
- බන්දුල නුවරඑළියේ කෝපිවත්තක් වවන්න සූදානමක
- පරණ බස් 273ක් අලුත්වැඩියා කර මහපාරට
- “සංචාරකයන් කැඳවීම ආරක්ෂිතව කරන්න” ජනපතිගෙන් ප්‍රසන්නට උපදෙස්
- සජිත් යළිත් හම්බන්තොටට ගිහින්
අභියෝග රැසක් හමුවේ සිටින ලෝක වාසීන් ට නව වසරක් උදාවීය. 2021 වසර ආරම්භයේදීම දේශපාලනික, සමාජීය, ආර්ථික මෙන්ම සෞඛ්‍ය යන අංශ ගණනාවක්ම දැවැන්ත ලෙස කඩා වැටීමකට ලක්ව ඇත.
දේශපාලනික කරළිය තුළ ද ඉකුත් 2020 වසර පුරාවටම කතාබහ කිරීමට සිදු වූයේ කොරෝනා වසංගතය පමණි.
ලෝකය හමුවේ ඇති වූ මේ තත්ත්වය තුළ සංවර්ධිත සහ ලොව අංක එකේ යැයි කියා ගන්නා රටවල් එකිනෙක කඩා වැටීමට ලක්වූයේ කොරෝනා වෛරසය පාලනය කිරීමට හැකියාවක් නොමැතිකමනි.
ලෝක බලවතා ලෙස සැලකෙන ඇමෙරිකාවේ ලක්ෂ ගණනින් රෝගීන් දිනපතා හමුවෙද්දී අසල්වැසි ඉන්දියාවේ දිනකට දහස් ගණනින් රෝගීහු මියයති.
ශ්‍රී ලංකාව තුළ රෝගය ව්‍යාප්තව ඇතත් ලෝකයේ සෙසු රටවල් වලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ද මෙරට ක්‍රමවේදයන් අගය කළ අවස්ථා කිහිපයක්ම සටහන් විය.
මෙරට පැවැති උත්සව ගණනාවක් මෙන්ම සාම්ප්‍රදායික, ආගමික, සංස්කෘතික වශයෙන් වැදගත් වන වාර්ෂිකව පවත්වන උත්සව මෙවර සීමා විය. ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම කැබිනට් මැති ඇමතිවරු ප්‍රමුඛ රජය මෙන්ම විපක්ෂ නායක ප්‍රමුඛ විපක්ෂයේ ද උත්සව කටයුතු බොහොමයක් අවලංගු කෙරුණු අතර උත්සව කිහිපයක් ඉතා චාම් අන්දමින් පැවැත්වුණි.
දේශපාලනඥයන් වැඩි ඉඩක් ලබා දුන්නේ කොරෝනා උවදුරට මුහුණ දෙන ආකාරය පිළිබඳවය. වසර අවසානයේදී දේශපාලනඥයන් විදෙස් ගතවීම සහ පෞද්ගලික සංචාරවලට සම්බන්ධ වීම මෙවර සිදු වූයේ නැත. ඒ කොරෝනා වසංගතය හේතුවෙනි.
නව වසර සමරමින් සියලු රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කරන බවට දිවුරුම් දෙන ලෙස රජය ඉකුත් සතියේ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේය. ඒ අනුව රට පුරා සෑම රාජ්‍ය සේවකයකුටම ආණ්ඩුවේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය මත දිවුරුම් දීමට සිදු විය. ආණ්ඩුවේ හෝ පෞද්ගලික ආයතනවල හෝ මෙවර නව අවුරුදු සාද සංවිධානය කර තිබුණේ නැත. සෞඛ්‍ය නීති ආරක්ෂා කරගනිමින් රාජකාරී කටයුතු සිදු කිරීමට ආයතන බලධාරිහු අවශ්‍ය පියවර ගෙන තිබුණහ.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුව පළාත් සභා මෙරටට හඳුන්වා දෙනු ලැබුණි. උතුරු හා නැගෙනහිර පළාත්වලට දේශපාලන විසඳුමක් සෙවීමේ එක් පියවරක් ලෙස පළාත් සභා ක්‍රමය මේ රටේ ස්ථාපිත කෙරිණි. මේ වන විට පළාත් සභා සම්බන්ධයෙන් දේශපාලන කතාබහක් මෙන් දේශපාලනඥයෝ කණ්ඩායම් දෙකකට අයත්ව කටයුතු කරති.
