
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරය හෙබවූ ඩිව් ගුණසේකර මහතා එම තනතුරෙන් ඉවත් වන බව 30 වැනි ඉරිදා පක්ෂයේ මධ්‍යම කාරක සභාවට දැනුම් දී තිබේ. ඒ වෙනුවට විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නව ලේකම් ලෙස පත් වී සිටියි. 1958 දී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලැබීමෙන් පසුව කොළඹ දිස්ත්‍රික් ලේකම් වශයෙන් පත් වූ ඩිව් ගුණසේකර මහතා, 1972 දී මධ්‍යම කාරක සභාවට පත් විය. ඉන් අනතුරුව පක්ෂයේ භාණ්ඩාගාරික, ජාත්‍යන්තර ලේකම්, උප සභාපති, සභාපති වශයෙන් තනතුරු ගණනාවක් දැරූ ඔහු 2004 සිට ප්‍රධාන ලේකම් ධුරය හෙබවිය. ඊට අමතරව පාර්ලිෙම්න්තු කැබිනට් අමාත්‍ය, රූපවාහිනි සංස්ථාවේ සභාපති, කෝප් කමිටු සභාපති, පෙත්සම් කාරක සභාවේ සභාපති යනාදි වශයෙන් තනතුරු ගණනාවක් ඉසිලූ ඩිව් ගුණසේකර මහතා දේශපාලන අත්දැකීම් සම්භාරයක් ඇති කෘතහස්ත දේශපාලනඥයෙකි. ඔහුගේ දේශපාලන දිවියේ රසබර අත්දැකීම් සහ ඔහු මුහුණ දුන් අභියෝග අළලා මෙම ලිපිය සැකසිණි.
දොන් එඩ්වින් වීරසිංහ (ඩිව්) ගුණසේකර යන දේශපාලන නායකයා ගැන ඇසූ කිසිවකු මේ රටේ නැති බව කිවහොත් එය පුදුමයට කාරණයක් නොවේ. එහෙත් ඩිව් ගුණසේකර යන දේශපාලන නායකයා ගැන නොඇසූ කෙනෙකු නම් මේ දිවයිනේ නොමැත. දොන් එඩ්වින් වීරසිංහ ගුණසේකරගේ නමේ මුල’කුරුවලින්, එනම් DEW යන අකුරු තුනෙන් නිර්මාණය වූ “ඩිව්” නාමයෙන් ඔහු භෞතිස්ම වීම ද අපූරු කතාවකි.
“මම 5 වැනි පන්තියේ ඉගෙන ගනිද්දි නාම ලේඛනයේ සඳහන් වී තිබුණේ DEW ගුණසේකර කියලා. නම් ලකුණු කරපු ගුරුවරයා කිව්වා ඩිව් කියන්නේ පිනිදිය කියලා. ඔහු මට ඩිව් කියලා අඬගහන්න පටන් ගත්තා. ඒ නම හැමෝම අතර ජනප්‍රිය කළේ රංජිත් ධීරරත්න ශිෂ්‍යයා. ඊට පස්සේ හැමෝම මට කතා කළේ ඩිව් කියලා.” ඩිව් නම නිර්මාණය වූ ආකාරය ඔහු විස්තර කළේ එලෙසිනි.
මාතර ඉපදී, මාතර රාහුල විද්‍යාලයෙන් විශ්ව විද්‍යාල ප්‍රෙව්ශය තෙක් අධ්‍යාපනය ලැබූ ඩිව් ගුණසේකර කොළඹ නගරයට සේන්දු වූයේ රැකියාවක් ලැබීමෙනි. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරි, තක්සේරු නිලධාරි තනතුරු දැරූ ඔහු 1958 දී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නේ කුඩා වියේ පටන් කොමියුනිස්ට් පක්ෂය කෙරෙහි කැමැත්තක් තිබූ නිසාය.
