
“මේ ආණ්ඩුවට තව මාස 6 ක්වත් යන්න ලැබෙන්නේ නැහැ. දැනටමත් මේ ආණ්ඩුව කඩාගෙන වැටිලා ඉවරයි” යනුවෙන් මෙහෙම කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහයි. ඒ කියන්නේ තව මාස 6, 7 කින් මේ ආණ්ඩුව කඩාගෙන වැටෙනතුරු බලාගෙන සිටින්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පමණක් නොවේ. අනුර කුමාර දිසානායක ඇතුළු රතු සහෝදරවරුන් ද ඒ අතර සිටින බව වසන්ත සමරසිංහගේ කතාවෙන් ගම්‍ය වේ. වසන්ත සමරසිංහගේ මේ කතාව අහනකොට පිටකොටුව පැත්තෙන් පහුගිය දිනවල ඇහුණු කතාවක් ද මතකයට නැඟේ.
“සියයට තුනේ ඇපල්... සියයට තුනේ ඇපල්” යනුවෙන් ඇපල් වෙළෙඳුන් කිහිප දෙනකු කෑගැසුවේ රතු ඇපල් පෙන්වමිනි.
“මේවා රතු ඇපල්... සීයට තුනේ ඇපල්” යනුවෙන් ඔවුන් කෑමොර දෙන්නේ ජනතාවගේ ආකර්ෂණය ඒ දෙසට දිනා ගැනීමට බව එම ඇපල් වෙළෙන්දන්ගෙන් තොරතුරු විමසූ කිහිපදෙනකුටම දැකගත හැකි විය.
“සීයට තුනේ ඇපල්” යනුවෙන් ප්‍රකාශ කරන්නේ කාටදැයි හොඳින් විපරම් කරන විට තේරුම් ගැනීම අපහසු නොවුණි.
පහුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී මුළු රටෙන් ම 3% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් ජනතා විමුක්ති පෙරමුණේ රතු සහෝදරවරුන් රතු ඇපල්වලට සමාන කරමින් පිටකොටුවේ වෙළෙන්දන් ඇපල් විකුණන විට මාධ්‍ය හමු පවත්වමින් වසන්ත සමරසිංහලා ප්‍රකාශ කරන්නේ වර්තමාන ආණ්ඩුව තව මාස 6, 7 කින් පෙරළනවා කියාය.
වසන්ත සමරසිංහලාට, අනුර කුමාර දිසානායකලාට මේ ආණ්ඩුව කොහොමත්ම දිරවන්නේ නැත. ඊට හේතු කිහිපයක්ම ඇත.
රනිල්ලා, සජිත්ලා, රාජිතලා, චම්පිකලා, රිෂාඩ්ලා, හකීම්ලා, මනෝ ගනේෂන්ලා, සුමන්තිරන්ලා ඇතුළු යහපාලන කල්ලිය එකතුවෙලා FCID දේශපාලන දඩයම් සිදුකරන විට ඊට අඩුමකුඩුම සපයා දුන්නේ රතු සහෝදරවරුන් බැවිණි.
රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආශිර්වාදයෙන් අරලියගහ මන්දිරයේ සිට FCID ට පැමිණිලි කිරීමට දූෂණ විරෝධී කමිටුව ක්‍රියාත්මක වන විට එහි සෑහෙන කාර්යභාරයක් ඉටු කළේ වසන්ත සමරසිංහ විසිනි.
ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරීන් කිහිපදෙනකු ම සිරගත කිරීම සඳහා අවශ්‍ය ආකාරයට පැමිණිළි ගොනු කිරීමේ කටයුතු ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිවලින් ලබාගෙන සිදු කරන ලද්දේ වසන්ත සමරසිංහයි. දූෂණ විරෝධී කමිටුවට උපදෙස් දෙන ජනතා විධායක සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ද සිටි අතර ඔහුගේ තවත් හිතවතකු වන ආනන්ද විජේපාල ද FCID එකට උපදෙස් ලබා දුන් තවත් එක් පුද්ගලයෙකි.
ආනන්ද විජේපාල යනු අනුර කුමාර දිසානායක කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අවදියේ දී එවකට අනුර කුමාර දිසානායක අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයායි.