ආණ්ඩුවේම මැති ඇමතිවරු පිරිසක් පළාත් සභා අවශ්‍යයි කියද්දී විපක්ෂයේ ද තවත් පිරිස පළාත් සභාවලට කැමැත්තක් සහ අකමැත්තෙන් යුතුව ප්‍රකාශ නිකුත් කරනු ලබයි.
මේ අතර ඉකුත් අඟහරුවාදා රැස්වූ පක්ෂ නායකයන් තීන්දු කර ඇත්තේ පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් පසුව තීරණයකට එළඹීමටය.
තවත් ප්‍රධාන ආන්දෝලනාත්මක සිද්ධියක් ඉකුත් සතියේ කරළියට පැමිණියේය. කොරෝනා ආසාදනයෙන් මිය යන රෝගීන්ගේ මෘතදේහ භූමදානය කරන්නට අවසර දෙන්නැයි මුස්ලිම් ජාතිකයන් උද්ඝෝෂණය කිරීමත් සමඟ රජයට මෙන්ම මුස්ලිම් දේශපාලන පක්ෂ වෙත ජනතාවගේ දැඩි විරෝධය එල්ල වෙමින් පවතී.
කොරෝනා රෝගය වැලඳීයාමෙන් මිය යන රෝගීන්ගේ දේහයන් භූමදානය මෙන්ම ආදාහනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබියදී රජය එම ක්‍රම දෙකම භාවිතා නොකර ආදාහනය කිරීම නිසා මුස්ලිම් ජනතාව ආගම් සහ සංස්කෘතික වශයෙන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව මුස්ලිම් සංවිධාන ප්‍රකාශ කර සිටියි.
මේ සම්බන්ධව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, ඇමතිනි සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ යන මහත්මීන් සමඟ සෞඛ්‍ය බලධාරීන් මෙන්ම කොරෝනා මැඬලීමේ කාර්ය සාධක බළකායේ සාමාජිකයන් සමඟ අවස්ථා කිහිපයකදීම ඉකුත් සතියේ සාකච්ඡා පැවැත්වුණ ද ඒ කිසිම සාකච්ඡාවකින් අවසන් තීරණයකට එළඹීමට නොහැකි වී තිබුණි. මෙම කණ්ඩායම් කිහිපයම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ ද සාකච්ඡා කර තිබුණි.
අවසානයේ රජය තීරණය කර ඇත්තේ මේ සඳහා පත් කළ විද්වත් කමිටුවේ අවසන් තීරණයට අනුව භූමදානය සිදු කරනවාද ආදාහනය සිදු කරනවාද යන තීරණය ගන්නා බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව වසරේ අලුත් මුහුණුවරකින් ප්‍රතිසංවිධානය කරන බව එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරන්නේය. පක්ෂයට අලුත් පණක් ලබා දෙමින් වෘත්තීයවේදීන් පිරිසකට ආසන සංවිධායක ධුර පිරිනැමීමට තමන් කටයුතු කරන බව ඔහු පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එවැනි අලුත් ගමනකට සූදානම් වන පසුබිමක එම පක්ෂයේ මැති ඇමතිවරුන්ට ආණ්ඩුවේ කෙනහිලිකම් එල්ල වන බවත් ග්‍රාමීය මට්ටමේ ක්‍රියාකාරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට ද ඔවුන්ගේ වැඩකටයුතු සිදු කරගෙන යාමට අවශ්‍ය පරිසරය නොමැති බව ඇමති මහින්ද අමරවීර අවධාරණය කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂයේ ඉදිරි ගමන පිළිබඳව සාකච්ඡා දෙකක් පැවැත්වුණි.