“මම 5වැනි පන්තියේ ඉන්න කාලේ ගුරු - ශිෂ්‍ය - දෙමාපිය විරෝධතා රැස්වීමකට ගියා. ඒ කාලේත් වාමාංශික අදහස් තිබුණා. අනික මම පාසල් යන කාලයේ නැවතිලා හිටියේ උයන්වත්ත පිට්ටනිය ඉදිරිපිට ඥාති ගෙදරක. ඒ කාලේ කොමියුනිස්ට් පක්ෂයේ රැස්වීම් පැවැත්වුණේ උයන්වත්ත පිට්ටනියේ. ඒ රැස්වීම්වලට ආපු පීටර් කෙනමන්, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහගේ කතා ඒ කාලේ අපි කට පාඩම් කරගෙන හිටියේ. ඒ දවස්වලම මම කොමියුනිස්ට් පක්ෂයට ආශක්ත වුණා. දැනුම් තේරුම් කාලේ කොමියුනිස්ට් දේශපාලනයට තිබුණු කැමැත්ත නිසා පක්ෂයට බැඳුණා.” ඔහු සිය දේශපාලන ගමන්මගේ මුල් පියවර කීපය ගැන තොරතුරු අනාවරණය කළේය.
එහෙත් ඔහුට හොර රහසින් දේශපාලනයේ යෙදෙන්නට සිදු වූයේ ඔහු රජයේ රැකියාවක නිරත අයකු වූ නිසාය. එදවස අද මෙන් රජයේ රැකියාවක නිරත වූවන්ට දේශපාලනයේ යෙදෙන්නට අවසරයක් තිබුණේ නැත. වරක් ඔහු බොරැල්ලේ වයි.එම්.බී.ඒ. ශාලාවේ පැවැති පීටර් කෙනමන්ගේ ශාස්ත්‍රීය දේශනයකට සවන් දීමට ගියේය. එහි පරිවර්තකයා ලෙස කටයුතු කිරීම ප්‍රේමලාල් කුමාරසිරිට භාර වී තිබුණත් එදින ඔහු නොපැමිණි බැවින් එම කටයුත්ත ඩිව් ගුණසේකරට භාර විය. වේදිකාවේ සිට පීටර් කෙනමන්ගේ දේශනය පරිවර්තනය කරන ඩිව්ට හීන් දාඩිය දැම්මේ තුන් හාර සියයක සෙනඟ අතරේ ඔහුගේ කාර්යාලයේ ඉහළ නිලධාරියකු ද සිටින බව ඔහු දුටු විටදීය. වැඩ තහනමකට ලක්වීමේ අවදානමට සූදානම් වී ඩිව් පසුදින රැකියාවට ගියේය. එහෙත් එවැනි දඬුවමක් ඔහුට හිමි වූයේ නැත. 1964 දී ආරම්භ කළ “ඇත්ත” පත්‍රයට උදව් කිරීමට ගිය අවස්ථාවේදී නම් ඩිව් ගුණසේකර සිය රැකියාව බේරා ගත්තේ අනූනවයෙනි.
“ඇත්ත පත්තෙර්ට උදව් කරන්න කියලා කිව්වාම මම පාන්දර 1.00ට බයිසිකලය පැදගෙන බොරැල්ලෙ කොටා පාරේ කාර්යාලයට එනවා. ලිපි ලියලා, සෝදුපත් බලලා, පිටු මුද්‍රණයට භාර දීලා හැමදේම කරලා උදේ 7.30ට විතර බෝඩිමට ගිහින් හැඳ පැලඳගෙන මම ආපහු කාර්යාලයට යනවා. කොහොමහරි මම පත්තෙර්ට ලියනවා, මම කොමියුනිස්ට්කාරයෙක් කියලා සී.අයි.ඩී. වාර්තාවක් ගිහින් තිබුණා. අන්තිමට මට අපේ පක්ෂයෙන් හොයලා දුන්නා මගේ මුල් අකුරු තියෙන ගුණසේකර නම තියෙන කෙනෙක්. ඔහු ඩොනල්ඩ් ස්ටුඩියෝ එකේ වැඩ කළේ. එයා තමයි පත්තරේට ලියන්නේ කියලා මම බේරුණා. කොහොම වුණත් අපේ කොමසාරිස් මාව ඉවත් කරන්න සූදානම් වුණේ නැහැ. ඒ නිසා රස්සාව බේරුණා.” ඔහු සිය අත්දැකීම විස්තර කළේය.
