ඉරටු දුන්නෙන් විද දරුවා බිහි කරයි | සිළුමිණ

ඉරටු දුන්නෙන් විද දරුවා බිහි කරයි

 එක්දහස් නවසිය හතළිස් හතේදී පමණ වන්නියේ කුඹුක්දෙනිය ගම්තුලාවේ ජීවත් වූ ස‍ාමෙල් ආතා පාරම්පරික වට්ටෝරු වෙද මහතෙකි. දිනක් රාත්‍රියේ ගිනිහුළක් පත්තු කරගෙන ගමන් ඇරැඹුවේ ළඟපාත ඇති පන්සල කරාය. ටිකදුරක් යනවිට වෙල් ඉස්මත්තේ පිහිටි ගෙයකින් කාන්තාවක තදින් ම කෑගසන හඬක් ඇසුණි.

ගිනිහුළද වනවනා ගින්දර වැඩි කරමින් ඒ නිවසෙ වෙත පා නැඟුවේය. කෑගැසීම ක්‍රමයෙන් වැඩි වන්නට පටන් ගැනිණ.

නිවෙසට ළංවී ගිනිහුළ නිවාදමා ගෙට එබී බලද්දී පිරිසක් ඉස්තෝප්පුවේ රැඳී සිටි අතර දොස්තර මහතකු ද ගමන් බෑගයක් සහ වෙදනළාවක් අත ඇතිව පුටුවක හිඳගෙන කල්පනා කර කර සිටින බව එකවර ම ඇස ගැසිණ.

කාන්තාව ගේ ඇතුළේ කෑමොර දෙන්නේ දරුවකු ප්‍රසූත කිරීමට නොහැකිව ය. මේ මොහොතේ සාමෙල් ආතා ගෙදර සිටි කෙනෙකුගෙන් මෙම ගැබිනි මාතාව බැලීමට අවසර ඉල්ලුවේය. නමුත් ඒ අය ඔහුට තරමක් උස් හඬින් කතා කර එය වළක්වද්දී එතැන සිටි දොස්තර මහතා ගැබිනිය බලන්නට සාමෙල් වෙද මහතාට ඉඩ දුන්නේය. ගැබිනියගේ නාඩි පරික්ෂා කර බැලූ වෙදමහතා ගෙයින් පිටතට බූමිතෙල් කුප්පි ලාම්පුවක් ද රැගෙන පැමිණ තැඹිලි පොල් පැළයකින් ඉරටුවක් ගෙන එයින් දුන්නක් සාදා කෙසෙල් පට්ටයෙන් නූලක් බැඳ තැඹිලි පොල් ඉරටු‍ව ඊතලයක් ලෙස සාදා ගැබිනිය අසලට පැමිණියේය. අනතුරුව කාන්තාවගේ ගර්භය පමණක් පෙනෙන සේ සකස් කර දෙන්න යැයි ඉල්ලා සිටියේ ය.

ඊට ඉඩ සලදා දීමෙන් පසු සාමෙල් ආතා පියවර 3ක් පස්සට ගොස් බඩට ඉරටු දුන්නෙන් විද්දේය. එකවර ම කාන්තාව කෑමොර දෙමින් දරුවා ප්‍රසූත කළ විට දොස්තර මහතා සහ එතැන සිටි සැවොම පුදුමයට පත්වූහ. “ඔය දරුවාගේ දකුණු අතේ පිටපැත්තේ රතුපාට පැල්ලමක් ඇති. එය ඊතලය වැදුණු පහරයි” යනුවෙන් සාමෙල් ආතා පැවසුවේ සැවොම පුදුම කරවමිනි. ගර්භයේදී දරුවා දකුණු අතින් පෙකණි වැල තදින් ම අල්ලා ගෙන සිටි අතර ඊතල පහර වැදීම නිසා වේදනාව දැනී දරුවාගේ අත ඉබේ ම ඇරුණේ ය. දොස්තර මහතා ද පුදුමයට පත්විය. ගෙදර සිටි අයද විමතියට පත්වී සාමෙල් ආතාට තෑගිබෝග පිරිනමන ලදී. අපේ ඉපැරැණි පාරම්පරික දේශීය රහස්කෙම් ක්‍රම හා වට්ටෝරු වෙදකම්වල හාස්කම් පිරී තිබෙන බැව් ඇත්තකි. උපක්‍රමශීලී රහස්කෙම් ක්‍රමවල කිසියම් ගුප්ත ශක්තියක් ගැබ්වී තිබෙන නිසා පරණ හණ මිටි යැයි සලකා ඉවත දැමීම බුද්ධි ගෝචර නොවේ.

“උඹලා සේරම මට බැන්නනේ. දැන් කොහොමද වැඩේ, ඕකනෙ කියන්නේ ළමයි හදන එකට වැඩිය වදන එක අමාරුයි කියලා”..... කියමින් සාමෙල් ආතා ගිනිහුළ දල්වාගෙන තමා ආ ගමන පිටත්වූයේය.


 

මාමේ, අර මොක්කුද පීනන්නේ

ඒ.ඇම්. නවරත්න බණ්ඩා

නිකවැරටිය

නිකවැරටිය ප්‍රදේශයේ පිටිසර ගමක පවුලක දියණියකට නගරබද රජයේ පාසලකට ගුරුපත්වීමක් ලැබිණ. මවුපියන් මැයට ඉගැන්වීම සඳහා බොහෝ දුක්විඳ තිබේ.

