේ රටේ ජනතාවට වග කියන්න ඕන. වගකීම් විරහිතව වැඩ කරන්න එපා” ප්‍රසන්න දැඩි ලෙස අවවාද කළේ යුක්රේන සංචාරකයන් මෙරටට ගෙන්වූ ආයතනවලටය.
සඳුදා සවස තිබූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද යාල සිද්ධිය පිළිබඳ ඇමැතිවරු ප්‍රසන්නගෙන් විමසූහ. ප්‍රසන්න කැබිනට් මණ්ඩලයට සිද්ධිය පැහැදිලි කළේය. ඇමැති නාමල් ද කීවේ යාල සිද්ධිය දඩමීමා කරගෙන විපක්ෂය සංචාරකයන් ගෙන්වීමේ ක්‍රියාවලියට චෝදනා කරන බවයි.
“විපක්ෂයට ඕන කරලා තියෙන්නේ කොහොම හරි සංචාරකයෝ රටට එන එක නවත්තන්න. අපි මේ සංචාරකයන්ට රට විවෘත කළේ ලක්ෂ 30 ක් ජනතාව වෙනුවෙන්.” ප්‍රසන්න කීවේය.
“රට හැමදාම වහගෙන ඉඳලා හරියන්නේ නෑ. හෙල්ත් ගයිඩ් ලයින් එක්ක රට ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් කරන්න ඕනෑ. අපේ වගකීම තමයි හැම වෙලාවෙම මේ රෝගය පැතිරයාම වැළැක්වීම” ජනාධිපතිවරයා කීවේය.
මේ අතර ආණ්ඩු පක්ෂයේ මේ වසරේ පළමු රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය හා අගමැති මහින්දගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපතිවරයා මෙහිදී කීවේ මේ වසර ගෙවුණු වසර මෙන්ම අභියෝගාත්මක වසරක් බවයි. සියලු දෙනා එක්ව රට ගොඩගැනීමට සහය වෙන්නැයි ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ට ආරාධනා කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අලුත් අවුරුද්දේ පුවත්පත් කර්තෘවරුන් හමුවෙමින් තමන්ගේ මාධ්‍ය කටයුතු ආරම්භ කළේය. කර්තෘවරුන්ට උදෑසන ආහාරයකට ඔහු ආරාධනා කළේ මාස කිහිපයකට වරක් පුවත්පත් කර්තෘවරු හමුවී කතාබස් කිරීමෙන් පුරුද්ද අමතක නොකරමිනි. ඔහු සමඟ මහලේකම් රංජිත් හා රාජිත, තිස්ස, මනූෂ ඇතුළු පිරිසක් ද එක්වූහ.
කොරෝනා අභියෝගය මැද රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් මාධ්‍ය විශාල කාර්ය භාරයක් ඉටු කළා” විපක්ෂ නායකවරයා කීවේය.
පසුගිය අවුරුදුවලදී අපිට සහාය ලබා දුන්නා වගේ ම මේ අවුරුද්දේදීත් ඔබතුමන්ලා අපිට සහාය ලබාදේවි යැයි විශ්වාස කරනවා.”
මේ අතර පුවත්පත් මාධ්‍ය මුහුණදී තිබෙන අර්බුදය ගැන ද ඔහු අවධානය යොමු කළේය.
මුද්‍රිත මාධ්‍ය මේ වෙනකොට අභියෝග රැසකට මුහුණදී තිබෙනවා. වෙළෙඳ දැන්වීම් නැතිව පත්තර පවත්වාගෙන යාමේ අභියෝගයකට මුහුණදී තිබෙනවා. මේ තත්ත්වයත් එක්ක අලුත් උපක්‍රම සෙවීමට මාධ්‍යයටත් සිදු වෙනවා. ප්රජාතන්ත්රවාදී රටක නිදහස් මාධ්‍යයක් තිබිය යුතු යැයි අපි විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් මාධ්‍යයට ඕනෑම සහායක් ලබාදීමට අපි සූදානම්. පුවත්පත්වල අලෙවිය අභියෝගාත්මක තත්ත්වයකට පත්ව තිබෙන බව තමයි අපිට ආරංචි. පුවත්පත් කර්මාන්තයේ අභියෝග ජය ගැනීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් කළ යුතු යමක් වේ නම් ඒ සියල්ල ඉටු කිරීමට අපි සූදානම්” විපක්ෂ නායකවරයා කීය.
“දැන් පළාත් සභා ගැන කතා වෙනවා. පළාත් සභා සම්බන්ධයෙන් ඔබතුමාගේ ස්ථාවරය මොකක්ද” කර්තෘවරයෙක් විමසුවේය.
