උඩු යටි­කු­රු වූ මංග­ලගේ කුරුඳු පොලු ප්‍රහා­රය | සිළුමිණ

උඩු යටි­කු­රු වූ මංග­ලගේ කුරුඳු පොලු ප්‍රහා­රය

‍ ශ්‍රී ලංකාව ගැන මුළු ලෝකයේම අවධානයට ලක්වූ දින අතර 2013 ඔක්තෝබර් 05 දිනය ද විශේෂිතම දිනයකි. ඒ මෙරට දේශපාලනයේ නිරතුරු කතාබහට ලක්වන මංගල සමරවීර මහතාගේ කුරුඳු පොලු ප්‍රහාරයේ කතාවත් සමඟය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට අභියෝග කරමින් දෙවිනුවර නගරයෙන් ඇරඹි විරෝධතා පාගමන අතර ඇති වූ ගැටුම් සහගත තත්ත්වය මුළු ලෝකයේම අවධානය දිනාගත් සිදුවීමක් බවට පත්විය. මේ සම්බන්ධයෙන් වූ නඩුව වසර හතක් පුරා ක්‍රියාත්මක වූ අතර නඩු දෙකකට අදාළ තීන්දුව සැප්තැම්බර් 30 දින ප්‍රකාශයට පත්වූයේ දෙපාර්ශ්වය අතර සමථයකට පත්වෙමිනි. ඒ මංගල සමරවීර ඇතුළු විත්තියේ පාර්ශ්වය මෛත්‍රී ගුණරත්නගේ පැමිණිලි පාර්ශ්වයෙන් කරන ලද ඉල්ලීම මතය. ඒ අනුව මංගල සමරවීර ඇතුළු සැකකරුවන් හැට දෙදෙනෙකුට චෝදනා වලින් නිදහස්වීමේ අවස්ථාව ලැබුණු අතර; සිදුවීමට අදාළව ක්‍රියාත්මක වන පහරදී ශබ්දාවාහිනී යන්ත්‍රයක් පැහැරගැනීමට අදාළ නඩුව මෙම මස 26 වැනි දින යළි කැඳවීමට නියමිතය.

විසිහතර වතාවක්‌ තම පක්‍ෂය පැරදවූ බවට තම නායකයාට චෝදනා කළ එවක දකුණු පළාත් සභාවේ හා බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් ලෙස සිටි මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලක්‌තිලක යන අයගේ නායකත්වයෙන් "පැරදුණා ඇති - රනිල් යන්න" යන තේමාව යටතේ විරෝධතා පාගමන සංවිධානය කොට තිබුණ අතර රනිල් වික්‍රමසිංහගේ සහායට මංගල සමරවීර, දකුණු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව, මාතර නගර සභා විපක්‍ෂ නායක උපුල් නිශාන්ත, මාතර ප්‍රාදේශීය සභා විපක්‍ෂ නායක ලයනල් කොඩිකාර යන අය හා කොළඹ ඇතුළු ප්‍රදේශ කීපයකින් පැමිණි රනිල් හිතවාදී කණ්ඩායමක් ද විය.

 දෙවි­නු­ව­රදී ඇතිවූ පළමු ගැටුම
ගැටු­මට පෙර සූදා­නම
 මාත­රදී ඇතිවූ ගැටුම

මෛත්‍රී ගුණරත්න හා ශිරාල් ලක්තිලක කොළඹට යෑමට සූදානම්ව තිබූ "රනිල් යන්න" යන පාගමන මාතරින් එහාට යැමට නොදීමට මාතර එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයාට අවශ්‍යව තිබිණි. ඒ නායකත්වයේ ද උපදෙසින් විය හැකිය. 2005 ජනාධිපති මැතිවරණයේ දී "රනිල්ට බෑ" කියා රනිල් ගෙදර යෑවීමට සියලු තුරුම්පු ගැසූ මංගල සමරවීර මහතා රනිල් විරෝධි පා ගමන මාතරදී නතර කිරීමට ඉදිරිපත් වීම දෛවයේ සරදමක්ව තිබුණේය.

ඔක්‌තෝබර් 5 වැනිදා උදෑසන දෙවිනුවරින් ඇරඹි පාගමන මීටර් කීපයක් ඉදිරියට ගමන් කිරීමේදී දෙවිනුවර නුගේ ලඟදී මාතර දෙසින් පැමිණි මංගලගේ කණ්ඩායම හා පළමු ගැටුම ඇතිවුණේය. ඉන් මෛත්‍රී ගුණරත්න මහතාගේ පුතා තුවාල ලබූ අතර මෛත්‍රී ගුණරත්න කණ්ඩායමේ ප්‍රහාරයෙන් පසුබසින්නට මංගල කණ්ඩායම සිදුවූයේ පැමිණි බස් රථ වලට ද අලාභහානි සිදු කර ගනිමිනි.

