20 ට අපි කැමැති වුණේ ජන මත­යට හිස නම­මින් | සිළුමිණ

20 ට අපි කැමැති වුණේ ජන මත­යට හිස නම­මින්

පාර්ලිමේන්තුව නියෝජනය කරන නීතිය පිළිබඳ මෙරට එකම ආචාර්ය උපාධිය තියෙන්නේ මට විතරයි...

කෘෂිකර්මය දියුණු කරන්න හොඳ වැඩපිළිවෙළක් ඕනෑ...

ආණ්ඩුව වැරැදි පාරේ යනවා නම් අපි නිවැරැදි කරනවා...

 

ඔබ 20 වැනි සංශෝධනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරා යැයි සමාජ මතයක් තිබුණා. එහෙත් ඔබ 20 ට පක්ෂව ඡන්දය ලබා දෙනවා. විශේෂ හේතුවක් තිබෙනවාද?

ඔය සම්බන්ධව මටත් උභතෝකෝටික ප්‍රශ්නයක් තිබුණා. 20 සම්මත කිරීම සම්බන්ධව හදවතට එකඟව මේ සඳහා මනාපව ඡන්දය ලබා දීමේ අපහසුතාව. ඊට ප්‍රතිවිරුද්ධව තිබුණු අනෙක් කාරණය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ සාමාජිකයන් විදියට මැතිවරණයට තරග කරලා ආසන සංවිධායකවරුන්ටත් ඉහළින් ජනතාව මට මනාප දීලා තිබෙනවා. එතකොට පාක්ෂිකයන් බලාපොරොත්තු වෙනවා මේ ආණ්ඩුවත් එක්ක මම කටයුතු කරනවා කියන එක.

ඒ වගේම කිසිම විපක්ෂයකට කරගන්න බැරි වගකීමක් ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන මම ඉටුකරයි කියලා මට විශ්වාසයක් තිබුණා. හේතුව තමයි 19 වැනි සංශෝධනයේ තිබෙන කරුණු කිහිපයක්ම නිවැරැදි කරන්න ඕන කියන මතයේ අපි කවුරුත් හිටියා.

ඒ වගේම 20 දි කළ යුතු වෙනස්කම් සම්බන්ධව ඉල්ලීම් මුලින්ම සිදු කළේ මම. ඒ සඳහා සටනක් ආරම්භ කළේ මම. 20 ඉවත් කළ යුතු කාරණා ගැන මම පැහැදිලි කළා. මෙහිදී මම පැහැදිලිව කරුණු හයක් පිළිබඳව පැහැදිලි කළා ඒවා ඉවත් කළ යුතු බව. ඒ අනුව ඉන් කරුණු පහක්ම 20 වැනි සංශෝධනයෙන් ඉවත් කිරීමට හැකි වුණා.

ජනාධිපතිට විරුද්ධව නඩු පවරන්න බැහැ කියන එක මින් ප්‍රථම කරුණයි. ඇමැති මණ්ඩලය සීමා කිරීම, ජනාධිපතිගේ සහ අගමැතිගේ කාර්යාල විගණනය කිරීම, සමාගම් පනත යටතේ පවතින රජයේ ආයතන විගණනය කිරීම, හදිසි පනත් නැවත ගෙන ඒමට ප්‍රතිපාදන හැදුවා. අපි එය ජාතික ආරක්ෂාවට ඇති තර්ජනයක් බැවින් ඉවත් කර ගනු ලැබුවා. අපිට එකයි ඉතිරි වුණේ. ඒ තමයි ද්විත්ව පුරවැසි භාවය. එම කරුණ සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් වෙත අපි විස්සක පමණ මන්ත්‍රී කණ්ඩායමක් ඉල්ලීමක් කරනු ලැබුවා. එහිදී ජනාධිපතිගේ සානුකම්පිත ඉල්ලීමක් මත තීරණය කරනු ලැබුවා ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධව සංශෝධනය දෙවැනි කාරණයක් හැටියට සලකා 20 ට සහය ලබා දෙන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් මේ සම්බන්ධව නිවැරැදිම තීරණය ගනු ඇතැයි අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා. අපි පත් කරගත් ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න ඕන නිසා අපි මෙහිදී එකඟතාවකට පැමිණියා.