1970 දී බලයට පත් වූ සමගි පෙරමුණ රජයේ නිවාස ඇමති වූ පීටර් කෙනමන්ගේ පෞද්ගලික ලේකම් තනතුර හෙබවූයේ ඩිව් ගුණසේකරය. ඒ කාලේ අද මෙන් මැති ඇමතිවරුන්ගේ පවුලේ ඥාතීන් නොව රජයේ ඉහළ තනතුරු දැරූ නිලධාරින් පෞද්ගලික ලේකම් තනතුරට බඳවා ගැනීම විශේෂත්වයක් බව පැවසීමට ඩිව් ගුණසේකර මහතා අමතක කළේ නැත. 1977දී ඇති වූ ආණ්ඩු පෙරළියත් සමඟ පෞද්ගලික ලේකම් තනතුර ඔහුට අහිමි විය. එහෙත් ඔහු රජයේ රැකියාවෙන් ඉවත් වූයේ 1977 මහ මැතිවරණයට තංගල්ල ආසනයෙන් තරග වැදුණු නිසාය. අවසානයේදි ඔහුට රජයේ රැකියාවත් පෞද්ගලික ලේකම් තනතුරත් දෙකම නැති විය. තනතුර අහිමි වුවද ඔහු දේශපාලනය අත් හැරියේ නැත. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරි සාමාජිකයකු ලෙස රටේ වැදගත් භූමිකාවලට ඔහු දායක විය. 1982 ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව මහතාට සහය දක්වමින් කටයුතු කිරීම ඊට එක් නිදසුනකි. 83 කළු ජූලියත් සමඟ මීගමුව බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරුවකු ලෙස තුන් මාසයක් සිටින්නට සිදු වූයේ ද ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරි සාමාජිකයකු වූ නිසාය.
ඩිව් ගුණසේකර පාර්ලිමේන්තුවට පැමිණියේ 1986 දීය. ඒ, කලවාන ආසනයේ මන්ත්‍රි සරත් මුත්තෙට්ටුවේගම හදිසි අනතුරකින් මිය ගිය බැවින් හිස් වූ ආසනයට කොමියුනිස්ට් පක්ෂයෙන් මන්ත්‍රි ධුරයට නම් කළේ ඩිව් ගුණසේකර නිසාය.
“මම පාර්ලිමේන්තුවට ඇවිත් මංගල කතාව කරපු දවසේ Fine speech - Daha කියලා දම්පාට තීන්තෙන් ලියපු තුණ්ඩුවක් ලැබුණා. එය එවලා තිබුණේ දහනායක මහත්තයා. පිළිතුරු කතාව කළේ ලලිත් ඇතුළත්මුදලි. එදා ලලිත් ඇතුළත්මුදලි කිව්වා මංගල කථාව නිසා මුකුත් කියන්නේ නැහැ. අපට හොඳ කොමියුනිස්ට්කාරයෙක් ලැබිලා තියෙනවා කියලා කිව්වා. ඒත් අද නවක මන්ත්‍රීවරයකුට කතාවක් කරන්න පුළුවන්ද? නැගිට්ට ගමන් හූ කියනවා. එදා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හොඳ කතාවක් කියලා අගය කරලා තුණ්ඩු කෑලි එව්වා. මගේ කතා අගය කරලා ලලිත් ඇතුළත්මුදලි, ගාමිණි දිසානායක, නිශ්ශංක විජේරත්න යන අය එවපු තුණ්ඩු මා ළඟ තිබෙනවා. දැන් පාර්ලිමේන්තුවේ එහෙම සංස්කෘතියක් නැහැ.” යනුවෙන් ඩිව් ගුණසේකර සඳහන් කළේ කනගාටුවෙනි.
88 - 89 භීෂණ සමයේදි ඩිව් ගුණසේකරගේ පිටුපසින් මාරයා පැමිණියේ වරක් දෙවරක් නොවේ. බොහෝ වාරයක් මාරයා ඔහු සොයා ගෙන ආවේය. ඊට හේතුව ලෙස ඔහු සඳහන් කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට ඔහු පක්ෂව ඡන්දය දීමයි. 13 වැනි සංශෝධනයෙන් සිදු කෙරුණේ පළාත් සභා ස්ථාපිත කිරීමය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ සහ යූඇන්පීයෙන් පිල් මාරු කළ මන්ත්‍රීවරුන් දෙදෙනකු ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන විට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කළ එකම පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර ඊට පක්ෂව ඡන්දය දුන්නේය. ඔහු ඊට පක්ෂව ඡන්දය දී තිබුණේ දෙමළ ජාතිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ අරමුණෙනි.
