
තායිලන්තය යන නම කියූ සැණින් සිහියට නැගෙන්නේ සංචාරක පුරවරයකි. බුදු දහම මෙන්ම තාවකාලික පැවිද්ද යන සංකීර්ණ මනෝ විද්‍යාත්මක ක්‍රියාවලියට ඉඩ පහසුකම් සහිත එමෙන්න අනික් අතින් ජනතාවට විශාල ලිංගික නිදහස සහිත, ගණිකා වෘත්තිය නීතිගත කර ඇති තායිලන්තය සැබවින්ම ආසියාතික බටහිර සංස්කෘතික සම්මිශ්‍රණයක් ලෙස දැකිය හැකිය. මේ සංකීර්ණ සංස්කෘතික ලක්ෂණ සහිත තායිලන්තයේ තායිලන්තයේ පවතින දේශපාලන ක්රමවේදයද තරමක් සංකීර්ණය. රටේ පාලකයන් ප්රජාතන්ත්රවාදී ලෙස ජනතාව විසින් තෝරා පත් කර ගන්නා අතර නාමික විධායකය ලෙස රජතුමා සැමටම ඉහළින් සිටින්නේය.
බ්‍රිතාන්‍යයේ මෙන්ම තායිලන්තයේද රජකම ලේ උරුමයෙන් පැවත එන්නේය. මේ වන විට තායිලන්තයේ රජකම හොබවන්නේ 2016 ඔක්තෝබර් මාසයේදී මියගිය භූමිබෝල් අදුල්යාදෙජ් රජුගේ පුතණුවන් වන මහා වජිරලොන්කොන්ය. මේ විස්තර ලියන්නට යන අපූරු පුද්ගලයාද ඔහුය. තායි රජ පවුල ගැන වෙනම කතා කළ යුතු බොහෝ දේ තිබේ. ඒ අතරින් ප්‍රථමයෙන්ම කිව යුත්තේ තායි රජ පවුල මේ වන විට රටට, ජනතාවට බරක් වී ඇති බවය. ඔවුන් රටේ පාලනයට කිසිසේත් මැදිහත් නොවන අතර ඒ වෙනුවට ඉතා විශාල අධිකාරී බලයක් සමඟ මහජනතාවගේ මුදල් විශාල ලෙස කාබාසිනියා කරමින් අති සුඛෝපභෝගී ජීවිත ගත කරමින් සිටිති.
වර්තමාන රජු වජිරලොන්ග්කොන් කෙසේ වුවද ඔහුගේ පියා වන හිටපු රජු භූමිභෝල් නම් ජනතාවගෙන් එතරම් චෝදනා ලැබූවකු නොවේ. ඔහු ජනතාවගේ සිත්වල ගෞරවය ලැබීමට සමත් වූයේය. 2016දී භූමිභෝල් රජු මියගිය අතර ඔහුගේ සහ සිරිකිත් බිසවගේ එකම පුතු වන මහා වජිරලොන්ග්කෝන් රජු ලෙස අභිෂේක ලැබීය. තායි රජු ‘රාමා’ යනුවෙන්ද හඳුන්වන අතර භූමිභෝල රජු නව වැනි රාමා වූ අතර වජිරලොන්ග්කොන් රජු දස වැනි රාමා යනුවෙන් නම් ලබා තිබේ.
විශේෂිතම කරුණ වන්නේ තායිලන්ත වැසියන්ට එරට රජු විවේචනය කිරීම නීතියෙන් තහනම් කර තිබීමයි.
එමෙන්ම මේ වන විට තායි රජු ඩොලර් බිලියන 30ක වත්කම්වලට උරුමකම් කියන අතර ඔහු මේ වන විට ලෝකයේ ජීවත් වන ධනවත්ම ‘රජු’ වශයෙන්ද තහවුරු වී තිබේ. වජිරලොන්කොන් රජුට ඉතා දීර්ඝ නමක් හිමි අතර එම නම වචන 23කින්ද අකුරු 182කින්ද සමන්විතය.
1952 වර්ෂයේ උපත ලැබූ වජිරලොන්කොන් රජු රජකමට පත්වූයේ වයස අවුරුදු 64දීය. ඒ අනුව ඔහු තායිලන්තයේ වඩාත් වැඩිම වයසකදී රජකමට පත්වූ රජු ලෙසින් ද ප්රකාශිතය. ලන්ඩනයේදී අධ්‍යාපනයත්, යුද පුහුණුවත් ලැබූ වර්තමාන තායි රජතුමා ගුවන් යානා පැදවීමේ හැකියාවද සහිත බව කියවේ.
