
මවකට පියෙකුට ලොව ඇති ලොකුම වස්තුව දරුවන් යැයි අමුතුවෙන් කිව යුතු නැත. කුමන දුකක් හෝ විඳ දරුවන්ගේ දුක් කඳුළු පිසලන්න මවුපියන් වෙහෙසෙන තරම ගැන අපි කවුරුත් දනිමු. දස මසක් කුසේ හොවා රැකගෙන, මහා බලාපොරොත්තු ගොන්නක් සමඟ හා හා පුරා කියා කුළුඳුලේ දරු සම්පතක් ලබද්දී ඒ දරුවාගේ දෑස් සුදු පටලයකින් වැසී, අත් පාවල ඇඟිලි දහය බැගින් ඇඟිලි හතළිහකුත්, කැරකී ගිය පතුලකුත් සහිතව දරු පැටියෙක් දෝතට ආවොත් කුමක් කරන්නද?
මීට අවුරුදු දොළහකට පෙර 2005, සීතල උඳුවප් මාසේ 20 වැනිදා ඩිශානි හංසිකා මවට අත් විඳින්න වුණේ එවැනි හිත හීතල වන අත්දැකීමකි. ඒ ඇයගේ වැඩිමල් පුතා, සියුම් ඉඳුවර ඉපදුණු දිනයේය. සියුම් පිළිබඳ හංසිකා පවසන්නේ මෙසේය.
“සියුම් මගේ ලොකු පුතා. මට තව දරුවෙක් ඉන්නවා අවුරුද්දක් වයස. එයාට කිසිම අඩුපාඩුවක් නෑ. එත් ලොකු පුතා උපන් දා ඉඳලාම මේ වනතුරු පුදුම දුකක් විඳින්නේ. එයා ඉපදෙනකොටම ඇහේ කළු ඉංගිරියාවක් පේන්න තිබුණේ නෑ. අත්වල ඇඟිලි දහය ගානේ එකට ඇලිලා තාරාවෙකුගේ වගේ තිබුණේ. කකුල්වලත් ඇඟිලි විස්ස ගානේ තිබුණා. ඒවත් ඇලිලා. එක කකුලක් කැරකිලා තිබුණේ.“
එහෙත් සියුම්ට මවු සෙනෙහසින් කිසිදු අඩුවක් වූයේ නැත. හංසිකා හැකි හැම උත්සාහයක්ම දැරුවේ දරුවාගේ මේ අඩුපාඩු මඟහරවා ගන්නට මඟක් සොයන්නටයි. මිනිසත්කමින් පිරුණු අය අප අතර තවමත් සිටින බව සහතික කරමින් කැලණිය ප්‍රදේශයේ පදිංචි ජයරත්න නම් මහත්මයෙක් මේ දරුවාගේ දුකට පිහිට වී සිංගප්පූරුවට යවා ඇස් පෙනීම ලබා ගැනීමට අවශ්‍ය සැත්කමක් සඳහා බරපැන දරා තිබේ.
“ඔපරේෂන් එකෙන් පස්සේ මාසයක් ගානේ සිංගප්පූරු ගිහින් බේත් දාන්න ඒ මහත්තයා අපට උදව් කළා. ඒ මහත්තයාට පිං සිද්ධ වෙන්න දැන් පුතා පාට කියන්න දන්නවා. ඒත් සමහර වෙලාවට වරදිනවා. පුතාගේ කකුලේ ඇදේට නෝනා වාට්ටුවෙන් ඔපරේෂන් දෙකක් කළා. දොස්තරලා කියන්නේ කකුල කපන්න වෙයි කියලා. ඒත් පුතාලගේ තාත්තා ඒකට කැමති වුණේ නෑ. පුතා ඒ කකුලෙන් හෙමින් හෙමින් ඇවිදිනවා.“
හංසිකාගේ ජීවිතය බොහෝ කටුක වන්නේ සිය සැමියාගේද එක් ඇසක් නොපෙනෙන නිසාය. ඔවුන් දෙදෙනා දිවි ගැට ගසා ගන්නේ මාළු සහ කරවල අලෙවි කිරීමෙනි.
“මම පාන්දර තුනට බයිසිකලේ පැදගෙන ගිහින් මීගමුවෙන් මාළු ගේන්නේ, පුතාලාගේ තාත්තාට ලයිසන් නැති නිසා. අපේ රස්සාව ඒක වුණාට, පුතා ලස්සනට මහතට හිටියට එයා මස් මාළු කිසිදෙයක් කන්නේ නෑ. එහෙම දරුවටයි මෙහෙම වෙලා තියෙන්නේ. ඒ මදිවට ඇස්වල ඔපරේෂන් එක මොළේ ස්නායුවලට බලපාලාලු, පුතාට දැන් ෆිට් එක හැදෙනවා. එයාගේ කකුලේ ඇදේ නිසා වැසිකිළි යන්නත් අමාරුයි අපේ ගෙදර තියෙන ක්‍රමයට.“
හංසිකා පවසන අයුරින් එක අතක ඇඟිලි වෙන් කර සාමාන්‍ය තත්ත්වයට ගැනීම සඳහා ශල්‍යකර්ම හතරකට මේ කුඩා දරුවාට මුහුණ පාන්නට සිදුව ඇත. අනෙක් අතේ ඇඟිලි වෙන් කිරීමටද විශාල මුදලක් වැය වේ.
“මගේ ගාව එකතු කරපු මුදල් ටිකක් තියෙනවා. ඒත් ඒක මදි. දොස්තරලා කියනවා ඉක්මනටම මේ ඔපරේෂන් එක කරන්න කියලා. අපි හරි අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න මිනිස්සු. ඒ නිසා එක පාරට කියන මුදල සොයාගන්න අමාරුයි.“
හංසිකාගේ එකම පැතුම සිය වැඩිමල් පුතුගේ අනාගතය යහපත් කිරීමය. පාසල් යන, දුව පැන නටන සම වයසේ දරුවන් දෙස බලමින් ඇය සුසුම්ලන්නේ මල්ලී සමඟ හෝ සෙල්ලම් කිරීමට මේ දරුවාට හැකියාව ලැබෙන්නේ කවදාද සිතමිනි. සියුම් ඉඳුවර පුතු වෙනුවෙන් හංසිකාගේ පැතුමට සවියක් වන්නට 0710931650 අැමතීමෙන් හෝ සම්පත් බැංකුවේ ගණේමුල්ල ශාඛාවේ 107853856685 අංකයට ඔබේ පරිත්‍යාගශීලී අතහිත දීමෙන් හැකියාව තිබේ.