
එක්සත් ජාතික පක්ෂය මෙරට දේශපාලන ඉතිහාසය තුළ දැවැන්ත ඉතිහාසයක් ඇති පක්ෂයකි. නොයෙක් දේශපාලන ගැටුම් මැද ඉකුත් මහ මැතිවරණයට ඉදිරිපත් වූ එම පක්ෂයට අත්වූයේ නොසිතූ අන්දමේ පරාජයකි. ජනාධිපතිවරුන්, අගමැතිවරුන් මෙන්ම රටේ ඉහළ නමක් දිනා ගැනීමට සමත් වූ මැති ඇමතිවරුන් රැසක් බිහි කළ මෙම පක්ෂයට මෙවර හිමිවූයේ එක් අසුනක් පමණි. එයද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් වීම විශේෂත්වයකි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අදටත් ගැටලු රාශියක් මතු කර ඇත. එම පක්ෂයට ඉදිරියට යම් බලාපොරොත්තුවක් තැබිය හැකි සුවිශේෂි සිද්ධියක් ඉකුත් 14 වැනිදා සිදුවිය. එහිදී පක්ෂයට නව නියෝජ්‍ය නායකයෙකු තෝරාපත් කර ගැනීමය.
වජිර ගෙන් අලුත් පොතක්
එ.ජා.ප නායකත්වය පිළිබදව අභ්‍යන්තර අර්බුදය නිමා කිරීමට පසුගිය සඳුදා කෘත්‍යාධිකාරි මණ්ඩලය සිරිකොත දී එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස්වූහ. එහිදි වජිර අබේවර්ධන තමන් ගැන ලියු පොතක් නායකතුමා ඇතුළු සමාජිකයන්ට බෙදා දුන්නේය. එදින කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් 39 දෙනෙක් රැස්ව සිටි අතර විජයකලා මහේෂ්වරන් පැමිණ සිටියේ නැත.
"වජිර නියෝජ්‍ය නායකකමට තරග කරනවාද? සාමාජිකයෝ විමසූහ.
"නෑ නෑ මම නායකකමට මිසක් නියෝජ්‍ය නායකකම්වලට තරග කරන්නේ නෑ. මොකද එ.ජා.ප යේ හිටපු නියෝජ්‍ය නායකවරුන් හැමෝම එක්කෝ දාලා ගියා නැතිනම් පක්ෂය කැඩුවා."වජිර කීවේ සිනාසෙමිනි.
අනතුරුව නායකයා ප්‍රකාශ කළේ පක්ෂයේ නියෝජ්‍ය නායක හා සෙසු තනතුරු ඉක්මනින් පිරවිය යුතු බවය.
"මම වසර විසි ගණනක් නායකතුමා එක්ක වැඩ කළා. ඒ නිසා දැන් නියෝජ්‍ය නායකයෙක් නෙවෙයි නායකකමයි වෙනස් විය යුත්තේ. ඒ තනතුරට මාව ඒකමතිකව පත් කරයි කියලා හිතනවා."රවි කරුණානායක කීවේය.
" මේ පක්ෂයේ කැරලි 12 ක් ආවා. ඒ බොහෝ දේවල් බේරන්න මම මැදිහත් වුණා. නායකතුමාට සුදුසු තීන්දුවක් ගන්න ඉඩ දෙමු. ඡන්ද තියලා පක්ෂය බේද කරන්න නරකයි."වජිර අබේවර්ධන දැරුවේ එවැනි අදහසකි.
එහෙත් රවි කරුණානායක, නවීන් දිසානායක, ලක්ෂ්මන් විජේමාන්න, අනෝමා ගමගේ ඇතුළු පිරිස් විවිධ ප්රතිවිරෝධතා එල්ල කළ අතර දැන් නායකයා ඉවත් විය යුතු බව ඔවුන් බොහෝ දෙනෙකුගේ අදහස විය. අනතුරුව නැගි සිටි රවි කීවේ තමා වජිරගේ යෝජනාවට එකඟ නැති බවය.
"එකගතාවයකින් නොහැකි නම් ඡන්දයකින් හෝ අද ප්‍රශ්නය ඉවර කරමු."රවී කීවේය.