මොවුන්ගේ සම්බන්ධය කෙසේදැයි දැන් හොඳින් වැටහෙනු ඇත. රනිල්ලාගේ, සජිත්ලාගේ, අනුරලාගේ, සුමන්තිරන්ලාගේ, හකීම්ලාගේ, රිෂාඩ්ලාගේ අරමුණු එකට සමපාත වන බව හොඳින් ම පැහැදිලි වේ. වසන්ත සමරසිංහලාගේ කතාවලින් ඉතා හොඳින් අවධාරණය වන්නේ දැන් තිබෙන්නේ ඉස්සර ජනතා විමුක්ති පෙරමුණ නොවන බවයි.
2004 වර්ෂයේදී සුනාමි ඛේදවාචකයට රට මුහුණ දුන් අවස්ථාවේදී එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට සහ එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහයෝගය ලබා දුන් ජනතා විමුක්ති පෙරමුණ වාමාංශික දේශපාලන පක්ෂයක් ලෙස තම වගකීම ඉටු කළේය.
සුනාමි මුහුදු රළ හේතුවෙන් දකුණුබඩ දුම්රිය මාර්ගයේ රේල් පීලි ගැලවී ගොස් විශාල හානියක් සිදු වී ඇති අවස්ථාවේදී ඉතා කෙටි කාලයක් තුළ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ “රතු තරුව” සහෝදරවරු සහයෝගය ලබා දුන්හ.
සුනාමි ඛේදවාචකය සමඟ සසඳන විට කොවිඩ් - 19 හෙවත් කොරෝනා වසංගතය මුළු ලෝකෙටම ප්‍රබල අභියෝගයක් වී තිබෙන කාරණයකි.
එය සැඟවීමට දෙයක් නැත. මුළු ලෝකයම අසරණ වී සිටී. අපේ රට සමඟ ගත්විට ඇතැම් ධනවත් හා බලවත් රටවල් කොරෝන සමඟ හතරගාතයෙන්ම වැටී සිටින බව පෙනේ. නමුත් මෙවැනි දරුණුම විපතක් සිදු වී තිබියදී ජනතා විමුක්ති පෙරමුණ හැසිරෙන්නේ එදා හැසිරුණු ආකාරයට ද? ජනතා විමුක්ති පෙරමුණ එම හැසිරීමෙන් ඉවත් වී රටේ අනාගතය ජාතික අවශ්‍යතාවය තේරුම් නොගෙන රටට එරෙහි රාජ්‍ය නොවන සංවිධානවල (NGO) පදයට නැටීම නිසා ඔවුන්ට 5% ක්ව 6% ක්ව පැවති ඡන්ද ප්‍රතිශතය 3% දක්වා අඩුවී තිබේ.
පාර්ලිමේන්තුවේ 39 ක්ව සිටි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීධූර සංඛ්‍යාව 3 දක්වා මන්ත්‍රීධූර 36 කින්ම අඩු වී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ජනතාව අපේක්ෂා නොකළ මෙම වෙනස නිසාය. සජිත් ඇතුළු සමගි ජනබලවේගයේ පිරිස් ද ක්‍රියාකරන්නේ කොවිඩ් - 19 ගැන කිසිදු ගානක් නැති ගානටය.
කොවිඩ් - 19 පැමිණි ගමන් පැකනිල් බොන්න යනුවෙන් පැවසූ සජිත් දැන් දඟලන්නේ කොවිඩ් - 19 එන්නත හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගන්නට කියාය.
එම එන්නතේ පළමු මාත්‍රාව ලබා දී සතියකට පසුව කැලිෆෝනියාවේ හෙදියකට කොවිඩ් - 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මෙම කොවිඩ් - 19 එන්නත් රටවල් ගණනාවක්ම සොයාගෙන තිබුණ ද ඒ එකකටවත් තවම ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අනුමැතිය නියමාකාරයෙන් ලැබී නැත.
මෙම එන්නත් මෙරටට ගෙන්වා ජනතාවට ලබා දීමෙන් පසුව කිසියම් පුද්ගලයකුට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වූ බවට තහවුරු වුණා නම් ආපහු සජිත්ලා කොහොමට නටන්නට පටන් ගනීවි ද? “මෙන්න කොවිඩ් එන්නත ගෙනල්ලා ආණ්ඩුව ගසා කාලා” යනුවෙන් සජිත් කිව්වොත් මෙන්න කැට යනුවෙන් වුව ද ඔට්ටු ඇල්ලීමට හැකි ය.