2021 වසර සඳහා පාර්ලිමේන්තුව 05 වැනිදා රැස්වීමට නියමිතය. පාර්ලිමේන්තු වාර්තාකරණය මාධ්‍යවේදින්ට නතර කර තිබූ අතර කොන්දේසි කිහිපයක් ඔස්සේ ඉදිරියේදි පාර්ලිමේන්තු වාර්තාකරණයට පිවිසීමේ අවස්ථාවක් මාධ්‍යවේදීන්ට ලබාදී තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු වාර්තා කිරීමට යන මාධ්‍යවේදීන්ට එක් ආයතනයකින් එක් අයෙකුට පමණක් සහභාගි විය හැකිය. මාධ්‍යවේදි කාමරය, ආහාර ගන්නා ස්ථානය භාවිතා කළ හැකිය. පාර්ලිමේන්තු පරිශ්‍රයේ වෙනත් ස්ථානයකට යාම සඳහා අවසර නොලැබේ.
මාස 09 කට පසු පළමු සංචාරක කණ්ඩායම දිවයිනට පැමිණියේ පසුගිය සඳුදාය. (28) ඒ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙනි. යුක්‍රේන සංචාරකයන් 180 දෙනෙක් PQ 555 දරන ස්කයි අප් ගුවන් යානයෙන් සඳුදා දහවල් 2.08 ට දිවයිනට පැමිණියහ. ඒ සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියුතු ව්‍යාපෘතියේ පළමු සංචාරක කණ්ඩායම ලෙසය.
සංචාරකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කෙරුවේ මාස කීපයක සිටය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, ආර්ථික පුනර්ජීවන කමිටු සභාපති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් මත ඊට අතගසා තිබුණේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංගය. ප්‍රසන්න මාස කීපයක සිට මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කළේය. සංචාරක ක්ෂේත්‍රයේ නිරතවූවන් සමඟ සාකච්ඡා කළේය. ගුවන්තොටුපළ නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය. සංචාරකයන් ගෙන්වීම නිසා මතුවිය හැකි තත්ත්වයන් එකින් එක සොයා බැලුවේය. ඒවාට විසඳුම් සෙව්වේය. ජනාධිපතිවරයා, අගමැතිවරයා හා බැසිල් දැනුවත් කළේය.
පසුගිය ඉරිදා (27) සවස ජනපති ගෝඨාභය ඇමති ප්‍රසන්නට කථා කළේය.
“ප්‍රසන්න දැන් කොහොමද හෙට සූදානම. ඔක්කොම හරිද?” ජනාධිපතිවරයා ඇසුවේය.
“ඔව් සර්. ඔක්කෝම ලෑස්තියි.” ප්‍රසන්න කීවේය.
“මේ එන සංචාරකයන් ගැවසෙන තැන්වල අපේ රෙට් ජනතාවට ගැවසෙන්න කිසිම ඉඩක් තියන්න එපා. මම හමුදාපතිතුමාටත් කියලා තියෙන්නේ” ජනාධිපතිවරයා කිවේය.
“නෑ සර්. මේ අයව කොහොමත් අපේ රටේ ජනතාවට සම්බන්ධ වෙන්නේ නෑ. අපි ඉතාම පරිස්සමෙන් මේ වැඩේ කරන්නේ.” ඇමති ප්‍රසන්න උත්තර දුන්නේය.
සඳුදා උදෑසනම ඇමති ප්‍රසන්න මත්තල ගුවන්තොටුපළට ගියේ සංචාරකයන්ගේ පළමු කණ්ඩායම පැමිණෙන අවස්ථාවේ සූදානම නිරීක්ෂණයටය. රාජ්‍ය ඇමති ඩී.වී. චානක ද ඔහු සමඟ එක්ව සිටියේය.