කාලයක් ගත වන විට අවාසනාවකට දෝ ගුරු දියණියට ගුණදහම් හා තමා උපන් ග්‍රාමීය පරිසරය, ඒ පරිසරයේ ගහකොළ, වැව් අමුණු, ඇළදොළ හා සතා සිවුපාවා පවා ඉක්මනින් අමතක විය.

කාලයකින් ගමට පැමිණි දිනයක ගුරු දියණිය උදේ වරුවේ නෑමට ග‍ෙම් වැවට ගියාය. නෑමට පැමිණ සිටි අයට හැ‍ඟෙන්නට වැවේ තෙප්පිලි, ලූල්ලු, කාවයියන් ගැන පුද්ගලයකුගෙන් පුදුමයෙන් මෙන් මෙසේ විමසුවාය.

“මාමේ අනේ අර මොක්කුද කට අයව අයවා පීනන්නේ. සුදු පාටට, රතු පාටට පිපිල තිබෙන්නේ මොනවද?”

මඳක් කෝපයට පත් මාමා ගත්කටට ම, “ඇයි උඹ මේ ගමේ හිටපු කෙනෙක් නෙමෙයි ද? පීනන මාළුවන්, තෙප්පිලි, ලූල්ලු, කාවයියන් බව දන්නැද්ද? සුදුපාටට රතුපාටට පිපිලා තිබෙන්නේ නෙළුම් මල් බව දන්නැද්ද? අනේ අනිච්චං උඹලට ගමේ දේවල් අමතක වෙච්ච ඉක්මන.”

දැන දැන සත්‍යය වසන් කර කතා කිරීමට ගොස් ලජ්ජාවට පත් ගුරු දියණිය කිසිවක් නොදොඩා ඉක්මනින් නාගෙන නිවෙසට ගියාය.


 

මැණික් මුදලාලිගෙ සන්තෝස දීමනාව

සිරිසේන හෙට්ටිගේ

උඩනිරිඇල්ල

දැනට දශක පහකට පමණ එපිට ලංකාවේ මධ්‍යම පළ‍ාතේ එක්තරා ප්‍රදේශයක මැණික් ලැබෙද්දී එහි ගම්මු මැණික්වල නියම වටිනාකමක් නොදත්තාහ. අහිංසක මෙන්ම කිසියම් නිවට බවක් ද පෙන්නුම් කළ එම ජනතාව කෙනෙකුට පහසුවෙන් රැවටිය හැකි පිරිසක් ද වූහ. මේ නිසා මැණික් ගැරීමට හා ගැනීමට පැමිණෙන පිටස්තර අයට කදිමට තම තමාගේ මඩිය තද කර ගැනීමට හැකි විය.

මැණික් ලද විට ඊට නොසරිලන මිලක් ලබා දී ගෙදර දොරට අවශ්‍ය කරන බඩුමුට්ටුවක් දෙකක් ලබාදීමට මැණික් වෙළෙඳුන් පෙලැඹුණේ අහිංසක ජනයාගේ සිත් වඩාත් සතුටු කරවන අදහසිනි. දිනක් උදෑසනක මැණික් ව්‍යාපාරිකයකු වෙත ආ ගැමියෙක් වටිනා නිල් මැණිකක් රහසේ සඟවා ගෙනැවිත් දුන්නේය. මුදලාලිට ඇස් අදහාගත නොහැකි වී “හොඳයි.. කීයක් ඕනැද?”

“අනේ... කීයක් හරි දෙන්න. මට ගානක් කියන්ඩ බෑ. මට වයර්ලස් එකක් (රේඩියෝවක්) අරන් දෙන්න.” ගැමියා කීවේය.

අද මෙන් නොව එකල රේඩියෝවක් තිබුණේ ගමකට එකක් හෝ දෙකක් පමණි. මුදලාලි වහා නගරයට ගොස් රේඩියෝවක් රැගෙන ගොස්,

“හැබැයි. මේක අතපතගාන්න එපා. නොදන්න දෙයක් ති‍ෙයනව නම් මා ළඟට ම එන්ඩ ඕනැ.” යැයි පැවසීය.

සියල්ල මුදලාලි කිවූ පරිදි සිදුවිය. පහුවදාම ගැමියා රේඩියෝවත් රැගෙන මුදලාලි හමුවට පැමිණියේය.

“අ‍නේ... මුදලාලි මේක හරි නෑ. මේකෙ තියෙන්නෙ එකම සේවයක්මද? හරිම කරච්චලේ. මේක මාරුකරල වෙන එකක් ගමු.”

මුදලාලි භාණ්ඩය අතට ගත්තේය. නගරයට යන බවක් අඟවා ළඟපාතක කඩයක් පිටුපසට ගොස් රේඩියෝව වෙනත් ලයින් එකකට දමා, ශබ්දය පාලනය කර ගෙනැවිත් දුනි.

“ආ... මේකට මට තව ගානක් වියදම්. ඒ වුණාට කමක් නෑ.” කියමින් මුදලාලි හෙමින් සීරුවේ ඉසව්වෙන් ඉවත්ව ගියේය.

 

Comments