‘ආණ්ඩුවේ ඇමතිවරුවත් ආණ්ඩුව කරන දේවල් දන්නේ නැහැ’ | සිළුමිණ

‘ආණ්ඩුවේ ඇමතිවරුවත් ආණ්ඩුව කරන දේවල් දන්නේ නැහැ’

- පාලන මිලට හාල් ගන්න පුළුවන් එක කඩයක්වත් අපේ රටේ නැහැ...
- කොවිඩ් දෙවැනි රැල්ල පැතිරයාම ගැන රජය වගකීම බාරගත යුතුයි...
- අද රට පාලනය කරන්නේ ආරක්ෂාව ගැන සුවිශේෂ දැනුමක් ඇති අයෙක්...
- ‘20’ සේරම බලය එක තැනකට ගෙනාවා
- දහ දහසේ බඩු මල්ලේ 3000ක වත් බඩු නැහැ

කොවිඩ් දෙවන රැල්ල මෙතෙක් පාලනය කර ගත නොහැකි වෙලා තියෙනවා?

මේ රජයට කොවිඩ් වසංගත පිළිබඳව අදහසක් මුල ඉඳලම තිබුණේ නැහැ. චීන ජාතිකයකු මුලින්ම කොවිඩ් ආසාදිතයකු ලෙස සොයා ගනිද්දී රජයක් හැටියට මීට වඩා වගකීමක් දරන්න

තිබුණා. විශේෂයෙන්ම කොවිඩ්වලින් නිදහස් රටක් බව පවසමින් පසුගිය මාසවල සංචාරකයන් පවා මෙරටට ගෙන්වා ගැනීමේ උත්සාහයක් රජය ගත්තා. විදේශිකයන් මෙරටට ගෙන්වූවා. අවශ්‍ය නැති වෙලාවක විදේශ නියෝජිතයන් මෙරටට ගෙන්වා ගත්තා. මේ කරුණුත් බලපෑවා කොවිඩ් මේ තරම් ව්‍යාප්ත වෙන්න.

දූපතක් වෙච්ච අපිට කොවිඩ් ඉතා පහසුවෙන් පාලනය කරගන්න තිබුණා. විශේෂයෙන් නවසීලන්තය වැනි රටවල් සම්පූර්ණයෙන් එම රට වසා තබමින් විදේශිකයන් පැමිණීම වළක්වාලමින් මෙය පාලනය කළා. රජය මේ පිළිබඳව විශේෂ අවධානයකින් කටයුතු කළා නම් මේ තත්ත්වයට රට පත්වෙන්නේ නැහැ කියන එක අපි පැහැදිලිවම කියනවා.

අනෙක් කාරණය තමයි දෙවන රැල්ල එන විට මැතිවරණ තියලා නොයෙක් සැණකෙළි පවත්වලා කොරෝනා පිළිබඳව මිනිස්සුන්ට තිබුණු බය සම්පූර්ණයෙන් නැති කර ගත්තා. මොකද කොවිඩ්වලට මිනිස්සු බයක් තිබෙන අවස්ථාවක ඔවුන් ඉතාමත් පරිස්සම් වෙනවා. රජය ජනතාවට මේ පිළිබඳව තිබුණු බිය අයින් කරා කියන එක පැහැදිලියි. දෙවන රැල්ල මේ තරම් පැතිර යෑම පිළිබඳව වගකීම රජය සම්පූර්ණයෙන්ම බාර ගත යුතුයි.

තවත් පැත්තකින් සෞඛ්‍ය අංශවලට නිසි බල දීලා ඒ සඳහා විශේෂඥ දැනුම තිබෙන පුද්ගලයන් කැඳවලා ඔවුන් මේ සඳහා පූර්ණ වශයෙන් සම්බන්ධ කර ගැනීමට රජය කටයුතු කළේ නැහැ. අද මේක පාලනය කරගන්න බැරි තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ මෙවැනි කරුණු නිසා තමයි.

ඔබ කියන්නේ රජය නීතිමය වශයෙන් ක්‍රියා නොකළ බවද?