පියාගේ අභාවයෙන් පසු රජකටම පත්වූ වජිරලොන්කොන් රජු දින තුනක් පුරා තම රාජාභිෂේක උත්සවය පැවැත්වූයේය. එම උත්සවයේදී ආරාධිතයන් එක් ලක්ෂ පනස් දහසකට පමණ සංග්‍රහ කළ බවද කියැවේ.
කෙසේ වුවද තායිලන්තයේ රජ පවුල සම්බන්ධව ක්‍රියාත්මක වන නීතිය ලෝකයේ එවැනි එකම නීතිය යනුවෙන්ද සැලකිය හැකි ඉතා වෙනස්කම් සහිත නීතියකි. ඒ නීතියට අනුව තායි රජු හෝ රජ පවුලේ සාමාජිකයන් තබා රජ පවුලේ සුරතල් සතුන් පවා විවේචනය කිරීමේ හැකියාව එරට ජනතාවට හිමි නොවේ. මේ නීතිය කඩ කළ පුද්ගලයන් වසර 35ක් දක්වා හිරගෙට නියම කළ උදාහරණද තායිලන්තය සතුය.
මේ හේතුවෙන්ම රජු සතුව අසීමිත නිදහසක් පවතින අතර වර්තමාන තායි රජු එම නිදහස උපරිමයෙන් භුක්ති විඳින බවද පෙනේ. එහෙත් පෙර විසූ රජවරු මෙන් නොව වජිරලොන්කොන් රජුගේ පෞද්ගලික ජීවිතය පුදුම උපදවන සුලු බැවින් තායි ජනතාව මේ වන විට සිර ගත වීමේ බිය පසෙක දමා රජු විවේචනය කිරීමට පෙලඹෙනුද දැක ගත හැකිය. මේ විවේචන අතරට රජුගෙ පෞද්ගලික ජීවිතය පමණක් නොව රජුගෙ ව්‍යාපාර කටයුතුද ඇතුළත්ය. හිටපු තායි අගමැතිවරයකු වන තක්ෂින් ශිනවත්‍රා සමඟ වජිලොන්කොන් ඔටුන්න හිමි කුමරු ලෙස සිටි අවධියේ සිදුකළ ව්‍යාපාර ගනුදෙනු තැන වාර්තා කළ ‘ෆා ඊස්ටන් ඉකනොමික් රිවීව්’ සඟරාව වාරණය කිරීමටද එරට රජය කටයුතු කළ අන්දම රජුගේ බලය සම්බන්ධව හොඳ උදාහරණයක් ලෙස දැක්විය හැකිය. එහෙත් මේ වන විට තායි ජනතාව ප්‍රසිද්ධ විරෝධතා ව්‍යපාරවල යෙදෙමින් රජු විවේචනය කිරීමේ යම් යම් ප්රවණතාද තායිලන්තයෙන් දැක ගත හැකිය.
මේ සියල්ලට අමතරව වඩාත් පුවත් මැවීමට සමත්ව තිබෙන්නේ තායි රජුගේ විවාහ ජීවිතයයි. වජිරලොන්කොන් කුමරු ප්‍රථම වරට විවාහ වූයේ 1977 වසරේ ඔහුට වයස විසිපහක්ව තිබියදීය. ඔහුගේ ප්‍රථම විවාහය සිදුවූයේ ඔහුගේ මව් පාර්ශ්වයේ ඥාති සහෝදරියක් සමඟිනි. එහෙත් එම කුමරිය පසුව දික්කසාද කර දැමූ ඔහු ඒ අතර තායිලන්තයේ ඉතා සුරූපි නිළියක සමඟ පෙමින් වෙළුනේය.
එම නිළිය ඔහුගේ ප්‍රථම පුත් රුවන ඔහුට තිළිණ කළ අතර 1994 වසරේදී ඔවුන් විවාහ වන විට ඔවුන් දරුවන් තිදෙනෙකුගේ දෙමවුපියෝ වූහ. විවාහය එතෙක් පමා කිරීමට හේතුව වූයේ රැජිනගෙ ආශිර්වාදය කුමරුගේ සිත් ගත් නළඟනට නොලැබීමය. විවාහයෙන් පසු මේ නිළියටද තායි යුද හමුදාවේ මේජර් නිලයක් හිමි විය.
මෙසේ බොහෝ දුක් ගැහැට මැද ප්‍රේමය ජය ගත්තද වජිරලොන්කොන් කුමරු මේ විවාහයේද දිගුකල් රැඳී සිටීමට කැමැත්තක් දැක්වූයේ නැත. විවාහයෙන් වසර දෙකකට පසු ඔහුගේ බිරිය රටින් පිටව ගියේ තම දරුවන්ද රැගෙනය. වජිරලොන්කොන් කුමරු තම බිරිය සහ තායි ගුවන් හමුදාවේ එයාර් මාෂල්වරයකු අතර සම්බන්ධයක් පවතින බව රටපුරා ප්‍රචාරය කර හැරියේය.