“එක දවසක් රෑ 10ට විතර කළු රෙදිවලින් මුහුණ වහ ගත් තරුණයන් කණ්ඩායමක් මගේ ගෙදරට කඩා වැදුණා. ඒ වෙලාවේ මට බේරෙන්න තිබුණේ මොළය පාවිච්චි කිරීමෙන් විතරයි. මම ටක් ගාලා ගෙදර Main switch එක off කළා. මුළු ගෙදරම කළුවර වුණාම ඒ අය පැනලා ගියා. එක් අවස්ථාවක මම මරණයෙන් බේරුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඔත්තුව දීපු නිසා. මම නැවතිලා හිටපු නෑදෑ ගෙදර කාමරයක පිරිමි කීපදෙනෙක් බෝඩිම් වෙලා හිටියා. ඒ අය අතර හිටපු නීතිඥවරයෙක් මාව මරන්න ඔත්තු බලමින් ඉඳලා. මගේ ඥාතිවරිය මට ඒ බව දැනුම් දීපු නිසා මම මරණයෙන් බේරුණා. ඒ කාලේ මට මරණ තර්ජන වැඩි වන විට පොලිස්පති පොලිස් භටයන් හයදෙනකු මට දුන්නා. ඒ හයදෙනාගෙන් එක්කෙනෙක් අපේ ගම් පළාතේ ජේ.වී.පී. එකට සම්බන්ධ කෙනෙක්. මම පොලිස්පතිට කිව්වා පොලිස් ආරක්ෂාව ඉවත් කරන්න කියලා. මට පක්ෂයේ සහෝදරවරු ආරක්ෂාව දුන්නා.” ඔහු මරණයෙන් ගැලවුණු අයුරු විස්තර කළේ එසේය.
1989න් පසුව ඔහු නැවතත් පාර්ලිමේන්තුවට පැමිණියේ 2004 දීය. එහෙත් ඊට පෙර 1994 - 2000 වකවානුව ඔහු ස්වාධීන රූපවාහිනියේ සහ ජාතික රූපවාහිනියේ සභාපතිත්වය දැරූ යුගයක් ලෙස සටහන් වී තිබේ. යුද්ධය පැවති කාලයක මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම තුලනාත්මකව පවත්වා ගනිමින් මාධ්‍ය හැසිරවීම ඔහු ලැබූ සුවිශාල අභියෝගයක් විය. ඔහු සඳහන් කරන්නේ ඔහුගේ ජීවිතයේ වැඩිම පීඩනයකින් කටයුතු කළ කාලය එම වකවානුව බවයි.
2004 දී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඩිව් ගුණසේකර මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හා ජාතික ඒකාබද්ධතා ඇමති ලෙස කටයුතු කළ අතර 2010 දීද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඔහුට හිමි වූයේ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති ධුරයයි. 2007 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයට එක්වන සෑම නිලධාරියකුටම සිංහල හා දෙමළ භාෂා ප්‍රවීණතාව ලබා ගැනීම අනිවාර්ය කරනු ලැබුවේ ඔහු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ය. එමෙන්ම 2010 සිට සෑම මැතිවරණයකදීම ජාතික හැඳුනුම්පත අනිවාර්ය වූයේ ඩිව් ගුණසේකර අමාත්‍යවරයාගේ නොපසුබට අරගලයක ප්‍රතිඵලයක් වශයෙනි. මීට අමතරව මන්ත්‍රීවරුන්ගේ විනය පාලක තේරීම් කමිටුවෙත් පෙත්සම් කාරක සභාවේත් කෝප් කමිටුවෙත් සභාපති තනතුරු දැරුවේ ඩිව් ගුණසේකර මහතාය. කුප්‍රකට මහ බැංකු බැඳුම්කර වංචාව ප්‍රථම වතාවට හෙළිදරව් කර ගැනීමට හැකි වූයේ ඔහුගේ සභාපතිත්වයෙන් යුක්තව පැවැති කෝප් කමිටුවේදීය. මාසයක් මුළුල්ලේ ගැඹුරින් විමර්ශනය කරමින් පිටු 450ක වාචික සාක්ෂි වාර්තාවක් සම්පාදනය කර, පසුදින උදෑසන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම්ව තිබියදී මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා ඔහුගේ කෝප් කමිටු වාර්තාවට නෛතික වලංගුභාවයක් හිමි වූයේ නැත.
“මම කෝප් කමිටු වාර්තාවෙන් අනාවරණය කළා මහ බැංකු බැඳුම්කර මගඩිය. ඒත් අන්තිමට දඬුවම් ලැබුණේ මට. හොරුන්ට නොවෙයි. මොකද මගේ හෙළිදරව්වත් එක්ක මගේ නම ජාතික ලැයිස්තුවට ඇතුළත් කළේ නැහැ.” යනුවෙන් ඩිව් ගුණසේකර සඳහන් කළේ දේශපාලනයේ ජරාජීර්ණ බව පැහැදිලි කරමිනි.