ඔහුගෙන් පළිගැනීමට මෙය සිදුකර ඇති බව ජනාධිපතිවරයා පවසා සිටියා. එහෙත් එම සීමා ඔහු දැන් පසුකර අවසන්. කිරලා මැනලා බලලා තමයි ජනමතයට හිස නමමින් 20 ට සහය ලබා දුන්නේ. ඇත්තටම ජනතාවට මෙහිදී ගරු කරන්න සිදු වුණා.

අපි බිහි කරපු ආණ්ඩුව පෙරළන්න වුවමනාවක් නැහැ. ඒක අපට හොඳා. අපිට ඕන වුණේ ආණ්ඩුව වැරදි මාවතක යනවා නම් නිවැරැදි මාර්ගයට ගෙන ඒම සඳහායි.

මම තමයි මුලින්ම සටනක් ආරම්භ කෙරුවේ ජාතිවාදි පක්ෂ රටේ දේශපාලන පිටියෙන් අතුගා දැමිය යුතුයි කියලා. ජාතිවාදි පක්ෂ තමයි අද මේ වනවිට ආණ්ඩු හදන්නේ ආණ්ඩු කඩන්නේ. අද එම පක්ෂ තමයි රජුන් තනන පක්ෂ බවට පත් වෙලා තිබෙන්නේ.

 

20 සම්මත කිරීම සඳහා මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසක් සහය ලබා දෙනවා. තාම රජුන් තනන්නේ ඔහුන්ද?

මේක මීට වඩා ඉතිහාසයක් තිබෙන දෙයක්. අපිට 19 ගේන්න සිද්ධ වුණේ මහින්ද රාජපක්ෂයන් 18 ගෙනාපු නිසයි. 18 ගේන්න ඔහුට ජනවරමක් ලැබුණේ නැහැ. 144 තිබුණේ. හැබැයි අපිත් එක්ක යූ.එන්.පී. එකෙන් තරග කරපු රාවුෆ් හකීම් ඇතුළු පිරිසක් තමයි 18 සංශෝධනය කරලා දුන්නේ. ඒ කණ්ඩායම අපිට කිව්වා එක්සත් ජාතික පක්ෂයට ඇවිල්ලා 18 ඉවත් කරලා 19 ගේන්න කියලා. ඔවුන් 19 ට සම්පූර්ණ සහය ලබා දුන්නා. දැන් මේ අවස්ථාවේදී මුස්ලිම් පිරිසක් තමයි 20 සංශෝධනය කරන්න ආණ්ඩුවට සහය ලබා දෙන්නේ. ඔවුන් තමයි තීරණාත්මක සාධකය වෙන්නේ.

 

20 මේ ආණ්ඩුවට ඕනෙමද?

මම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ට ලිපියක් ලිව්වා. 20 ගේන්න හදන කොට එතුමා මට කිව්වා ජනාධිපති දුර්වල කරලා තිබෙන තැන් අයින් කරලා දෙන්න කියලා. ඒ අනුව වගන්ති දෙක තුනකින් පිටු කිහිපයකින් කෙටි සංශෝධනයක් කරන්න තිබුණා. මට මේ ටික හදන්න කියලත් ජනාධිපතිතුමා කිව්වා. මම ඒක හදනකොට මම දැක්කා කැබිනට් මණ්ඩලයට පිටු 41 ක් දාලා සම්මත කරගෙන ඉවරයි කියලා. මේ නිසා මම එය පැත්තකින් තිබ්බා. සරල කාරණා කිහිපයක් තමයි අපිට හදාගන්න තිබුණේ. මම ලිඛිතව එය ජනාධිපතිවරයාට දැනුම් දුන්නා.

 

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පිම්යෝ හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධව ජනතාවට ගැටලුවක් ඇතිවෙලා තිබෙනවා. දේශපාලන පක්ෂ පවසන්නේ M.C.C. ගිවිසුම අස්සන් තැබීම සඳහා ඔහු පැමිණි බවයි. ඇයි ඔහු හදිසියේම පැමිණෙන්නේ?