රුවන් විජයවර්ධන ජය කෙහෙළි නංවයි
"වජිරගේ ස්ථාවරය තමයි හොඳම එක. අනිත් අයත් තරගයකට ඉදිරිපත් නොවි නායකයාගේ තීන්දුවට ඉඩ දෙනවා නම් මමත් ඊට එකඟයි."රුවන් විජයවර්ධන කීවේ එවැන්නකි.
එහෙත් ඡන්දයකින් ප්‍රශ්නය කෙළවර කර ගත යුතු බවට දිගටම හඬ නැගුණු හෙයින් මහලේකම් අකිල ඡන්ද පෙට්ටියක් රැගෙන විත් අවශ්‍ය පසුබිම සම්පාදනය කළේය. රහස් ඡන්දයක් පැවැතියේ එකී පසුබිමකය. ඡන්දය ගණන් කරන ස්ථානයේ රවි, රුවන්,අකිල හා වජිර ද සිටි අතර අවසානයේ නායකයා නිවේදනය කළේ රුවන්ට ඡන්ද 28 ක් සහ රවී ට 10 ක් ලැබී තිබෙන හෙයින් නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජයවර්ධන පත් වන බවය.
අනතුරුව රවි, නවීන්, විජයමාන්න, අනෝමා ඇතුළු කණ්ඩායමක් පිටව ගිය අතර සිරිකොත සිටි අය විවිධ ප්‍රශ්න යොමු කරමින් නායකයාගෙන් කරුණු විමසන්නට විය. එහිදි නායකයා මෙන්ම සෙසු පිරිස තුළින් මතුවූයේ විවිධ මතවාදයන්ය. රුවන් විජයවර්ධනට ඡන්ද 18 ක් පැහැදිලි ලෙස තිබුණු බවත් රවි ට එරෙහි කණ්ඩායමක් අවසානයේ රුවන් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කොට ඇති බවට එහිදි විග්‍රහ විය.
එළියට පැමිණි වජිර එහි සිටි මාධ්‍යකරුවන් ඇතුළු පිරිසට ද තම ග්‍රන්ථයේ පිටපත් ප්රදානය කළේය.
"මාස තුනකින් නායකත්වය ගැන යම් තීන්දුවක් ගන්නවා. ආණ්ඩුව 20 සම්මත කරලා අලුත් මැතිවරණ කොමිසමක් යටතේ ලබන වසරේ මාර්තු අප්‍රේල්වල පළාත් සභා තියාවි කියලා අනුමාන කරනවා. අපි සුදානම් වෙන්න ඕනෑ."එ.ජා.ප නායකයා කීවේය.
"වජිර අද ගේම් එක ප්ලේ කළේ නායකතුමා වෙනුවෙන් ද?"ඇතැමුන් විමසුවේ මද උපහාසයක් ද සමඟිනි.
රනිලුත් පොත් ලියන්න සූදානමක්
"මම දන්නේ නෑ. එයාගෙන් අහන්න. හැබැයි ඔහු පක්ෂය බේද නොකර සූක්ෂම ගේම් එකක් ප්ලේ කළා. මට දිගටම ඉන්න අවශ්‍ය නෑ. මට පෞද්ගලික ජිවිතයකුත් බලන්න තියෙනවා. පොත් දෙක තුනකුත් ලියන්න සුදානම් කරලා තියෙන නිසා දැන් රෙස්ට් එකක් අවශ්‍යයි."නායකයා කීවේද සිනාසෙමිනි.
"ආණ්ඩුව ඒකාධිපති ප්රජාතන්ත්ර විරෝධි 18 ගෙනල්ලා මට්ටු වුණා මදිවට ඊටත් එහා යන 20 ගෙනල්ලා තවත් අනාථ වෙන්න හදනවා. 20 ට පියෙක් නෑ. කැබිනට් එක අනුමත කරපු, ජනාධිපති සම්පූර්ණ වගකීම බාරගත්ත 20, සංශෝධනය කරන්නත් අගමැති කමිටුවක් දාලා."එ.ජා.ප නීති නිලධාරියෙකු කීවේ සිනා සෙමිනි.