“ගුවන්තොටුපළ සේවක සේවිකාවන්වත්, මාධ්‍යවේදීන්වත් කිසිම කෙනෙක් මේ එන සංචාරකයන් සමඟ සම්බන්ධ කරන්න එපා. හැමතිස්සේම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්න” ප්‍රසන්න ගුවන්තොටුපළ සේවක සේවිකාවන් අමතමින් කීවේය. හරියටම දහවල් 2.08 ට ගුවන්යානය දිවයිනට පැමිණියේය. ඇමති ප්‍රසන්න, රාජ්‍ය ඇමති චානක ගුවන්තොටුපළේ වෙනම ස්ථානයක සිට එය නැරඹූහ.
“බැරිවෙලාවත් මේ එන එක්කෙනෙක් හරි පොසිටිව් වුණොත් විපක්ෂය උඩ පනී” චානක කීවේය.
“අපි මේ අය ගෙන්නන්නේ කොවිඩ් නැති රටකින් නෙමෙයිනේ. එන අය අතර එහෙම අය ඉන්න පුළුවන්. ඒකට අපි ලෑස්තියි. සෞඛ්‍ය අංශ හදපු ගයිඩ් ලයින්වල එහෙම වුණොත් මොකද කරන්නේ කියලා තියෙනවා.” ඇමති ප්‍රසන්න කීවේය.
“පාඨලි ආපහු කියලා තිබුණා සංචාරක පොකුරක් හැදෙයි කියලා” ගුවන්තොටුපළ උපසභාපති රජිව් සූරියාරච්චි කීවේය.
‘මේ රටේ කොවිඩ් වැඩි වෙනවා නම්, රට ලොක් ඩවුන් වෙලා ආර්ථිකය කඩන් වැටෙනවා නම් විපක්ෂයට ඒ තරම් සතුටක් නෑ. ඔය හොයන්නේ ඒ කාලකණ්ණි සතුට.” ප්‍රසන්න කීවේය.
“මේ එන කිසිම කෙනෙක් අපේ රටේ ජනතාව එක්ක ගැටෙන්නේ නෑ. ඒ වගේම මේ අයට කොවිඩ් බෝවෙලා නෑ කියලා අපේ PCR පරීක්ෂණ වලින් තහවුරු කෙරෙනකන් ඒ අයව හෝටල් වලින් එළියට යවන්නෙත් නෑ. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ” ප්‍රසන්න පැහැදිලි කළේය.
පළමු සංචාරක කණ්ඩායම මත්තල ගුවන්තොටුපළින් පිටත්ව යනතුරුම ඒ පිළිබඳව අවධානයෙන් සිටි ප්‍රසන්න ඔවුන්ගේ PCR පරීක්ෂාව නිසි ලෙස සිදුවන්නේදැයි සොයා බැලීමට ද අමතක කළේ නැත. මෙම සංචාරක කණ්ඩායම ලැගුම්ගෙන සිටින හෝටල් ආශ්‍රිත ප්‍රදේශයට මෙරට ජනතාව පැමිණීම වැළැක්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද හමුදාපතිවරයා සමඟ විටින් විට සාකච්ඡා කළේය. සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරිහු ද සම්බන්ධ කර ගනිමින් හෝටල්වල තත්ත්වය ද සොයා බැලූහ.
පසුදින (29) සවස වන විට යුක්‍රේන සංචාරකයන්ගේ PCR පරීක්ෂණවල වාර්තාව ලැබී තිබිණි. ඉන් කියවුණේ පැමිණි 180 න් 03 දෙනෙකු පොසිටිව් බවය. වහාම සෞඛ්‍ය බලධාරීන් ඇමතූ ප්‍රසන්න මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සොයා බැලුෙව්ය. ඔවුන් කීවේ මේ පිළිබඳව පූර්ව සූදානමක් තිබූ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කර ඇති බවයි.