මේ සම්බන්ධව නොයෙක් නිර්නායකයන් මතු කරන්නේ සෞඛ්‍ය ඇමැතිවරිය යම් යම් ගැසට් නිවේදනයන් කිහිපයක්ම ක්‍රියාත්මක කළා. නමුත් ඒ සඳහා නීතිමය වශයෙන් කිසිම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් අපිට පෙනෙන්නට නැහැ.

මේ රට තුළ සම්පත්දායකයන් ලෙස සෑම සේවා වසමකම රජයේ නිලධාරීන් සිටිනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ගත්තාම ඒ වගේ අය ඉන්නවා. සංවර්ධන නිලධාරීන් පිරිසක් සිටිනවා. අනෙක් පැත්තෙන් බැලුවාම යුද්ධයක් තිබුණු රටක් ලොකු මිනිස් බලයක් සිටින හමුදාවක් ඉන්නවා. මේ සියලු දෙනාම ඒකරාශී කරගෙන මේ හැම මනුස්සයෙක්ම සම්බන්ධ කර ගනිමින් ඔවුන්ව දැනුම්වත් කරමින් කොරෝනා වෛරසය සහ මේ රෝගයේ තිබෙන බැරෑරුම්කම ජනතාවට පෙන්වා දීලා මෙයින් මිදෙන්නේ කොහොමද කියලා ජනතාවට කියා දිය යුතුයි. අපි ගමත් නගරයත් රටක් හැටියට මේ සඳහා මුහුණ දෙන්නේ කොහොමද මේ කරුණු සියල්ල හරහා ජනතාව දැනුම්වත් කිරීමක් සිදු කළා නම් මේ තත්ත්වය වෙනස් වෙනවා. වෙනස් කරන්න

පුළුවන්කම රජයට ඇති වෙනවා.

ඔබ හිටපු අධිකරණ අමාත්‍යවරියක්. මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම තවමත් ක්‍රියාත්මකයි. ඇයි මෙය සම්පූර්ණයෙන්ම නතර කිරීමට නොහැකි?

ඇත්තටම අපගේ යහපාලන රජය විසින් මෙම මත්ද්‍රව්‍ය උවදුරින් ශ්‍රී ලංකාව මුදාගන්නට දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. මෛත්‍රීපාල ජනාධිපතිවරයා මේ සඳහා පැහැදිලිවම ලොකු වැඩ

කොටසක් ඉටු කළා. ඒක අපි කවුරුත් පිළිගන්න කතාවක්. අපි මේ සඳහා සෘජුවම සම්බන්ධ වෙමින් ඒ සඳහා උපරිම සහයෝගය ලබා දුන්නා. හැබැයි ඉතිහාසයේ සිට මත්කුඩු අත්අඩංගුවට ගන්නා ප්‍රමාණය විනාශ කරනවාද කියන ගැටලුව මතුවුණා. එලෙස අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවලට කුමක් සිදුවෙනවාද යන්න ගැටලුවක්.

මේ රජය බලයට පත්වීමෙන් පසු මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය තොග පිටින් කිලෝ සිය දහස් ගණනින් අත්අඩංගුවට ගත්තා. මේවාට කුමක් සිදුවෙනවාද කියන ගැටලුව තිබෙනවා. මම හිටපු අධිකරණ අමාත්‍යවරියක් හැටියට දන්නවා මත්කුඩු ජාවාරම්කරුවන් වෙනුවට ඇබ්බැහි වූවන්ට පමණයි දඬුවම් ලැබෙන්නේ. මහා පරිමාණ ව්‍යාපාරිකයන් මේ පසුපස සිටිනවා. මෙලෙස සිටින ව්‍යාපාරිකයින්ට කිසිදු දඬුවමක් නැහැ. මහා පරිමාණ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක වීමක් නැහැ.

මත්ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් රටට ගෙන එනු ලබන්නේ මුහුදු මාර්ග ඔස්සේ. ඇයි අපිට බැරි මේ තත්ත්වය පාලනය කරන්න.

