
තමන්ගේම කියා හිසට සෙවණක් තිබීම සිතකට අපූරු සැනසීමකි. මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් සිංහල ගම්මානයක් වන මංගලගම 25 කණුව ගම්මානයේ ඉදි කිරීමට නියමිත නිවාස 50කින් යුත් අදියර 1 හා 2 ආදර්ශ ගම්මානවල ඉදි කිරීම් කටයුතු ආරම්භ කොට එහි යටිතල පහසුකම් සපයා දෙන්නැයි එහි නිවාස හිමියෝ ඉල්ලා සිටිති.
2016 වර්ෂයේ දී පමණ ඉදි කිරීම් ආරම්භ කරන ලද අදියර 1 නිවාස 25 ගම්මානයේ දැනට නිවාස 15ක් පමණ සිය ශ්‍රමය හා මූල්‍ය දායකත්වයෙන් වැඩ අවසන් කර ඇති අතර අවුරුදු 10ක් පමණ දැනට ස්ථිර වශයෙන් පදිංචි වී සිටිති. මෙහි බොහෝ නිවාසවල වහල ගසා ඇති අතර සමහර වහල මට්ටම දක්වා බිත්ති බැඳ තිබේ. නමුත් දෙවැනි අදියරේ නිවාසවල වහල ගසා නැති අතර විවිධ මට්ටම්වලින් ඉදි කිරීම් කොට නවතා දමා වල් බිහිවෙමින් තිබේ.
මෙහි නිවැසියන්ට නිවාස අධිකාරියෙන් ලැබිය යුතු ණය මුදල් සම්පූර්ණයෙන් ලැබී නැති නිසා ඉදි කිරීම් කටයුතු අවසන් කිරීමට නොහැකිව සිටී. ඒ ප්‍රදේශයේ මාර්ග පද්ධති ගමගමනයට සුදුසු පරිදි සකස් කර දී නොමැති නිසා වැහි කාලයට එම මාර්ග වගුරු බිම් බවට පත් වේ. පානීය ජල ප්රශ්නය ද ඔවුහු මුහුණ දෙන තවත් ප්‍රබල ගැටලුවකි. අලි වැටක් ඉදි කර ඇතත් එය අතරමැද නතර කර දමා ඇති තිබේ. එය ඉදි කර ඇත්තේ ද ප්‍රමිතියකින් තොරව හා ගම පිටට දමා වැරදි ආකාරයට බව ද ප්‍රදේශවාසීහු පවසති.
ප්රදේශවාසියකු වන ඩී.එම්. දිසානායක ඔවුන් මුහුණ දී සිටින අසීරු තත්ත්වය ගැන මෙසේ කීවේය.
“මේ ගම්මානයට ඇවිත් අවුරුදු 2ක් විතර වෙනවා. ගේ හදලා ඉවර කරගන්න බැරි වුණා. දෙනවා කියු ණය මුදල සම්පූර්ණයෙන් දුන්නේ නැහැ. මේ වන විටත් අපි ලක්ෂ දෙක හමාරක් විතර වැය කරලා තියෙනවා. ඉතිරි වැඩ කරගන්නත් තව රුපියල් ලක්ෂ 3ක් 4ක් අවශ්‍ය වෙනවා. කුලී වැඩක් කරලා තමයි ජීවත් වෙන්නේ. වගාවක් කරන්න බැහැ අලි සහ හරක් නිසා. හැම වගාවක්ම විනාශ කරනවා. අලි වැටක් ඉදි කරන්න ශ්‍රම දායකත්වය දුන්නා. නමුත් දැන් ඒකත් අතරමග නතර කරලා තියෙන්නෙ”
වැඩිහිටියන් පමණක් නොව ගමේ දරුවන් ද මුහුණ දෙ ප්‍රශ්න රැසකි. මේ, මවක වන තනූජා අමාලි ගේ කතාවයි.
“ඉන්න තැනක් නැති නිසා මේ ගේ යාන්තම් හදාගෙන පදිංචි වුණා. නිවාස අධිකාරියෙන් දෙනවා කිවු ණය මුදල් ඔක්කොම දුන්නේ නැහැ. අපේ ළමයින් ඉස්කෝලේ යනවා. ලොකු දුව යන්නේ උහන මහා විද්‍යාලයට. මෙහේ ඉදලා උදේ 6වත් පාරට යන්න ඕන. තනිවම යවන්න බෑ මහ පාරට කිලෝ මීටරයක් විතර දුර පයින් යන්න ඕන. පාරේ අලි ඉන්නවා. පාර දෙපැත්තම කැලේ. පාර ළඟට අලි ආවත් පේන්නේ නැහැ. උදේ 7,8 වෙනකම් පාරේ අලි ඉන්නවා. සමහර දවස්වල අලි වෙඩි දාලා තමයි පන්න ගන්නේ. සෞඛ්‍ය සායනවලටත් අපි මංගලගමට ම යන්න ඕන. බබාලා ලැබෙන්න ඉන්න අම්මලා සහ කුඩා ළමයින් ගොඩක් ඉන්නවා. සායනවලට බර කිරන්න අපි යන්න ඕන. ගමට එන්නේ නැහැ.” දෙදරු මවක වන නිලූකා සුභාෂිණී මෙසේ කීවාය. “පොඩි දරුවො දෙන්නෙක් මට ඉන්නෙ. සවස 6 වෙද්දි ගේ ඇතුළට වෙලා දොරවල් වහගෙන ඉන්නවා. මහත්තයා එන්නේ රෑ 8ට විතර. ඒ වෙනකොටත් ගම පුරා අලි ඉන්නවා. අලි වැට ගහලා තියෙන්නේ ගමට පිටින්. ඒ නිසා අලි ගම ඇතුළේ තමයි ඉන්නේ. අපිට පානීය ජල ප්රශ්නය තමයි ඉතා උග්‍ර විදියට බලපාලා තියෙන්නේ. ප්‍රාදේශීය සභාවෙන් සති දෙකෙන් දෙකට මේ බූලියට වතුර ගෙනත් දානවා. ඒක ප්‍රමාණවත් නැහැ. අනෙක් දවස්වලට කල අරන් තැනින් තැන ගිහින් තමයි වතුර ගේන්නේ. වෙන ඉන්න තැනක් ගෙයක් දොරක් නැති නිසා තමයි මේ දුක් විදගෙන හරි මෙහේ පදිංචි වෙලා ඉන්නේ.”