පසුදින (30) උදෑසන වන විට මේ පිළිබඳව තොරතුරු මාධ්‍ය වෙත ද වාර්තා වී තිබිණි. ඒ අනුව ප්‍රසන්නට කථා කළ මාධ්‍ය හිතවතකු ඇසුවේ සංචාරකයන් දිවයිනට ගෙන්වීමේ නියමිත ව්‍යාපෘතිය නතර කරනවාද කියාය.
“අපි මේ තත්ත්වයට මුහුණ දෙන්න පූර්ව සූදානමක හිටියේ. ඒ නිසා මේ ව්‍යාපෘතිය නතර කරන්න අවශ්‍යතාවයක් නෑ.” ඇමති ප්‍රසන්න අවධාරණය කළේය. පසුගිය නත්තල් දවසේ ඇමති බන්දුල නුවරඑළිය පැත්තේ සංචාරයක නිරත විය. ග්‍රාම නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් හා අනෙකුත් නිලධාරීන්ගේ මඟ පෙන්වීමත් එක්ක ඇරබිකා කෝපි විශේෂය වගා කරන ආදර්ශ ගම්මානයේ ඇමති බන්දුල නිරීක්ෂණ කටයුතු සිදු කළේය. ගම්වාසීන් එක්ක සුහද කතා බහක නියැළෙන අතරතුර ඇමති බන්දුල මේ කෝපි වගාවට අවශ්‍ය නිසි තාක්ෂණය ලබා දී කෘෂිකර්ම අමාත්‍යාංශයත් එකක් එකතුවී නුවරඑළිය නැවතත් කෝපි වගා කරන ප්‍රධානතම දිස්ත්‍රික්කයක් බවට පත් කරන්න තිබෙන හැකියාව ගැන කරුණු විමසා බැලුවේය.
අඩි 2700කට වඩා උසැති නුවරඑළිය දිස්ත්‍රික්කයේ වගා කෙරෙන විශේෂිත කෝපි වර්ගයක් වශයෙන් ඇරබිකා කෝපි වර්ගය මේ වෙනකොට ජපානයට අපනයනය කරමින් පවතී. වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් මෙම අපනයන භෝගය තව තවත් වගා කරමින් කෝපි වගා කිරීමේ සිට ඵලදාව ලබාගන්නා තෙක් ක්‍රියාවලියත් එම කෝපි අපනයනය කිරීමේ තත්වයට පත් කරනු ලබන ක්‍රමවේදත් විශේෂයෙන් නිරීක්ෂණය කළේය.
කොහොම වුණත් නුවර එළිය නැවතත් කෝපි වත්තක් කරන්නට ඇමති බන්දුල තීරණය කර අවසන් බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග අපිට පැවසුවේ. මේ ර ධාවනයෙන් ඉවත්කළ ලංගම බස් රථ 273ක් සම්පූර්ණයෙන් අළුත්වැඩියා කර නැවත ධාවනයට එක්කිරීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රවාහන ඇමති ගාමිණී ලොකුගේ ද සහභාගිත්වයෙන් පසුගියදා ගාලු මෝදර පිටියේදි සිදුවිය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ ගත කළේ දකුණු හා පැසිෆික් ආසියානු දේශපාලනය පිළිබඳව රචනා කරමින් සිටින කෘතියේ වැඩ කටයුතුවල නිරත වෙමින්ය.
නත්තල් නිවාඩුව සහ නව වසර උදාව වෙනුවෙන් හිටපු මන්ත්‍රීවරු හා ක්‍රියාකාරීන් කොළඹින් පිටත සිය ගම් රට බලා ගොස් සිටි නිසා නායක රනිල්ට විවේකයක් ගත කිරීමට හැකි විය.