මෛත්‍රීලා මාතර දෙසට ගමන්කරද්දී මංගලගේ ගෝලබාලයන් යළි රහුණ විශ්වවිද්‍යාලය අසලදී ද ප්‍රහාරයකට ලක්වූයේ බස් රථ වලින් යළි මාතර බල පසුබස්සද්දී ය. එහෙත් විරෝධතා පාගමන නැවැත්වීමේ පළමු උත්සාහය අසාර්ථක වුව ද මංගල සමරවීර ඇතුළු කණ්ඩායම සැලසුම් සහගත ලෙස යළි සූදානම්වූයේ කොළඹ බලා යන විරෝධතා පාගමන කෙලෙස හෝ නැවැත්වීමේ අටියෙනි. කණ්ඩායම සූදානම්ව ස්ථානගතවී සිටියේ මාතර දොඩම්පල අසලය. ඒ ගැන විරෝධතා පාගමනනේ යෙදෙන අයට කල්තියා වාර්තා වූයෙන් ඒ දෙසට කලින්ටත් වඩා වැඩි ජවයකින් ගමන්කරනු දක්නට විය. ගතවූයේ නිමේෂයකි. මාතර මහ නගරසභාව අසල පුංචි යුද්ධයක සිරි ගත්තේය.

මාතර බෝධිය අසලට රැස්‌වූ පාගමනට එරෙහි වන්නන් රනිල් විරෝධී පෙළපාලිය එනතුරු විනාඩි 45 ක්‌ පමණ එතැන රැඳී සිට තිබේ. ඒ කාලය ඇතුළත ඔවුන්ව දෙවරක්‌ම පොලිසිය විසින් විසිරුවා හැර තිබුණත් කලහකාරීන් ඒ ප්‍රදේශයේ ගැවසෙන සෙනඟ අතර දිගටම රැඳී සිට ඇත. එමෙන්ම කුරුඳු පොලු, අසල කාණුවල හා පලතුරු කඩවල තට්‌ටු යට සඟවා තිබී ඇත. කුරුඳු පොලු එළියට ආවේ රනිල් විරෝධී පෙළපාලිය පෙනෙන තෙක්‌ මානයට පැමිණි පසුවය. දෙපිරිස අතර ප්‍රහාරයේදී පොලු, මුගුරු, ගල්මුල්, බෝතල් ද පහරදීම සඳහා යොදාගෙන තිබූ අතර වෙඩිතැබීමක් ද සිදුව තිබුණි. ඉන් තුවාල ලැබූ පිරිස පහළොවකි.

සිදුවූ සියල්ලේම වගකීම මංගල සමරවීර පිටින් යන තත්ත්වයක්‌ නිර්මාණය වී තිබුණේය. ඒ නීත්‍යානුකූල පොලිස් අවසර මත ගමන්ගත් පොළපාලියට නීත්‍යානුකූල නොවන අයුරින් රැස්වී බාධා කිරීම නිසාය. ගැටුම්කාරී තත්වයෙන් පසු පොලිසිය විසින් අදාළ සිදුවීම්වල වීඩියෝ පට නැරඹීමෙන් පසු සිද්ධියට අදාළ පිරිස්‌ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. මහෙස්‌ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි ඔවුන් මංගල සමරවීර ද උසාවියට ඉදිරිපත් කළ අතර ඔහුට ඇප ලැබුණේ පොලීසිය ඊට විරුද්ධ නොවීම නිසාය. එහෙත් පහරදීමට සම්බන්ධවූ ඔහුගේ ගෝල බාලයින්ට බන්ධනාගාර ගතවන්නට සිදුවූහ.

මංගල සමරවීර පොලිසියට බාරවීම සඳහා පැමිණි අයුරු කාටත් විශේෂත්වයක් විය. ඒ ඔහු පැමිණෙන විට රිමාන්ඩ් භාරයට යෑමට සූදානම්ව "සිලි සිලි" මල්ලක සරමක්‌, තුවායක්‌, සබන්, දත් බෙහෙත්, දත් බුරුසු, ඖෂධ ආදිය ද රැගෙන පැමිණි නිසාය. ඔහු පොලිසියට බාර වන බවට කල් තියා දැනුම් දී තිබුණු නිසා එදින විශාල සෙනගක්‌ පොලිසිය වට කරනු ඇති බවට බලාපොරොත්තුවක්‌ විය. මංගල විසින් මාතර දිස්‌ත්‍රික්‌කයේ රැකියා දුන් අයගෙන් සුළු ප්‍රතිශතයක්‌ හෝ පැමිණියේ නම් එය මහා සෙනගක්‌ වනු ඇත. නමුත් මංගල පැමිණියේ ඔහුගේ සොහොයුරියත්, නීතිඥ නිස්‌සංක නානායක්‌කාරත්, තව කිහිප දෙනෙකුත් සමඟය.