නිදහස් ශ්‍රී ලංකාවේ පළමු රාජ්‍ය නායකයාගේ සිට වර්තමාන රාජ්‍ය නායකයා දක්වා සිටි සියලුම රාජ්‍ය නායකයන් මුණගැසී කතාබහ කළ එකම පුද්ගලයා ඩිව් ගුණසේකර විය හැකිය. ඔහුට ඩී.ඇස්. සේනානායක අග්‍රාමාත්‍යවරයා සමඟ කතාබහ කිරීමට අවස්ථාවක් ලැබී තිබුණේ පාසල් වියේදීය. එකල මාතර රාහුල විදුහලේ ත්‍යාග ප්‍රදානෝත්සවයක ආරාධිත අමුත්තා ලෙස පැමිණි ඩී.ඇස්. සේනානායක අගමැතිවරයාට සංග්‍රහ කිරීමේ රාජකාරිය පැවරී තිබුණේ ශිෂ්‍ය නායකයකුව සිටි ඩිව් ගුණසේකරටය. එදා සිට අද දක්වාම සිටි රාජ්‍ය නායකයන් අතරින් ඔහුගේ ප්‍රියතම රාජ්‍ය නායකයා වන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි.
“සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හරිම විනය ගරුකයි. කියන්න තියෙන දේ මුහුණට කියනවා. මට මතකයි 70 - 77 කාලේ ඇන්.ඇම්. පෙරේරා ඇමතිවරායගේ පෞද්ගලික ලේකම්ට ඇමති ඉස්සරහදිම බැන්නා. ඒ වගේම එතුමිය වෙලාවට වැඩ කරන කෙනෙක්. 94 දී මට විදේශ නියෝජිතයන් පිරිසක් අරං හවස 5.00ට බණ්ඩාරනායක මැතිනිය හමුවෙන්න යන්න තිබුණා. ඒ කාලේ එතුමිය අගමැතිනිය. මම හවස 5.00ට යනකොට රටේ අගමැතිනිය 4.53ට ඇවිල්ලා. ඒ කාලේ ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය. සිරිමාවෝ මැඩම් මට කියනවා ඩිව් හිතුවද මමත් ඔයාගේ නායිකාව වගේ කියලා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කියපු කතාවක් තමයි චන්ද්‍රිකා මැඩම් ඉස්කෝලේ යන කාලේදිත් වෙලාවට යන්නෙ නැහැ කියලා. සපත්තු ජෝඩුව අතේ අරං කාර් එකට දුවනවා.” යනුවෙන් අපූරු කතාවක් අනාවරණය කළේ ඩිව් ගුණසේකර මහතාය.
ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වී විපක්ෂයේ සිටියදී 13 වැනි සංශෝධනයට පක්ෂ වූවා සේ ම ආණ්ඩු පක්ෂයේ කැබිනට් ඇමතිවරයකුව සිටියදී ආණ්ඩුවට විරුද්ධව කටයුතු කළ අවස්ථා ද තිබේ. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ අවස්ථාවේ ඈ වරදක් කර තිබේ නම් දඬුවම් දීම සාධාරණ නමුත් ඇයව ඉවත් කිරීමට අනුගමනය කළ ක්‍රමවේදය කෙරෙහි දැඩි විරෝධයක් දක්වා තිබීම එක් අවස්ථාවකි. 13 වැනි සංශෝධනයට තවත් සංශෝධනයක් එක් කිරීමට සූදානම් වූ අවස්ථාවේ දැඩි විරෝධය පාමින් එය නතර කරවනු ලැබුවේ ඩිව් ගුණසේකර අමාත්‍යවරයාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනයට විරෝධය පාමින් “තියාගන්න මගේ ඇමතිකමයි මන්ත්රිකමයි දෙකම” යනුවෙන් පැවසීමට තරම් ඔහු එඩිතර විය.
මේ වන විට 85 වැනි වියේ පසු වන ඩිව් ගුණසේකර ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉවත් වූයේ පක්ෂයේ පසුපෙළට අවස්ථාව දිය යුතු නිසාය. බල ලෝභයෙන් තනතුරු බදාගෙන සිටින ඇතැම් දේශපාලන නායකයන්ට ඔහු ආදර්ශවත් චරිතයකි. ඔහු තනතුර අත් හැරිය නමුදු දේශපාලනයෙන් සමුගෙන නැත.