යහපාලන ආණ්ඩුව මඟින් අපි අපිට කරන්න පුළුවන් උපරිම දේ කළා. වර්තමාන රජයේ ආරක්ෂක ලේකම්වරයා මේ වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරන බවට අපිට තොරතුරු තිබෙනවා. ඔහුට ලොකු උනන්දුවක් තිබෙනවා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් මේ රට බේරා ගැනීමට.

නමුත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් මරන්න පටන් අරන් තිබෙනවා. ඔවුන් මරන්න අයිතියක් නැහැ. අපගේ යහපාලන රජය පැවැති කාලයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ප්‍රධාන පෙළේ පාතාල නායකයන් රැසක්ම අපි මේ රටට ගෙන ආවා. එම පාතාල සාමාජිකයන් මෙරටින් පලා ගොස් සැඟව සිටි සැකකරුවන්.

අද රට පාලනය කරන්නේ හිටපු හමුදා නිලධාරියෙක්. ඔහු ආරක්ෂාව සම්බන්ධ සුවිශේෂී දැනුමක් තිබෙන අයෙක්. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය වුණාම රටේ ආරක්ෂාව නෑ කියලා ජනතාව පත් කරගන්න නායකයා ඒ වගේම වර්තමානයේ සිටින ආරක්ෂක ලේකම්වරයා හිටපු හමුදා ප්‍රධානියෙක්. හැබැයි පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවකු වූ මධූෂ්ට වෙඩි තබා ඝාතනය කරනකම් පොලිසිය මොකද කළේ? ඔහුගේ ආරක්ෂාවට මොකද වුණේ? කෝ මේ රටේ ජනතාවට ආරක්ෂාවක් කියන එක අපිට මේ රජයෙන් අහන්න වෙනවා. කුඩු ජාවාරම්කරුවන් අපරාධකරුවන් මේ අයට නීතියෙන් දඬුවම් ලබා දිය යුතුයි. හැබැයි ඔවුන් අත්අඩංගුවේදී ඝාතනයට ලක් වෙනවා කියන්නේ මේ රටේ ජනතාවට ආරක්ෂාවක් නැහැ කියන එක නේද?

20 වැනි සංශෝධනය ගෙන ආවා. එය සම්මත කරගත්තා. ඔබලා එයට විරුද්ධ වුණේ ඇයි?

ඔව් අපි එයට විරුද්ධයි. මොකද 20 කවදා හරි දවසක මේ රට විනාශ කරනවා. මෙන්න මේ නිසා අපි කියන්නේ 20 අපි ඉතා ඉක්මනින්ම වෙනස් කළ යුතුයි කියන එක. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති ලෙස බලයට පැමිණියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. මහින්ද රාජපක්ෂ මහතා බලයට ආවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට ආවේත් මේ ක්‍රමය අහෝසි කරනවා කියලා. හැබැයි ඔය කියන කවුරුත් ජනාධිපති ලෙස පත් වුණාම විධායක ජනාධිපති ක්‍රමය අයින් කරන්නේ නැහැ. 1978 දී ජේ. ආර්. ජයවර්ධන මහත්මයා මේ ක්‍රමය ගෙන එනකොට කවුරුත් හිතුවේ නැහැ මෙහි බරපතළකම. නමුත් අද සියලු දෙනාට ඒක දැනිලා තිබෙනවා.