"මම ඒකයි මුලින්ම කිව්වේ 19 ට අතගහපු ඕන කෙනෙක් ඉවරයි කියලා."එ.ජා.ප නායකයා කීවේ බැරෑරුම්වය.
සිය පක්ෂයේ මෙන්ම විපක්ෂ නායක ධුරයේද කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යන සජිත් පසුගිය සති අන්තයේ අවමඟුලකට සහභාගීවීමට හිනිදුම බලා ගියේය. ඒ පියසේන ගමගේ ගේ සහෝදරයාට අවසන් ගෞරව දැක්වීමටය. අනතුරුව ඔහු හිනිදුම එ.ජා.ප සංවිධායක හා පසුගිය මහ මැතිවරණයට ගාල්ලෙන් තරග කළ සුනිල් සේනානායකගේ නිවසට ද ගොඩවිය.
"ඔබතුමා දිගටම එ.ජා.ප යේ හිටියොත් පළාත් සභාවටත් යන්න බැරිවේවි. ඒ නිසා අපිත් එක්ක එකතු වෙන්න."විපක්ෂ නායක සජිත් සුනිල්ට ආරාධනා කළේය.
ඊට දින දෙකකට පසුව කෝට්ටේ ස.ජ.බ කාර්යාලයට පැමිණි සුනිල් සේනානායක ස.ජ.බ සාමාජිකත්වය ඉල්ලා සජිත්ට ලිපියක් බාර දුන්නේ එකී පසුබිමකය. ජාතික සංවිධායක තිස්ස ද එම අවස්ථාවට එක්විය.
එදින දහවල් එ.ජා.බ ට අනුබද්ධ වෘත්තීය සමිති 3 ක නායකයන් කෝට්ටේ කාර්යාලයේදි විපක්ෂ නායක සජිත් හමුවිය. එහිදි සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව විකල්ප වෘත්තීය සමිති 3 ක් ස.ජ.බ වෙනුවෙන් නිර්මාණය කිරිමේ තීන්දුව ගැණිනි. ඒවා මෙහෙයවීම තිස්සට පැවරුණු අතර අදාළ වෘත්තිය සමිති 3 අශෝක අබේසිංහ, මුජිබර්, තුෂාර ඉඳුනිල් පත් කළහ.
සඳුදා සවස 4 ට සජිත්ගේ ප්‍රධානත්වයෙන් නව නගර ශාලාවේදි සිවිල් සංවිධාන විසින් සුදානම් කළ 20 ට එරෙහි සමුළුවක් පැවැත්වින. "20 ට එරෙහි වෙමු 19 යේ සාධනීය දේ රැක ගනිමු". එහි තේමාව විය. සජිත්, රාජිත, පාක්‍යශෝති ඇතුළු බොහෝ දෙනෙකු එහිදි පළ කළේ 19 න් රට තුළ ඇති කළ නිදහස, ප්රජාතන්ත්රවාදය හා තනි පුද්ගලයෙකු ඒකාධිපතියෙකු බවට පත් නොකිරීමේ පදනම රටේ අනාගතය වෙනුවෙන් රැකගත යුතු බවය.
ලක්ෂ්මන් කිරිඇල්ල හන්තාන රක්ෂිතයේ වගා කටයුත්තක් සිදුකිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාව ඔහුගෙන් යළිත් ප්‍රශ්න කළේ ස.ජ.බ කණ්ඩායමයි.