කොළඹට ආසන්නයේ සිටින පක්ෂ ක්‍රියාකාරීන් සහ හිටපු මන්ත්‍රීවරුන් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීහුද ඒ අතර වාරයේ දුරකතනයෙන් මෙන් ම කොල්ලුපිටියේ පිහිටි නායකයාගේ නිවසට පැමිණ සුපුරුදු පරිදි කතා බස් කරන්න වූහ. අවුරුද්දේ අවසන් බ්‍රහස්පතින්දා හිටපු මන්ත්‍රීවරුන් මෙන් ම පක්ෂ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු නායකයාගේ නිවසට පැමිණියේ පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.
“අඩක් භාවිතා කළ වසරක් කියලා තමයි ගෙවුණු වසර සමාජ මාධ්‍යවල හැඳින්වූයේ. ඇත්තටම රටටත් ජනතාවටත් ගෙවුණු වසරින් ප්‍රයෝජනයක් අත්වූයේ නැහැ.” සදිත් සමරසිංහ කතාවට මුල පුරමින් කීවේය.
“කොරෝනා නිසා ජන ජීවිතය ගොඩක් වෙනස් වුණා. ලෝකයම ආර්ථිකය, සමාජීය වශයෙන් අර්බුදයක ඉන්නේ. මේ වසංගතය ඉවර වෙන පාටක් නෑ වගෙයි” නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන කීවේය.
“හොයා ගත් එන්නතක් සාර්ථක නෑ කියලා වාර්තා වෙනවා. එය විදපු අයටත් නැවත කොරෝනා වැලඳිලා කියලා තමයි වාර්තා වෙන්නේ. ආශු මාරසිංහ පැවසීය.
“ෆයිසර් එන්නතේ වගේම ඔක්ස්ෆර්ඩ් එන්නතෙත් තාම සොයාගෙන නැහැ කියලයි ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියන්නේ. මේ වසරේත් මෙය වෙනස් වෙන්නේ නැහැ කියන එක තමයි කියන්නේ” රනිල් කීවේය.
අය වැය විවාදය අවසන්වීමෙන් පසුව සාමාන්‍යයෙන් කොළඹ දේශපාලන කටයුතු සිදුවන්නේ බොහෝම සීමිතවය. පක්ෂ නායකයන් මෙන් ම මන්ත්‍රීවරු ද තමන්ගේ ගම්බිම් බලා ගොස් තරමක විවේකයෙන් පසුවන්නේ මේ දිනවලදීය. එහෙත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට මේ වසර අවසානයේ එවැනි විවේකයක් ලබාගැනීමට අවස්ථාවක් ලැබුණේ නැත. ඒ අවුරුද්ද අවසානයේදීත් දේශපාලන වැඩකටයුතුවලට සම්බන්ධවීමට ඔවුන්ට සිදුවූ නිසාය.
සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය දිනවල හම්බන්තොට හා කතරගම ආශ්‍රිතව විපක්ෂ නායක ජංගම සේවයට එක් විය. පක්ෂයේ සංවිධාන කටයුතු ශක්තිමත් කරන පාක්ෂිකයන් හමුවන අතරම ජනතාව අතරට ගොස් ඔවුන්ගේ සුව දුක් සොයා බැලීමට ද විපක්ෂ නායකවරයා අමතක කළේ නැත.
කතරගම ප්‍රදේශයේ කඳසුරිදුගම, වල්ලිමාතාගම, මයිලගම, ද ලුණුගම්වෙහෙර, බෙරලිහෙල ද ඔහු ජංගම සේවය සිදු කළේ ය.
විවිධ අයට තිබුණේ විවිධාකාරයේ ගැටලු ය. එහෙත් බොහෝ දෙනාට පොදුවූ ප්‍රශ්නයක් විය. ඒ ජීවන වියදම පිළිබඳ ප්‍රශ්නයයි. විටෙක කුඩා දරුවන් රැගෙන පැමිණි මවක් ඇයගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරන්න වූවාය. තවත් විටෙක තරුණයෝ තමන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කළහ.