මෙන්න මේ කාරණා සියල්ල නිසා තමයි අපි 19 වැනි සංශෝධනය ගෙන ආවේ. එක පුද්ගලයකු ගන්නා ඒකමතික තීරණ, පෞද්ගලික තීරණ වෙනස් කරන්න තමයි අපි 19 ගෙන ආවේ කියන එක මේ රටේ සියලුම දෙනාට පැහැදිලි කරුණක්. එක තැනකට එක් පුද්ගලයකුට දීලා තිබුණු බලය අපි වෙනස් කරා. ජනාධිපති පාලනයකට එරෙහිව තමයි 19 ක්‍රියාත්මක වුණේ. වර්තමාන රජය එදා කීවේ ජනාධිපති අගමැති අතර කඹ ඇදිල්ලක් තිබෙන්නේ 19 කියන්නේ බලය පාලනය කරන්න බැරි ව්‍යවස්ථාවක් කියලයි. ජනාධිපතිගේ බලතල පාර්ලිමේන්තුවට යනවාට ඔවුන් කැමැති වුණේ නැහැ. නමුත් ජනාධිපති පත්වෙන්නේ රටේ ජනතාවගේ ඡන්දයෙන්. ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පත්වෙන්නේ රටේ ජනතාවගේ ඡන්දයෙන්. මෙන්න මේ නිසා ජනාධිපතිට මෙන්ම පාර්ලිමේන්තුවට සමාන බලයක් තිබෙන්නට ඕන. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන ආයතන තුන වෙන වෙනම තිබුණොත් තමයි රට ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ. 20 මඟින් මේ සියල්ල අනික් පැත්තට හැරෙව්වා. සම්පූර්ණ බලය එක තැනකට ගෙන ආවා. ඒකාධිපති පාලකයෙක් බිහි කළා.

19 වැනි සංශෝධනයෙන් මේ රට පාලනය කරන්න නොහැකි වූ බවත් යහපාලනය අවුල් වූයේ ඒ නිසා බවත් රජයේ ඇමතිවරුන් ප්‍රකාශ කරනවා. ඇත්තද මේ ප්‍රකාශ කරන්නේ?

මේක වර්තමාන රජය විසින් දේශපාලනික වාසියක් සඳහා ගොතන ලද කතාවක්. මොකද ඔය සියලු කරුණු කියන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව චෝදනා කරමින් තමයි. නමුත් 19 වැනි සංශෝධනයෙන් අධිකරණයට කිසිම බලපෑමක් සිදු වූයේ නැහැ. ස්වාධීන කොමිසන් සභා එලෙසම ක්‍රියාත්මක වුණා. රටේ තීන්දු තීරණ ගන්න බොහෝ ආයතන රජයේ බලපෑමකින් තොරව ස්වාධීනව තම ආයතනවල තීන්දු තීරණ ගනු ලැබුවා. මේ ආණ්ඩුව හඬ පට වගයක් අල්ලගෙන නැති දේවල් ගැන කියමින් කෑ ගහනවා. අපගේ රජය පැවති සමයේ අපි අධිකරණය ස්වාධීන කළා. රාජ්‍ය ආයතන රැසක් ස්වාධීන කළා.

අනෙක් කාරණය නොයෙක් තනතුරු පත්කිරීම ඒ ආයතනවලින් තමයි සිදු කළේ. ඒ සඳහා රජය මැදිහත් වුණේ නැහැ. තව පැත්තකින් මැතිවරණ කොමිසම ස්වාධීන ආයතනයක් බවට පත් කළා. 19 වැනි සංශෝධනයෙන් මේ රටේ ස්වාධීන නිදහස් මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගත්තා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ගහ මරා ගන්නා මැතිවරණ ක්‍රමය නැතිවෙලා නිදහස් සාධාරණ මැතිවරණ පැවැත්වීමට හැකි වුණා.