කිරිඇල්ල හන්තාන ගැන දුක කියයි
"ඔය ඉඩම වසර 30 කට කලින් මම මිලදී ගත්ත එකක්. අපි ඉඩමේ තණකොළ සුද්ද කළා විතරයි. ගස් කපලා, ගිනි තියලා නෑ. ඒත් අපිට විරුද්ධව පරිසර අධිකාරිය නඩු දාන්න යනවලු. ඒකට උසාවියේදී උත්තර බදිනවා. අපේ අල්ලපු ඉඩමේ ආරණ්‍යයක් මුවාවෙන් හෝටලයකට විශාල බිල්ඩින් වගයක් ඉදි කරලා තියෙනවා. පරිසර අධිකාරිය තණකොල කපපු මට නඩු දාලා රක්ෂිතයේ බිල්ඩින් හදපු මිනිසුන්ට අනුකම්පා කිරීම පුදුමයි. එක රටයි එක නීතියයි කියලා ජනාධිපතිතුමා කිව්වට. මට එක නීතියකුයි. අල්ලපු වත්තට තවත් නීතියකුයි මේ ආණ්ඩුව ක්‍රියා කිරීම විහිළුවක්. අනික ද්විත්ව පුරවැසියන්ට මේ රටේ තනතුරු දරන්නත් 20 න් ඉඩ දෙනවාලු. එතකොට එක රටයි එක නීතියක් ද නැත්නම් රටවල් දෙකයි නීති දෙකයි නෙවෙයි ද කියලත් මම අහනවා."ලක්ෂ්මන් කිරිඇල්ල කරුණු පැහැදිලි කළේ එසේය.
චම්පිකගෙන් 20ගැන අදහස් උදහස්
පසුගිය දා චම්පික රණවක 20 ට අදාළ පාර්ලිමේන්තු විවාදයේදි පළ කළ අදහස් ස.ජ.බ කාගේත් පැසසුමට ලක්විය.
"2010 ඉදලා 2015 දක්වා ශීඝ්‍ර ආර්ථිකයක් තිබුණා යැයි මේ ආණ්ඩුව පුරසාරම් දොඩනවා. යුද්දෙන් පස්සේ උ / නැ අපේ ආර්ථිකයට එකතුවීම හා ගිනි පොලියට ලබාගත් ණය බුබුළත් හා ඉදිකිරිම් බුබුළත් නිසයි ඒ විකෘති ආර්ථික වර්ධනය පෙන්නුම් කළේ. ඒත් 2013 දී ඒ බුබුළු පුපුරලා 3% ආර්ථික වර්ධනය වැටුණා. වසර දෙකකට කලින් ජනාධිපතිවරණයට ගියෙත් ඒකයි. 2015 දි අපි පත් වෙලා අඩු ආර්ථික වර්ධනයක් පවත්වා ගනිමින්, ණයත් ගෙවමින් ආර්ථිකය බංකොලොත් නොකර ස්ථාවර කළා. ඒත් මේ රජය පත් වූ ගමන් හිතවත් ව්‍යාපාරිකයින්ට රුපියල් කෝටි 70,000 ක් එනම් බිලියන 700 ක බදු සහන දීලා රටේ ආදායම 50% කින් විනාශ කළා. 2014 දි රජයේ ආදායම බිලියන 1000 යි තිබුණේ. 2019 වන විට අපි ඒක 2000 ට වැඩි කළා. ඒත් දැන් රටේ ආදායම ණය වාරිකවල පොලී ගෙවන්නත් මදි. ජනතාව හා රට ආර්ථික ලෙස හොම්බෙන් යන දිනය අතළඟයි. ආර්ථිකය දැනටත් සෘණ වෙලා මියයමින් තියෙන්නේ."චම්පික රණවකගේ විග්‍රහය එය විය.
"20 වගකීම ජනාධිපති භාර අරන්. ඒත් 20 හැදුවේ කව්ද කියලා කිසි කෙනෙක් දන්නේ නෑ. මේකේ පුදුම වැඩේ වෙන්නේ 20 සංශෝධනය කරන්න අගමැති කමිටුවක් පත් කරපු එකයි. තිස්ස අත්තනායක ස.ජ.බ කාර්යාලයේදී කීවේ එවැන්නකි.
"මේ ආණ්ඩුව යටතේ ස්ථාන 15 ක කැලෑ අක්කර සිය ගණනක් විනාශ කළා. රජය කිසිම පියවරක් නොගැනීම නිසා දිගින් දිගටම ඒක වෙනවා. කැලයට පරිසරයට සතා සිවුපාවාට මම ඉතා ආදරෙයි. එසේ නොවන කිසිම කෙනෙකුට රට ගැන හැඟීමක් තියෙන්න විදියක් නෑ."සජිත් සිය කාර්යාලයේදි ප්‍රකාශ කළේ එවැන්නකි.