කොවිඩ් - 19 එරෙහිව ප්‍රතිශක්තිය ඇතිකිරීම සඳහා දේශීය ආයුර්වේදය තුළ ද දැඩි තරගකාරිත්වයක් ඇති වී කොරෝනාවලට එරෙහිව ඖෂධ නිපදවීම, අත්හදා බැලීමට අවධානය යොමු කිරීම ඉතා යහපත් ක්‍රියාවකි. අඩපණ වී තිබුණු දේශීය ආයුර්වේදය යම් ආකාරයකට හෝ යළි පණගසා පැමිණීම ඉතා ම සුබදායක ය.
නමුත් ඊට ද කෝචොක් කිරීමට සජිත්ලා, විජිත හේරත්ලා කටයුතු කරන්නේ එය වගකිව යුතු විපක්ෂයක කාර්යභාර්ය ද? කියා දන්නේ ඔවුන් ම පමණි.
විපක්ෂය නිතරම ප්‍රකාශ කරන්නේ කොරෝනා මර්දනය කිරීමෙන් ආණ්ඩුව ෆේල් කියාය.
කොරෝනා නැත්නම් ඔවුන්ට එල්ලෙන්නට වැලක්වත් නැත. නමුත් කොරෝනා සමඟ ම එල්ලී ගොඩයෑමට දඟලන විපක්ෂයට දැන් සිදුවී තිබෙන්නේ මඩ ගොහොරුවේ එරෙමින් තිබියදී පිදුරු ගහේ එල්ලුණා වාගේ වැඩකි.
ලෝක තත්ත්වය අනුව කොවිඩ් - 19 මර්දනය කිරීමේ කටයුතු සිදුකරමින් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කොරෝනා සමඟ රට ඉදිරියට ගෙනයාමට රජය තීරණය කිරීම ඉතා වැදගත් තීරණයක් බව නොකියාම බැරිය. නමුත් මෙම තීරණය වෙනස් කිරීමට විපක්ෂය උපරිම උත්සාහයක් ගනු ලබන්නේ කොරෝනා සමඟ රට ඉදිරියට යන විට ඔවුන්ට සිදුවන්නේ කුමක්ද? කියා ඔවුන් ඉතා හොඳින් ම දන්නා බැවිනි.
මහින්ද, ගෝඨාභය, බැසිල් මෙම සහෝදර ත්‍රිත්වය ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යන බව බොහෝ දෙනා දන්නා කාරණයකි. මහින්දගේ දේශපාලන නායකත්වයෙන් මීට පෙර සිටි විධායක ජනාධිපතිවරුන් සිවු දෙනකුටම අවසන් කිරීමට නොහැකි වූ කොටි ත්‍රස්තවාදය අවසන් කරන විට ඊට දෙපැත්තකින් සහයෝගය ලබා දුන්නේ ගෝඨාභය හා බැසිල්ය.
මහින්දගේ දේශපාලන නායකත්වය යටතේ රට ත්‍රස්තවාදයෙන් මුදාගන්නා විට මානුෂීය මෙහෙයුම් සිදුකිරීම පැත්තෙන් මහින්දට විශාල ශක්තියක් වූයේ එවකට ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂයි.
දරුණු යුද්ධයක් එක් පැත්තකින් සිදුවන විට අනෙක් පැත්තෙන් රටේ ආර්ථිකය වැටීමට ඉඩ ලබා නොදුන්නේ බැසිල් රාජපක්ෂයි.
තිරය පිටුපස සිට බැසිල් කළ මෙහෙය රටේ ආර්ථික වර්ධනයට විශාල රුකුලක් වූ බව නොරහසකි. 2009 වසරේ දී කොටි ත්‍රස්තවාදය පරාජය කර රට දැවැන්ත සංවර්ධන ඉලක්ක කරා ගෙනයන ගමනේදී මහින්දගේ නායකත්වයට විශාල ශක්තියක් වූ ගෝඨාභය අද රටේ ජනාධිපති ය; මහින්ද අගමැති ය. බැසිල් දිළිඳුකම පිටුදැකීමේ හා ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානියා ය.
පසුගිය වසර 4 1/2 තුළ යහපාලන ආණ්ඩුව රටට සිදුකළ විනාශයෙන් රට බේරා ගැනීම සඳහා සුදුසු ම තිදෙනෙක් වර්තමානයේ රටේ ප්‍රධාන තනතුරු හොබවති. ඕනෑම අභියෝගයකට මුහුණු දෙමින් කොවිඩ් - 19 සමඟ රට ඉදිරියට ගෙන යාමට ආණ්ඩුව තීරණය කර තිබීම ගැන සජිත්ලා, අනුරලා, සුමන්තිරන්ලා, සම්බන්ධන්ලා, හකීම්ලා, රිෂාඩ්ලා, රාජිතලා, චම්පිකලා සිටින්නේ දැඩි භීතියකිනි. කොරෝනා පළමු රැල්ලට සාර්ථකව මුහුණ දීමෙන් පසුව කොරෝනා දෙවෙනි රැල්ල ද පාලනය කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් රට ඉදිරියට ගෙන යාමට රජය තීරණය කර තිබීම ගැන රටේ අති බහුතරයක් ජනතාව සිටින්නේ දැඩි කැමැත්තකිනි.