මේ රජය බලයට එන්න මහ මැතිවරණයට කලින් රුපියල් 5000ක් සෑම ගෙදරකටම ලබා දුන්නා. නමුත් කොරෝනා දෙවෙනි රැල්ල ඇවිල්ලා අද ජනතාව අන්ත අසරණ වෙලා ජනතාවට කිසිම සහනයක් ලබා දෙන්න රජයට නොහැකි වෙලා තිබෙනවා. සමහර පවුල්වලට රුපියල් දස දහසක බඩු මල්ලක් රජය ලබා දෙනවා. එය සම්පූර්ණයෙන්ම ජනතාව රැවැට්ටවීමක්. මොකද රුපියල් දස දහසක තියා රුපියල් තුන් දහසකවත් වටිනාකමක් එම බඩු මල්ලේ නොමැති බව ජනතාව ප්‍රකාශ කරනවා. ඉකුත් දින කිහිපය තුළ අපි මෙය මාධ්‍ය තුළින්, සමාජ මාධ්‍යවලින් දැන ගත්තා. අපි ඒ පිළිබඳව පෞද්ගලිකවම සොයලා බලද්දී මේ බැව් සනාථ වුණා. ජනතාව මුළාවට පත් කරලා. 19 වැනි සංශෝධනයෙන් තමයි ඔබ වැනි මාධ්‍යවේදීන්ට මාධ්‍ය නිදහස නැවත අරන් දුන්නේ. මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආයතනවලට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් වුණා. සුදු වෑන් සංස්කෘතික නැති වුණා. අපගේ රජය කාලේ මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල වුණේ නැහැ.

තර්ජන එල්ල වුණේ නැහැ. මේ සියල්ල මෙලෙස ක්‍රියාත්මක වුණේ 19 වැනි සංශෝධනය මඟින් අපි ප්‍රජාතන්ත්‍රවාදය මේ රට තුළ ස්ථාපිත කරපු නිසා. විගණනයද, අධිකරණයද, මැතිවරණය ද මේ සියල්ල නිදහසේ ක්‍රියා කරන ආයතන බවට පත් කරන්නට හැකියාව ලැබුණා.

19 වැනි සංශෝධනයෙන් ලෝකයේ ප්‍රබල රටවල් සමඟ අපගේ රට තුළ නිදහස්ව වැඩ කටයුතුකරන බවට පිළිගැනීමක් ලැබුණා. 19 වැනි සංශෝධනයෙන් ඉදිරියට ගිය මේ රට 20 වැනි සංශෝධනයෙන් මේ රට නැවත කඩා වැටෙනවා කියන එක අපි පැහැදිලිවම කියනවා.

20 වැනි සංශෝධනයත් සමඟ වර්තමාන රජය අර්බුදයක් ඇති කරගෙන කියන මතය අද සමාජය තුළ කතා බහ කරනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

පැහැදිලිවම ආණ්ඩුව තුළ අර්බුදයක් තිබෙනවා. මෙය අර්බුදයකටත් එහා ගිය කඩා වැටීමක්. අද ඒ කඩා වැටීම කොරෝනා නිසා රජය වහගෙන ඉන්න පුළුවන් වෙලා තියෙනවා.

නමුත් තව ටික දිනකින් මේ කඩා වැටීම ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කරන්න රජයට සිදු වෙනවා. අද මේ රජයේ ඇමැතිවරුන්ට බලයක් නැහැ. බොහෝ කැබිනට් ඇමැතිවරු නමට විතරයි සිටින්නේ. අපිට හිතවත් ඇමැතිවරු කියන්නේ තමන්ට ඇමැතිකම ලැබුණාට වඩා හොඳයි මන්ත්‍රීකමේ සිටියා නම් කියලා.

එකම පවුලක් වටා පමණයි අද මේ රටේ පාලනය සිදු කෙරෙන්නේ. ඒ පවුලට සම්බන්ධ තවත් බොහෝ දෙනෙකු ඇමැතිකම් සහ මන්ත්‍රීධුරවල සිටිනවා. මේ කාරණා මත ඔවුන් වෙන කිසිම කෙනෙකුට අමාත්‍යාංශයක වැඩ කටයුතු කරන්න ඉඩක් ලබා දෙනවාද කියන ගැටලුව අද ජනතාවට මතුවෙලා තිබෙනවා.

2010 ඡන්දය දිනලා 18 ට ගෙනාවා වගේ තමයි මෙවරත් 20 ගෙනැල්ලා බලතල වැඩි කරලා පවුල් පාලනයක් සඳහා පමණක් ක්‍රියාත්මක වෙන්න තමයි මේ කටයුතු කරන්නේ. ජනතාව අද මෙය තේරුම් අරගෙන තියෙනවා කියන එක අපිට පැහැදිලියි.