මෙම සති අන්තයේ ස.ජ.බ බිම් මට්ටම සැකසීමේ මෙහෙයුම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සිදු කිරීමට නියමිතය. ඒ සඳහා සියලු මන්ත්‍රීවරුන් හා හිටපු පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරින් හා ස.ජ.බ හිතවතුන් දහස් ගණනක් එක් වීමට නියමිතය. සෙනසුරාදා ගාල්ල දිස්ත්‍රික්කයේත් ඉරිදා මාතරත් අදාළ මෙහෙයුම් සඳහා විපක්ෂ නායක සජිත් එක් වීමට නියමිතව තිබිණ.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉකුත් සතියේ මහරගම ජය මාවතේ ජනතාව හමුවුණේ මැතිවරණයෙන් පසුව පළමු වතාවටය. ඇමතිවරයා එගමට ගියේ ඔහුගේ විමධ්‍යගත අරමුදලෙන් ඉදිකරන ලද ප්‍රජා ශාලාවක් ජනතා අයිතියට පත් කිරීමටය. එනිසාම ගමේ බොහෝ දෙනෙකු ඇමතිවරයා තම ගමට එන තුරු බලා සිටියේ ළෙන්ගතුවය. එදින සවස 4.00 ට පමණ ඇමතිවරයා ගමට පැමිණ ගම්මුන් සමඟ සුහද කතා බහක නිරත විය."ඇමතිතුමා අපිත් එක්ක හැමදාම එකට ඉන්නවා.ඒ වුණාට ඡන්දයට ගියාම ඔබතුමාලා පෙරළා ගෙන අලුත් අය මතුවෙලානේ." ගමේ සිරිපාල කියද්දී ගම්මුන් කටඅයා බලා සිටියේය."ඉතින් අපිව පෙරළ ගෙන යන්න ඒ අයට ඡන්දය දුන්නේ ඔයාලාමනේ"ඇමතිවරයා සිනාසෙමින් කීවෙිය."දැන් අපේ ගම්වල මිනිස්සුන්ට වැඩ කරල ඡන්දය ගන්න බෑ. රූපවාහිනීයෙන් හරි වෙන කොහේ හර කතා කරන්න ඕනෑ.කතාකාරයන්ට තමයි දැන් ගම්වල අය ඡන්දෙ දෙන්නෙ"ජය මාවතේ මැගි නෝනා අක්කා කීවේ හැමෝටම ඇහෙන උස් හඬින්ය.
දිනේෂ් ජිනීවා දේශනයට සූදානමින්
ඉකුත් අඟහරුවාදා දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාට කාර්ය බහුල දිනයක් විය.එදින ජීනීවා මානව හිමිකම් කවුන්සලයේ 45 වන සැසියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කරන්නට ජිනිවා හි ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කරන්නට එහි සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් සූදානමිව සිටියේය.ඒ කතාවට ඇතුළත් විය කරුණු ඇයට දන්වා යැවීමට දිනේෂ් කටයුතු කළේය.අමාත්‍යාංශයට පැමිණි අමාත්‍යවරයා අදාළ නිලධාරින් දෙදෙනෙකු තමන් ළඟට කැඳවා ගෙන වෙනත් කිසිවෙකුටත් එතැනට එන එක වළක්වා එක දිගට පැයකට ආසන්න කාලයක් ගත කර ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කරන කතාවට අන්තර්ගත විය යුතු කරුණු සකස් කර එවෙලේම ජිනීවා හි සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය වෙත යැවුවේය. එම කරුණු යැවු දිනේෂ් ඇයට දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් " මෙවර හරියටම කියන්න අපි 20 ගෙනල්ලා අපේ රටේ මානව හිමිකම් මෙන්ම ජාතික ආරක්ෂාව ගැනත් මුල් තැන දීල කටයුතු කරනවා කියල"යැයි දිනේෂ් කීවේය.