නමුත් විපක්ෂය පසුගිය වසරේ වැඩි කාලයක් කාලකණ්ණි සතුටක් ලබමින් සිටියේ කොරෝනාවෙන් ආණ්ඩුව ඇන ගන්නවා කියමින් ය.
සජිත්ට වඩා වැඩි ඡන්ද ලක්ෂ 14 ක් ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂයන් මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා බවට පත් විය. අනෙක් සුවිශේෂී ම කාරණය සමානුපාතික ඡන්ද ක්‍රමයක් යටතේ පැවැත්වුණු පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ 3/2 ක ජනවරමක් ලබාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව සමත්වීමයි.
ජනාධිපතිවරණයේදී සජිත් ලබාගත් ඡන්ද සංඛ්‍යාවෙන් භාගයක් පමණ එනම් ඡන්ද ලක්ෂ 25 ක් පමණ ඔහුට අහිමි කරමින් පාර්ලිමේන්තු මහ මැතිවරණය ඡන්ද ප්‍රතිඵල ලැබෙන විට අනෙක් පැත්තෙන් පොහොට්ටුව පාර්ලිමේන්තුවේ 3/2 ක අති බහුතර බලයක් ලබාගෙන තිබුණි.
මෙවැනි තත්ත්වයක් මත කොරෝන වයිරසය වැනි දෙයක් කිසිඳු ආකාරයකින් මුළු ලෝකයම ආක්‍රමණය නොකළා නම් අද රට පවතින තත්වය විපක්ෂයට සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත.
කොරෝනා නිසා ආණ්ඩුවට ගමන් කිරීමට නියමිතව තිබුණු ගමන් මාර්ගයේ ගමන් කිරීම සඳහා බාධක, අභියෝග රැසකට මුහුණ දීමට සිදු වූ බව රහසක් නොවේ. එම බාධක කම්කටොලුවලට මුහුණ දී රට ඉදිරියට ගෙනයාමට වර්තමාන විපක්ෂය කැමැත්තක් දක්වන්නේ නැති තරම් ය.
එසේ කැමැත්තක් දක්වනවා නම් වගකිව යුතු විපක්ෂයක් කළ යුත්තේ වචනයකින් හෝ ආණ්ඩුවට සහාය ලබා දීමයි.
ක්‍රියාවෙන් මෙම ක්‍රියාවලියට සහාය ලබාදීමට කිසිවක් නොකරන විපක්ෂය කතාවෙන්වත් ඒ දේ නොකිරීමට තරම් කුහක වී ඇත.
මෙම අභියෝගය ජයගැනීමට ආණ්ඩුව ගන්නා එකදු උත්සාහයක් ගැනවත් ඔවුන් සාධනීය ප්‍රතිචාරයක් ලබා දෙන්නේ නැත.
ගුවන් තොටුපොළ වසා දමා තිබෙන විට විපක්ෂය විමසන්නේ ගුවන් ගුවන්තොටුපොළ විවෘත කරන්නේ කවදා ද? කියා ය.
ගුවන් තොටුපොළ විවෘත කරන විට විපක්ෂය විමසන්නේ විවෘත කළ ගුවන්තොටුපළින් යළි කොරෝනා රටට ඇතුළු විය හැකි බවයි.
පසුගියදා මාස 10 කට පසුව යුක්‍රේනයේ සිට සංචාරකයන් පිරිසක් නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව මෙරටට ගෙන්වා ගත්තේ කොරෝනා සමඟ රට ඉදිරියට ගමන් කිරීමේ එක් පියවරක් වශයෙන් මෙරට සංචාරක කර්මාන්තය නඟා සිටුවීම සඳහා ය. මෙසේ පැමිණි සංචාරකයන් තිදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා විය. ඉදිරියේ දී තවත් සංචාරකයන් මෙරටට පැමිණෙන විට තවත් කොරෝනා වයිරසය ආසාදිතයන් හමුවිය හැක. එම යථාර්ථයට මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යෑම සෞඛ්‍ය ආරක්ෂිතව කළ යුතුව තිබේ.