20 වැනි සංශෝධනයට අත උස්සපු අයම අද කම්පා වෙනවා ඔවුන් රටට කරපු හානිය පිළිබඳව. ඔවුන් දැන් 20ට අත ඉස්සුවාට 20 ඉවත් කරන්නත් ඉතා ඉක්මනින්ම අත උස්සාවි කියන එක

ඉතාම පැහැදිලියි.

ජනතාවට සහන දෙන්න මේ රජයට නොහැකි බවට ඔබලා චෝදනා නඟනවා නේද?

ඇත්තටම ජනතාව තමයි හැට නම ලක්ෂයක් ලබා දුන්නේ මේ අය බලයට ගේන්න. මෙය ජනතාව විසින්ම අවබෝධ කරගන්නා තුරු මොවුන් බලයේ සිටීවි. ළමයින් වඩාගෙන ළමයින් හුරතල් කරපු එක රඟපෑමක් කියලා ජනතාවට දැන් තේරුම් යනවා. මොකද ලක්ෂ ගණනින් දූ දරුවන්ට අද මේ රට තුළ බඩගින්නෙ ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ආර්ථිකය කඩාගෙන වැටිලා. රැකියා නැති වෙලා. එදා වේල හම්බ කරගන්න මනුස්සයාට රැකියාවක් නැහැ. ජනතාව සුපුරුදු පරිදි මැතිවරණයේ දී රැවටුණා කියන එක දැන් ඔවුන්ට ම පැහැදිලි වෙලා තිබෙනවා. ආණ්ඩුව බලයට එන්න බඩු මිල අඩු කළා. අද බඩු මිල ඉහළ ගිහිල්ලා. ලෝකයේ තෙල් මිල ඉතාමත් පහත අගයක් ගනිද්දී මේ රජය ජනතාවට තෙල් මිලවත් අඩු කරන්නේ නැහැ. ජනපති වෙළඳසැල්වලට කඩා පනිමින් පාලන මිල කතා කරනවා. නමුත් පාලන මිලක් නැහැ. වෙළඳුන් ජනතාව හූරාගෙන කනවා. වෙළඳ ඇමතිවරයා පාලන මිල ගැන සඳහන් කරමින් ගැසට්

නිවේදන නිකුත් කරනවා. එය ගැසට් නිවේදනයට පමණක් සීමා වෙලා. අද පාලන මිලට හාල් ගන්න පුළුවන් එක වෙළෙඳසැලක් තිබෙනවා ද කියලා අපි රජයෙන් අහන්න කැමතියි.

රජය M. C. C ගිවිසුම අත්සන් කරන්නද ලෑස්ති වෙන්නේ?

මේ රජය අපිට කෑ ගැහුවා M.C.C ගිවිසුම අත්සන් කළා කියලා. නමුත් දැන් ජනතාවට පැහැදිලි වෙනවා අපි M.C.C අත්සන් නොකළ බව. අද මේ පිළිබඳව දන්නේ ජනාධිපතිවරයා විතරයි; අඩුම තරමේ ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීම පිළිබඳව ඇත්ත කතාව ආණ්ඩුවේ ඇමැතිවරු පවා දන්නේ නැහැ. බොහෝ ඇමතිවරුන්ට අද මේ රජය ගන්නා තීන්දු තීරණ පිළිබඳව අවබෝධයක් නැහැ.

මොකද එම තීන්දු තීරණ ගනු ලබන්නේ ඒක පාර්ශ්වයක් නිසාවෙන්. මේ රජය බලයට එන්න කලින් රණවිරුවන් ඉදිරියට දමමින් බොරු කිව්වා. හොර ගිවිසුම් ගැන කියමින් ජනතාව මුළා කළා. එහෙම සිදු කරලා ගන්න ඇමතිකම් වලින් වැඩක් නැහැ.

ජනතාවට අවංකව සේවය කිරීමට අද මේ රජයට හැකියාවක් නොමැති බව පැහැදිලියි.

(ඡායාරූප- රංජිත් අසංක)

Comments