නොවැම්බර් 02 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 04 වන සංවත්සර සමුළුව පිළිබඳව දිස්ත්‍රික් මට්ටමින් මහජන නියෝජිතයන් දැනුම්වත් කිරීමේ රැස්වීම් මාලාව නෙළුම් මාවත කාර්යාලයේදී පහුගිය සතියේ පැවැත්වුණේ එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. මේ සඳහා ඒ ඒ දිස්ත්‍රික්කවල සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් කැඳවූ බැසිල් ඔවුන්ට කළ යුතු දේ පැහැදිලි කළේය. මේ සියලු රැස්වීම් වලට ප්‍රසන්න රණතුංග හා රෝහිත අබේගුණවර්ධන යන ඇමතිවරුන් දෙදෙනා සහභාගි කර ගැනීම අත්‍යාවශ්‍ය බව බැසිල් සිය කාර්යය මණ්ඩලයට දැනුම් දී තිබුණේ සමුළුව හා ඊට අදාළ අනුබද්ධ සංවිධාන සමුළු සංවිධානය කිරීමේ වගකීම පවරා තිබුණේ ඔවුන්ට නිසාය.
ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන්ට අදාළ මෙම දැනුම්වත් කිරීමේ රැස්වීම සංවිධාන කර තිබුණේ පහුගිය ඉරිදාය. ඉරිදා සවස 4.00ට පැවති මේ රැස්වීමට දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග සහභාගි වුණේ නැත. මෙවැනි රැස්වීම් කිසිසේත් මග නොහරින ප්‍රසන්න එදින රැස්වීමට සහභාගි නොවන බව බැසිල්ට කලින්ම දන්වා තිබුණි. රැස්වීමේදී බැසිල් සමුළුව ගැන පැහැදිලි කළේය.
“වයස අඩු වුණත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි මේ වෙනකොට ලංකාවේ ප්‍රබලම පක්ෂය. වසර 04ක් තුළ අපි මේ රටේ ප්‍රධානතම මැතිවරණ 03කින් ජයග්‍රහණය කළා. ඒ හැමදේටම කැප වුණ හැමෝටම ස්තූතියි. මේ නිසා මේ පාර සමුළුව අපි වෙනදා වගේම උත්කර්ෂවත් ලෙස පැවැත්විය යුතුයි. ඒකට හැමෝම සහාය දෙන්න.” බැසිල් කීවේය.
රැස්වීම අවසානයේදී නැගී සිටියේ මන්ත්‍රී මිලාන් ජයතිලකය.
“බැසිල් ඇමතිතුමා තමයි අපිට පක්ෂයක් නැති වෙලාවේ මේ ජයග්‍රහණ ලබන්න පක්ෂයක් හදලා දුන්නේ. ඒ වෙනුවෙන් ගම්පහ අපි හැමෝම ඔබතුමාට විශේෂ ස්තූතියක් කරනවා. ඒ වගේම අද මේ රැස්වීම මනමාලයා නැති මඟුල් ගෙදර වගේ. මැතිවරණයෙන් පස්සේ ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන පළමු රැස්වීම මේක. අපේ දිස්ත්‍රික් නායකතුමා මෙතන නැති වුණත් එතුමා තමයි ගම්පහ මේ ජයග්‍රහණයේ පිටුපස හිටියේ.” මිලාන් කීවේය.
“ඔව් ඔව් ප්‍රසන්න හැමෝම එකතු කරගෙන ගම්පහින් අපිට ලොකු ජයග්‍රහණයක් අරන් දුන්නා. 2010 යුද්ධෙ දිනපු වෙලාවේ මම දිස්ත්‍රික්කයට නායකත්වය දෙන වෙලාවෙත් ගම්පහින් යන්න පුළුවන් වුණේ මන්ත්‍රීධුර 12යි. මේ පාර 13ක් ගන්න පුළුවන් වුණා.
ඒක ගැනනම් මටත් පොඩි ඊර්ෂ්‍යාවක් තියෙනවා.” බැසිල් කීවේ සියලු දෙනා සිනාගන්වමිනි. පහුගිය අඟහරුවාදා ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ ඇමති ප්‍රසන්නගේ ද සහභාගිත්වයෙනි. පහුගිය දිනවල පැවති පොඩි වැස්සකටත් ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක් යටවීම ගැන මෙහිදී කථාබහක් ඇතිවිය.