“මම මේ ගම්මානයට ඇවිත් අවුරුදු 2ක් වෙනවා. බොහෝ අය මේ ගෙවල් හදාගෙන එන්න අකමැතියි. ඒ වතුර හා අලි ප්රශ්නය නිසයි. බොන්න වතුර ටිකක් සති දෙකකට වරක් ගෙනත් දුන්නට බවලතකුට එළිපහළියට යන්න තරම්වත් වතුර ටිකක් නැහැ. වතුර ටිකක් නා ගන්න හැතැප්ම දෙක තුනක් යන්න ඕන. වතුර නැතුව ගෙවල් හදන්නත් බැහැ. මේ වතුර ප්රශ්නය විසඳුණොත් මිනිස්සු ගෙවල් හදයි. අපි ඉල්ලන්නේ ඉතිරි ණය වාරික දීල යටිතල පහසුකමුත් ලබා දීලා මිනිස්සු පදිංචි කරවන්න කියලයි” ඒ, අනුර අබේසිංහගේ හඬයි.
එම්.වී. ප්‍රියංගිකා මල්කාන්තිද මෙලෙස තම දුක කීවාය.
![]() |
අඩාල වී අැති නිවාස ක්‍රම |
“මේ ගම්මානයේ ගෙවල් 50ක් ඉදි වුණාට පදිංචි වෙලා ඉන්නේ පවුල් 10ක් විතර. තවත් අය ගෙවල් හදාගෙන ඉන්නවා. නමුත් පදිංචියට එන්නේ නැහැ. පහසුකම් නැති නිසා. බොන්න වතුර ටික නම් සති දෙකකට වරක් ප්‍රාදේශීය සභාවෙන් ගෙනත් දානවා. නාන්න හා අනිත් වැඩවලට කිලෝ මීටර් 2ක් විතර දුරින් තියෙන වැවට යන්න ඕන. වැවේ හරකුත් ලැගලා ඉන්නවා. මොනවා කරන්න ද? ජල නල මාර්ග ගම ළඟටම ඇවිත් තියෙනවා. නල දෙනවානම් ගම ඇතුළේ කාණු කපන එක අපිට කරගන්න පුළුවන්.”
මේ පිළිබඳ මංගලගම නිවාස ව්‍යාපෘති භාර තාක්ෂණ නිලධාරි එදිරියෙන් දුෂ්යන්තන මහතාගෙන් කරුණු විමසා සිටියෙමු.
“පසුගිය රජය කාලයේ තමයි මේ නිවාස යෝජනා ක්‍රම ආරම්භ කළේ. මෙයට කලින් ගෙවල් 40ක් හදලා සියලු යටිතල පහසුකම් සමග නිවාස ලාභීන් පදිංචි කළා. නමුත් මෙම යෝජනා ක්‍රමවල වැඩ නිම කරන්න බැරි වුණා. ඊට හේතු වුණේ පසුගිය කාලයේ පැවති මැතිවරණ හා පැවති රජයන් වෙනස් වීමයි. ඒ නිසා මුදල් ගෙවීම් නතර කරන්න සිදු වුණා. අපි දැන් සියලු විස්තර සහිත වාර්තාවල් අදාල අංශවලට යවලා තියෙන්නනේ. මුදල් ලැබුණු ගමන් නැවත ඉදි කිරීම් කටයුතු ආරම්භ කරනවා.”
ගම්වැසියන් මුහුණ දෙන ජල ප්රශ්නය පිළිබඳ අම්පාර ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකාරවරා පැවසුවේ මෙවැන්නකි. “මෙම නිවාස යේජනා ක්‍රමයට ළඟදීම ජලය ලබා දීමට නල මාර්ග එලමින් පවතිනවා. ගමේ අතුරු මාර්ග සඳහා නිවාසලාභීන් විසින් මුදල් එකතු කර ජේ.සී.බී. යන්ත්‍රයක් යොදවා කාණු කැපීමට එකඟ වී තිබෙනවා. ඒ අනුව එහි වැඩ කටයුතු ළඟදීම ආරම්භ කරනවා.”
ඒ ප්‍රකාශ යථාර්ථයක් වී මංගලගම නිවාසලාභීන්ගේ සිහින සැබෑ වන තුරු අපද අවධානයෙන් සිටිමු.