යුක්‍රේනයෙන් පැමිණි සංචාරකයන් තිදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පළමු වාර්තාවෙන් වැඩියෙන් ම චූන් එකට පත්වූයේ සජිත්ලා, අනුර කුමාරලා ඇතුළු පිරිස ය. විවෘත කිරීමට සූදානමින් සිටින ගුවන්තොටුපළ විවෘත නොකරාවි යනුවෙන් දත කට මැදගෙන සිටි විපක්ෂයට අපූරු පිළිතුරක් ලබා දුන්නේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගයි.
“මාස 10 කට පසුව සංචාරකයන් මෙරටට ගෙන ඒම නතර කරන්නේ නැහැ. කොවිඩ් වැලඳුණු යුක්‍රේන ජාතිකයන් තිදෙනාම සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉදිරි කටයුතු සිදු කරාවි. එම නිසා මෙම රෝගීන් සාමාන්‍ය රෝගීන්ට මුසුවන්නේ නැහැ. සෞඛ්‍ය විධිවිධාන ක්‍රියාත්මක කර ඇති නිසා බියක් ඇති කරගත යුතු නැහැ මෙමඟින් නව කොරෝනා පොකුරක් ඇතිවෙන්නේ නැහැ.” යනුවෙන් ප්‍රසන්න රණතුංග සංචාරක අමාත්‍යවරයා අවධාරණය කරයි.
යුක්‍රේන ජාතිකයන් තිදෙනාගේ ප්‍රශ්නයත් සමඟ විවෘත කිරීමට නියමිතව තිබුණු ගුවන්තොටුපළ යළි මාස කිහිපයකට වසා දමනු ඇතැයි ඇඟිලි ගනිමින් සිටි විපක්ෂයට ප්‍රසන්න ලබා දුන්නේ කන් දෙකම රත්වෙන පිළිතුරකි.
ආණ්ඩුවකට මෙවැනි අමාත්‍යවරුන් සිටිය යුතුයි. ඕනෑම අභියෝගයකට මුහුණදීම සඳහා රජයක් විදියට ගනු ලබන සෘජු තීන්දු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අමාත්‍යවරුන්ගේ කාර්යභාරයකි.
ගෝඨාභය, මහින්ද වැනි නායකයන් දෙදෙනකු රටේ වාසනාවට රට පාලනය කරද්දී අමාත්‍යවරුන්ට රට වෙනුවෙන් අභීත තීරණ ගෙන ක්‍රියාත්මක කිරීමට ඕනෑ තරම් අවස්ථාවන් හිමි වේ.
එම නිසා කොරෝනා සමඟ රට ඉදිරියට ගෙන යෑමේ දී සංචාරක කර්මාන්තය නඟා සිටුවීම සඳහා සෞඛ්‍ය උපදෙස්වලට යටත්ව සංචාරක අමාත්‍යවරයා ගත් අභීත තීන්දු තීරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම ඉතා හොඳ ආදර්ශයකි.
සජිත්ලා, අනුරලා, චම්පිකලා ඇතුළු විපක්ෂය ලොක් ඩවුන් වනතුරු කටවල් ඇරගෙන බලා සිටියත් ඔවුන්ට දිගට ම කටවල් ඇරගෙන සිටීම සඳහා පිළිතුරක් රජය විසින් ලබාදෙන ලදී. නව වසරේ පාසල් ආරම්භ කිරීම ජනවාරි 11 වැනි දා සිදුකිරීමට නියමිතයි.
පාසල් වසාගෙන සිටින විට මෙම අරුම පුදුම වර්තමාන විපක්ෂය කියන්නේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාළ වන නිසා පාසල් කඩිනමින් විවෘත කළ යුතු බවයි. පාසල් විවෘත කරන විට විපක්ෂය කියනු ලබන්නේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විමසා වහාම පාසල් වසා දැමිය යුතු බවයි. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නියෝජනය කරනු ලබන ජෝසප් ස්ටාලින් සහෝදරයා පාසල්වල ඉදිරි කටයුතු සඳහා ප්‍රායෝගිකව වැඩසටහන් ක්‍රියාවලියක් ඉදිරිපත් නොකර හැමදාමත් සිදුකරන්නේ රතු සහෝදරවරුන් මෙන් කටින් බතල කොළ සිටුවීමයි.