“සමගි ජනබලවේගය විදියට අපිට තියෙන්නේ එකම ස්ථාවරයයි. ඒ තමයි දැනට ක්‍රියාත්මක වන ආකාරයට පළාත් සභා ක්‍රියාත්මක විය යුතුය කියන එකයි” විපක්ෂ නායකවරයා කීවේය.
පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා හතළිස් තුනේ සේනාංකය කියලා වෙනම කණ්ඩායමක් පිහිටුවාගෙන තිබෙනවා. මේ පක්ෂ අභ්‍යන්තරයේ ගැටුමක ප්‍රතිඵලයක් ද” තවත් ප්රශ්නයකි.
දවසින් දවස ආණ්ඩුව කලකිරෙන විට විවිධ සංවිධාන හැදෙනවා. ඒ සංවිධාන පක්ෂය සමඟ ඒකාබද්ධ කරමින් ඉදිරියට යනවා. අපේ පක්ෂය ප්රජාතන්ත්රවාදී බලවේගයක්” විපක්ෂ නායකවරයා පැහැදිලි කළේය.
මේ රටේ ප්රජාතන්ත්රවාදී ම පක්ෂ ව්‍යවස්ථාව තිබෙන්නේ අපේ පක්ෂයට. ඕනෑම අයෙක්ට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමේ අයිතිය ලබාදී තිබෙනවා” මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීය.
අපේ පක්ෂය ඇතුළේ නායකත්ව වන්දනාවක් නෑ. එහෙයියෝවත් වහල්ලුවත් නෑ. මේක හැකියාවට කුසලතාවට ඉඩ ලබා දෙන දේශපාලන ව්‍යාපාරයක්” විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
සාකච්ඡාව අවසානයේදී උදෑසන තේ පැන් සංග්‍රහයට ද කර්තෘවරු විපක්ෂ නායකවරයා සමඟ එක්වූහ. උදෑසන ආහාර ගැනීමට පැමිණ සිටි සෑම කර්තෘවරුන්ට ම පිඟන් ලබා දුන්නේ ද විපක්ෂ නායකවරයා ම ය. ඒ කර්තෘවරු සමඟ පැවැති රස මතකයන් ද මතක් කරමිනි.
තෙදින නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු ඇමැති සුබ්‍රමනියම් ජයශංකර් විපක්ෂ නායකවරයා හමුවූයේය. දෙරට අතර පවතින ද්වි පාර්ශ්වික සම්බන්ධතාවයන් ගැන අවධානය යොමු කරමින් පැවති සාකච්ඡාවේදී විපක්ෂ නායකවරයා ඉන්දියාවෙන් තමන්ට ලැබුණු සහාය ගැන සිහිපත් කිරීමට අමතක කළේ නැත.
නිවාස ඇමැතිවරයා ලෙස කටයුතු කරන කාලයේදී මට ඉන්දියාවේ මෝදි අගමැතිතුමාගෙන් විශාල සහයක් හිමි වුණා. අපි මෝදි ගම්මානය හැදුවා” විපක්ෂ නායකවරයා කීය.
නිවාස ඇමැතිවරයා ලෙස ඔබ කරන දේ ගැන අපි ලොකු අවධානයකින් හිටියේ. මෝදි අගමැතිතුමාත් ඔබ ගැන විශාල අවධානයකින් සිටියා,” ඉන්දීය විදේශ ඇමැතිවරයා පැවසුවේය.
ඉන්දියාවෙන් අපිට ලැබුණ 1990 සුව සැරිය අමතක කරන්න බෑ. මේ දවස්වල කොරෝනා රෝගීන් වෙනුවෙන් විශාල කාර්යයක් කරනවා. සුව සැරිය ලංකාවේ ක්‍රියාත්මක කරන්න මැදිහත්වුණ ඇමැතිතුමා තමයි මේ ඉන්නේ” විපක්ෂ නායකවරයා සමඟ සාකච්ඡාවට එක්ව සිටි හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පෙන්වමින් විපක්ෂ නායකවරයා කීය.
මේ වෙලාවේ ඔබතුමාට අගමැති මෝදි වෙනුවෙන් ආරාධනාවක් කරනවා”
ඉන්දීය විදෙස් කටයුතු ඇමැතිවරයා සජිත්ට කීවේය. සජිත් කුතූහලයෙන් ඔහු දෙස බැලුවේය.
අපේ රටේ නිල සංචාරයකට ඔබතුමාට ආරාධනා කරනවා”
සුබ්‍රමනියම් ජයශංකර් සජිත්ට කීවේය.