ජනපතිගෙන් මහාධිකරණ විනිසුරුවරු 12 කට පත්වීම්
“මේකට ෙහ්තුව අනවසර ගොඩකිරීම්. ගම්පහ වතුරෙන් යටවුණාම මිනිස්සු බණින්නේ අපිට. මිනුවන්ගොඩ අඹගහවත්ත පන්සල ළඟ ඉඳන් දිගටම වෙල ගොඩ කරලා. ඒකට මිනිස්සු බණින්නේ මට. හැබැයි අපි ඒවාට සම්බන්ධ නෑ, කවුද මේවාට අවසර දුන්නේ?” ප්‍රසන්න ඇසුවේය. එහෙත් කිසිවෙකු ඊට උත්තර දුන්නේ නැත.
“අපි එපා කියද්දිත් මේවාට අවසර දීලා මිනිස්සු අපිට බණින්නේ. පාතාළයයි, සල්ලිකාරයොයි සමහර නිලධාරින්ව අල්ලගෙන මේවා කරපුවාම මිනිස්සු බණින්නේ අපිට. වහාම මේ අනවසර ගොඩ කිරීම් ඉවත් කරන්න.” ප්‍රසන්න කීවේය.
සිකුරාදා සවස අනුරාධපුරයට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෙනසුරාදා පෙරවරුව අනුරාධපුරයේම ගත කළේය. පසුව ජනාධිපතිතුමා ලංකාරාමය, මිරිසවැටිය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානය යන සිද්ධස්ථාන වැඳ පුදා ගත්තේය. ජනාධිපතිතුමාට සෙත් ප්‍රාර්ථනා කළ විහාරාධිකාරි හිමිපාණන් වහන්සේ ස්වයංපෝෂිත ආර්ථියක් ගොඩනැගීමට ජනාධිපතිතුමා ගන්නා උත්සහායට ප්‍රසාදය පළ කළහ. රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට බහුතර ජනතාව ජනාධිපතිතුමාට ජනවරමක් දී ඇති බව උන්වහන්සේ සඳහන් කළහ.
ජනාධිපතිතුමා ධුරයට පත්වීමෙන් පසු මුල්වරට ඉරිදා සවස ඇතුල්කෝට්ටේ කාර්යාලයේදී “වියත්මඟ” සාමාජිකයන් හමුවිය. “වියත්මඟ” වපසරිය සහ දේශපාලන අධිකාරිය සතු භූමිකාව වෙන් කරන රේඛාව එතුමා ලුහුඬින් පැහැදිලි කළේය. ඔවුන් කළ යුත්තේ රටේ ඉදිරි ගමන සඳහා සැලසුම් සහ ප්‍රතිපත්ති සම්පාදනයයි” ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
ජනාධිපතිතුමා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී නව මහාධිකරණ විනිසුරුවන් 12 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කළේය.
අඟහරුවාදා ජනාධිපතිතුමා තවත් රාජ්‍ය අමාත්‍යාංශ දෙකක විෂය ක්ෂේත්‍රය පැහැදිලි කිරීම සහ අනාගත සැලසුම් විමර්ශනය සිදුවිය. උදේ වරුවේ සාකච්ඡාවට ගත්තේ ගුදම් පහසුකම්, බහාලුම් අංගණ, වරාය සැපයුම් හා බෝට්ටු සහ නැව් කර්මාන්ත අමාත්‍යාංශය පිළිබඳවයි.
“සෞභාග්‍යයේ දැක්ම” ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ප්‍රධාන කුලුනක් වන්නේ ශ්‍රී ලංකාව නාවික සහ වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමයි. “දිවයිනේ පිහිටීම ප්‍රයෝජනයට ගෙන ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රයක් බවට අපේ රට පත්කරන්න පුළුවන්” ජනාධිපතිතුමා සාකච්ඡාව ආරම්භයේදීම ප්‍රකාශ කළේය. රටට සමීපයෙන් යාත්‍රා කරන විදේශ නෞකාවලට සේවා සැපයීමෙන් විශාල ආර්ථික ප්රතිලාභ අත්කර ගත හැකි බව එතුමා පෙන්වා දුන්නේය. ඒ සඳහා කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ සහ ඔලුවිල් වරාය සංවර්ධනය කළ යුතු බවත් කියා සිටියේය.