මෙසේ සෑම දේකට ම කොන්දේසි විරහිතව විරුද්ධ වන්නේ ජෝශප් ස්ටාලින්ගේ ප්‍රශ්නයක් ද නොඑසේ නම් ඔහුගේ නමේ ප්‍රශ්නයක් ද කියා දන්නේ ඔහුම පමණි.
ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය ගත්විට පාසැල් අරිනවාට වඩා පාසැල් වසා දමනවාට ඔවුන් කොහොමත් කැමති බවක් පෙන්නුම් කෙරේ. 1988 - 89 භීෂණ සමයේ දී මාස ගණනාවක් පාසල් වසාදමා තිබූ බව දන්නෝ දනිති. එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දියත් කළ මර්දනය සහ ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව ගැසූ කැරැල්ල හේතුවෙන් එම වසර දෙක, තුන තුළ රට සෑම අතින් ම අරාජිකත්වයට පත් වූ බව රහසක් නොවේ.
පාසල් සහ විශ්වවිද්‍යාල මාස ගණනාවක් ම වසා දමා තිබූ අතර ඇතැම් පාසල් සහ සරසවි වධකාගාර බවට පත්කොට තිබුණි.
පාසල්වල විදුහල්පතිවරුන්ගේ හිසට උඩින් රතිඤ්ඤා පත්තු කර විසිකර පාසල් දරුවන් උද්ඝෝෂණ කරා යොමු කිරීමේ සංස්කෘතිය ජනතා විමුක්ති පෙරමුණ මඟින් ආරම්භ කළ අතර පාසල් සිසුන්ගේ විනය වසර ගණනාවක් යනතුරු නිවැරදි මාර්ගයට ගැනීමට නොහැකි වූයේ ජනතා විමුක්ති පෙරමුණ පාසල්වලට හඳුන්වාදුන් සටන් පාඨ හේතුවෙනි.
එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් වගකිව යුතු එම භීෂණ සමයෙන් වන්දි ගෙවීමට සිදු වූයේ පාසල් දරුවන්ට හා විශ්වවිද්‍යාල සිසුන්ට ය.
ඇතැමකුට ජීවිතවලින්ම වන්දි ගෙවීමට සිදු වූ අතර බහුතරයකට තම අධ්‍යාපන කටයුතුවලින් වන්දි ගෙවීමට සිදුවිය. මේ නිසා ඔවුන්ගේ ජීවිත වසර ගණනාවක් ම ආපස්සට ගිය බව නොරහසකි. මේ දේ යළිත් වරක් සිදු කිරීමට ජනතා විමුක්ති පෙරමුණට හා එක්සත් ජාතික පක්ෂයට නෑකම් කියන සමගි ජන බලවේගයට අද වුවමනා වී තිබෙනවා ද? කියන ගැටලුව නිරන්තරයෙන් ම පැන නගින්නේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ හා සමගි ජනබලවේගය දක්වන ප්‍රතිචාර අනුව යි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයට පත් වී ඉතා කෙටි කාලයක් තුළ අභියෝග රැසකට සාර්ථකව මුහුණ දුන් නායකයකු ලෙස හැඳින්විය හැකිය.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ අත්දැකීම් සමඟ මුළු ලෝකය ම මුහුණ දෙන ප්‍රබලත ම අභියෝගයට මේ වන විට සාර්ථකව රජය මුහුණ දෙමින් සිටි.
කොවිඩ් - 19 ට තිරසාර විසඳුමක් ලැබෙන තුරු කොවිඩ් සමඟ ඉදිරියට යෑමට මුළු ලෝකම තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා රජය ද එම අභියෝගයට මුහුණ දීමට තීරණය කර ඇත.
2020 වසර තුළ එම අභියෝගයට අනෙක් රටවල්වලට සාපේක්ෂව ඉතා හොඳින් ශ්‍රී ලංකා රජය මුහුණ දී ඇති අතර 2021 වසරේ දී එම අභියෝගයට මුහුණ දීමට රජය සැලසුම් කර තිබේ.
සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා පටු ජාතිවාදය අවුස්සමින් කොරෝනා මළ සිරුරුවලින් හෝ ගොඩඒමට උත්සාහ ගන්නා විට ගම සමඟ පිළිසඳරට ගොස් ගමේ ජනතාවගේ ගැටලු විසඳීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටි.
මෙසේ රට පෙරට යන විට විපක්ෂය යන්නේ වළපල්ලට ද කියා විමසිය යුත්තේ ඔවුන්ගෙන්ම ය.