මම නම් දන්නේ නැහැ, ඔහු ඇයි මේ හදිසියේ පැමිණෙන්නේ කියලා. ඇත්තටම මෙය ජනතාවට විතරක් නොවෙයි අපිටත් ලොකු ගැටලුවක්. මෙහි ලොකු භයානක කමක් අපිට දැනෙනවා.

විශේෂයෙන්ම මා මේ පිළිබඳව මුළු රටටම ප්‍රකාශ කළා. M.C.C. ගිවිසුම පමණක් නොවෙයි ඇමරිකාව ඉදිරිපත් වීමේ අවදානම. 2017 ජූලි 23 වැනිදා හම්බන්තොට වරාය චීනයට පවරන්න ගිවිසුම අස්සන් කරන්න කැබිනට් තීන්දුව ගන්න කොට මම විරුද්ධ වුණා. එහිදි මම පැහැදිලිවම කිව්ව කාරණය තමයි ලෝක දේශපාලනය දන්න අයෙකු හැටියට චීනය සහ ඇමරිකාව අතර සීතල යුද්ධ පටන් අරන් අවුරුදු 12 - 10 අතර වගේ වෙනවා.

හම්බන්තොට වරාය චීනයට ලබා දුන්නහොත් අනෙක් බලවතා වන ඇමරිකාව, ඉන්දියාව, ජපානය සහ යුරෝපය යන හතරම අපිත් සමඟ විරසක වෙනවා.

අපි හම්බන්තොට චීනයට දුන්නු ගමන් ඇමරිකාව එනවා ත්‍රිකුණාමල වරාය ඉල්ලගෙන. ඉන්දියාව එනවා කොළඹ නැගෙනහිර ජැටිය ඉල්ලගෙන. ඇමරිකන් කාරයට අපි ත්‍රිකුණාමලය නොදුන්නු ගමන් ඔවුන් මේ රට ලේ විලක් කරනවා. මෙන්න මේ කාරණා නිසා මම කැබිනට් එකෙන් ඉල්ලා අස්වුණා.

මම කැබිනට් එකෙන් ඇවිල්ලා මාස දෙකයි. ඇමරිකාව මෙරටට ඇවිත් M.C.C. සහ සෝපා ගිවිසුම අස්සන් කරන්න කියලා රජයට බල කළා. මේ සඳහා යම් එකඟාතාවක් රනිල් වික්‍රමසිංහ දැක්වූවා. අපි දැඩි ලෙස මේ සඳහා විරෝධතාව පෑවත් ඔහු මේ සඳහා කැමැති වුණා. මෙය අස්සන් කරන්න ප්‍රමාද වුණා. ඒ ප්‍රමාද සමඟ තමයි පාස්කු ප්‍රහාරය එල්ල වුණේ. පාස්කු ප්‍රහාරය එල්ල වන විට ඇමරිකානු යුද නැව් දෙකක් ලංකාව දෙපැත්තේ තිබුණා.

ඇමතිකමක් භාර නොගෙන මන්ත්‍රී ධුරය පමණක් රැකගෙන ඔබ හුදෙකලා වීම පිළිබඳව ජනතාව තවමත් කනස්සල්ලෙන්. ඔබ ඇයි පැත්තකට වෙලා?

ඇමතිකමක් දුන්නු පළියට මම බාර ගන්න කෙනෙක් නොවෙයි. 2004 දි කැබිනට් ඇමතිකමත් සමඟ චන්ද්‍රිකා ඇමතිකම දුන්නේ. හැබැයි මම බාර ගත්තේ නැහැ. අවුරුද්ක කාලයක් මට ඇමතිකමක් ලබා ගැනීමට වුවමනාවක් තිබුණේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ ඇමතිකමක් දුන්නා. ඒක භාර ගත්තෙත් නැහැ. හැබැයි දෙවනුව එතුමා මට කතා කරලා ඉල්ලීමක් කරපුවාම මම බැංකු සංවර්ධන ඇමතිකම බාර ගෙන එය කරගෙන යන්න බෑ කියලා මම ඉන් ඉල්ලා අස්වුණා.