2001 වසරේදී වජිරලොන්කොන් කුමරු යළිත් වරක් විවාපත් වූ නමුදු එය ජනතාව අතර ප්‍රසිද්ධියට පත් කරණු ලැබුවේ 2005 වසරේදී ඔවුන් දෙමාපියන් වූ අවස්ථාවේදීය.
මෙවර කුමරුගේ සහකාරිය තායිලන්තයේ තරමක් නූතන ගතිපැවතුම් සහිත පවුලක සාමාජිකාවක වූවාය. එහෙත් වසර 13ක පවුල් ජිවිතය අවසාන කරමින් ඇයගෙන්ද දික්කසාද වූ වජිරලොන්කොන් කුමරු දික්කසාදය වෙනුවෙන් ඇයට තායිලන්ත ‘බාත්’ මිලියන 200ක් ලබා දුන්නේය.
මේ වන විට කුමරුගේ බිරිය සහ තායිලන්ත රැජිනද වන සුතිජා තිජායි රැජින සමඟ කුමරු විවාහ වූයේ 2019 මැයි මාසයේ ඔහුගේ අභිෂේක මංගල්‍යයට පෙර දිනයේදීය.
විවාහයට පෙර තායි ගුවන් සේවයේ ගුවන් සේවිකාවක වූ සුතිජා කුමරුගේ සිත් ගැනීමට සමත්ව සිටියාය. එහෙත් ඇයට ප්‍රබල තරගයක් දීමට තවත් කාන්තාවක් ඉදිරිපත් සිටි අතර ඇය සිනීනත් නම් වූ හෙදියකි. හෙදියක වශයෙන් තම ජීවිතය ආරම්භ කළද ඇය ඉක්මනින්ම තායි ගුවන් හමුදාවේ ගුවන් නියමුවරියක් ලෙස තම කාර්ය භාරය විතැන් කර ගත්තාය.
පසුව ඇය වජිරලොන්කොන් රජුගේ සිත් ගැනීමටද සමත් වූයෙන් ඇයව තායි යුද හමුදාවේ මේජර් ජනරාල් නිලයකට උසස් කරණු ලැබීය. පසුව ඇය තායි රජුගේ පෞද්ගලික ශරීර ආරක්ෂක වශයෙන් පත් කර ගනු ලැබූ අතර අවසානයේ 2019 ජූලි 28වැනිදා ඇයව නිත්‍යනුකූල ලෙස විවාහ කර ගැනීමටද රජු කටයුතු කළේය. එහෙත් ඇයගේ මේ ශීඝ්‍ර නැගීම පැවතුනේ මාස තුනක් වැනි කෙටි කාලයක් පමණි. රජුගේ නියමය මත සිනීනත් සියලුම රාජකීය නිලවලින් පහ කරණු ලැබූ අතර එයට හේතුව ඇය ‘සුතිජා රැජිනට අවනත නොවීම’ බව ප්‍රකාශ විය. එහෙත් මේ සිදුවීමෙන් වසරකට පසු එනම් පසුගිය සැප්තැම්බර් 2වැනිදා යළිත් සිනීනත් හා විවාහය යළි පවත්වා ගැනීමටත්, ඇයට පෙර ලබාදුන් රාජකීය තනතුරුවල ඇය යළිත් පිහිටුවීමටත් රජු අණ දුන්නේය.
මේ පෙනෙන අන්දමට නම් තායි රජු වජිරලොන්කොන්ට රාජ්‍ය පාලනයේ වඩා වැඩි වැඩකොටසක් පැවරී නොතිබීම තායි ජනතාවගේ සැනසිල්ලට කරුණක් වනු ඇත.
ඒ රජුට අන් සියල්ලට වඩා තමන්ගේ සිත්ගත් කාන්තාවන් පාලනය කර ගැනීමට කාලය යෙදවීමට සිදුවී ඇති බැවිනි. එහෙත් මේ සියල්ල වසර ගණනාවක් පුරා ඉවසාගෙන සිටි තායි ජනතාව මේ වන විට රටේ නීතිය උල්ලංඝනය කරමින් රජුට විරුද්ධව උද්ඝෝෂණ සංවිධානය කරමින් සිටින නිසා තායි රජුට දෙකෙන් එකක් තෝරා බේරා ගැනීමට සිදුවන දිනය වැඩි ඈතක නොවනු ඇත.