“ඉස්සර අපේ ගෙදර කන්න දෙයක් නැති වුණොත් අහල පහල ගෙදරකින් මොනවා හරි ඉල්ලගෙන කන්න පුළුවන්කම තිබුණා. ඒත් දැන් ඒකත් නෑ. හැමෝම බොහෝම අමාරුවෙන් ඉන්නේ” වයසක කාන්තාවක් කීවාය.
“මම කවුරුවත් කරපු දේවල් කරන්නේ නෑ. ජනතාවගේ ප්‍රශ්න විහිළුවකට ගන්නේ නෑ. අපි මේ ජනතා ප්‍රශ්න විසඳීමට සක්‍රීය මැදිහත්වීමක් කරනවා” විපක්ෂ නායකවරයා සහතිකයක් දුන්නේය.
විපක්ෂ නායකවරයා පසුගිය සතියේදී පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂ නායක කාර්යාලයට කැඳවූවේය. ඒ පසුගිය අවුරුද්දේ දේශපාලන කටයුතු ගැන විවෘතව කතා කිරීමටත් ඉදිරි වසරේදී කළ යුතු දේශපාලන වැඩකටයුතු ගැන අවධානය යොමු කිරීමටත්ය.
“අපිට පාර්ලිමේන්තුවේ ආසන පනස් ගානයි තිබුණේ. අය වැය වෙලාවේදී එතැනින් සමහර අය ආණ්ඩුවට මුක්කු ගහන්න ගත්තා. ඒත් අපිට තියෙන මන්ත්‍රී සංඛ්‍යාවෙන් පාර්ලිමේන්තුව ඇතුළේ ලොකු වැඩක් කළා. අය වැය කාලයේදී පාර්ලිමේන්තුවේ ආණ්ඩුවෙන් හඬක් නෙමෙයි තිබුණේ. විපක්ෂයේ අපේ හඬ තමයි තිබුණේ. ඒකට නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් අපි ඔබතුමාට ස්තුතිවන්ත විය යුතුයි” මන්ත්‍රීවරු කීහ.
“මේක මම තනියම කරපු දෙයක් නෙමෙයි. අපේ මන්ත්‍රී කණ්ඩායමම එකතුවෙලා කරපු දෙයක්. දක්ෂතා තියෙන තරුණ මන්ත්‍රීවරු මෙතැනදී කැපී පෙනුණා.” විපක්ෂ නායකවරයා කීවේය.
“ගතවුණ අවුරුද්දේ ව්‍යාපාර කඩාගෙන වැටුණා. රැකියා අහිමිවුණා. මේ දේවල් එක්ක ජනතාවගේ ප්‍රශ්න තවත් වැඩිවෙන්න පුළුවන්.” හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කීවේය.
“දැන් පිටරට සංචාරකයන්ට ලංකාවේ දොරවල් ඇරලා. ලංකාවට එන්න බැරිව ඉන්න ලක්ෂ ගණනක ශ්‍රමිකයෝ ගැන කිසිම උනන්දුවක් නැතත් මේ අය ගැන නම් ආණ්ඩුව ලොකු උනන්දුවකින් කටයුතු කරන බව පේනවා. මෙතැන යට තියෙන්නේ මොකක්ද කියලා බලන්න ඕන” ජේ.සී. අලවතුවල කීවේය.
“ආණ්ඩුව දැනටමත් පළාත් සභා මැතිවරණ සටන ආරම්භ කරලා තියෙන්නේ. මාවනැල්ලේ බුදු පිළිමයකට ගහලා මේ අය ජාතිවාදය වපුරලා පළාත් සභාව ගොඩදාගන්න හදනවා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ තනි සිංහල ආණ්ඩුවක් හදන්න ඕන කියලා කියපු අයගේ වැඩ ගැන මිනිස්සුන්ට මතක් කරලා දෙන්න ඕන” මනුෂ නානායක්කාර පැවසුවේ අතීත සිදුවීම් ගැන ද සිහිපත් කරමිනි.