පසුව මෙම ආණ්ඩුව පැමිණියාම මට අධ්‍යාපන රාජ්‍ය ඇමතිකමත් නම් කරලා තිබුණා. ඇමතිකම මොකක්ද කියලා දන්නේ නැත්නම් මම එය බාර නොගන්නා බව පැහැදිලිව කියලා තිබුණා.

මම ලලිත් වීරතුංගගෙන් ඇහැව්වා මට දෙන ඇමතිකම මොකක්ද කියලා. එය දැන ගැනීමෙන් පසු මම තීරණය කළා ඇමතිකම බාර ගන්නේ නැහැ කියන එක. කැබිනට් ඇමතිකම් හතක් දරපු කෙනෙක් පශ්චාත් උපාධි හතක් කරලා තිබෙනවා ආචාර්ය උපාධි තුනක් එක්ක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව නීතිය පිළිබඳව එකම ආචාර්ය උපාධිය හදාරා ඇත්තේ මම. මෙන්න මේ කාරණා නිසා මම තීරණය කළා රාජ්‍ය ඇමතිකම බාර නොගෙන ඉන්න.

 

මේ රජය ඉදිරියට යාමට කුමක් කළ යුතුද?

අද රට ආර්ථික වශයෙන් දැවැන්ත පසුබෑමකට ලක්වෙලා තිබෙන්නේ. මෙය ගොඩනඟන්න අපි මුලින්ම කළ යුත්තේ ආර්ථිකය ගොඩගන්න එක. මහින්ද රාජපක්ෂයන් ජනාධිපතිවරයා හැටියට පත් වුණේ 2005 නොවැම්බර් මාසයේදී. ඒ වන විට අපගේ විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 2160. මහින්ද ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහට රට භාර දෙන විට එම ණය ප්‍රමාණය බිලියන 8000 ක් වෙලා තිබුණා. මහින්ද රාජපක්ෂයන්ගේ කාලය තුළ බිලියන 6000 ක් වැඩිවෙලා. මින් වැඩි මුදල් ප්‍රමාණයක් අධික පොලියට ගත් ණය. වාණිජ පොලි අනුපාතයට ණය ගත් නිසා තමයි මේ මුදල විශාල ප්‍රශ්නයක් බවට පත් වුණේ.

රජයක් හැටියට අපි එතෙක් සියයට 1 පොලියට එහා ගිය ණය අරගෙන තිබුණේ නැහැ.

බිලියන 8000 දැන් බිලියන 12,000 දක්වා වැඩිවෙලා තිබෙන්නේ. මේ නිසා අපි සෑම පුද්ගලයෙකුම ලක්ෂ හයකට වඩා වැඩි මුදලක් ණයකාරයන් වශයෙන් පත්වෙලා ඉන්නේ. මෙය පියවන්න ඕන. අපි මේ ආර්ථිකය නංවන්න මේ ආණ්ඩුව සාධනීය වැඩපිළිවෙළක් ආරම්භ කළා.

එකක් තමයි පිටරටින් ගෙන්වන භාණ්ඩ නැවැත්වීම. එසේත් නැත්නම් ආනයනය නවත්වලා තිබෙන්නේ. ගැටලුව තමයි මෙහි ක්‍රමවේදය නිවැරැදි එකක් නොවෙයි. ආනයනය අපි නතර කරන්න ඕන දේශීය කර්මාන්ත ඇන නොහිටින විදියට. මොකද ඒවායේ ජීවත් වන ලක්ෂ ගණනක් සේවකයන් ඉන්නවා.

පෞද්ගලික අංශයෙන් උපයන දේ මිසක් රජයේ අංශයෙන් උපයන දෙයකින් නොවෙයි මේ රටේ ආර්ථිකය ගෙන යන්නේ. මේ ලක්ෂ 16 රජයේ සේවකයින් නඩත්තු කරන්නේ මේ පෞද්ගලික අංශයේ මිනිස්සු උපයලා බදු ගෙවන මුදල් වලින්. අපිත් නඩත්තු වෙන්නේ ඔය මුදල් වලින් තමයි.