එදින පස්‌වරුවේ ඔහුට ඇප දුන් අවස්‌ථාවේදී උසාවියෙන් පිටත ඔහුව පිළිගැනීමට කිසිවෙක්‌ නොසිටීම ද විශේසත්වයක් විය. එයට ඔහු වෙනුවෙන් මෙවැනි දේ සංවිධානය කිරීමට සිටි අය සියලු දෙනාම ඒ වන විට රිමාන්ඩ් භාරයේ සිටීම හේතුවන්නට ඇත. ඒ වන විටත් දිස්‌ත්‍රික්‌කයේ සියලුම එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් මංගලව මගහැර සිටීම තවත් හේතුවක් විය. ඒ වන විට රනිල් වික්‍රමසිංහගේ කිට්‌ටුවන්තයකු වන සාගල රත්නායක සිදුවීමේ නොසිටීම විශේෂ අවස්ථාවක් විය. ඒ වන විට බුද්ධික පතිරණ සිදුවූ කිසිදු අවස්ථාවකට ප්‍රසිද්ධ සම්බන්ධයක් නොපෙන්වූයේ ඔහු ඒ වන විට සජිත් ප්‍රේමදාසගේ කණ්‌ඩායම සමඟ සිටි නිසාය. නමුත් මංගලට රනිල් වෙනුවෙන් බෙල්ල දීමට සිදුව තිබුණේය.

මංගල සමරවීරට අමතරව අග්‍රාමාත්‍ය හිටපු පෞද්ගලික ලේකම් සුගත් චනද්‍රසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව සිටි සන්දිත් සමරසිංහ, ලක්ෂ්මන් විජේමාන්න, එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් කළමණාකාරු ප්‍රසාද් හෙට්ටිආරච්චි, මංගල සමරවීරගේ මහජන සම්බන්ධතා නිලධාරී සමීර මනහර, දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන්ව සිටි බී. ජී. චන්දන ප්‍රියන්ත, ගයාන් සංජීව, ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර, හබරාදූව හිටපු සංවිධායක ලයනල් ඉපිලවත්ත, මාතර මහ නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත, මාතර හිටපු නාගරික මන්ත්‍රීවරුන් වන නුෂ්කි ඉක්බාල්, නලීන් අබේගුණවර්ධන, ජගත් නල්ලපෙරුම, එක්සත් ජාතික පක්ෂයේ බලපිටිය හිටපු සංවිධායක නීතීඥ කමල් ද සොයිසා, හිටපු නාගරික මන්ත්‍රී නීතීඥ නදිල මාලගොඩ, හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී එච්. ආර්. විමලසිරි, මාතර ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක ලයනල් කොඩිකාර, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හේමසිරි කොඩිතුවක්කු, එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් මාධ්‍ය ලේකම් උදයංග සඳරුවන්, අමාත්‍ය සාගල රත්නායක මහතාගේ කාර්යමන්ඩල නිලධාරී ලහිරි ජයසිංහ ගැරට්, අගලවත්ත සංවිධායක ගාමිණී නල්ලපෙරුම යන පිරිස මෙම නඩුවේ සැකකරුවෝ වූහ.

මෙම සිදුවීමට අදාළව වසර හතක් පුරා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩු තුනක් විභාගවෙමින් තිබූ අතර එම කාලය තුළ සිද්ධියට සම්බන්ධ වූවන් රැසක් විවිධ දේශපාලන ක්‍රියාකාරකම් රැසකට එක්ව සිටියහ. ඒ අතර පිල් මාරුකිරීම විශේෂය. එදා සජිත්ට එරෙහිව රනිල් රැකි මංගල සමරවීර, රනිල් වික්‍රමසිංහගේ නායකත්වය අමතක කර සජිත් ප්‍රේමදාස සමග එක්ව සිටියේය. පසුව ඉන් ද ඉවත්ව ගියේ කතා රැසකට මග පාදමිනි.

මෛත්‍රී ගුණරත්න මහතා හා ශිරාල් ලක්තිලක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා එක්වෙමින් තනතුරු ලබාගත් අතර පසුව සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බල වේගය සමග එක්ව මහ මැතිවරණයට ද තරග කළේය. දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකුව සිටි හා පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මාතරට තරග කළ බී. ජී. ප්‍රියන්ත (පොඩි කඩේ ප්‍රියන්ත) ද මහ මැතිවරණය අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වූයේ ලක්ෂ්මන් යාපා අබේවර්ධනට සහාය දක්වමිනි.

 

Comments