“එක පැත්තකින් සීනි වංචාව, අනෙක් පැත්තෙන් නැගෙනහිර ජැටිය විකුණනවා. ආණ්ඩුව දවසෙන් දවස ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඒ අතරේ ගජ මිතුරන්ට සලකන්නත් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.” පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.
“අපේ පක්ෂ ව්‍යවස්ථාව ගැන මට ගොඩක් අය කතා කළා. මේ තරම් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් පක්ෂ ඇතුළේ නෑ කියලා තමයි ඒ අය කියන්නේ. පක්ෂ නායකයාට ලොකු බලයක් තියාගන්නේ නැති ව්‍යවස්ථාවක් හදන්න දුන්න එක ගැන බයක් නැද්ද” හරින් ඇසුවේ එක්සත් ජාතික පක්ෂ නායකයා ගැනත් සිහිපත් කරමිනි.
“අලුත් මල් පිපෙන කොට පරණ මල් පරවෙන්න ඕන. ඒ නිසා තමයි මම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ඇතුළේ ක්‍රියාත්මක වෙන ව්‍යවස්ථාවක් හදන්න උදවු කළේ” විපක්ෂ නායකවරයා කීවේය.
“ඔබතුමාට විවාදෙකට එන්න කියලා බන්දුල ඇමැතිතුමා අභියෝග කළා නේද?”
ගයන්ත කරුණාතිලක ඇසුවේය.
“අද තියෙන්නෙ අයාලේ ගිය ආණ්ඩුවක්. එහෙව් ආණ්ඩුවක මේ අයාලේ යන ඇමැතිවරයෙක් එක්ක මට විවාද කරන්න දෙයක් නෑ. මොකද ඊට වඩා ඒ රත්තරන් කාලය මට වටිනවා මේ රටේ තැලී පොඩි වෙන දුගී දුප්පත් ජනතාවගේ ප්‍රශ්න වලට, ගැටලුවලට විසඳුම් හොයන විපක්ෂ නායක ජංගම සේවය” සජිත් උත්තර දුන්නේය.
“ඒක ඇත්ත. රුපියල් දෙදාස් පන්සීයකින් පවුලකට ජීවත්වෙන්න පුළුවන් කියලා කියපු මනුස්සයනෙ” එහෙම කීවේ නලින් ය.
“හැබැයි මම ඕනම නම් එතුමට විවාදෙට ආරාධනා කරනවා. ඒත් ඒ සීත කාමරේක නෙවේ, මේ රටේ ජනතාව ගාවට ගිහින් අපි කරන විපක්ෂ නායක ජංගම සේවයට ඇවිත් ඒ විවාදය කරමු කියලා මම එතුමට අභියෝග කරනවා.” සජිත් කීවේය.
විපක්ෂ නායකයා මෙවර අලුත් අවුරුද්දට ජනතාවට සුබපැතුම් එක් කළේ වෙනස් ක්‍රමයකටය. හෙතෙම හම්බන්තොට විපක්ෂ නායක ජංගම සේවය පවත්වන අතරේ එළිමහනක හිදිමින් අලුත් අවුරුද්දට සුබපැතුම් එක් කළේ ය.
“මුළු ලෝකයම ව්‍යසනයක ඉන්න වෙලාවක්. වෙනදාටත් වඩා සොබාදහමට සමීප වීමේ වටිනාකම මේ යුගයේ දැනෙමින් තියෙනවා. ඒ නිසා දෙදහස් විසි එක වසරේ සාමය, සංහිඳියාව වගේම ලෝකයට ආදරය කිරීමේ වැදගත්කමත් විශේෂයි.” සජිත් කීවේය.