පෞද්ගලික අංශයෙන් උපයා දෙන බදු මුදල්වලින් රජය යැපෙනවා නම් රජයට යුතුකමක් තිබෙනවා පෞද්ගලික අංශය කඩා නොවැටී තබා ගැනීමට. ඒ නිසා ආනයනය සීමා කිරීමේදී දේශීය කර්මාන්තකරුවෝ රැකගන්න විදියට කටයුතු කරන්න. කෘෂි කර්මාන්තය අපි දියුණු කරන්න ඕනැයි කීවාට ඒ සඳහා කිසිම ක්‍රමවේදයක් නැහැ. ඒවා ඇති කළ යුතුයි.

අදටත් අපිට පිටරටකින් බීජ ආවේ නැත්නම් පැළ හිටවගන්න විදියක් නැහැ. ඇමරිකාවෙන්, මැලේසියාවෙන්, ජර්මනියෙන් ඒ රටවලින් ගෙන්වන බීජ තාක්ෂණය වෙනස් කරලා එවන්නේ. ඒවායේ ඇටවලින් පැළ නැවත ලබා ගැනීමට නොහැකි වන ආකාරයෙන්. මේ නිසා බීජ තාක්ෂණය වැනි දේවල් අපි ඇති කර ගත යුතුයි.

 

මේ ආණ්ඩුවට කහ ටිකක්වත් ජනතාවට දෙන්න බැරි වෙලා කියන චෝදනාව අද ජනතාව අතරින් පැන නැගෙනවා. ඇයි ඒ?

ටික කාලයකට ඉහතදී මම ඉඟුරු සහ කහ පැළ කළා. කිලෝවක් රුපියල් 650 කට බීජ අරගෙන හිටවලා ඵලදාව අලෙවි කළේ රුපියල් 200 කට. රුපියල් 400 ක්ම පාඩුයි. ආයි හේතුව හොයලා බලන කොට අපි ඵලදාව නෙළන්නෙ මාසයකට කලින් චීනයෙන් ඉඟුරු ගෙන්වලා. කහත් ගෙන්වලා. මේ කාරණාව නිසා කහ සහ ඉඟුරු ගොවියාට විශාල පාඩුවක් සිදු වෙනවා. මේ ආකාරයටම ගම්මිරිස් ගොවියන්ටත් සිද්ධ වුණා. ඔවුන්ගේ අස්වැන්න නෙළා ගන්න අවස්ථාවේ ඇමතිවරුන් පිටරටින් ගම්මිරිස් ගෙන්වලා. මේ ආකාරයට ගොවීන්ට ලොකු අසාධාරණයක් සිද්ධ වුණා. විශේෂයෙන්ම පිටරටින් ගෙන්නපු ගම්මිරිස් ප්‍රතිඅපනයනය කළා. මේ රටේ නිෂ්පාදනය කරන්න ඕන ඒවා පිටරටින් ගෙන්වන එක නවත්වන්න ඒ සඳහා හොඳ ක්‍රම උපායන් ඇතිවයි.

 

මේ ආණ්ඩුව බලයට ගේන්න ක්‍රියා කරපු බෞද්ධ නායකයන් දේශ හිතෛෂී කණ්ඩායම් ආණ්ඩුවට එරෙහිව නොයෙක් චෝදනා නඟමින් මාධ්‍ය හමු පවත්වනවා. කොහොමද එහෙම වෙන්නේ?

කෙටි කාලයක් තුළදී ආණ්ඩුවේ ඉහළ ප්‍රසාදය ගිලිහී යාමට පටන් අරන්. ඒවාට ප්‍රධානම හේතුව තමයි මේ ආණ්ඩුව බලයට ගේන්නට වැඩ කරපු බොහෝ පාර්ශ්වයන් ආණ්ඩුව විසින් මතක කර දැමීම. කොළඹ දිස්ත්‍රික්කයේ ආණ්ඩුව ආසන 12 ක් ගන්නවා කියන කාරණය අපි පැහැදිලිව කිව්වා. මට එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද විශාල ප්‍රමාණයක් ලැබුණා. අපි සමඟ රටට ආදරය කරන බොහෝ පිරිසක් එකතු වුණා. අද ආණ්ඩුව මේ සියලු කණ්ඩායම් අමතක කරලා වෙනම ගමනක් යන්න සූදානම් වීම කනගාටුවට කරුණක්.

Comments