විපක්ෂ නායක ජංගම සේවය හරහා ලබාගන්නා ජනතා ගැටලු පාර්ලිමේන්තුවට ගෙන ඒමට විපක්ෂ නායකවරයා මේ දිනවල කටයුතු කරමින් සිටී. ඒ අතර පාසල් ළමුන්ට නිල ඇඳුම් නොලැබීමේ ගැටලුව ගැන ඔහු අවධානය යොමු කළේය.
අපි කැමැතියි දරුවෝ ඉගෙන ගන්නවාට. ඒ එක්කම දරුවන්ගේ ආරක්ෂාව සහතික කරන්න” සජිත් ඇමැති ජීඑල්ට කීවේය.
“ඒ වැඩ කටයුතු ලෑස්තියි.”
පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදනය මෙන් ම උපාය උපක්‍රම සැකසීමේද බුද්ධිමය සක්‍රීය කාර්යභාරයක් එම සංසදයට පැවරේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතාවාදී විශ්වවිද්‍යාල ආචාර්ය සංසදය පිහිටුවා ගත් අතර මෙරට සරසවි පද්ධතිය නියෝජනය කරන කීර්තිමත් මහාචාර්යවරුන් ආචාර්යවරුන් ඊට එක්වූහ. මේ අතර සිසිර පින්නවල, ටෙරන්ස් පුරසිංහ ඇතුළු විශාල පිරිසක් වූහ.
දිනෙන් දින විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයන්, විද්වතුන් ඇතුළු පිරිස් සමගි ජනබලවේගය සමඟ එක්වෙමින් සිටී.
විදේශගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීමට ආණ්ඩුව කටයුතු නොකිරීම ගැන පසුගිය කාලයේදීම විපක්ෂයක් ලෙස සමගි ජනබලවේගය අදහස් මතු කළේය. කොරෝනා සමයේදී ජනතා ගැටලු පිළිබඳ විමසීමට ඇති කළ දුරකතන මධ්‍යස්ථානයට ද විදේශ රටවල සිටි බොහෝ දෙනෙක් ඇමැතුම් ලබාදෙමින් ඉල්ලා සිටියේ තමන් ලංකාවට ගෙන්වා ගන්නා ලෙසය.
මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු දිගින් දිගටම පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූහ. මේ අතර ඔවුන් ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් විරෝධතාවක් ද පැවැත්විණි. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සංවිධානය කළ මෙම විරෝධතාවට මන්ත්‍රීවරු සියලු දෙනාම පාහේ එක්ව සිටියහ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉකුත් බ්‍රහස්පතින්දා පෙරවරුවේ සිය රාජකාරි කටයුතු සහ හමුවීම් අවලංගු කෙරුවේය. ඒ හදිසියේ ලද ආරාධනාවකට අනුවය.
ඉන්දියානු මහකොමසාරිස් නිල නිවසට යාම සඳහා රනිල් ක්‍රියාත්මක විය. රනිල්ගේ පෞද්ගලික මිතුරකු වූ ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් සිය ශ්‍රී ලංකා නිල සංචාරය අතරතුර තම මිතුරා හමුවීමට ද අමතක නොකළේය.
මෙරට ඉන්දියානු මහකොමසාරිස් නිල නිවෙසට ගිය රනිල්ව පිළිගත් මහකොමසාරිස් ගෝපාල් බග්ලේ ඔහුව කෙළින්ම කැඳවාගෙන යනු ලැබුවේ ඉන්දීය විදේශ ඇමැතිවරයා හමුවටය.
ශ්‍රී ලංකාවේ පැතිර යන කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ඉන්දියාවේ තිබෙන එන්නත ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපත වෙනුවෙන් ලබා දෙන ලෙසට මෙහිදී රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කළේය.
කොවිඩ් මර්දන එන්නත ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිටත් රජය සමඟ සාකච්ඡා කර ඇති බව ඉන්දීය විදේශ ඇමැතිවරයා එහිදී සඳහන් කළේය. එය ඉහළින්ම ඇගයීමට ලක් කළ රනිල් මෙම අසීරු කාල සීමාවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කටයුතු කිරීම ඉතා වැදගත් වන බව පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාවෙන් පසු තේ පැන් සංග්‍රහයකට ද සහභාගි වූ රනිල් කෙළින්ම පැමිණියේ කොළඹ කොල්ලුපිටියේ ඔහුගේ නිවසටයි. ඒ වනවිටත් හිටපු ඇමැතිවරු, මන්ත්‍රීවරු මෙන් ම පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් රනිල් ගේ නිවසට පැමිණ තිබුණේ පක්ෂයේ ඉදිරි වැඩ පිළිබඳව සාකච්ඡා කිරීමටය.